|
||
කලා වැව නිර්මාණය වීම සහ කඩවර දෙවි උපත පිළිබඳ ජනප්‍රවාදය සිනමාවට නැඟේමහේන්ද්ර ‘හීං කුරුට්ටා’ ලෙස ප්‍රබල රංගනයක
ධාතුසේන රජු සොලීන් පරදවා රට එක සේසත් කර පාලනය ගෙන යන වකවානුව පසුබිම් කරගත් කාල සීමාවේදී කලා වැව නිර්මාණයවීමට හේතු වූවා යැයි සැලකෙන ජනප්‍රවාදය ‘කාල’ චිත්‍රපටයට පසුබිම් වේ. ඒ කතා පුවත සැකෙවින් මෙසේය. ධාතුසේන මහ රජු මහ වැවක් තැනීමට සුදුසු භූමියක් සොයමින් සිටී. මේ අතර කැලෑ මිනිසකු සිටින වග ලැව් ගින්නක් මෙන් රට පුරා පැතිර යයි. මිනිසුන් තැන් තැන්වල ඔහු සෙවීමේ මෙහෙයුම්වල යෙදේ. එම පිරිස කැලෑ මිනිසා අල්ලාගෙන එයි. තොරතුරු විමසීමේදී ඔහු හීං කුරුට්ටා නම් වන ගැමියකු යැයි දැනගන්නට ලැබේ. රජුට වැවක් සෑදීමට සුදුසු භූමියක් පිළිබඳ තොරතුරු ඔහුගෙන් අනාවරණ වෙයි. රාජ සභාවේ සිටින ප්‍රබල ඇමතිවරයකු වන වට්ටක මිනිසුන්ට හිංසා පීඩා කරමින් මැර බලයක් පවත්වාගෙන යයි. රජු අපකීර්තියට පත්වනදෑ කරයි. හේ ස්ත්‍රීන් කෙරෙහි දැඩිව ලොල් වූවෙකි. හීං කුරුට්ටා රජුගේ සිත් දිනාගැනීම පිළිබඳ වට්ටක පසුවන්නේ අමනාපයෙනි. රජු විසින් කැලෑ මිනිසා පෙන්වා දුන් ස්ථානයේ මහ වැවක් බඳියි. කැලෑ මිනිසා රාජ්‍ය සේවයට බඳවා නිලමේ තනතුරක් ද ලබා දෙන අතර යළිත් අඹු දරුවන් හා එක්වීමට අවශ්‍ය කටයුතු ද රජු සලසා දෙයි. වට්ටක එයට නොසතුටෙන් සිටී. වැව ඉදි වෙයි. රට සරුසාර වෙයි. හීංකුරුට්ටා රජුගේ හිත දිනා අවංකව වැඩ කටයුතු කරයි. රටවැසියන්ගේ ප්‍රසාදයට පත් වෙයි. මෙය නොරුස්සන වට්ටක නොයෙක් කඩාකප්පල්කාරී වැඩ සඳහා යොමු වෙයි. මැරයන් සමඟ නොයෙක් වර හීංකුරුට්ටා ඝාතනය සඳහා ගත් තැත වරදී. වරෙක හීංකුරුට්ටා නිලමේගේ බිරිය පැහැරගෙන යයි. එයට වට්ටකගේ නමට කැලලක් එකතු කරමින් වැරැදී යයි. වට්ටක වරෙක වැව කඩා දැමීමට උත්සාහ දරයි. එය ද වැරැදී යයි. රට තුළ සාමය පැතිරෙන්නට විය. කලා නිමැවුම් බිහිවෙන්නට විය. එය නොරිස්සූ රටට විරුද්ධ විදේශගැති බලවේග එක පෙළකට එක්වන්නට විය. එහි රහසිගත මෙහෙයවන්නා වට්ටකය. දිනක් හීං කුරුට්ටාගේ පුත් කාල ගසක් උඩ සිටියදී වට්ටක ඇතුළු පිරිස වැවේ උමය හෑරීමට පැමිණේ. උමය හාරා වැවෙන් වතුර ගලන්නට වූ පසු ඔවුන් පැන යයි. වහා බිමට බැස ගත් කාල උමය වැසීමට උත්සාහ කරයි. උත්සාහය ව්‍යර්ථ වෙයි. අවසානයේ උමය ඇති තැනට බසින කාල උමයේ හිරවේ. සියල්ලෝම කාල සොයති. සමහරෙක් වට්ටක සැකකරයි. කාශ්‍යප කුමරාගේ කණ්ඩායමක් කාල සෙවීමට යොදවා ඇත. දරුවාගේ දේහය සොයා ගනී. මුළු රටම කැලඹෙයි. වැල නොකැඩී රටවැසියන් දේහයට ගෞරව දැක්වීමට පැමිණෙයි. දරුවාගේ මරණයෙන් සිත් තැවුලට පත් හීංකුරුට්ටාගේ අසරණ වීමත් සමඟ බලවත් වන වට්ටක නොයෙක් හිතුවක්කාර ක්‍රියාවන්හි යෙදීමටත්, මිනිසුන් පීඩාවට ලක් කිරීමටත් පෙලඹේ. එමෙන්ම මැර කණ්ඩායමක් ඔහුගේ අපචාර ක්‍රියා සඳහා අප්‍රසිද්ධව යොදා ගනී. එයට මුහුණදීමට කාශ්‍යප කුමරු විසින් අප්‍රසිද්ධව යොදවා ඇති දේශ හිතෛෂියකු වන උත්තිය ඇතුළු කණ්ඩායමක් වට්ටකගේ බලය බිඳ දමා වට්ටක හුදකලා කරයි. මහා නියඟයක් විත් වැව සිඳී යන බවට අනාවැකි පළ වෙයි. නියඟයට මුහුණදීමට වැහි පිරිත සජ්ඣායනා කිරීමට සූදානම් වෙයි. හුදකලාව සිටින වට්ටක මෙයින් ප්‍රයෝජන ගැනීමට සිතා ව්‍යාජ භික්ෂුවක් වැහි පිරිත කියවීම සඳහා යොමු කරයි. පිරිත කියන විට මහා වැසි ඇද හැලී වැව පිරී යයි. වට්ටකගේ උපදෙස් පරිදි ව්‍යාජ භික්ෂුව සියලු මැටි කොතල හිල් කරන අතර පිරිත් සජ්ඣායනයේදී වසින ලද මහ වැස්සට මැටි කොතල නොපිරණු අතර වැව උතුරා වැව කැඩී යන්නට විය. කැඩුණු වැවේ කඩවල වෙත දිව එන හීංකුරුට්ටා වැවට බිලි වී වැව බේරා ගනී. මේ හීං කුරුට්ටා කඩවර දෙවියන් වූ වූ බව ජනප්‍රවාදයේ සඳහන් වෙයි. ********************** බිඳ වැටුණු සිහිනයන් නව සිහිනයන් තුළින් පණ ගැන්වීමේ අපේක්ෂාව සහිතව වෑ බැම්ම මත හීං කුරුට්ටාගේ බිරිය ගැබිනි මැණිකා ඇවිද යයි. මැණිකාගේ ඒ සිහින සැබෑවක් වේවිද?
|
||