|
දසුන් තාත්තා කෙනෙක් වෙලා
දසුන් ඔබ විඳින සතුට මොහොතකට වචනවලට පෙරෙළන්න කියලා මං ආරාධනා කරනවා? ඒ සතුට ගැන කොහොමද මං කියන්නේ. කියන්න වචන හොයා ගන්නත් අමාරුයි. මං දැන් දියණියකගේ තාත්තා කෙනෙක් කියලා හිතෙන කොටත් ආඩම්බරයක් දැනෙනවා. දියණියට නමක් තිබ්බද? ඔව්. ෂයියා ලිලී පතිරණ. තේරුම? ඇත්තම කිව්වොත් මං ඔය ගණවත්, නැකැත්වත්, අකුරුවත් බැලුවේ නැහැ. ලස්සනයි කියලා හිතුණා. ඒක නිසා ඒ නම දැම්මා. ස්විස් බසින් ෂයියා කියන්නේ දෙවියන් දුන් තෑග්ග වගේ වචනයක්. ලිලී කියන්නේ මල් ජාතියක්. ඔබ වරෙක පුවත්පතකට කියලා තිබුණා කලක දියණියට හිතුණොත් ඒ නම වෙනස් කරගන්න දෙනවා කියලා?
කසාඳ නොබැඳ ළමයෙක් හදන්න තීරණය කළේ ඇයි? ඇයි අපි අත්සන් යොදා කොලයකට සීමා වෙන්නේ? ආදරය එහෙම සීමා කළ හැකිද. සැබෑ ආදරයක් ඇත්නම් කසාදයක් කරගන්නම ඕනෑ කියලා නීතියක් මට නැහැ. මේවා ගෙනාවේ සුද්දෝ. ඔවුන් තමයි අපට කසාද නීතිය ගෙනවේ. ඊට කලින් අපේ රටේ අය විවාහයක් නැතුව කොතරම් හොඳින් පවුල් කෑවද. ළමයි හැදුවද. කසාද හින්දනේ දික්කසාද ඇති වෙන්නේ. අහලා තියෙනවද අතීතයේ දික්කසාද වුණු අය ගැන. ඔවුන් ආදරය කළා. අකමැති නම් අයින් වුණා. ඔබ ඒ ක්රමය ද අනුගමනය කරන්නේ? ඔව්. මටයි හංසිකාටයි කවදා හරි වෙන් වෙන්න ඕනෑ නම් ඒක එහෙම වෙයි. අපි උසාවි ගනේ ගිහින් ලෝයර්ලට ගෙව ගෙව කාලෙ කකා රස්තියාදු වෙන්නේ නැහැ. අපි ඉන්නේ කැමැත්තෙන්. වෙන් වුණත් ඒත් කැමැත්තෙන්. විවාහ නොවී ළමයි හදන එකට සමාජයෙන් දැඩි විරෝධයක් තියෙනවා? ඒ අපේ සමාජයේ හැටිනෙ. මං ඒ වගේ සාම්ප්රදායික පුහු මත එල්ලගෙන ඉන්න කෙනෙක් නෙවෙයි. ඒ තුළ එල්ලිලා ජීවත් වෙන්න බැහැ. අපි දෙන්නා කැමැති නම් ලිවිං ටු ගෙදරිං ඉන්න වෙන කාටවත් අපිට ඇඟිල්ල දික් කරන්න බැහැ. අපි කැමැත්තෙන් ළමයෙක් හැදුවේ. ඒකත් අපි දෙන්නගේ කැමැත්ත.
එයා සාම්ප්රදායික තරුණියක් නෙවෙයි. ඇගේ පදිංචිය ස්වීඩන්වල. ඒ පරිසරයත් එක්ක මෙහෙම ඉන්න එක අරුමයක් නෙවෙයි. වෙන පෙම්වතියෝ මුණ ගැහුණු වෙලේ ඉඳලා අහන්නේ බඳින්නේ කවදද කියලා. හංසි එහෙම කවදාවත් මගෙන් අහලා නැහැ. ඇයට මගේ ආදරය දැනෙනවා. තව දෙයක් කිව යුතුයි. අපි ලිවිං ටු ගෙදර් ඉන්නෙත් ප්ලෑනක් ඇතුව. බබෙක් හදන්න හිතුණෙත් ඒ ප්ලෑන් එකේ කොටසක් විදිහටයි. මේ කිසිවක් අහම්බෙන් වුණු දේවල් නෙවෙයි. ඔබ දෙපොළගේ නීතියෙන් විවාහ නොවී සිටීම කවදා හරි දුවට ප්රශ්නයක් වුණොත්? එහෙම ප්රශ්නයක් වුණොත් අපි දෙන්නා ඔය ළඟ කොහෙට හරි ගිහිල්ලා කසාද බඳිනවා. ඕක මොකක්ද විනාඩි පහේ දහයේ වැඩේනෙ. දියණියත් සමඟ විදෙස් ගතවෙන්නට අදහසක් තියෙනවා කියලා ආරංචියි? ඔව්. අපි තුන් දෙනාම ස්වීඩන් යනවා. එහෙ තමයි පදිංචි වෙන්න ඉන්නේ. දුවව ලියාපදිංචි කරන්නෙත් එහෙ.
|