වර්ෂ 2012 ක්වූ දෙසැම්බර් 06 වැනිදා බ්‍රහස්පතින්දා




ප්‍රේක්ෂකයන්ගේ කඳුළු පිහදාන්න එදා ලේන්සු විකුණුවා

ප්‍රේක්ෂකයන්ගේ කඳුළු පිහදාන්න එදා ලේන්සු විකුණුවා

බොනිපස් ප්‍රනාන්දු අතීත මතකය හෙළි කරයි

1958 මදුරාසිියේ කොල්ඩම්බක්කමතී ගෝල්ඩන් චිත්‍රාගාරයේ සිංහල චිත්‍රපටයක ගීතමය ජවනිකාවක් රූපගත වෙමින් තිබිණ. චිත්‍රපටයේ අධ්‍යක්ෂ සාමි එම ගීතයෙන් කියවෙන එක් පද පේලියක් (ආකාසේ ආවා සේ සූර්යා නැගී) උඩ බලාගෙන ගයමින් රඟපාන්න නළුවාට උපදෙස් දුන්නේය. එය ඔහු ප්‍රතික්ෂේප කළේය. තමා ආමන්ත්‍රණය කරන්නේ පෙම්වතියට මිසක අහසට නොවන බව තරයේ කියා සිටියේය.

මේ වාදය දුරදිග ගියේය. නිෂ්පාදකවරයා එතැනට පැමිණ නිවැරදි කවුදැයි කැමරා ශිල්පී මාතුර්ගෙන් විමසීය. ඔහු රංගන ශිල්පියාගේ නිවැරදිතාවයට සහතිකය දුන්නේ අධ්‍යක්ෂවරයාගේ ද මුහුණ බලමිනි. එඩිතර තීරණ ගන්නා නිෂ්පාදකවරයා ක්ෂණිකව අධ්‍යක්ෂවරයා දර්ශන තලයෙන් එලවා දැම්මේය. ඔහු වෙන්කඩාචලම් නම් මාලයාලම් සංස්කරණ ශිල්පියකුගේ කාර්මික උපදෙස් පිට එතැන් සිට තම චිත්‍රපටය මෙහෙයවීමට පටන් ගත්තේ තමන්ට කාටත් වඩා සාර්ථකව චිත්‍රපටය නිමවා ගත හැකි බවට ආත්ම විශ්වාසයක් ඇතිවය. මේ අධ්‍යක්ෂවරයා සහ නළුවා කවුද?

දැන් පාඨකයන් නොඉවසිල්ලෙන් බලා සිටින්නේ මොවුන් කවුද කියා දැනගන්න නිසා මුලින්ම ඔබේ පැටිකිරිය හාරා අවුස්සා බලමුද?

1934 ජනවාරි 12 වෙනි සිකුරාදා මීගමුවේ මහ රෝහලේ පළමුවෙනි වාට්ටුවේ පස්වෙනි ඇෙඳ් උපන් මගේ උප්පත්ති නාමය කුරුකුලසූරිය ගේබ්‍රියල් බොනිපස් ප්‍රනාන්දු. පියා ජෝශප් ප්‍රනාන්දු. මව වර්ණකුලසූරිය ඉච්චම් පුල්ලේ ආරච්චිගේ පිළිසිඳු ප්‍රනාන්දු. ඔවුන්ට මට වැඩිමහල් මේරි පේසිලියා, මේරි මලී මේබල්, මේරි ඉමෙල්චා මර්ෂියා කියා දියණියන් තිදෙනෙක් සිටියා. උපතින්ම කතෝලික මම මීගමුව වැල්ලවීදියේ ශාන්ත සෙබස්තින් මිශ්‍ර පාසැලේ පහළ බාලාංශයෙන්, පසුව ශාන්ත පිරිමි විද්‍යාලයෙත්, ශාන්ත මරියා විද්‍යාලයෙත් ඉගෙන ගත්තා. වෙල්ලස්සේ වීරයා පාසැල් නාට්‍යයේ රඟපෑ මට එම කතාවම යොදා ගත් ඩබ්ලිව්. බෙනඩික්ට් ප්‍රනාන්දුගේ සිංහල කොල්ලා නාට්‍යයේ ප්‍රධාන චරිතය තරුණ වියේදී රඟපාන්න ලැබුණා.

* ඉගෙනීමෙන් පසු ඔබ තෝරා ගත් වෘත්තිය කුමක් ද?

මීපුර නවකතා නාට්‍ය සංගමයේ සංගීත අංශයේ ගායකයෙක් හැටියට කටයුතු කළා. ඒක වෘත්තියක්ම නොවෙයි. මීගමුවේ ප්‍රසිද්ධ සංගීත කණ්ඩායම වූ මෙහි සිටි තවත් ගායකයෙක් තමා රූපා ලස්සනයි ඔයා ගීතය ගායනය කළ කැමිලස් පෙරේරා. අපේ කණ්ඩායමේ ගිටාර් වාදකයා ක්ලෝඩ් ද සොයිසා. ඔය කාලයේ හින්දි තනුවක් අනුව මගේම පද මාලාවකට බ්‍රසල්ගේ ආධුනික පැයට ගැයූ ලෝකේ සැපා නෑ මටා එනු දයා ගීතය පළමු ස්ථානයට තේරුණා. සහාය ගායිකාව පිටිසර කෙල්ල චිත්‍රපටයේ පසුබිම් ගායනය කළ එල්.සි පෙරේරා. සංගීතය සැපයුවේ ඊබ්‍රාහිම් සාලි. ඊළඟට ජයග්‍රාහක පෙළපාලියට ගැයූ ගීතයෙනුත් මම පළමුවැනියා.

* ඔබ ගායකයෙක් විදියට ස්ථාවරයක් ගොඩ නගා නොගත්තේ ඇයි?

මගේ වැඩි කැමැත්ත තිබුණේ දෑතේ රස්සාවකට. ඒ අනුව රාජකීය ගුවන් හමුදා කඳවුරේ විදුලි කාර්මිකයකු වශයෙන් සේවය කළා. එය වසා දැමූ පසු ජයකොඩි පවුලේ මීරිගම මිහිර සිනමාහලේ කළමනාකරු වුණා. මේ අතර ඩබ්ලිව්. බෙනඩික්ට් ප්‍රනාන්දුගේ උපකාරයෙන් රම්‍යලතා හා සොහොයුරෝ චිත්‍රපටවල සුළු චරිත රඟපෑවා. මේ රංගනය දුටු නිෂ්පාදක එස්. එම් නායගම් මාව මාතලන් හා විදුර ජාතකයේ ප්‍රධාන චරිතයට තෝරා ගත්තා. නමුත් මගේ මව මා ඉන්දියාවට ගොස් මාස කිහිපයක් ඇගෙන් වෙන්ව සිටීම ගැන විරුද්ධ වූ නිසා ගිවිසුම අත්සන් කළේ නැහැ. මගෙන් හිස්වුණු මාතලන් චරිතයට ශේෂා පලිහක්කාර තෝරා ගත්තේ ඉන් පස්සේ. විදුර ජාතකය උපන් ගෙයිම මිය ගියා.

* එතකොට ඔබ සිරිමලී චිත්‍රපටයේ රඟපෑමට මඟ පාදා ගත්තේ කෙසේ ද?

නැවත වතාවක් චිත්‍රපටයක රඟපෑම සඳහා ඉන්දියාවට යාමට සිදු වුණොත් එය කඩාකප්පල් නොකරන ලෙස මව පොරොන්දු කරවාගෙන සිටි අවස්ථාවක චාර්ල්ස් ජේ. පෙරේරාගේ මාර්ගයෙන් රොබින් තම්පෝ හඳුනා ගැනීමට ලැබුණා. ඒ වන විටත් මූලික නිෂ්පාදන කටයුතු අරඹා තිබුණු සිරිමලී චිත්‍රපටයේ රඟපෑමට ඔහු මාව තෝරා ගත්තා. සිංහල හරියාකාර කතා කරන්න බැරි තම්පෝ එහි සහාය අධ්‍යක්ෂවරයා හැටියටත් කටයුතු කිරීමට අවස්ථාව සලසා දුන්නා. එය නම් සිදු වුණේ අහම්බෙන්. එම තනතුර දැරූ චිත්‍රානන්ද අබේසේකර සිය රාජකාරි නිවාඩු අවසන් වී පෙරළා ලංකාවට යාමට සිදු වීම නිසා.

* ඔබට සිරිමලී චිත්‍රපටය ගැන මීට වඩා තව විස්තර කරන්න පුළුවන් නේද?

සිරිමලී සම නිෂ්පාදකවරයා දෙනියාය පාර්ලිමේන්තු මන්ත්‍රී ජී. එල්. ජිනදාසගේ සහෝදර ජී. එල්. බුද්ධදාස. කතාව කිහිප විටක්ම සංශෝධනය කළා. ඒ නිසා සමහර රංගන ශිල්පීන්ගේ චරිත කෙටි වුණා. පිටපතේ සඳහන් වන ආකාරයට සිරිමලීගේ පියා අවාසනාවන්ත අයරින් මියැදෙන්නේ නැහැ. සිරිමලී ප්‍රදර්ශනය කිරීමේදීත් වෙනසක් සිදු කළා. සාමාන්‍යයෙන් ඉංග්‍රීසි චිත්‍රපට බ්‍රහස්පතින්දාත්, සිංහල චිත්‍රපට සිකුරාදාත් තමා මුල් ප්‍රදර්ශන වටය ආරම්භ කළේ. සිරිමලී ප්‍රදර්ශනය ඇරඹුණේ 1959 සැප්තැම්බර් 11 වෙනි බදාදා. මෙහි ප්‍රධාන නිළියත් මං වගේ සුළු චරිත නිරූපණය කළ තැනැත්තියක් වූ සුජාතා විජේසේකරය. උප ප්‍රධාන චරිතය රඟපෑවෙත් එබන්දියක්. ඇය රීටා කාමලින් ප්‍රනාන්දුය. ඇය චිත්‍රපටයේ රඟපෑ සටන්කාමී චරිතය රූපවාහිනියේ විකාශය කළ පිටපතේ නැහැ. මුළුමනින්ම ඉවත් කරලා.

* ඔබ සිරිමලීගෙන් පසු රොබින් තම්පෝගේ චිත්‍රපට රංගනයට කොටුවීමට හේතුවක් තිබුණාද?

ශ්‍රී මුරුගන් නවතලා, සිනමාස් වගේ ප්‍රබල සමාගම් ස්ථිර නළු නිළියන් බඳවා ගෙන සිටියා. සමාගමෙන් පිටස්තර නිෂ්පාදනයන්හී රඟපෑමට අවකාශ නොලත් ඔවුන්ට ලැබුණේ මාසික වේතනයක්. තම්පෝ පළමුවෙන් මාවත්, පසුව පියදාස විජේකෝන්වත් ඔහුගේ ආර්. ටී.සමාගමේ ස්ථිර නළුවන් කර ගත්තා. මාසික වැටුප රුපියල් තුන්සියයි. ඊට අමතරව වැල්ලම්පිටියේ ආර්. ටී. චිත්‍රාගාරයේ ආපන ශාලාව පවත්වාගෙන යන්න මට දුන්නා. එය නිකම්ම ආපන ශාලාවක් නොවෙයි. ශිල්පීන් ඉල්ලන ඕනෑම කෑමක් බීමක් දුන්න සුවිශේෂී කැන්ටිමක්. තවත් එකක් ඩබ්ලිව්. එම්. එස්. තම්පෝගේ නිෂ්පාදන සමඟ සම්බන්ධවීමට අවසර ලැබුණා.

* ඔබ රඟපෑ ආර්. ටී. චිත්‍රපට ලැයිස්තුව මතකද?

සුවිනීත ලාලනී, සුහද දිවි පිදුම, සුදු සඳේ කළු වලා, සමාජේ අපි ඔක්කොම සමානයි, සුදෝ සුදු, සැඟවෙන සෙවණැල්ල, මහදැනමුත්තා යන චිත්‍රපටවලත්, තම්පෝ සිලෝන් තියටර්ස්ට කළ සුලලිත ශෝබනී චිත්‍රපටයෙත්, ඔහුගේ පියාගේ සැමියා බිරිඳගේ දෙවියාය, සතුටයි කඳුළුයි, ළඳක මහිම, ළයට ළය ආදී චිත්‍රපටවලත් රඟපෑවා. මේ හැම චිත්‍රපටයකම අධ්‍යක්ෂණයෙන් සහාය වුණේ මම. ආර්. ටී. ලැයිස්තුවේ සැනසිලි සුවය චිත්‍රපටයෙන් නුදුටුවත් සහාය අධ්‍යක්ෂණයෙන් සම්බන්ධ වුණා.

* පෙර කී චිත්‍රපට අතරේ සුවිශේෂී මතක සටහන් තැබිය හැකි චිත්‍රපට තිබෙනවාද?

සුවිනීත ලාලනිගෙන් බෙනඩික්ට් මාස්ටර් ආර්. ටී. නිෂ්පාදන කිහිපයක දෙබස් රචකයා ලෙස බඳවා ගැනීමට පුළුවන් වුණා. සුහද දිවි පිදුම ප්‍රදර්ශනය කළ අම්පාර රීගල් සිනමාහලේ ගැලරි පෝලිමේ සිර වී නරඹන්නෙක් මැරුණා. මරදාන එල්පින්ස්ටන් සිනමා ශාලාව අභිමුව ඉදි කොට තිබුණු මගෙයි, ක්ලැරිස් ද සිල්වාගෙයි අඩි 60 උස රූප පුවරුව නිසා රිය අනතුරු රාශියක් සිදුවීම කාටත් මතක ඇති. නළු නිළි පරීක්ෂණයකින් සුදු සඳේ කළු වළා ප්‍රධාන චරිතය සඳහා සන්ධ්‍යා කුමාරිත්, උප ප්‍රධාන චරිතයට සුවිනීතා වීරසිංහත්, අතිරේක චරිතයකට පර්ල් කුරේත් තෝරා ගෙන පුහුණුවීම් කරද්දී සිදු වූ චරිත මාරුව නිසා සන්ධ්‍යා චිත්‍රපටයෙන් ඉවත්ව ගියා. සංගීත අධ්‍යක්ෂවරු සය දෙනෙක් පිරිවරා ගත් මේ චිත්‍රපටය නරඹන විට කඳුළු සලන ප්‍රේක්ෂකයින්ගේ ප්‍රයෝජනය පිණිස ලේන්සු වෙළෙන්දෙක් ප්‍රධාන සිනමාහලට යෙදෙව්වා. ගීත ගායනයට පැමිණි ප්‍රියා සූරියසේන සතුටයි කඳුළුයි චිත්‍රපටයේ පියන් කෙනකුගේ චරිතයකත් රඟපෑවා මට තාමත් මතකයි.

* සුහද දිවි පිදුම චිත්‍රපටයෙන් හඳුනා ගත් නවක ගායක සිරිල් හියුමන් ගැන ඔබට මතක නැද්ද?

ඇයි අමතක. ඔහුව මට මුලින්ම මුණ ගැසුණේ අලව්ව ශාන්ත සෙබස්තියන් මුනිඳුන්ගේ වාර්ෂික මංගල්‍යයේදී. එහිදී අපේ බජව්වට සිරිල් හියුමන් අහම්බෙන් එකතු වුණා. ඔහුගේ ගායන හැකියාව දුටු මම ඔහුව තම්පෝට හඳුන්වා දුන්නා. සංගීත අධ්‍යක්ෂ ආර්. මුත්තුසාමිගේ සංගීත පරීක්ෂණයෙන් සමත් වුණේ මහ ඉහළින්. සිරිල් සුහද දිවි පිදුම චිත්‍රපටයේ තනි හා යුග ගීත දෙකක් ගායනය කෙරුවා. ඇත්තම කියනවා නම් ඔහු සංගීතය පිළිබඳ දැනුම් තේරුම් තිබුණ තරුණයෙක්. පසු කාලයක සිරිල් හියුමන් පාකිස්ථානයේ සංගීත ගුරුවරයකු ලෙස වසර 15 පමණ සේවය කළ බව ආරංචියි.

* ඔබ ආර්. ටී. සමාගමෙන් බැහැර නිෂ්පාදන කිහිපයකටත් සම්බන්ධ වුණා නේද?

තම්පෝගෙන් ඉවත්වීමෙන් අනතුරුව මම කලියුග කාලය, ශිරාණි, විජයග්‍රහණය චිත්‍රපට තුනේ රඟපාමින් අධ්‍යක්ෂණයෙන් සහාය වුණා. උන්නත් දාහයි මළත් දාහයි, ටිකිරා, අප්සරා, ජීවන කඳුළු, රජෙක් වගේ පුතෙක් චිත්‍රපටවලත් රඟපෑවා. ආදරෙයි මා ආදරෙයි නිරූපණය කළේ දුෂ්ට චරිතයක්. මෙයින් කලියුග කාලය ප්‍රධාන චරිතය හිමි වෙලා තිබුණේ බෙන්තොට ගීතා සමන්මලී කුමාරසිංහ කියන නවක නිළියට. පසුව ඇය එම චරිතයෙන් ඉවත්ව හාපුරා කියා ලස්සන කෙල්ල චිත්‍රපටයේ රඟපෑමට තීරණය කළා.

* සහාය අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කළ ඔබ තනිවම චිත්‍රපටයක් අධ්‍යක්ෂණය නොකළේ මන්ද?

දෙහදක දුක, පික්පොකට් තනිවම අධ්‍යක්ෂණය කළේ මම. නාමාවලියේ සඳහන් නොවුණත් පුවත්පත්වල ආරම්භක ප්‍රවෘත්ති වශයෙන් මේ වග පළ වුණා. සරසවිය පුවත්පතෙත් පළ වුණා. ඔය වගේ අසාධාරණකම් බොහොමයක් මට සිනමාවේදී සිදු වෙලා තියෙනවා.

* සාර්ථක පවුල් ජීවිතයක් ගත කරන ඔබ ඒ පිළිබඳ විස්තර කරන්න සතුටුද?

මගේ බිරිඳගේ නම වර්ණකුලසූරිය පටබැඳිගේ රෝස්මරී නිමාලි ප්‍රනාන්දු. ඇය සුළි සුළං නිෂ්පාදක අධ්‍යක්ෂ ඇන්ටන් ප්‍රනාන්දුගේ නැඟණිය. ඒ කියන්නේ විජිත මල්ලිකාගේ නෑණා. අපිට සනෝජ් ඉන්දික, සුරේෂ් දිනෙන්ද්‍ර, බිමල් ෂම්මි අනුරුද්ධ, සුනෙත් රාජිත කියලා පුතුන් සිව් දෙනෙක් හා සුවෙන්ද්‍රා දුෂ්මාති නමින් දියණියක් සිටිනවා.

60 දශකයේ ප්‍රමුඛව කැපී පෙනුණු ජනප්‍රිය නළුවකු වූ ඔබ ඒ වෙනුවෙන් ලද කීර්ති ප්‍රසංශා සම්මාන මොනවාද?

රසික ප්‍රතිචාර එදා වගේම අදත් නොඅඩුව ලැබෙනවා. මේතාක් කිසිම සිනමා සම්මාන උළෙලකට සහභාගි වෙන්න අඩු තරමින් ආරාධන පත්‍රයක්වත් එවලා නැහැ. මට සංස්කෘතික කටයුතුªª පිළිබඳ අමාත්‍යාංශයෙන් පිරිනමන කලා භූෂණ සම්මානය 2009 ලැබුණා.

වසර 53 සිනමා අතීතයක් සැමරිය හැකි ඔබේ වත්මන් ජීවිත තතු කෙබඳු ද?

සුලලිත ශෝබනී චිත්‍රපට රංගනයේ යෙදෙද්දී සිදු වූ අනතුරක් හේතු කොට ගෙන වසර ගණනාවක ඇවෑමෙන් එහි ප්‍රතිවිපාක නිසා අද ඇවිද ගැනීමේ අපහසුතාවකට පත්වෙලා සිටිනවා. මාත් බිරිඳත් දැනට පදිංචිව සිටින්නේ පුතෙක් මගේ දියණියට අකරගම ප්‍රදේශයෙන් සාදා දුන් නිවසේ. ටවර් හෝල් පදනමෙන් හා සිනෙස්ටාර් පදනමෙන් ලැබෙන මාසික දීමනා එදා වේල අමාරුවෙන් පිරිමසා ගන්න ඇති. ඉඳහිට මා බලන්නත් එන ඥාතීන්, හිත මිතුරන්ගෙන් ලැබෙන උදව් උපකාරත් මේ මොහොතේ සිහිපත් කළ යුතුයි. මට ආදරය කරන සිනමා රසිකයින් 077-6993077 දුරකථන අංකයෙන් අමතනවා නම් එය මට විශාල අස්වැසිල්ලක්.