වර්ෂ 2018 ක්වූ  පෙබරවාරි 01 වැනිදා බ්‍රහස්පතින්දා




සුමුදු සයනේ සිනිඳු ඇතිරිල්ලේ

මාලිනී ෆොන්සේකා

පතී මාව මුලින්ම හඳුන ගන්නේ අහස් ගව්වේ තැපැල් නෝනා ගෙන්.එයා දැන් ලොකු ළමයෙක් සිනමා පටයේ සුසිලාවතී,බඹරු ඇවිත්හි හෙලන්,සොල්දාදු උන්නැහේ හි ප්‍රේමා අක්කා වැනි චරිත වලින් පතී මාවත් මගේ රංගන හැකියාවනුත් හඳුන ගත්තා.පතී ඇත්තටම හොඳ යාළුවෙක්.නිර්මාණයකට ගියාම ඔහු ඒකට කැපවෙලා ඉන්නේ.මගේ රංගන ජීවිතයේ කඩඉම් ගණනාවකට පතී නිර්මාණ දායක වූණා.ඔහු සෑම විටම තමන්ගේ නිර්මාණ වලින් සමාජයට විශාල පණිවිඩයක් දුන්නා.පතීගේ සිනමා භාවිතය අධ්‍යයනය කිරීම තුළින් නවක සිනාමා කරුවන්ට විශාල දැනුම් සම්භාරයක් ලබා ගත හැකියි.මරණය අප සැමට පොදුයි.අපි හැම දෙනාම දවසක මිය යනවා.අපිත් එක්ක එකට හිටපු හොඳම යාළුවෙක් අපි ඉදිදී මේ විදිහට අපෙන් ඈත් වෙලා යෑම ඇත්තටම දරා ගන්න අමාරු වේදනාවක්.

අමරසිරි කලංසූරිය

පතී තමයි සිනමාවට මාව හඳුන්වලා දුන්නේ.ඇත්තටම පතී නැත්නම් අමරසිරි කලංසූරිය කියලා මිනිහෙක්ව මේ රටේ ජනතාව හඳුනා ගන්නේ නැහැ.ඒකට මම පතීට ණය ගැතියි.මම රස්සාවක් නැතුව ඉන්න තැනක් නැතිව ඉන්න කාලේ පතී අහස් ගව්ව හැදුවේ අපේ ජීවිත දිහා බලලයි.ඒකේ ප්‍රධාන චරිතය පතී මට දුන්නේ මගේ ජීවිතේ ඒක නිසා.මට ඒකෙන් හොඳම නළුවා සම්මානය ලැබුණා.විචාරක සම්මාන හිමිවුණා.පතී ඇත්තටම දක්ෂයෙක්.එයා හැම වෙලාවෙම ජනතාවගේ ප්‍රශ්න එක්ක ජීවත් වුණා.ඒ වෙනුවෙන් පෙනී ඉඳීමින් නිර්මාණ කළා.ධර්මරාජේ ඉගෙන ගන්න කාලේ පතී අධ්‍යාපනයට හරිම දක්ෂයෙක්.ඒ නිසාම විශ්ව විද්‍යාලයට ගියා.පතීගේ වියෝව මේ රටේ සිනමා කර්මාන්තයට විතරක් නොවෙයි සාහිත්‍යය ක්ෂේත්‍රයට සිදුවූ විශාල පාඩුවක්.

ආචාර්ය සෝමරත්න දිසානායක

දේශීය සිනමාවේ පියා ලෙස හඳුනා ගන්නා ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් මහතාට පසුව දෙවන පරම්පරාව නියෝජනය කරමින් සම්භාව්‍යය සිනමාවට පණක් දුන් නිර්මාණ කරුවන් සිව් දෙනකු පිළිබඳ අපට කතා කරන්න පුළුවන්.ආචාර්ය ධර්මසේන පතිරාජ,ආචාර්ය ඩී.බී නිහාල්සිංහ,තිස්ස අබේසේකර හා වසන්ත ඔබේසේකර යන එම සිව් දෙනා අතරින් අපට අවසානයේ අහිමි වන්නේ පතීවයි.ඉදිරියට සම්භාව්‍යය සිනාමාවක් පවතින්න නම් අපේ සිනමාව ප්‍රතිසංස්කරණයකට ලක්විය යුතුයි කියන මතයේ පතී අවසන් කාලයේ හිටියා.ධර්මසේන පතිරාජ නම් අද්විතීය කලාකරුවා වෙනුවෙන් අප මේ මොහොත් ශෝක වීමට වඩා වටින්නේ ඔහු පෙනී සිටි සිනමා ගමන් මඟ යළි විවර කිරීම පිණිස කටයුතු කිරීමයි.ලෙස්ටර්,පතිරාජ,ඩී.බී නිහාල්සිංහ,තිස්ස අබේසේකර,වසන්ත ඔබේසේකර ගිය ගමන් මඟ අද වැසී ගොස් වල් බිහිවී ජනාජීර්ණ වෙලා.ඒක යළි එළි පෙහෙළි කර ඔවුන්ගේ සිනමාව යළි මතු කරලීම තමයි පතීට කරන්න පුළුවන් ලොකුම ගෞරවය.

සිරිල් වික්‍රමගේ

පතී මේ රටේ බිහිවූ අති විශිෂ්ට සිනමා වේදියෙක්.ඔහු දේශීය සිනමාව නව මාවතකට යොමු කිරීම පිණිස පුරෝගාමී මෙහෛවරක් ඉටු කළ අයෙක්.බඹරු ඇවිත් චිත්‍රපටය මෙරට බිහිවූ අති විශිෂ්ඨ චිත්‍රපටයක්.ඔහු සෑම නිර්මාණයකින්ම සමාජ ප්‍රශ්න පිළිබඳව කතා කළා.තරුණ පරපුර මුහුණ දෙන ගැටලු පිළිබඳ කතා කළා.ඔහුගේ නික්ම යෑම තුළින් ඇතිවූ රික්තය පිරවීම මම හිතන්නේ අවුරුදු සිය ගානකට කළ නොහැකියි.

ලූෂන් බුලත්සිංහල

ධර්මසේන පතිරාජ කියන්නේ සිනමාවේ නව යුගයේ පුරෝගාමියායි.මා එය කියන්නේ ආචාර්ය ලෙස්ටර් ජේමිස් පිරිස් මහතාට අගෞරවයක් කරන්න නොවෙයි.අපි කුඩා අවධියේ එතුමා නිර්මාණ කළා.අපි තරුණයො විදිහට සමාජයට අවතීර්ණ වෙන කාලය තුළ පොදු ජනතාවගේ ප්‍රශ්න සිනමාවට ගෙන යෑමට පුරෝගාමී වූයේ පතිරාජයි.සිනමාවට පමණක් නොව ඔහු නාට්‍යය කලාවට හා සාහිත්‍යය කලාවටද විශාල සේවයක් කළා.මිථ්‍යාව ප්‍රතික්ෂේප කළ සටන්කාමී චරිතයක් තමයි පතී කියන්නේ.ජනතාවට,තමන්ගේ ප්‍රජාවට අසාධාරණයක් සිදුවන විට ඊට එරෙහිව සටන් වඳීන සටන් බිම තුළ පතී හැමදාම හිටියා.පතීගේ සිනමා භාවිතය නිවැරදිව තේරුම් ගනිමින් නව නිර්මාණ කරන්නට අලුත් පරපුරක් බිහි විය යුතුව තිබෙනවා.

මහචාර්ය රෝහණ ලක්ෂ්මන් පියදාස

සමාජ දේශපාලනික තේමාවන් සිනමාත්මකව ඉදිරිපත් කිරීමට පතී තුළ සැබෑ දක්ෂතාවක් තිබ්බා.අහස් ගව්ව,බඹරු ඇවිත්,පාර දිගේ වැනි චිත්‍රපට වලින් ඒ බව අපට පැහැදිලිව තේරුම් ගන්න පුළුවන්.තරුණ අසහනය පිළිබඳව ඔහු නොබියව නිර්මාණ තුළින් කතා කළා.ඇත්තටම ඔහු නිර්භීත නිර්මාණ කරුවෙක්.වර්තමාන සිනමාව තුළ දක්ෂ නිර්මාණ කරුවන් ලෙස හඳුනා ගෙන සිටින ප්‍රසන්න විතානගේ,අශෝක හඳගම,විමුක්ති ජයසුන්දර,ප්‍රසන්න ජයකොඩි වගේ අයට පතීගේ සිනමා භාවිතය යම් ආකරයකට බලපාන්න ඇතැයි කියා මා විශ්වාස කරනවා.

ආචාර්ය නිර්මාල් දේවසිරි

පතිරාජ කියන්නේ එක් පැත්තකින් මගේ වෘත්තීය සගයෙක්.ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ අපට වඩා ජ්‍යෙෂ්ඨ ආචාර්යවරයෙක්.ධර්මසේන පතිරාජයන් වැනි අයෙකු අපගේ මිත්‍රයකු වීමත් අප යම් ආකාරයකට ලත් අභිමානයක්.විචාරාත්මක සිනමාවේ පුරෝගාමියෙකු වන ඔහුගේ බඹරු ඇවිත් චිත්‍රපටය මෙරට මෙතෙක් බිහිවූ විශිෂ්ටතම සිනමා පටය බව මගේ පෞද්ගලික කියවීමයි.එය කාල්මාක්ස්ගේ ප්‍රාග්ධනය කෘතිය තරම්ම විශිෂ්ටවූ කෘතියක් බව මගේ හැඟීමයි.හැත්තෑව දශකයේ ඇතිවූ ගැඹූරු සමාජ දේශපාලනික පසුබිම තිව්ර ලෙස අවබෝධ කරගත් ප්‍රමුඛ නිර්මාණ කරුවෙක් ලෙස පතිරාජ හැඳීන්වීම නිවැරදියි.මෑතක අධ්‍යක්ෂණය කළ ස්වරූප නිර්මාණය තුළින්ද වර්තමාන සමාජ අර්බුදයන්ගේ වෙනස් පැතිකඩක් දකින්නට ඔහු උත්සහ කර තිබෙනවා.