වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




වැදූ මවත් ඔබ දිනූ බිමත් රැක ගන්න ඔබේ ඇස් දෙක වාගේ

වැදූ මවත් ඔබ දිනූ බිමත් රැක ගන්න ඔබේ ඇස් දෙක වාගේ

‘ප්‍රතිරූ’ සමඟ සිනමාකරණයට පිවිසි වෛද්‍ය කපිල සූරියආරච්චි කියයි

පසුගිය 23 වැනිදා සිට ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමාහල්වල ප්‍රදර්ශනය ඇරඹි ‘ප්‍රතිරූ’ චිත්‍රපටයත් සමඟින් තවත් අධ්‍යක්ෂවරයකු අපේ සිනමාවට එක් විය.

ඉකුත් කාල සමයේ නවක සිනමාකරුවන්ගේ ආගමනය බහුලව සිදු වුව ද ‘ප්‍රතිරූ’ හි අධ්‍යක්ෂවරයා වෘත්තියෙන් වෛද්‍යවරයකු වීම විශේෂත්වයකි.

ඔහු කපිල සූරියආරච්චිය.

ප්‍රථම වරට චිත්‍රපටයක් තැනූ අධ්‍යක්ෂවරයා ලෙස අපේ සිනමා ඉතිහාසයට එක්වන කපිල, කුඩා කල සිටම සිනමාවට, කලාවට සෙනෙහස පෑ ඒ කෙරෙහි ආසක්ත වූ රසික සහෘදයෙකි.

කුරිරු යුද්ධයෙන් පීඩා විඳි මායිම් ගම්මානයක විසූ ධීර මවක හා වීර පුතකු වටා ගෙතුණු අතිශය සංවේදී කතා පුවතක් ‘ප්‍රතිරූ’ චිත්‍රපටයට පාදක වී තිබේ.

මේ ‘ප්‍රතිරූ’ කේන්ද්‍ර කොට ගනිමින් අධ්‍යක්ෂවරයා හා කළ කතාබහකි.

ඔබ වෘත්තීය වෛද්‍යවරයකු වීමටත් පෙරයි සිනමාව පිළිබඳ සොඳුරු සිහින දකින්නකු වෙන්නේ. මේ කතාබහ අපි එතනින් ආරම්භ කළොත්?

ඔව්, ඇත්තටම කවදා හරි චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කරනවා කියන සිතිවිල්ල මගේ සිතට එන්නේ අවුරුදු දහයේදී විතර. මගේ මහ ගෙදර ඇල්පිටියේ. ‘රේඛා’ කියලා සිනමා ශාලාවක් තිබුණා අපේ ගේ ඉස්සරහ. දැන් ඒක නැහැ. ඒ සිනමාහලේ ස්පීකර්ස් එහෙම පිටතට සවි කරලා තිබුණේ. ඉතිං චිත්‍රපටයේ දෙබස්, ගීත අර ශබ්ද උපකරණවලින් අපට ඇසෙනවා. සතියන් යනකොට මුළු චිත්‍රපටයේම දෙබස්, ගීත මට කට පාඩම්. ඒ කාලේ ලස්සන චිත්‍රපට. 70 දසකයේදී වගේ මම මේ කියන්නේ.

ඒ කියන්නේ චිත්‍රපට බලනවා වෙනුවට අහලයි ඔබ සිනමා රසිකයකු වෙන්නේ?

මුලින් එහෙමයි. ඊට පස්සේ සිනමාහලේ අයත් එක්ක මම මිතුරු වුණා. ආසනයකට වෙලා චිත්‍රපට නරඹන්න නෙවේ මම පුරුදු වුණේ, සිනමා ශාලාවේ ප්‍රොජෙක්ටරය තිබුණ කැබින් එකට වෙලා ඒ ක්‍රියාකාරකම් දැක බලා ගනිමින් චිත්‍රපට නරඹන්න. අර ස්ලයිඩ්ස් දාන කවුළුවෙන් හිටගෙන තමයි චිත්‍රපට බැලුවේ. එතනට උස නැති නිසා ඒ අය මට පොඩි බංකුවකුත් එතැන වෙන්කරලා තිබුණා. අර කපලා ඉවත දමන සැලෝලයිඩ් පටි මම යනකොට ගෙදර අරන් යනවා.

මමත් ගෙදර පොඩි ප්‍රොජෙක්ටර් එකක් හදාගෙන තිබුණා. මට මතකයි අපූරු සිදුවීමක්. සාමාන්‍යයෙන් ලොකු රීල් කෑල්ලක් පැත්තකට දාලා තිබුණා දවසක් හෝල් එකේ. මේක විසි කරපු එකක් කියලා හිතලා වෙනදා වගේම මම ගෙදර ගෙනිච්චා. පහුවදා ඒ අයියා කෙනෙක් මගෙන් ඇහුවා ‘මල්ලි මෙතන තිබිලා රීල් කෑල්ලක් ගෙනිච්චද’ කියලා. මම ‘ඔව්’ කිව්වා. ‘මල්ලි ඒක ගෙනත් දෙන්න පුළුවන් ද? ඒ ‘සුහද පැතුමේ’ විවේකය කියලා ඔහු කිව්වා. ඊට පස්සේ ලයිට් ඇජෙස් කරන්න වගේ දේවල්වලට හුරු වුණා. පුංචි කාලේ ඉඳන්ම ටෙක්නිකල් සයිඩ් එක දැනගන්න මගේ ලොකු ආසාවක් තිබුණා.

සිනමාකරුවකු වීමේ සිහිනයත් එක්කයි ඒ යුගය ගෙවී ගියේ?

ඒ සිහිනය ආපස්සට ගිහින් නිවේදකයකු වීමේ බලවත් ආශාවක් මගේ සිතේ පැන නැඟුණා. ඒක වුණේ මම ඇල්පිටියේ ගමේ ඉඳන් කොළඹට ආවාට පස්සේ.

ඇයි කොළඹ ආවේ?

කොළඹ ඩී. එස්. සේනානායක විදුහලේ අධ්‍යාපනය ලැබීමට මට වාසනාව උදා වුණා. බුලර්ස් රෝඩ් එකේ මගේ මාමා කෙනෙකුගේ නිවසේ ඉඳන් තමයි මම පාසල් ගියේ. කොළඹ ආවට පස්සේ මම නාට්‍යය, සංගීතය පැත්තට වැඩිපුර යොමු වුණා. යෞවන සම්මාන උළෙලවලදී සම්මාන පවා හිමි කර ගත්තා. හැබැයි අම්මයි, තාත්තයි මේ වැඩේට කැමැති වුණේ නැහැ. ඇයි ට්‍රැක් එකෙන් පිටනේ මම දැන් යන්නේ.

එතකොට නිවේදකයකු වීමේ සිහිනය?

ගුවන් විදුලිියේ ‘තක්සලාව‘ ළමා පීඨයට එක්වෙන්න ඔය අතරේ මට අවස්ථාව උදා වුණා. ප්‍රවීණ නිවේදකයකු හා ගීත රචකයකු වූ කරුණාරත්න අබේසේකරයන් තමයි මගේ ගුරුතුමා. අවුරුදු දෙකක කාලයක් එතුමා එක්ක මම ‘තක්සලාවේ’ වැඩ කළා. නිවේදන කලාව වගේම දැනුම, විනය පිළිබඳ එතුමාගෙන් ලබා ගත් දේ බොහොමයි.

ඩිසිප්ලින් කියන එක හරියටම ඉගෙන ගත්තා. අදටත් මම පාවහන් දමාගෙන ස්ටුඩියෝ එකක් ඇතුළට යන්නේ නැහැ. ඊට පස්සේ 1982 දී විතර මම ජාතික රූපවාහිනියේ ‘මුතුහර’ ළමා වැඩ සටහනට නිවේදකයකු ලෙසින් එක් වුණා. පස්සේ කාලෙක ‘ඉරිදා ආයුබෝවන්’ වැඩ සටහනේ වෛද්‍යවරයකු සමඟ සාකච්ඡා කරන්න අවස්ථාව ලැබුණා. පසුව ඔවුන්ගේ ආරාධනාවෙන් මම වසර දෙකක් පුරා ‘ශනිදා ආයුබෝවන්’ වැඩ සටහන ඉදිරිපත් කළා.

වෛද්‍ය වෘත්තිය හදාරන්න රුසියාවට ගිහින් රඟපෑමත් ඉගෙන ගෙනයි ආපහු ලංකාවට ආවේ?

83 ජූලි කලබල එක්ක අම්මලා කැමති වුණේ නෑ මාව ලංකාවේ තියාගන්න. අගෝස්තු මාසයේ මාව සෝවියට් රුසියාවේ රාජ්‍ය විශ්ව විද්‍යාලයට ඇතුළත් කළා. මම ඇතුළත් වුණේ වෛද්‍ය පීඨයට. එතනදි අපේ පීඨාධිපතිවරයා මගේ කලා දස්කම් දැකලා මට යෝජනා කළා ‘නාට්‍ය හා රංග කලාව’ හදාරන්න කියලා. ඉන් පස්සේ ‘ගෝර්කි’ රංග කලා ආයතනයෙන් නාට්‍ය හා රංග කලාව අවුරුදු තුනක් ඉගෙන ගත්තා. අධ්‍යක්ෂවරයා රංගනය ගැන අවබෝධයක් තියෙන කෙනෙක් නම් ඔහුට නළු, නිළියන් හැසිරවීම පහසුයි. ‘ප්‍රතිරූ’ චිත්‍රපටයේදී මට ඒ වාසිය අත්වුණා.

වෛද්‍ය වෘත්තිය නිසා ඔබ ලත් අත්දැකීම් ඔස්සේ තමයි ‘ප්‍රතිරූ’ බිහි වන්නේ. ඒ යටගියාව පිළිබඳ සිහිපත් කළොත්?

යුද්ධ කාලේ අවුරුදු අටක් විතර මම උතුරු, නැගෙනහිර සේවය කළා. මායිම් ගම්මානවල වැඩ කරද්දී මිනිසුන්ගේ දුක, කඳුල, සංතාපය මම අත් වින්දා. ඒ සේවයෙන් ඉවත් වුණේ වැලිසර ළය රෝහලේ වෛද්‍ය අධිකාරීවරයා ලෙස පත් වුණ නිසා.

එතනින් ක්ෂය රෝග මර්ධන ව්‍යාපාරයට සම්බන්ධ වුණා. මෙතනදි මට අවස්ථාව ලැබුණා මිනිසුන් දැනුවත් කරමින් විවිධ වැඩ සටහන් කරන්න. ඔන්න ඔතනදි තමයි මම සෝෂල් මා(ර්)කටිං, එහෙම නැතිනම් සමාජ අලෙවිකරණය කියන එක සෞඛ්‍ය ක්ෂේත්‍රයේ මාර්කට් කරන්න පටන් ගත්තේ. ක්ෂය රෝගය පිළිබඳ අර සමනලයා ඉගිල යන රූපවාහිනී වෙළෙඳ දැන්වීම නිර්මාණය කළේත් මම. ඒක ජනප්‍රිය වුණා වගේම මට අලුත් නිර්මාණ කරන්න ඇති තරම් අවස්ථාව ලැබුණා. මේ වන විට එබඳු නිර්මාණ හාරසිය පනහක් විතර නිර්මාණය කර තිබෙනවා. ඒවාට දෙස්, විදෙස් සම්මාන පවා ලැබුණා.

ඔබේ කුලුඳුල් සිනමා නිර්මාණයටත් ඒ හරහා යම් උත්තේජනයක් ලැබුණා?

ඇත්තෙන්ම ඔව්. මගේ වෘත්තීය ජීවිතයේ තිබූ දැඩි කාර්ය බහුලත්වය නිසා අර කලාවට, සිනමාවට තිබූ ඇල්ම, උනන්දුව, හීන වී ගොස් තිබුණා. නමුත් මේ නිර්මාණශීලී වැඩ සටහන් කරද්දී මට දැනුණා මම ඇතුලේ හිටපු අර සිනමාකරුවා අවදි වේවි එන හැඩ. මම ලෝක සිනමාවේ විශිෂ්ට චිත්‍රපට නරඹන්න පටන් ගත්තා. අපේ හොඳ චිත්‍රපට නැරඹුවා. එතකොට මට දැනුණා අර මම අවුරුදු දහයේ දැකපු සිහිනය ආයෙත් ‘ටච්’ වෙනවා කියලා.

මේ වෙනකොට මම ගොඩක් දේවලින් සන්නද්ධ වෙලා හිටියේ. පහුගිය අවුරුදු දෙකේ මට ටෙලි නාට්‍යයක් දෙන කොට යම් රෝගයක් පිළිබඳ නිර්මාණය කරන්න මම ඒකෙන් ටෙලි චිත්‍රපටයක් කළා. හැමෝම කැමැතියිනේ එතකොට. මම ගන්න හැම රූප රාමුවක්ම සිනමාත්මකයි. ඩිජිටල් කැමරා භාවිත කළාට මගේ කැමරා කෝණ හැම එකක්ම සිනමාරූපී විදිහටයි මම යොදා ගත්තේ. මම එහෙම එක්ස්පෙරිමන්ට්ස් කළා. එතනින් තමයි මම මේ චිත්‍රපටය තනන මංපෙත් විවර කර ගත්තේ.

‘ප්‍රතිරූ’ ඔබ හඳුන්වන්නේ ‘ධීර’ මවක් හා ‘වීර’ පුතෙක් පිළිබඳ තැනුණු චිත්‍රපටයක් විදිහට?

මම හිතන්නේ වීරයා කියලා කියන්නේ අපේ මවුබිමට අවංකව සේවය කරන කෙනා. ඒ පුද්ගලයා හමුදා නිලධාරියකු, හමුදා සෙබළෙකුම වෙන්න ඕනෑ නෑ. මේ කතාව කියන්නට වික්‍රම නමැති සොල්දාදුවාගේ චරිතය මම යොදා ගත්තේ සංකේත රූපයක් හැටියට පමණයි.

එතකොට මේ වීරයා බිහි කරන්න මුල් වෙන්නේ අම්මා. දුටුගැමුණු රජතුමා පිටුපස්සේ හිටියේ විහාර මහා දේවි. එතකොට මැක්සිම් ගෝර්කිගේ ‘අම්මා’ නවකතාවත් එහෙමයි. මව් ගුණය මේ විශ්වයේ හැම තැනම තියෙනවා. අප ජීවත් වෙන්නේ හිරුගේ රැස්වලින් හා මවගේ කිරිවලින් කියා මැක්සිම් ගෝර්කි, ‘අම්මා’ නවකතාවේදී කිව්වේ ඒ නිසයි.

ඒ ‘අම්මා’ උපන් මව්බිමට සමානයි කියා ඔබ ‘ප්‍රතිරූ’ හරහා අවධාරණය කරනවා?

මම කියන්නේ මේ මහ පොළව සිප ගැනීම තමන්ගේ මවට වඳිනවා වගේ උතුම් කාර්යයක් කියන එකයි. ඒ පණිවිඩය හා ආදර්ශයයි ‘ප්‍රතිරූ’ චිත්‍රපටයෙන් මම රටට දෙන්න උත්සාහ කළේ.

‘ප්‍රතිරූ’ යුද්ධය තේමා කරගත් චිත්‍රපටයක් වුණත් ඔබ කිසිම තැනක යුද්ධය පෙන්වන්නේ නෑ. නමුත් ‘ගාමණී’, ‘සෙල්වම් ’ , ‘මාතා’ වැනි චිත්‍රපටවල ප්‍රේක්ෂකයා යුද බිමට රැගෙන ගියා?

මට එතැනට යාමට අවශ්‍ය වුණේ නෑ. මොකද පසුගිය කාලේ අපි රූපවාහිනියෙන් යුද්ධය ඕනෑ තරම් දැක්කා. ඒවා නැවත පෙන්වමින් මිනිස්සු පීඩාවට පත් කරන්න මට ඕනෑ නෑ. නමුත් මායිම් ගමක සිදු වූ එක්තරා සත්‍යය සිදුවීමක් මම මේ චිත්‍රපටයට පාදක කර ගත්තා.

ඒ ගම්මානයට කඩා පැනපු කොටි ත්‍රස්තවාදී අහිංසක ජීවිත ගණනාවක් විනාශ කරල තිබුණා. බෝනික්කො තුරුලු කරගෙන හිටපු පුංචි ළමයි උන් මරලා දාලා තිබුණේ බෙලි කපලා. සිද්ධිය වෙලා විනාඩි ගණනකින් මම ඇතුළු වෛද්‍ය කණ්ඩායමක් එතනට ගියා. ඔය අතරෙ මම දැක්කා ත්‍රස්තවාදියෝ දෙදෙනකුවත් කපලා කොටලා මරලා දාලා තියෙනවා. හොයල බලපුවම අවුරුදු පනස් දෙකක අම්මා කෙනෙක් තමයි උන්ව කැත්තෙන් කපලා මරලා තියෙන්නේ. මම ඇයත් එක්ක කතා කළා. ‘මෙහෙම වෙන කොට කොහොමද නිකං ඉන්නේ’ කියා ඈ කිව්වා. මම ඒ ඩයලොග් එක මේ චිත්‍රපටයට ඇතුළත් කළා.

ඔබේ ප්‍රථම චිත්‍රපටයෙන්ම අපේ නිළි රැජන මෙහෙයවීමේ අනගි අවස්ථාව ඔබට ලැබුණා?

ඔව්’ ඇත්තෙන්ම එය මා ලැබූ විශාල භාග්‍යයක්. ඒ විතරක් නෙවේ අපේ සිනමාවේ විශිෂ්ට රංගනවේදියකුව සිටි ජෝ අබේවික්‍රම වගේම විජේරත්න වරකාගොඩ, වීණා ජයකොඩි, පාලිත සිල්වා, ගිරිරාජ් කෞශල්‍ය වැනි ප්‍රවීණයන් වගේම ජගත් බෙනරගම, ජගත් චමිල, ධර්මප්‍රිය ඩයස්, හිමාලි සයුරංගි වැනි අලුත් පරපුරේ නළු, නිළියන්වත් මෙහෙයවන්න මට අවස්ථාව ලැබුණා. විශේෂයෙන්ම මාලිනී ෆොන්සේකා මේ චරිතය වෙනුවෙන් විශාල කැප කිරීමක් කළා. චිත්‍රපටයේ ඒ අම්මා අංශභාගය හැදුන කෙනෙක්. ඇවිදින්න බෑ. මාලිනී ෆොන්සේකා මේ චිත්‍රපටයේ වැඩිම කාලයක් රඟපාන්නේ පස්සා පැත්තෙන් බිම දිගේ ඇදි ඇදී යමින්. ඇත්තටම එය අසීරු රංගනයක්. නමුත් ඇය ඉතා විශිෂ්ට විදිහට ඒ රංගනය ඉදිරිපත් කළා.

පරම්පරා තුනක නළු, නිළියන් ඔබේ චිත්‍රපටයට රංගනයෙන් දායක වෙනවා. ඔබ මෙහි වික්‍රම නැමැති ප්‍රධාන චරිතය සඳහා තෝරා ගන්නේ සිනමාවේ දැවැන්ත ප්‍රතිරූපයක් ගොඩ නගාගත් නළුවකු නොවේ. එය අභියෝගයක් වුණේ නැතිද?

මේ චිත්‍රපටයේදී මම අභියෝග කීපයක්ම බාර ගත්තා. පළමු කොටම මම මටම අභියෝගයක් එල්ල කර ගත්තා. මම කැමැති වුණේ නෑ මේ චිත්‍රපටය ඩිජිටල් කැමරාවකින් කරන්න. මට හිතුණා සෙලෝලයිඩ් පටයෙන් තමයි මේ චිත්‍රපටය මම කරන්නේ කියලා. ඒ සුවඳ පුංචි සන්දියේ ඉඳලාම මගේ නහරගත වෙලා තියෙන දෙයක්. රීල් එක දුවන ඩක, ඩක සද්දෙට මම ආසයි. ඒ තමයි මට දැනෙන දේ. ඒ නිසයි මම මි මී. 35 කැමරාවෙන් මේ චිත්‍රපටය කළේ. දෙවැනි අභියෝගය තමයි කැමරමන්.

‘ප්‍රතිරූ’ ඔහුගේ පළමුවැනි චිත්‍රපටය. නමුත් මම ටෙලි ෆිල්ම්ස්වලදී ඔහුත් එක්ක වැඩ කර තිබෙනවා. ගොඩක් අයට ප්‍රශ්නයක් වුණේ මගෙත් ෆස්ට් ෆිල්ම් එක නිසා ඇයි කැමරාකරණයට ප්‍රවීණයකු යොදා නොගත්තේ කියලා. අද වෙන කොට චන්දනට හොලිවුඩ් චිත්‍රපටයක කැමරාව මෙහෙයවන්න අවස්ථාව ලැබිලා. ලංකාවේ පළමුවැනි හොලිවුඩ් කැමරාමන්. බෙන් කිංස්ලි රඟපාන ‘කොමන් මෑන්’ චිත්‍රපටයේ තමයි ඔහු වැඩ කරන්නේ. ඔබ ඇසූ පැනයට පිළිතුරු දුන්නොත් ඇත්තටම ජගත් බෙනරගම මෙහි ප්‍ර‍්‍රධාන චරිතයට මම යොදා ගත්තේ ඔහු සුවිශේෂී රංගන ශිල්පියකු නිසයි.

නමුත් සමහරෙක් කැමැති වුණේ නෑ නේද ජගත් මෙහි ප්‍රධාන චරිතයට යොදා ගන්නවාට?

මම මේක කියන එක හරි ද දන්නෙත් නෑ. සමහරු මට කෝල් කරලා කිව්වා ඔහුව ගන්න එපා කියලා. මම ජගත් එක්ක ටෙලි ෆිල්ම් හතරක විතර ඉඳලා තියෙනවා. එයාගේ පුදුම සුවිශේෂී හැකියාවක් මම දැක්කා. ඒක එක් කරුණක්. අනෙක මම මේ ස්ක්‍රිප්ට් එක ලියන්න ගත්ත වෙලේ ඉඳලම මගේ ඔළුවේ මේ චරිතයට හිටියේ ජගත්. මම අවුරුදු අටක් විතර උතුරු නැගෙනහිර සේවය කළානේ.

මම දැකපු සෝල්ජර්ස්ලා සියයට අනූවක්ම බෙනරගම වගේ. ඇඟපතේ ප්‍රමාණය, ෆිට්නස් එක මේවා ගොඩක් සමානයි. මේ රටේ යුද්ධය කළේ මහා දැවැන්තයෝ නෙවෙයි. හයිය තිබුණේ හිතේ. මගේ ස්ක්‍රිප්ට් එකේ සියයට අනූවක් ජගත් වටා ගෙතී තියෙන්නේ. අපි දවස් විසි එකක් ෂූට් කළා. ජගත් මා සමඟ ඉතා සුහදව, සහයෝගයෙන් විශිෂ්ට විදිහට ඒ චරිතය නිරූපණය කළා.

ප්‍රේක්ෂකයන්ට මොකද කියන්නේ?

මේ චිත්‍රපටය මම හඳුන්වා දෙන්නේ ‘අතිශයින්ම මව් බිමට ආදරය කරන්නවුන්ට පමණයි’ කියලා. එහෙම නොවන අය මේ චිත්‍රපටය නොබැලුවාට මට ප්‍රශ්නයකුත් නෑ. මව්බිමට ආදරය කරන්න කියලයි මම මේ චිත්‍රපටයෙන් කියන්නේ. ඒ විතරක් නොවේ උපන් රට වෙනුවෙන් තමන්ගේ යුතුකමත් ඉටු කරන්න. වීරයෙක් වෙන්න පුළුවන් ඕනෑම කෙනෙකුට. එහෙම වීරයෙක් වෙන්න යුද්ධ කරන්නම ඕනේ නෑ. දැන් ගාන්ධි, නේරු වීරයෝ වුණේ යුද්ධ කරලා නෙවෙයිනේ. වීරයෝ වෙන්නේ තමන්ගේ මව්බිමට අවංකව සේවය කරන කෙනා.