|
හඬයි, රුවයි එකට මුසු කළ භාරතය නළවන ගී හඬ ශ්‍රෙයා
ඇය දෙවියන් විසින් මවන ලද අපූරුතම නිර්මාණයක් බඳුය. මන බඳිනා රූප සම්පත්තියත්,
මිහිරි වූ කටහඬත් ඇය විශේෂයෙන් ලද දායාදයන්ය. ලොවක් වසඟයට ගන්නට
මේ අගනා තාරකාව ලොවම හඳුනා ගන්නේ ‘දේව්දාස්’ නිසාවෙනි. 2002 වසරේදී තිරගත වූ සංජේ ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කළ දේව්දාස් චිත්‍රපටයේ ‘සිල් සිලායේ’ ගීතය ඇය ගයන විටදී සුපිරි බොලිවුඩ් තාරකාව ඓශ්වර්යා මනරම් නර්තනයක යෙදුණාය. මධුරි සමඟින් ඓශ් නර්තනයේ යෙදෙන විට ශ්‍රෙයා ‘ඩොලාරේ’ ගීතය ගායනා කළාය. ‘ඩොලාරේ’ ගීතය වෙනුවෙන් ෆිල්ම්ෆෙයාර් සම්මාන උළෙලේදී ඇය හොඳම පසුබිම් ගායිකාවට හිමි සම්මානයෙන් පිදුම් ලැබූයේ ඇයගේ සැබෑම දක්ෂතාවය ලොවටම කියාපාමිනි. දේව්දාස් හි පසුබිම් ගායනයට ශ්‍රෙයා වරම් ලැබූයේ බන්සාලි මවගේ මඟ පෙන්වීම අනුවය. ඇයගේ ප්‍රියතම වැඩසටහනක් වූ ‘ස රි ග ම’ (වර්තමානයේ ස රි ග ම ප) වැඩසටහන නරඹන විටදී ශ්‍රෙයා බන්සාලි මවගේ නෙත ගැටිණි. මිහිරි හඬින් ගී කියන මේ සුන්දර තරුණිය පිළිබඳ තොරතුරු තම පුතුට පැවසීමට ඇය අමතක නොකළාය. ඒ අනුව ශ්‍රෙයා හට සංජේ ලීලා බන්සාලි අධ්‍යක්සණය කළ දේව්දාස් හි පසුබිම් ගායනයට ආරාධනා ලැබිණි. එවකට ආදායම් වාර්තා තබමින් තිරගත වූ Hum Dil De Chuke Sanam චිත්‍රපටයේ අධ්‍යක්ෂවරයා තම මීළඟ චිත්‍රපටයේ පසුබිම් ගායනයට ආරාධනා කිරීම තමන් හට අදහා ගත නොහැකි වූ බව වරෙක ශ්‍රෙයා මාධ්‍යයට පවසා තිබුණි. බෙංගාලයේ හින්දු පවුලක 1984 වසරේ මාර්තු 12 වැනිදා උපත ලද ශ්‍රෙයා හැදී වැඩුණේ රාජස්ථානයේය. එහෙත් විදුලි ඉංජිනේරුවකු වූ පියාගේ රැකියාවේ මාරුවීම් සමඟින් ශ්‍රෙයා ඇතුළු පවුලේ අයට තවත් ප්‍රදේශ කිහිපයකම වාසය කිරීමට සිදු වුණි. විද්‍යා අංශයෙන් ඉගෙනුම ලැබුව ද කුඩා කල සිටම ඇය සංගීතයට හුරු කරවීමේ ගෞරවය හිමිවන්නේ සාහිත්‍යය පිළිබඳ උපාධිධාරිනියක වූ ඇයගේ මවටය. වයස අවුරුදු හයේ සිටම හින්දුස්ථානි සංගීතය හැදෑරූ ශ්‍රෙයා රාකේෂ් ශර්මා සහ මහේෂ් චන්ද්‍ර ෂර්මා යන ගුරුවරුන් යටතේ තම සංගීත හැකියාව ප්‍රගුණ කර ගත්තාය. 1995 වසරේදී නවදිල්ලියේ පැවැති ‘ඕල් ඉන්දියා ලයිව් මියුසික්’ තරගයේ ජයග්‍රහණය ලද ඇය 75 වැනි ස රි ග ම වැඩසටහනෙහි ද සුවිශේෂ ළමා තරුව වූවාය. අද බොලිවුඩය පමණක් නොව මුළු ලොවම අවධානය තමා වෙතට නතු කරගන්නට මේ සුරූපී ගායිකාව සමත් වී ඇත. අමෙරිකා එක්සත් ජනපදයේ ඔහියෝ ප්‍රදේශයේ 2010 වසරේ සිට සෑම වසරකම ජුනි 25 වැනිදා ශ්‍රෙයා ගෝෂාල් දිනය බවට ද නම් කර තිබේ. ලොවක අවධානය දිනූ මේ තාරකාව සිය වෘත්තිය දිවියේ ප්‍රථම ගීතය ගායනා කළේ මරාති භාෂාවෙනි. ‘ගන්රායා රන් ගී නචතෝ’ නම් එහි මුල් ගායනය සිදු කරන ලද්දේ ප්‍රවීණ බොලිවුඩ් ගායිකා ලතා මංගේෂ්කාර් විසිනි. භාෂා කිහිපයකම දස්කම් දක්වන ඇය මේ වන විට හින්දි, බෙංගාලි, කන්නඩ, මලයාලම්, දෙමළ, තෙලිඟු සහ උර්දු යන භාෂාවන්ගෙන් ගීත රාශියක් ගායනා කර ඇත.
ඉහළ ආදායම් වාර්තා තැබූ ගජිනි, ත්‍රී ඉඩියට්ස්, ඔබාන්ග්, ක්‍රිෂ්. විවාහ්, ඕම් ශාන්ති ඕම්, රබ්නේ බනාඩි ජෝඩි, බොඩිගාර්ඩ්, ඩබාන්ග් 2, ක්‍රිෂ් 3, කික් වැනි චිත්‍රපට රාශියක ගීත ගායනයට එක් වී තිබේ. 2010 වසෙර්දී When Hary Tries to Marry ඉංග්‍රීසි චිත්‍රපටයේ ගිතයක් ගායනයට ද ඇයට අවස්ථාව ලැබුණි. මේ වසරේදී ජායි හෝ, හැපි නිව් ඉයර් චිත්‍රපටවල මෙන්ම මේ දිනවල සාර්ථක අයුරින් ලොව පුරා තිරගත කෙරෙන පී. කේ. චිත්‍රපටයේ ද ඇය ගීත ති‍්‍රත්වයක් ගයන්නීය. ලතා මංගේෂ්කාර්, එස්. ජානකී, සාදනා යාර්ගම්, කේ. එස්. චිත්‍රා, අල්කා යාග්නික් වැනි ලොව දිනූ බොලිවුඩ් ගායන තරු අතරේ වර්තමාන පරපුරේ ඉදිරියෙන් සිටින්නේ ශ්‍රෙයා ගෝෂාල්ය. ජනප්‍රියත්වයේ හිණි පෙත්තට නැග සමාජ වෙබ් අඩවිවල ඉහළින් සිටින ඇය දෙවැනි වන්නේ සුපිරි ක්‍රිකට් තරුවක වූ සචින් තෙන්ඩුල්කාර්ට පමණි. මේ වසරේ මුල් භාගයේදී ඇය සිය නවතම ගීත එකතුව එළිදැක්වූවාය. ගසල් ගිතයන්ගෙන් යුක්ත වූ එය Humnasheen නම් විය. ඒ පිළිබඳ ඇය බෙහෙවින් සතුටු වූයේ චිත්‍රපට තුළින් නොහැකි වූ දෙයක් ගසල් ගීත මඟින් කරන්නට ඇයට අවස්ථාව ලබා දුන් බැවිනි. සිය සංගීත චාරිකාව සාර්ථක ලෙසින් ආරම්භ කර සාර්ථක අයුරින් එහි ගමනේ යෙදෙන ඇයගේ ගමන ඉතා පැහැදිලිය. කා අතරත් කතාබහට ලක් වූ පී. කේ. ශ්‍රෙයා සම්මානනීය කරවන චිත්‍රපටයක් වේවා යැයි ඇයට ආදරය කරන්නා වූ රසික රසිකාවන්ගේ ප්‍රාර්ථනයයි. |