|
පිළිකා මාරයා මනීෂාට ළං වෙලා
අග්නි සාක්ෂි, බොම්බේ, කාමෝෂි, දිල් සේ, ගුප්ත් වැනි සිනමාපටවලදී ඇය දෙනෙතින්, මුහුණෙන් කී කතා කෙතරම් ද? ඒවාට ප්‍රේක්ෂක, විචාරක සම්මානයෙන් වටිනා පිළිතුරු ලැබුණි. විසි එක් වසරක සිනමා ජීවිතයේදී හතළිස් දෙහැවිරිදි මනීෂා, තෙවරක් හොඳම නිළිය ලෙස ෆිල්ම් ෆෙයාර් සම්මානයට පාත්‍ර වූවාය. දහසක් කතා කී ඒ දෑස් අද පවසන්නේ දෙනෙත් කඳුළින් තෙත් කරන පුවතකි. ඒ ඇයත් ජනප්‍රිය තරු හා තාරකාවන් වන නර්ගීස්, මුම්ටාස්, නූටාන්, රාජ් කුමාර්, රාජේශ් ඛන්නා මෙන් පිළිකා රෝගයට ගොදුරු වී ඇති බවයි. ඇය නේපාලයේ නිවෙසේදී නොවැම්බර් මාසයේ මුලදී සිහිසුන් වී රෝගී වූවාය. මනීෂාගේ මව සුෂ්මා වහාම ඇය මූම්බායි හි රෝහලකට ඇතුළත් කළාය. එහිදී මනීෂා පරීක්ෂණ ගණනාවකට ලක්කර තිබේ. පසුගියදා ඇය මූම්බායි ජස්ලොක් රෝහලට ඇතුළු කෙරුණේ පරීක්ෂණවලින් පිළිකාවක් වැලඳී ඇති බව සොයා ගත් නිසයි. මනීෂාගේ පියා ප්‍රකාශ් සහ සොයුරු සිද්ධාර්ත් ද දැන් ඇය සමඟ සිටිති. ආරංචිය දැනගත් පසු මනීෂා ඊට සිනමාපටයක වීර චරිතයක් මෙන් නොබියව මුහුණ දීමට පටන්ගෙන ඇත. අසුබ අත්දැකීම් ඇයගේ ජීවිතයට අලුත් දෙයක් නොවෙයි. ෆේස්බුක් හරහා හඳුනාගත් සමරත් දහාල් සමඟ ඇය 2010 වසරේදී අති උත්කර්ෂවත් සාම්ප්‍රදායික විවාහ මංගල්‍යයකින් සොඳුරු බිරියක් වූවාය. එහෙත් මේ වන විට එය බිඳුණු විවාහයකි. ඒ බිඳීමට මුලපුරා ඇත්තේ සමරත්ය. තිරයේ කෙතරම් ප්‍රේමණීය වුවත් සැබෑ ජීවිතයේදී ඇයගේ ආදර සබඳතා සාර්ථක නොවීය. නේපාලයේ ඔස්ට්‍රේලියානු තානාපතිව සිටි ක්‍රිස්පින් කොන්රෝයි සමඟ 2001 දී ඇය විවාහ ගිවිස ගෙන තිබේ.
මනීෂා අයත් වන්නේ නේපාලයේ ප්‍රභූ දේශපාලන පවුලකටය. ඇයගේ සීයා බිෂ්වෙෂ්වර් ප්‍රසාද් කොයිරාල පනහ දශකයේ අග භාගයේත් හැටේ දශකයේ මුල භාගයේත් එරට අගමැති ධූරය දැරුවේය. මනීෂාගේ මහප්පාවරුන් වු ගිරිජා ප්‍රසාද් සහ මත්‍රිකා ප්‍රසාද් ද පසු කාලයේ එම ධූරය හෙබ වූහ. ඇයගේ පියා ද කීර්තිමත් දේශපාලනඥයෙකි. මනීෂා ගිය මඟ යමින් සොයුරා සිද්ධාර්ත් ද බොලිවුඩ් රංගනයට පිවිසියේය. කලක් සිනමාවෙන් දුරස් වී සිටි මනීෂා යළි රාම් ගෝපාල් වර්මාගේ ‘බූත් රිටර්න්ස්’ සිනමාපටයෙන් රංගනයට පිවිසියාය. ඔක්තෝබර් මාසයේදී සිනමාපටය තිරගත වූවත් වාණිජ වශයෙන් අසාර්ථක වූයේ විචාරක අගැයීමකින් ද තොරවයි. මනීෂා රැඟූ ‘දෝ පෙයිසේ කි ධූප්, චාර් ආනේ කි බාරිෂ්’ සිනමාපටය ඉදිරියේදී තිරගතවීමට නියමිතය. රෝගී වනවිට ඇය එඩවපති නම් මලයාලම් සිනමාපටයේ රූගත කිරීම්වලට සහභාගි වෙමින් සිටියාය. ඇය චිත්‍රපට නිෂ්පාදනය පිළිබඳ නිව්යෝක් රංගන පාසලේ ඩිප්ලෝමාධාරිනියක ද වන්නීය. ‘මනීෂාට ඉක්මන් සුව!’ මේ කනගාටුදායක පුවත කන වැකුණු සැනින් සැමගේම ප්‍රාර්ථනය වූයේ එයයි.
කිශෝර් කුමාර් රන්බීර්ට බරක්ලු
සාර්ථකත්වයේ සතුටු සිතිවිලි සමඟ රන්බීර් මේ සූදානම් වන්නේ තවත් පෙරැළිකාර රංගනයකටයි. එයත් අනුරාග් බාසුගේම නිපැයුමකි. ඔහු භාරත රිදී තිරයේ ජනාදරයට පත් ගායකයකු හා නළුවකු වූ කිශෝර් කුමාර් චරිතය තිරයේ ජීවමාන කිරීමට රන්බීර් තෝරා ගෙන ඇත. කිශෝර් කුමාර් වීම සඳහා රන්බීර්ට සිය බර කිලෝ ග්‍රෑම් 12 – 15 කින් වැඩිකර ගැනිමට සිදු වී තිබේ.
බර වැඩිකර ගැනීමට සිදු වුවත් රන්බීර්ට මෙහිදී තිරයේ සුරූපී තාරකාවන් සිවු දෙනකුගේම සැමියා වන්නට වරම් ලැබී තිබේ. ඒ කිශෝර් සිවුවරක්ම විවාහ වූ නිසයි. රූමා ගෝෂ්, මධුබාලා, යෝගිතා බාලි සහ ලීනා චන්දවර්කර් ඔහුගේ බිරියන්ය. කිශෝර් කියන්නේ වර්ණවත් චරිතයක් නිසා සිනමාපටය අතිශයින්ම විනෝදබර වන බව පවසන්නේ අධ්‍යක්ෂ අනුරාග්ය.
|