වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




මේ බලාපල්ලා චිංචි මානවිකාවක්

මේ බලාපල්ලා චිංචි මානවිකාවක්

මෙතෙක් සිදු වූයේ මෙහෙමයි

නිළියක් වීමේ අභිලාෂය ඇතිව රඟපෑමට වරම් සොයන බිනරි ගේ හිතවතා වූයේ විනෝද්ය.ඉහළ බලාපොරොත්තු ඇතිව නාට්‍යයක් නිර්මාණය කරන්නට යන විනෝද් ගේ සිහින බොඳ වනුයේ නොකළ වරදකට පොලිස් අත් අඩංගුවට පත්වීම සමගය.එයින් පසු ඔහු කොළඹ අතහැර යයි.බිනරි මනෝජ් නම් තරුණයකු හා විවාහ ව ඉතාලියට යයි.පස් වසරකට පසු ඇය ආපසු එන්නේ කටුක විවාහ දිවියක අත්දැකීම් එක්කය.ඒ වන විට කොළඹ පිටකොටුවේ සුළු ව්‍යාපාරිකයකුව සිටි පියා එය අතහැර අනුරාධපුරයට ගොස් සිටින්නේ නව ව්‍යාපාරයක් අරඹමිනි.බිනරි අම්මා සමග අනුරාධපුරයට යන්නේ තාත්තා සොයා ගෙනය.එහෙත් ඔවුන්ට මුහුණ දෙන්නට සිදු වනුයේ නොසිතූ අත්දැකීමකටය.

අද එතැන් සිට...

‘බබා’

කුඩා බිලිඳීයක බිනරි ගේමුහුණට ඇඟිල්ල දිගු කර සෙනහස පෑවාය.බිනරි ඇය සමඟ සිනාසුණේ දරුවා සුරතල් කරනේනට සිතා ගෙනය.දුම්රිය වේදිකාවේ අසුනකට වාඩ වී සිටින අම්මා දුර කල්පනාවකය.

‘අපි බාරයක් ඔප්පු කරන්ඩ අනුරාධපුරයට ආවා’

සිඟිත්තියගේ මව පවසා සිටියේ දිගු කතාවකට වැටෙන්ට බලාපොරොත්තුවෙනි.දුම්රිය පැයකට වඩා ප්‍රමාද වනු ඇතැයි යකඩ කට කිව්වේ දැන්ය.දුම්රිය බලාපොරොත්තුවෙන් සිටි මගීන් එයින් නොසන්සුන් වුහ.

‘අපරාදේ බස් එකක යන්ඩ තිබ්බා’

එකෙකු පැවසුවේය.

‘පරසන්ගස්වැව දි ගෑනියෙක් කෝචිචියට බෙල්ල තිබ්බලු’

දුම්ර්ය පෝටර් වරයෙක් ආරංචියක් ගෙනාවේය.ඒ ආරංචිය මගීන් කටින් කට ගොස් බිනරි ගේ කනටද වැටිණ.බිනරි ගේ සිත එකවරම කලබලයට පත් විය.

‘මටයි මගේ දරුවාටයි යන කලදසාව මොකක්දැයි‘ තාත්තාගෙන් ඇසූ ගංගා ගෙයින් එළියට ගිය අයුරු බිනරි ගේ මතකයට නැංවූවාය.

දුම්රියට ගෙල තිබ්බ ගැහැනිය ගංගා වූවා නම් එය මහත් ප්‍රශ්ණයක් වනු ඇත.ගංගා ගෙයින් එළියට යන අයුරු දුටු තාත්තා කලබලවූවේය. කුඩා දරුවා හඬන්නට ගත්තේ මෙබඳු ආරවුල් අමුත්තක් වුන අයුරිණි.ඔහු චුට්ටං මුදලාලි වෙත පනින්නට ගියත් ගංගා එය වළක්වා ගෙයින් එළියට බැස්සාය.

‘මේව ඔක්කොම අතැරල දාලා ආපහු කොළඔ යමු.මෙහෙට පංගාර්තු වෙන කොට මට හීනෙකින් වත් හිතුනේ නෑ.’

අම්මා මුරණ්ඩු ලෙස පැවසුවාය.තාත්තා එයට කිසිත් නොකිව්වේය.අනතුරුව ඔහු ගෙතුළට ගියේය. ටික වේලාවකින් තරුණයා ද හීන්සීරුවේ පිට ව යන අයරු බිනරි දුටුවාය.

‘අපි යං අම්මේ ආපහු’

බිනරි පැවසුවේ තව දුරටත් එහි රැඳී නොසිටිය යුතුයැයි ස්ථිර නිගමනයකට පත්වෙමිනි.කිසි කලකත් තම පියා මෙවැනි තීරණයක් ගනිතැයි ඇයට සිතුණේ නැත.

‘තමුසෙට ලැජ්ජ නැද්ද ඕයි’

අම්මා යළිත් කෑගාන්නට පටන් ගෙන ඇත්තීය.ඇය තාත්තා වසා ගත් කාමරයේ දොරට වැරෙන් පහර දුන්නාය.එයින් ප්‍රතිචාරයක් නොමැති කළ දොර පාමුළ වැටී හඩන්නට ගත්තාය.

‘තාත්තාට නම් කිසිම ලැජ්ජාවක් නෑ තමයි’

බිනරි ද එයට එක් වූවාය.කිසි දිනක තාත්තා ඉදිරියේ කතා නොකළ ද ඇයට ද අමුතු ශක්තියක් ඇතිවුණ ගානය. විවාහය දෙදරා ගිය ද නොසැලුණ බිනරි තම උරුමය සඳහා වෙනත් කිසිවකු පැමිණ ඇතැයි දැනුණු වහා කම්පා වූවාය. කුඩා කල වුව ඇය අම්මා හෝ තාත්තා අත වෙනත් දරුවෙකු සිටිනවාට කැමැති වූයේ නැත.එසේ වඩා ගත් කළ හීන් සීරුවේ ඔහුගේ හෝ ඇගේ අත කොනිත්තීම ඇයගේ සිරිතයි.

‘ඊරිසියාකාරි’

අම්මා බැන වදින්නී හීන් සීරුවේ අතට ගත් දරුවා හිමිකරු අතට පත් කරමිනි.ඉදින් දැන් ඒ ආකාරයෙන් නොව තමන් ගේ අඩවියට අයිතිකරුවෙකු පැමිණ සිටියි.

බිනරි තම අතැති ජංගම දුරකතනය බැලුවාය.පැයකයට පමණ පෙර පැමිණි ත්‍රිවිලරයේ අංකය සටහන් කර ගත්තේ ඕනෑවට එපාවට මෙනි.ඇය නිකමට එම අංකය එබුවාය.

‘අපිට යන්ඩ එන්ඩ පුළුවන් ද ?’

බිනරි ඇසුවාය.

‘මම ළග ඉන්නේ එන්නම්’

රියැදුරා පැවසුවේය.

‘අපිව බස්සපු ළමයා එනවා කිව්වා අපි යමු’

අම්මා යළිත් තාත්තාට බැන වදින්නට ගත්තාය.බිනරි එය නතර කරන්නට වෑයම් කළේ නැත.ඒ වෙනුවට තම ගමන් මල්ලේ තිබුණ බෑගයක් ඇය එළියට ගත්තාය.එහි තිබුණේ තාත්තාට ගත් ඇඳුම් කිහිපයකි. එය මිලයට ගත්තේ ඉතාලියෙනි.තාත්තා පාට අඳීන්නට කැමැතිය.ඇය ඒවා මිලයට ගත්තේ එහෙයිනි.බෑගයේ තිබූ තෑග්ග අතට ගෙන ගුලි කර ගත් ඇය එය යළි ගමන් මල්ලට ලා ගත්තාය.අනතුරුව මොහොතක් කල්පනා කොට එය අතට ගෙන අසල මේසය මත තැබුවාය.අම්මා එය දුටුවේ නැත.ත්‍රිවිලරය හෝටලය ඉදිරිපිටට පැමිණියෙන් අම්මා ගේ අතින් අල්ලා ගත් බිනරි එයට ගොඩ වුනාය.බිනරි හෝටලය මහත් පාළුවකින් වෙලී ගියේයැයි අයට සිතිණ.අවසාන මොහොතෙ හෝ තාත්තා එයින් එළියට පැමිණෙතැයි බිනරි අනුමාන කළ ද එසේ සිදුවූයේ නැත.ඇය තාත්තාට කතා කළේ ද නැත.

‘දැන් කෝචිචයක් තියෙනව ද දන්නේ නෑ’

බිනරි ඇසුවාය.

‘තව පැයකින් විතර තියෙනවා මිස්.ඇයි මිස් ලා ඉන්ඩ නේද ආවේ’

රියැදුරා සිය රථය මහ පාරට දම ගත්තේ එහි ගමන් ගන්නා රථ පේලියක් අතරින් හීන්සීරුවේ රිංගමිනි.එහි කුඩා බස් නැවතුමක් විය.එහි බංකුවක වාඩි වී දරුවා හැඩීමෙන් පරක් කර ගන්නට වෙර දරන ගංගා බිනරි දුටුවේ අහම්බෙනි.

‘ඔහොම පොඩ්ඩක් නවත්වන්ඩ’

බිනරි එකවරම රියැදුරාට පැවසුවාය.ඔහු වහා පාර අයිනට කර රථය නැවැත්වූවේය.

බිනරි එක්වරම දුව ගියේ බස් නැවතුමටය.දරුවා පරක් කර ගනිමින් සිටි ගංගා බිනරි දුටුවේ අවසන් මොහොතේය.හදිසියේ බිනරි දැකිමෙන් ඇය තැති ගත්තාය.ඈ දරුවා තුරුල් කර ගෙන වත්කම බඳු ගමන් මල්ල එක් අතක තද කර ගත්තාය.

‘ඒයි උඹ ආපු පැත්තකට තොලංචි වෙලා පළයං.අයේ එහෙ මේ පැත්තේ එන්ඩ නෙවේ’.

ගැහැනිය බියෙන් ඇළෙලුනු පෙනිණ.බිනරි ගැහැනියට අතුල් පහරක් දෙන්නට සැරසුනද එය නතර කර ගත්තාය.තමා නාදුනනා පළාතක අරගලයක් ඇති කර ගත යුතු නැතියි ඇයට එක්වරම සිහියට නැගිණ.

‘ඒ අපේ තාත්තා .උඹ වගේ එකියක් ට ගැලපෙන්න හොයාගනින්’

පළා යන්නට ඉඩක් නැති ගැහැනිය බස් නැවතුමේ තවත් ඇකිලුණාය.අම්මා ද එතැනට ආවාය.රණ්ඩුව ඇසුණ කිහිප දෙනෙක් විපරම් කරන්නට පටන් ගත්හ.පාර අයිනේ තිබුණ කඩයක සිටි මිනිසෙකු පාරට පැමිණ බලා සිටියේ අලුතු ඕපාදුපයක් අසන්නට ඇති ආසාව දෙනෙතින් කියාපාමිණි.සියල්ලන්ගේම ඇස යොමුව තිබුණේ පෙනුමැති තරුණියක වන බිනරි දෙසය.වත සුකොමල මේ ගැහැනිය නපුරු කොටිදෙනක මෙන් ආවේශ ව සිටිති.අනිත් තරුණිය සා දෙනෙකුව බිය පත් ව සිටියි.මිනිසුන් බලා සිටිනුයේ ගැහැනුන් අරගල කරන තුරුය.

‘මේං බලාපල්ලා චිංචි මානවිකාවෝ.කොහොම හරි එකෙක් දැලේ දාගන්නවා’

බිනරි ගැහැනියව පෙන්වූවාය.සියල්ලෝම ඇය වැරදි කාරිය කොට දැකගනියි.රියැදුරා එතැනට කඩා වැදිණ.

‘අනේ මිස් මේ අපිට ඕවට බෙල්ල තියන්ඩ බෑ.එක්කෝ යං.නැත්නම් බෑග් එක අර ගන්ඩ’

ඔහු කෑගෑවෙන් බිනරි මෙල්ල වන්නට සිතුවාය.අනතුරුව ඇය අම්මාගේ අතින් ගෙන රියට නැංගාය.අවට සිටියෝ ගොදුරක සෙසු රහ බලනන්ට මෙන් ගංගා වෙතට සමීප වන අයුරු පැති කන්නාඩියෙන් බිනරිට පෙනිණ.

‘මොකක්ද මිස් වෙලා තියෙන්නේ.මිස් ඔය බිනරි එක කොහොමත් හොඳ තැනක් නෙවෙයි’.

තොරතෝංවියක් නැතිවම රියැදුරා කියාගෙන ගියේය.බිනරි එයට උත්තර දෙන්නට නොගියාය.රියැදුරා වරින් වර අම්මාගේ සහ දියනියගේ මුහුණු දෙස බලනු කන්නාඩියෙන් බිනරිට පෙනිණ.රථය අතුරු පාර වල් වලින් රිංගා පැමිණියේ දුම්රිය ස්ථානයටය.රියැදුරාට කතාවකින් තොරව මුදල් ගෙවා දමා බිනරි දුම්රිය පොළට ගියාය.අනතුරුව කොළම කොටුව ට ප්‍රවේශ පත් මිල දී ගත් ඔවුන් වේදිකාවේ අසුනක ට බර වූවාය.

‘තාත්තෙක් කරන වැඩක් ද අම්මපා’

අම්මා යළිත් කියවන්නට පටන් ගත්තාය.

‘මට නම් තාත්තා කියන්නත් ලැජ්ජයි.’

දියණිය ද පැවසුවාය.

ඒ කාලෙත් හිටියනේ සිල් ගත්තු මිනිස්සුගෙත් සිල් බින්ද ගෑනු.මේත් එහෙම් ගෑනියෙක් තමා

අම්මා පැවසුවේ සුසුමක් හෙළමිනි.

‘මේ ගෑනි දැකලා සිල් බිඳුනා කියන්නේ’

බිනරි කියන්නට ගිය දේ අකුලා ගත්තේ ආසනයේ ඉතිරි ඉඩට වාඩිවෙන්නට යුවළක් පැමිණි නිසාය.ඔවුන්ගේ දරුවා බිනරි දැක සිනාසුනේ දත් නැති මුව විවර කරමිනි.බිනරි එයට ප්‍රතචාර ලෙස සිනාසුනි.මනෝජ් කිසි කලක දරුවකු ට කැමැතිවූයේ නැත.

‘මේ නාදුනන රටවල ළමයි හදලා බෑ’

ඔහුගේ පිළිතුර විය.

‘කවුද කෝච්චියට පැනල තියෙන්නේ’

ළදරුවාගේ පියා ආරංචිය ගෙනා දුම්රිය පෝටර් ගෙන් විමසනු අයරු බිනරි බලා ගෙනය.ඇය උන් තැනින් නැගිට විවේකාගාරයට ගියාය.