|
ඉන්දියාව හෙල්ලූ සිංහල ගීතය සුරංගනී - සුරංගනීඒ. ඊ. මමෝහරන්
ඒ. ඊ. මමෝහරන් හෙවත් සිලෝන් මමෝහරන් පසුගියදා මිය ගියේය. එහෙත් ඔහු මෙරට තබා ගිය නාමය කිසිදා මිය නොයන්නේය. ඊට හොඳම සාක්ෂිය වන්නේ 'සුරංගනී' ගීතයයි. සුරංගනී සුරංගනී සුරංගනීට මාලු ගෙනාවාමාලු මාලු මාලු දැන් ගෙනාපු මාලුසුරංගනීට මාලු ගෙනාවාලැජ්ජ නැතුව මේ පාරේ හඬන්නේවටින් පිටින් බලා සිටිනවාඔයා අඬනවා ඔයාගේ ඇස් රතු වෙනවාබලා සිටින මටත් ඇඬෙනවාමොකද මන්ද මේ මාලු නොගන්නේකේන්තියෙන් වගේ ඉන්නවාඑපා කියනවා ගෙනාපු හින්ද බනිනවාමගේ ඇඟේ මාලු නටනවාසුරංගනී . . .'එදා අද මෙන් හෙටත් තුඩ තුඩ රැව්දෙන මෙම ගීතයේ හිමිකරුවා මමෝහරන් බව වත්මන් පරපුරේ බොහෝ දෙනෙක් නොදන්නා කරුණකි. එහෙත් වර්තමාන පරපුර තුළ ද නිරන්තර ප්‍රසාදය දිනා ගන්නට තරම් සමත් වූ මේ ගීතය මනෝහරන් අප හැර ගියද සදාතනික සිහිවටනයක් ලෙස ඉතිරි වී ඇත.
මමෝහරන්ගේ පියාට අවශ්‍ය වූයේ සිය පුතු දොස්තරවරයකු කරවන්නටය. එහෙත් කුඩා මමෝහරන්ගේ වැඩි කැමැත්ත තිබී ඇත්තේ කලාව පැත්තටය. ඒ අනුව ඔහු තරුණ වියට පා තබත්දී ලාංකේය පොප් සංගීත ඉතිහාසයේ සුවිශේෂි පුද්ගලයෙකු වූ එස්. වී. ආර්. කනපතිපිල්ලේ සහ නිති කනගරත්නම් සමඟ එක් වී පොප් සංගීතය පැත්තට යොමු වී ඇත. පසු කලෙක අමුදල් අන්න මලෙයි වැන්නෝ ද ඊට එක් වී ඇත. මමෝහරන් අධ්‍යාපනය ලබා ඇත්තේ ඉංග්‍රීසි මාධ්‍යයෙනි. එහෙත් ඔහුට ඉතා හොඳින් සිංහල කතා කළ හැකි විය. එපමණක් නොව සිංහල ලියන්නට තරම් දැනුමක් ද වී ඇත. සුරංගනී ගීතයේ ගී පද රචනා කර ඇත්තේ ද ඔහු විසිනි. සුරංගනී ගීතයත් සමඟ මමෝහරන් සිංහල ගීත ශ්‍රාවකයන් අතර අතිශයින් ජනප්‍රිය වූවා සේම දෙමළ භාෂාවෙන් ද ඔහු ගීත රැසක් ගායනා කළේය. 70 දශකයේ අග භාගයේ සිට 80 දශකය අග භාගය දක්වා මමෝහරන් මෙරට සංගීත සංදර්ශන වේදිකාවන්හි ජනප්‍රියම චරිතයක් බවට පත් වී සිටියා. එකල සංගීත සංදර්ශන සංවිධායකවරයකු වශයෙන් හා නිවේදකවරයෙකු ලෙස කටයුතු කළ චන්ද්‍රදාස ප්‍රනාන්දු පැවසූ පරිදි ඔහුගේ සුරංගනී ගීතයට අමතරව ක්ලැරන්ස් විජේවර්ධන සමඟ 'කඳ සුරිඳුනි ඔබෙ ඔද තෙද දැක හද' ගීතය ක්ලැරන්ස් සමඟ ප්‍රසංග වේදිකාවල ගායනා කළේය. එහි දෙමළ ගීතය එකිනෙකට මිශ්‍ර කරමින් කළ ගායනය එකල බොහෝ දෙනාගේ සිත් ඇද ගත්හ. මමෝහරන් වේදිකාවට පැමිණි විට නව ජවයක් තේජාන්විත බවක් ඇතිවන බව ද පැවසුවේය. කලක් ඔහු 'චූඩා මාණිකේ බලලා' ගීතය ද ප්‍රසංග වේදිකාවේ ගායනා කර ඇත. ගායකයෙකු වශයෙන් පමණක් නොව චිත්‍රපට නළුවෙකු වශයෙන් ද මමෝහරන්ගේ චරිතය දිගු වෙයි. ඔහු මුලින්ම රඟපෑ ඇත්තේ ජෝ දේව් ආනන්ද විසින් නිර්මාණය කරන ලද 16 ර්ර් දෙමළ චිත්‍රපටයක් වූ 'පාසනිලා' චිත්‍රපටයේය. ජෝ දේව් යනු මමෝහරන්ගේ ඉංග්‍රීසි ගුරුවරයාය. එම සබඳතාවයන්ට අනුව මනෝහරන්ගේ හැකියාවන් හඳුනාගෙන ඔහුට මෙම චරිතය ලබා දෙන්නට ඇත. පසුව ඔහු ලංකාවේ නිෂ්පාදනය වූ දෙමළ චිත්‍රපට කිහිපයකම රඟපෑවේය. 'වාඩෛ කාට්රු' ඉන් එකකි. මෙම චිත්‍රපටයේ ස්වර්ණා මල්ලවාරච්චි ද රඟපා ඇත. 'තෙන්ඩුලුම් පුයලුම්' මෙන්ම වත්මන් අමාත්‍ය මමෝ ගනේෂන්ගේ පියා විසින් නිෂ්පාදනය කරන ලද 'පුදියකාට්රු' චිත්‍රපටයේද ඔහු රඟපා ඇත. 80 දශකයේ අග භාගයේ එක්තරා කාල වකවානුවක හිටපු ගමන් ලංකාවේ සංදර්ශන වේදිකාවෙන් ඔහු අතුරුදන් වූයේය. චන්ද්‍රදාස ප්‍රනාන්දුගේ මතකයට අනුව ඔහු ටික කලක් ලන්ඩනයේ වාසය කළේය. ඉන් පසු නැවත ලංකාවට පැමිණ සිය පවුල පිටින්ම ඉන්දියාවේ පදිංචියට ගොස් ඇත. මමෝහරන් විවාහ වී ඇත්තේ ද ලංකාවේ දෙමළ තරුණියක සමඟය. එකල සංදර්ශනයන්ට සහභාගි වන අතරතුර ඔහු චන්ද්‍රදාස ප්‍රනාන්දු සමඟ බගවන්තලාවේ පිහිටි සිය නිවෙසට ද ඔහු රැගෙන ගොස් ඇත. පසු කලෙක සංගීත වැඩවල පහසුව තකා වැල්ලවත්ත ප්‍රදේශයේ ද පදිංචි වී සිට ඇත.
මනෝහරන් ඉන්දියාවේ පදිංචියට ගිය පසු දෙමළ සිනමාපට කිහිපයකටම සම්බන්ධ වූයේය. 'වීර පරිත්තිර පුරුෂ්' 'සකල කලා වල්ලවන්' 'ගුරු' වැනි චිත්‍රපට ඒ අතර වේ. ඔහු ඉන්දියාවේ වඩාත් ප්‍රකට වූයේ ගුරු චිත්‍රපටයේ කමලාසන් සමඟ රංගනයේ යෙදීමෙන් පසුවය. රජිනි කාන්ත් සමග ඔහු රඟපෑවේ තී චිත්‍රපටයේය. මනෝහරන් චෙන්නායි හි වඩපලනි ප්‍රදේශයේ ශාලිග්‍රාමම් හි පදිංචිව සිටියේය. සුප්‍රකට ඒ. වී. එම්. චිත්‍රාගාරය ඇතුළු චිත්‍රපට කලාවේ බොහෝ තැන් පිහිටා ඇත්තේ මේ ආශ්‍රිතවය. ඉන්දියාවේදී ද ඔහුගේ එකම ආදායම් මාර්ගය වී ඇත්තේ චිත්‍රපට රංගනයෙන් හා ගීත ගායනයෙන් ලැබෙන මුදල්ය. ශාලිග්‍රාමම් හි මමෝහරන් පිළිබඳ කවුරුන්ගෙන් විමසුව ද 'සිලෝන් මමෝහරන්දැයි' පෙරළා ප්‍රශ්න කරන බව මා සමඟ පැවසුවේ ජුනයිදීන් හා චන්ද්‍රදාස ප්‍රනාන්දුය. මෙම දෙපොළ 2008 වර්ෂයේදී පමණ දෙමළ චිත්‍රපටයක සම්බන්ධීකරණ කටයුතු වෙනුවෙන් මමෝහරන් මුණ ගැසීමට චෙන්නායි බලා ගියේය. නවතම චිත්‍රපටය වෙනුවෙන් චන්ද්‍රදාස ප්‍රනාන්දු මමෝහරන් වෙනුවෙන් ගීත රචනා කර ඇති අතර ඒවා එහිදී පටිගත කරන ලද නමුත් චිත්‍රපටයේ වැඩ කටයුතු අතරමඟදී නැවතුණ බැවින් මමෝහරන් විසින් ගායනා කරනලද එම ගීත අදටත් ඉන්දියාවේ ශබ්දාගාරයක තනි වී ඇත. 'කතරගම මනාලියේ ආවේ කෙහෙන්දෝ . . . මේ ඒ වෙනුවෙන් ඔහු ගායනා කළ එක් ගීතයක කොටසකි. ඒ වන විටත් මමෝහරන් ඉන්දියාවේ ජනප්‍රිය ටෙලි නාට්‍යයක රඟපාමින් සිට ඇත. භාෂා 06 ක් කතා කළ හැකි මමෝහරන් සිංහල චිත්‍රපට සේම දමිළ, කන්නඩ, මලයාලම් වැනි චිත්‍රපට සඳහාත් සිය දායකත්වය සපයා ඇත. වත්මනෙහි ද්‍රවිඩ සිනමාවේ ජනප්‍රිය චරිතයක් වන විජය සමඟ ද චිත්‍රපටයක රඟපෑ මමෝහරන් සුරංගනී ගීතය එම චිත්‍රපටයේ පසුබිම් ගීතයක් ලෙස ද ගායනා කර ඇත. මේ දිනවල චැනල් අයි නාලිකාව් විකාශය වන 'අක්කිනි පුක්කල්' ටෙලි නාට්‍යයේ ද මමෝහරන් තාපසයකුගේ චරිතයක් රඟපායි. චන්ද්‍රදාස ප්‍රනාන්දුට අනුව මමෝහරන් බැතිමත් කතෝලිකයෙකි. එකල සංදර්ශනවලට යන්නට පෙරාතුව ළඟම ඇති දේවස්ථානයට ගොස් යේසුස් වහන්සේ වෙනුවෙන් යාඥා කරනු ඔහු දැක ඇත. ඉතාම විනෝදජනක මිත්‍රශීලී මනුෂ්‍යයෙකු වන ඔහු පසුගියදා මෙලොවින් සමු ගත්තේ නොමියෙන මතක රැසක් සංගීත ක්ෂේත්‍රය තුළ රඳවමිනි.
|