වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 01 වැනිදා බ්‍රහස්පතින්දා




සිනමා සක්විති ගාමිණිට ෆීලික්ස් ඩයස් හමු වූදා

සිනමා සක්විති ගාමිණිට ෆීලික්ස් ඩයස් හමු වූදා

'ගාමිණි අයියා ගැන කවද හරි පොතක් ලියන්න මම අසාවෙන් ඉන්නේ' දිනක් මම ගාමිණි ෆොන්සේකා රංගධරයාට කීවෙමි.

'ඇයි හිතුවද? මම ඉක්මනට මැරෙයි කියලා'

ඒ ප්‍රශ්නය ඇසුවේ වැරදි තැනක, වැරදි වේලාවකැයි මට පසුව සිතුණි.

එවකට ඔහු කොළඹ 07, රොස්මිඩ් පෙදෙසේ නිවසක පදිංචිව සිටි අතර මඳ අසනීපයක් නිසා මැකාර්ති පුද්ගලික රෝහලේ ප්‍රතිකාර ලබමින් සිටියේය. මම ඔහු බැලීමට දවසක් හැර දවසක්වත් රෝහලට ගියෙමි. සරත් රූපසිංහ හා ඔහුගේ බිරිඳ මානෙල් ද, සේන සමරසිංහ, ටෝනි රණසිංහ, ධර්මසිරි ගමගේ, එම්. වී. බාලන්, වාමදේවන්, ජිනදාස නිශ්ශංක, පොලිස් නිලධාරි බන්සෝ ජයා එහි නිතර ආව ගිය පිරිස අතර සිටියහ. මානෙල් නොයෙක් විට රසවත් ආහාරයක් සාදාගෙන ආවාය.

එක්තරා දිනක ලේක්හවුසියේ සිට දවල් කෑම වේලාවේ ගාමිණි බැලීමට යාමට සූදානම් වනවිට මා හමුවට ආවේ ඩේලිනිව්ස් පත්‍රයේ සරත් මලලසේකරය.

'මචං උඹ ගාමිණි බලන්නද යන්නේ. මට ආරංචියක් ආවා ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකත් මැකාති එකේ ඉන්නවා කියලා. උඹ තොරතුරු බලන් වරෙන්. මචං ගාමිණියි, ෆීලික්සුයි කතා කරන පින්තූරයක් ගන්න පුළුවන් නං මුල් පිටුවට මරු'

'සරත් ඒක ටිකක් අමාරු වැඩක්. අපේ යාළුවත් අමුතු කෙනෙක්'

'උඹ ට්‍රයි එකක් දීපන්'

'බලමු'

මා ගාමිණි අයියා බැලීමට යන විට ඔහු සිටියේ තනියමය.

'ගාමිණි අයියා මිස්ටර් ෆීලීක්ස් ඩයස් මෙහේ ඉන්නවා කියලා ආරංචියක් ලැබුණා'

'උඹ හදන්නේ අපි දෙන්නව අල්ලලා ෆීචර් එකක් ලියන්නද?'

මම සිනාසුණෙමි.

ගාමිණි අධ්‍යක්ෂණය කළ 'සාගරයක් මැද' චිත්‍රපටයේ ෆෙඩ්රිික් රාමනායක චරිතය මැවුණේ හිටපු අධිකරණ ඇමැතිවරයකු වූ ෆීලික්ස් ඩයස් බණ්ඩාරනායකගේ චරිතය ඇසුරෙන් බව නොරහසකි. මේ චිත්‍රපටයේ ඒ චරිතය ගැන කිිපුණු බණ්ඩාරනායක මහතා ගාමිණිට එරෙහිව අපහාස නඩුවක් දැම්මේය. බණ්ඩාරනායක මහතා නීති විශාරදයෙකි. ඔහුගේ පියා වූ ආර්. එෆ්. ඩයස් බණ්ඩාරනායක අධිකරණයේ ඉහළම විනිශ්චයකාරවරයෙකි. එහෙත් මේ නඩුවෙන් ගාමිණිට ජය අත් වූ අතර වන්දියක් ද හිමි විය.

දිනක් ගාමිණි වෛද්‍ය පරීක්ෂණයක් සඳහා වෙනත් ස්ථානයකට කැඳවාගෙන යද්දී ෆීලික්ස් ඩයස් මුහුණට මුහුණ හමු විය. එය නාට්‍යමය අවස්ථාවකි. ධර්මසිරි අයියා හා සරත් රූපසිංහ ද මට එකතු වූහ. දෙදෙනා අතට අත දී කතා කළේය. ඔවුන් කතා කළේ ඉංග්‍රීසි බසිනි.

මා 'සාගරයක් මැද' චිත්‍රපටයේ ෆෙඩ්රික් රාමනායක චරිතය මැව්වේ ඔබ ඉලක්ක කරගෙන නොවේ යයි ගාමිණි කී විට ෆීලික්ස්ට සිනා ගියේය. මේ දෙදෙනාම අභිමානවත්, පෞරුෂත්වයකින් හෙබි අසමාන පුද්ගලයන් දෙදෙනකි. තෝමියන් කෙනෙකු වු ගාමිණි හා රෝයලිස්ට් කෙනෙකු වූ ෆීලික්ස් අතර ඉංග්‍රීසි කඩු දිලිසුණි. එහි එළිය එතැන සිටි සරත් රූපසිංහත්, ධර්මසිරි ගමගේ හා මගේ මුහුණුවලට විහිදුණි.

'ඔබ නඩුවෙන් දිනුම්. ඒ මුදල්වලින් කොටසකින් මහ රෝහලට ස්කෑන් යන්ත්‍රයක් අරන් දෙන්න' ෆීලික්ස් ඩයස් ගාමිණිට කීවේය.

'සත්තකින්ම මම එය කරන්නම්. ඔබ මතක් වෙන්න' කී ගාමිණි ඒ ගැන සොයා බලා ඉටු කරන්නැයි ධර්මසිරි අයියාට පැවරීය.

ප්‍රතිකාර ගෙන නිවසට ගිය ගාමිණි අයියා බැලීමට එක්තරා හවසක මම රොස්මිඩ් පෙදෙසේ නිවසට ගියෙමි.

හුදකලාවේ සිටි ගාමිණිගේ ආවතේව කළේ පෝල් නැමති කලගෙඩිහේන පැත්තෙන් පැමිණි පිරිපුන් තරුණයෙකි. මේ 80 දශකයේ මුලය. එදා හවස අසල ගෙදරකින් පැරණි ගීතයක් මතුව ආවේය. අපි සාවධානව ඒ ගීතය අසා සිටියෙමු. ඒ ගීය කුමන චිත්‍රපටයේදැයි ගාමිණි අයියා කල්පනා කළේය.

'හරි ඒක 'තරානා' ෆිල්ම් එකේ. අයිසේ මේවා ග්‍රැමෆෝන් සින්දු. කවුරු හරි හොඳ රසයක් තියෙන කෙනෙක් මේ අවට ඉන්නෙ. මාර කලෙක්ෂන් එකක් මිනිහා ගාව තියෙන්නේ' ගාමිණි අයියා කියන විටම උප පාලිස් අධිකාරී බන්සේ ජයා ද එහි පැමිණියේය.

'පෝල් කවුද බං අර සින්දු දාන්නේ' ගාමිණි අයියා පෝල්ගෙන් විමසීය. 'සර් එයා ටියුෂන් මාස්ටර් කෙනෙක්. එයා ගාව ග්‍රැමෆෝන් තැටි ගොඩක් එකතු කරලා තියෙනවා. මං එයාව හොඳට අඳුනනවා' පෝල් කීවේය.

හින්දි ගීතය නතර වී 'දස්කොන්' චිත්‍රපටයේ රුක්මණී දේවිය ගැයූ ගීතයක් වාදනය වන්නට විය.

'මායාවකි සිහිනයකි

රජ සැපත මේ ලෝකේ

කඳුළටම ගෙවී යන්නා

ජීවිතය දුකෙකි'

ගාමිණි අයියා කල්පනා ලොවක තනි විය.

'පෝල් අර ඉස්කෝලේ මහත්තයට විවේකයක් තියනවා නම් එන්න කියනවා'

පෝල් විදුලිය මෙන් නොපෙනී ගියේය.

එවර පෝල් සමඟ පැමිණියේ තරුණයෙකි.

'මං හිතුව වයසක කෙනෙක් කියලා'

තමා ටී. ජී. රන්ජන් ද සිල්වා බවත්, රසායන ගරුවරයකු ලෙස කටයුතු කරන බවත් කීය.

මම රන්ජන් කලින් දැන සිටියෙමි. ඔහුගේ පියා වූ සිංහලයේ උපහාස කතා විශේෂඥ ටී. ජී. ඩබ්ලිව්. ද සිල්වා ගැන විශේෂාංගයක් ලිවීමට දෙහිවල ගෙදරට ගිය දිනකය ඒ. රන්ජන්ගේ මස්සිනා වු හෙක්ටර් ජයවර්ධන ලේක්හවුස් ආයතනයේ ප්‍රධාන අයකැමි නිසා මම හඳුනාගෙන තිබුණෙමි. හෙක්ටර් මුල්වරට රන්ජන් මට හඳුන්වා දුන්නේ ඔහුගේ නිවසේදීය. රන්ජන්ගේ මා දන්නා තොරතුරු ගාමිණි අයියාට කීවේය. එතැන් පටන් රන්ජන් ගාමිණිගේ මිතුරෙකු හා සමීප අසල්වාසියා ද විය.

එදා මුල්වරට ගාමිණි හමුවීමට ගිය විට තමා ගාමිණි හෝල් එකේ දුටු 'චණ්ඩියා' චිත්‍රපටයේ චුට්ටේ මතක් වූ බව රන්ජන් මට කීවේය. රෑ හතට පමණ ගාමිණි හමුවීමට යන රන්ජන් පසුදා පාන්දර 2 පමණ තෙක් ග්‍රැමෆෝන් ගීත, කලාව, සංගීතය, ජ්‍යෙතිෂය, දර්ශනය ආදි විෂයයන් ගැන කතා කර ඇත.

'දවසක් පාසැල් යන ශිෂ්‍යයෙක් ගාමිණි හමුවීමට පැමිණියා. සිනමාවට ඇලුම් කරන ඔහු එදා ආනන්දයේ ඉගෙන ගත් 17 හැවිරිදි ශිෂ්‍යයෙක්. අද ඔහු 'සරසවිය' කර්තෘ පදවිය දරන අරුණ ගුණරත්න යයි රන්ජන් පැරණි සිද්ධියක් මට කීවේය.

ඒ කාලයේ රවින්ද්‍ර, ටෝනි, බන්සෝ, රන්ජන්, ගාමිණි හා මා සතුටු සාමිචියේ යෙදුණහ.

ගාමිණි අයියා 1986 වසරේ ජනවාරි දිනක මට ටෙලිෆෝනයෙන් කතා කළේය. එවකට ඔහු පදිංචිව සිටියේ ජාඇල. එකල මහරාජා සංවිධානයට අයත් කර්මාන්ත ශාලාවක කළමනාකාර අධ්‍යක්ෂවරයා ලෙසය.

'රන්ජිත් මතකද අවුරුදු පහකට විතර ඉස්සර කිව්වා මා ගැන පොතක් ලියන්න ඕනෑ කියලා. ඔන්න ඒකට චාන්ස් එකක් ලැබිලා තියෙනවා. දන්නවද ලක්ෂ්මන් ලොකුමානව.'

'මම දැකලා තියෙනවා. කතා කරලා නෑ. මිස්ටර් රවිලාල් විමලධර්මගේ සහෝදරයානේ'

'අන්න හරි. එයාගේ ප්‍රෙස් එකක් තියනවා බේස්ලයින් පරේ සමන්තා සිනමා එක ඉස්සරහ. එයගේ ප්‍රෙස් එකට කියන්නේ ලෝටස් ප්‍රෙස් කියලා. එතනට ගිහිල්ලා ලක්ෂ්මන්ව හමුවෙන්න' ගාමිණි කීවේය.

ගාමිණි අයියා කී දුරකථන අංකයට කතා කළ මම ඔහු හමුවීමට ගොස් පොත ගැන කතා කොට ගාමිණිගේ ජීවිත කතාව ලිවීම පටන් ගතිමි. එහි පිටපත කිය වූ ගාමිණි අයියා මෙසේ කීය.

'අපි මේකේ මුල් ටික ගම්මු. ඉතුරු ටිකට අපි ටෝනි, රවින්ද්‍ර, ජෝ, මාලිනී, සුනිල් ආරියරත්න, ටී. බී ඉලංගරත්න හම්බ වෙලා ඒගොල්ලෝ මා ගැන කියන දේ ආශ්‍රයෙන් ලිපි ටිකක් දාමු' ගාමිණි කීය.

මම ඔහු කී දේ ක්‍රියාව නැංවීමි. ඒ ලිපි බලා ඔහු අපමණ සතුටට පත් වූ බව දනිමි. පොතට මම 'ගාමිණි හෙළ සිනමාවේ සක්විති' යයි නම තබා එය අනුමත කර ගැනිමට ගාමිණිගේ ගුරුවරයා වූ අරීසෙන් අහුබුදු ශූරින් හමුවීමට ගල්කිස්සේ කලාපුරයේ නිවසට ගියෙමි.

'මීට වඩා තවත් මොනවද? ගණත් හොඳයි අහුබුදුවන් මට ධෛර්ය දෙමින් කීවේය.

මම ගාමිණි අයියා හමු වී නම ගැන විස්තරය කී විට 'අහුබුදුු සර් කියනවා නම් අපි ඒක දාමු. ගුරුවරුන්ගෙන් මම දණ ගහල වඳින එකම උත්තමයා එතුමා' යයි කීවේය.

පොත මුද්‍රණය වෙද්දී ලොකුමානත්, මාත්, විමලධර්ම මහතාත්, ධර්මසිරි අයියාත් එක් වී පොත දොර වඩින උත්සවයක් සංවිධානය කළෙමු. කොළඹ රාජකීය විද්‍යාලයීය නව රඟහලේ උත්සවය පැවැත්වීමට 1986 අප්‍රේල් 09 වැනි බදාදාට දින නියම විය. ප්‍රධාන අමුත්තා ලෙස අග්‍රාමාත්‍ය ආර්. ප්‍රේමදාස මහතාට ආරාධනා කෙරිණි. මෙහිදී ආචාර්ය ඒ. ජේ. ගුණවර්ධන, අරිසෙන් අහුබුදු, මාලිනී ෆොන්සේකා, ජෝ අබේවික්‍රම, රවින්ද්‍ර රන්දෙණිය, විජය කුමාරතුංග හා සරසවිය කර්තෘ ග්‍රැන්විල් සිල්වා, ආර්. එල් විමලධර්ම කතා පැවැත් වූ අතර ගාමිණිගේ ගීත සංකල්පනා අමරදේව, සුජාතා අත්තනායක, ලයනල් අල්ගම ගැයුහ. මෙහි සංගීත රචනය සහ අධ්‍යක්ෂණය ලයනල් අල්ගමගෙනි. සභාව මෙහෙය වූයේ ධර්මසිරි අයියාය.

ගාමිණි ෆොන්සේකා අභිනන්දන උලෙළේ කතාවක් කිරීමට විජයට ආරාධනය කිරිමට ගියේ මාය.

'විජය ගාමිණි අයියා ගැන විතරක් කතා කරන්න. දේශපාලනය ගැන කතා කරන්න එපා' මා කී විට විජය මගේ කරට අත දමා 'බයවෙන්න එපා මම අගමැතිතුමා කලාවට කළ සේවය මිස දේශපාලනය කතා කරන්නේ නැහැ' සහතික විය. ඔහු ඒ ලෙසම වේගවත් වූ කතාවක් කරමින් මට දුන් පොරොන්දුව ඉටු කළේය.

එදින තවත් විශේෂයක් නම් අගමැතිතුමාට පැළඳ වූ මල්මාලාව ඔහු විසින් ගාමිණිගේ කරට දමා තම මිතුරා උණුසුම්ව පිළිගැනීමය.

මේ මොහොතේ පොතේ ප්‍රකාශක ලක්ෂ්මන් ලොකුමාන මහතා ගැන ද වචනයක් කිව යුතුය. මුල් යුගයේ සිනමා සඟරාවක් (තිරය-1965) සංස්කරණය කළ ඔහු හිටපු සංස්කෘතික කටයුතු අධ්‍යක්ෂ හින්දි භාෂා කථිකාචාර්යවරයකුව සිටි රවිලාල් විමලධර්මගේ සොහොයුරාය. ටවර් යුගයේ සිටි ප්‍රකට නාට්‍ය රචකයකු, ග්‍රන්ථ කතුවරයකු වූ ජෝන් පෙරේරාගේ මී මුනුබුරෙකි.

ලොකුමාන මුල්වරට මට දැකගන්නට ලැබුණේ අපේ කොස්ගස් හන්දියේ නිවසේදීය. දිනක් අමරනාත් ජයතිලක මගෙන් උපකාරයක් ඉල්ලීය.

'රංජිත් අද මට අත්‍යවශ්‍ය පුද්ගලයෙක් ඔයාලගේ ගෙදරට අල්ලපු සිල්වා ක්‍රවුන් ප්‍රෙස් එකට එනවා. ඒ ගමන් අපට පුද්ගලික සාකච්ඡාවක් කරන්න තියෙනවා. මට ඔයාලගේ ගෙදර ඔෆිස් කාමරයේ ඒකට ඉඩ දෙනවද?'

'කිසිම ප්‍රශ්නයක් නෑ. ඔයා එන්න'

එදා ලොකුමාන අප නිවසට පැමිණි අවස්්ථාවේ ඔහු මා සමඟ යාන්තමට සිනසුණි.

ගාමිණිගේ පොත කරද්දී හමු වූ ලොකුමාන ඉතා ඉක්මනින් මගේ හිතවත් මිතුරෙකු විය. මානව හිතවාදී ගතිගුණවලින් පිරි ඔහු හිත හොඳ, කුහක ගති නැති මිනිසෙකි. දිනක් හිටි හැටියේ මා නාවල කොස්වත්ත පැත්තෙන් යන විට හන්දියේ ඔහු මියගිය පුවත දැක්වෙන බැනරයක් දුටු විට මගේ හදවත මොහොතක් නැවතිණි. ඔහුගේ ගුණ සුවඳ මට දැනුණි. ඔහු ප්‍රවීණ රංගනවේදිනී යශෝධා විමලධර්මගේ පොඩි බාප්පාය. මම ඇයට මගේ ශෝකය ප්‍රකාශ කර සිටියෙමි.