වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




අස්වනු පීදෙනු සිහිනෙන් දුටුවෙමි

අස්වනු පීදෙනු සිහිනෙන් දුටුවෙමි

මෝටර් බයිසිකල් තිරගත වූ දා එක් වූ සිනමාවේ හෙට දවස - ජගත් මනුවර්ණ, වින්දන ආරියවංශ, උදාර අබේසුන්දර, ශමීර රංගන, තිසර ඉඹුලාන, කල්පන ආරියවංශ, චත්‍ර වීරමන් සහ මලිත් හෑගොඩ

එඩිටර්ස් කට් ලිපි මාලාව අවසන් වරට මා විසින් ලියන ලද්දේ දැනට මාස දෙකකට පමණ පෙරාතුවය.අතිශය පෞද්ගලික හේතුවක් මත පසුගිය කාලයේ එම ලිපිය මා අතින් ලියැවූණේ නැත. කෙසේ වෙතත් එම ලිපිය නොපළවන්නේ මන්දැයි බොහෝදෙනා කරුණු විමසූහ. අතිශය පෞද්ගලික හේතුවක් මත එය ලියන්නට නොහැකි විණැයි පමණක් මෙහි ලා සඳහන් කරමි. එහි අවසන් ලිපියේ දී මා අතින් සිදූ වූ ප්‍රමාද දෝෂයක් ද යළි එම ලිපි මාලාව ආරම්භයේ දී සිහිපත් කළ යුතුය.

එම ලිපියේ සඳහන් වූයේ මේ කොයි යන්නේ ගීතය ඇතුළත් වනුයේ වීසි දැල චිත්‍රපටයේ යනුවෙනි. එහෙත් එහි සඳහන් විය යුත්තේ එය එච්.ඩී.ප්‍රේමරත්න යන්ගේ ම සෙයිලම චිත්‍රපටය සඳහා මහාචාර්ය සුනිල් ආරියරත්න විසින් රචනා කරන ලද්දක් හැටියටය. එම වරද මගේ අවධානයට පාත්‍රවද්දී පුවත්පත ඔබ අතට පත් වි හමාරය.එම කරුණ නිවැරදි කිරීම සඳහා මා අතට පත් වු එක් ලිපියක් දේශිය චිත්‍රපට සුරැකීමේ සංවිධානය යන ලිපි ශීර්ෂය යටතේ එවන ලද්දකි.එහි වෙනත් ලිපිනයක් නැත.

එසේ ලිපිනයක් තිබුණේ නම් එය හඳුන්වා දිය හැකි නිසාය. අද මෙරට සිනමාව වෙනුවෙන් එවැනි සංවිධානයක් නමට හෝ තිබෙන්නේ නම් එය වැදගත්ය. එසේ නැතුව විදෙස් චිත්‍රපට පිටපත් වැඩි වන්නේ යැයි හෝ අනාගතයේ දවසක විදෙස් චිත්‍රපට සිංහලෙන් උපසිරැසි යොදන්නේ යැයි මැසිවිලි නගා වැඩක් වනුයේ නැත. ලෝක සිනමාවේ ප්‍රවණතා අප හඳුනා ගත යුතුය. එයට පිළියමක් වනුයේ අලුත් සිනමා පරම්පරාවකට දොර ගුළු විවර කිරීමය.

පසුගිය සතියේ තරුණ සිනමා කරුවන් දෙදෙනෙකු ගේ එළි දැක්වීම සිදුවිය. ඒ සමීර නාඔටුන්නගේ මෝටර් බයිසිකල් සහ හර්ෂ උඩකන්ද ගේ උලත් එකයි පිළත් එකයි යන චිත්‍රපට යුගලයයි. මේ චිත්‍රපට යුගල පිළිබද මගේ අදහස් දෙයාකාර වුවත් ඔවුන් දෙදෙනාම ඇතැම් සිනමාකරුවන්ට වඩා සිනමාවට අවංකව ආදරය කරණ බව නිර්මාණ යුගල සසඳද්දී පෙනී යන්නකි.චිත්‍රපටයන් යුගල ෂානරයන් දෙකකට අයත් වන අතර ඔවුන්ගේ ප්‍රවිශ්ටය දෙයාකාරය. එහෙත් දෙදෙනාම සිනමාවට අවංකය. ඔවුන්ගේ සිනමාව එකිනෙක සැසඳීම කළ යුතු නැත.

අස්වනු නෙලන්නට කලින් ඒ ගැන ගණන් බැලීම වස් දොස් වදින්නකැයි අපේ පැරණ්නෝ කියනු මා අසා ඇත. ඒ සිද්ධිය මෙසේය. අදින් අවුරුදු හතලිහකට පමණ පෙර මා කුඩා කාලයේ අපේ ගෙදරට ගත් දිනමිණ පුවත්පතේ පළවූ ප්‍රවෘත්තියක සඳහන් වූයේ එවර කන්නයෙන් අස්වැන්න ලෙස වී බුසල් කොපමණ හෝ විශාල ප්‍රමාණයක් රජය අපේක්ෂා කරන බවය.එය දුටු අපේ ගමේ වැඩිහිටියකු පැවසුවේ ගොවිතැන් දෙවියන්ට බාර හාර වී කරන්නන් හේතුවෙන් එහි අස්වැන්න මෙපමණැයි කලින් කීම වස් වදිනා කටයුත්තක් ලෙසය.

මොකක්දෝ අහේතුවකට එවර කවර හෝ හදිසියේ ඇති වූ ස්වභාවික හේතුවක් නිසාවෙන් රටේ අපේක්ෂිත අස්වැන්න ලැබුණේ නැත. වැඩිහිටියාගේ කතාව පිළිබඳ විද්‍යාත්මක නියමය කවරේදැයි මා දන්නේ නැත. එහෙත් මේ කතාව මගේ හිතෙන් බැහැර නොකළ සිදුවීමක් විය. මා දන්නා පරිද්දෙන් එකල රියැදුරන් දුර ගමන් යද්දි අහවල් වේලාවට අහවල් ස්ථානයට ළඟා වෙතැයි කිසිවකුට හෝ පවසන්නට මැළි වූහ. ඒ තමන් නොදන්නා කිසියම් බලවේගයකට අතරමග දී ගොදුරු වී විපත්තියක් වනු ඇතැයි යන සහේතුක බිය හේතුවෙනි.

දිගු කලකට පසු යළි මා එඩිටර්ස් කට් ලිපි මාලාව ලියන්නට ඇරඹුවේ එබඳු අනාවැකියක් කියන්නට ඉක්මන් වන්නේ කෙසේද යන දෙගිඩියාවෙන් යුතුවය. සාමාන්‍යයෙන් මම මෙරට සිනමාවේ අනාගතය ගැන අනාවැකි කියන්නට මැලි වන්නේ නැත. එහෙත් අලුත් සිනමා පරම්පරාවක ආශ්වාදය ගැන ලියන්නට තරමක් මා අදිමදි කරන්නේ මුලින් පැවසූ දෙගිඩියාව මසිත තවමත් හොල්මන් කරන බැවිනි.

පසුගිය සති අන්තය මා ගත කළේ අනුරාධපුරයේය. ඒ ලද ආරාධනාවක් මතය. මෙරට බොහෝ පලාත් සභා වල ඇති සංස්කෘතික අමාත්‍යංශයන්ට වඩා උතුරු මැද සංස්කෘතික අමාත්‍යාංශය යනු ඇඟට දැනෙන යමක් කරන තැනක් හැටියට දිගු කලක් තිස්සේ නමක් දිනා ඇති තැනකි. මෙවර එමගින් කෙටි චිත්‍රපට තරගයක් පවත්වා තිබිණ. මේ චිත්‍රපට නැරඹීමට මට ආරාධකාවක් ලැබිණ. එම චිත්‍රපට පිළිබඳ මගේ විනිශචයන් පසෙක තබන්නට මම කැමැත්තෙමි. එහෙත් මගේ අවධානය යොමු වන කාරණය නම් ඒ පිළිබඳ තිබුණ උනන්දුවය.

නිර්මාණ කරුවන් ගේ චිත්‍රපට විස්සක් පමණ නරඹන්නට ලැබිණ. නිර්මාණාත්මක වශයෙන් අතිශය අගය කළ යුතු චිත්‍රපට මෙන්ම අවඥාවෙන් බැහැර කළ යුතුයැයි හැඟෙන නිර්මාණ ද ඒ අතර නොතිබුණා නොවේ. අවධානය යොමු විය යුත්තේ ඒ සඳහා නොව ඔවුන් චිත්‍රපට කරණයෙහි දක්වා තිබිණ උනන්දුව ගැනය.

මා හිතන අන්දමට කෙටි චිත්‍රපට පිළිබඳ එබඳු වැඩ පිළිවෙලක් සකස් කළ මෙරට මුල්ම පළාත් සභාව වනුයේ උතුරු මැද පළාත් සභාව විය යුතුය. මෙම සිනමාකරණයට පෙර ප්‍රවීණ සිනමාකරු ප්‍රසන්න විතානගේ, සිනමා කැමරාවේදී එම්.ඩී.මහින්දපාල වැනි සිනමා වියතුන් මෙම ප්‍රදේශයේ සිනමාව පිළිබඳ උනන්දුවක් දැක්වූ තරුණ තරුණියන් අරඹයා වැඩ මුළුවක් ද පවත්වා තිබිණ.

එම ව්‍යායාමයෙන් අනතුරුව නෙළන ලද සිනමා අස්වැන්න ද එයට ඇතුළත් ව තිබිණ. මෙම චිත්‍රපට නැරඹීම සදහා සිනමාවේදී ප්‍රසන්න විතානගේ සහ සහාය අධ්‍යක්ෂ දමින්ද මඩවල ද එක්ව සිටියහ. එහි අප අතර සම්බන්ධීකරණය සිදු කරන ලද්දේ රජරට බිහි කළ නාට්‍යවේදියකු වන ප්‍රභාත් වර්ෂාමාන යන්ය.

චිත්‍රපට පිළිබද අර්ථ දැක්වීම කෙසේ වෙතත් ඒ සඳහා එහි නිළධාරිහු දැක් වූ උනන්දුව ද අගය කළ යුතුය. එමෙන්ම ඒ සියල්ල මෙන්ම බලාපොරොත්තු සහගත සිනමාකරුවන් කිහිප දෙනෙකු ගේ සළකුණ සහිත නිර්මාණ කිහිපයක් එහිදී දැක ගන්නට ලැබීම භාග්‍යයක් විය. අද සිනමා නිර්මාණ පිළිබඳ උනන්දුව කෙතරම් ද යත් සිනමා උපකරණ පෑන් පැන්සල් ගානට වැටී හමාරය. අවශ්‍ය ආත්ම ප්‍රකාශය උදෙසා පෑනට අත තැබූ එදා පරම්පරාව වෙනුවට අද අලුත්ම ජංගම දුරකතන මගින් වුව සිනමාවට නගා කියවති.

සිනමාකරණය අද මෙරට පෞද්ගලික මට්ටමෙන් මෙන්ම විශ්ව විද්‍යාලයන් ගේ ද විෂයයක් ව හමාරය. සිනමාව පිළිබඳ අවංක කැපවීම කොයි හැටි වෙතත් එය හැදෑරීමට බොහෝ දෙනා උනන්දුය. එමෙන්ම සිනමාව පිළිබඳ උපාධියක් දිනා ගත්ත ද අදාල අංශයකින් රැකියාවක් ලබා දෙන්නැයි කොටුවේ දුම්රිය පොළ හෝ ලිප්ටන් වට රවුමේ හෝ උද්ඝෝෂණය කළා ට පළක් වන්නේ ද නැත. ලෝකයේ බොහෝ රට වල සිනමාව පිළිබඳ උසස් අධ්‍යාපනය ඉහලින් ලබා ගත්ත ද ජීවිත කාලයට ම චිත්‍රපට නොහෑදු සංඛ්‍යාව එයින් පිටව චිත්‍රපට කර්මාන්තයට කොයි ආකාරයෙන් හෝ සම්බන්ධ වූවන්ට වඩා වැඩිය.

කෙසේ වෙතත් වෘත්තිය මට්ටමෙන් නොවුනත් ජංගම දුරකතනය පවා අද සිනමාකරුවන් බිහි කරවන මගක් ව පවතී. මෙයට වසර ගණනාවකට පෙර අප පාසැල් ශිෂ්‍යයන් ව සිටි සමයේ අප පන්තියේ සිසුවකු ව සිටි හේමසිරි අබේරත්න මිතුරා සමඟ කෙටි චිත්‍රපටයක් නිර්මාණය කරන්නට සැරසුන අවදියේ එහි නෙගටිව් සොයා ගන්නට අප කෙතරම් වෑයමක් කළා දැයි සිහි වන විට අද පරම්පරාවට නිර්මාණ කරනයේ ඇති පහසුව පිළිබඳ ඊරිසියාවක් ද හටගනී. එහෙත් ගැටළුව ඇත්තේ ඔවුන් කෙතරම් කලක් එම කැපවීම කරන්නේ ද යන කාරණය මතය. අනුරාධපුරයේ දී මා දුටු සිනමා පරම්පරාව මුහුණ දෙන්නේ කොළඹ දී එබඳු නිර්මාණයන්ට එක් වන පරම්පරාව මුහුණ දෙන ගැටළුවන්ට වඩා වෙනස් අත්දැකීමකටය.

ඔවුන් අතර වඩාත්ම ගැටළුව වනුයේ සමාජ ආකල්ප පිළිබඳ ගැටළුවය. මෙයට වසර කිහිපයකට පෙර ඉතා අගනා කෙටි චිත්‍රපටයක් නිර්මාණය කළ අනුරාධපුර පළාතේ තරුණියක් මට හමු විය. ඒ වන විට ඇය එක් දරු මවකි. ඇය සිය චිත්‍රපටය නිර්මාණය කර තිබුණේ දරුවා ද අතැතිවය. එහෙත් එයින් පසු ඇයට කුමක් වී දැයි මා දන්නේ නැත.ආත්ම ප්‍රකාශය සදහා කෙටි චිත්‍රපටය යනු වත්මනෙහි වඩාත්ම භාවිතා කළ හැකි බලවත්ම අවියකි. එය ලෝකයට ගෙන යෑමට තව දුරටත් බාධාවන් නැත. සමාජ වෙබ් අධවි ජාලා පුරා අද තරුණයන්ගේ නිර්මාණ ශීලි කෙටි චිත්‍රපට එමටය.

මේ සිනමා නිදහස අපේ බොහෝ තරුණයන් තවමත් අත්හදා බලන්නේ නැති වග මගේ අත්දැකීමය. ඒ වෙනුවට සියළු සමාජ වටපිටාවට පවතින ක්‍රමයට බැණ අඬ ගසමින් හිත රවටා ගනිති. සිනමාවේ සම්ප්‍රදායන් වෙනස් වද්දි එය තව දුරටත් සිනමාහලට සීමාවක් නොවන වග මා සඳහන් කරන ලද්දේ වසර ගණනාවකට පෙරාතුවය. සිනමාව යනු අද ගෙදර රස විඳින මාධ්‍යයක් ව ඇත්තේය.

සිනමාව හැදෑරීමේ අභිලාෂයෙන් යුත් එක් යුවතියක් මෑතක මා හමුවේ අපූරු කතාවක් පැවසුවාය. ඇය ජීවත් වනුයේ දුෂ්කර පළාතකය. සිනමා හලක් කරා යන්නට ඇය බොහෝ දුර ගෙවිය යුතව තිබිණ. පුදුමය නම් කොළඹදී අපට හමුවන සිනමාව පිළිබඳ නන් දොඩවන බොහෝ දෙනාට වඩා ඇය චිත්‍රපට නරඹා තිබීමය.

මා විශ්වාස කරනුයේ සිනමාව හැදෑරීමට ඇති මුල්ම සුදුසුකම පළමුව එහි රසිකයකු විය යුතු වගය. ඇය එම සුදුසුකම ඉහළින්ම ලබා තිබුණාය. ඇය සියලු චිත්‍රපට නරඹා තිබුනේ පරිගණකය ඇසුරු කොට ගෙනය. මේ යුවතිය සිනමාව පිලිබඳ ඇගේ අභිලාෂය මා හමුවේ කියා පෑවේ මහත් අභිරුචියෙනි.ඇය ජීවිතයේ ඉලක්ක දෙකක් තබා ගෙන ඇත්තීය.එකක් නම් නීතිය හැදෑරීමය.

දෙවැන්න සිනමාකරණය හැදෑරීමය. පළමුවැන්න තමා දුටු සමාජ අසාධාරණයට ලක් වූවන් වෙනුවෙන් කතා කරන්නටය. දෙවැන්න ඇය දුටු සමාජ අසාධාරණය ලෝකය හමුවේ කියා පාන්නටය. සිනමාව තරම් ලෝකයට කතා කරන්නට වෙනත් මාධ්‍යයක් නැති වග ඇගේ හැඟීම විය. ඇගේ එම සිහිනය සැබෑ වනු ඇතැයි ඇයගේ උත්සාහය සහ කැපවීම මත මම විශ්වාස කරමි.