වර්ෂ 2012 ක්වූ ජුනි 28 වැනිදා බ්‍රහස්පතින්දා




'දරුවනේ' සුන්දර ළමාවියේ ඉමිහිරි මතක අහුර

'දරුවනේ' සුන්දර ළමාවියේ ඉමිහිරි මතක අහුර

සුනිල් ටී. ගේ 52 වන නිෂ්පාදනය

වී. සිවදාසන්ගේ අධ්‍යක්ෂණයක්

සමරසේකරගේ උස් කෑගැසීම වහලයේ උලු උඩ විසිවීමට තරම් බලවත්ය. අන්ජුලා ද ඔහුට දෙවෙනි නැත. මේ දෙමාල්ලෝ පති කුලයට පිවිසි දා සිට මෙවැනිය. ඔවුන් විරසක නොවූ දවසක් සෙවීමට වඩා කලුනික සෙවීම පහසුය.

අම්මලා අදත් රණ්ඩුව පටන් අරන් . . .

මව්පියන්ගේ සාම්ප්‍රදායික වාදය නොඉවසන්නට බැරි තැන රක්ෂිත තම සොහායුරියට තෙපලීය.

හ්ම් . . . අපට පාඩම් කරන්නත් නැහැ.

ඇය ද ඊට හූමිටි තැබුවාය.

මේ නිවසෙහි වෙසෙන අන්ජුලාගේ සොයුරු ප්‍රියන්තට නම් මේ කිසිත් ගානක් නැත. ඔහු දැන් කම්මලේ බල්ලා මෙන් ඝෝෂාකාරී පරිසරයට හුරු වී හමාරය.

සමරසේකර, අන්ජුලා වාදය උත්සන්න විය.

මේ ගේ තමයි මගේ දියුණුවට බාධාව.

සමරසේකර කේන්තියෙන් ගුගුළේය. ඔවුන් පදිංචිව සිටියේ අන්ජුලාට හිමි නිවසකය. ඔහු එලෙස පැවසුවේ එහෙයිනි.

එදින දෙන්නා සමථයකට පත් වුණේ නිවස මාරු කිරීමට ඉටා ගනිමිනි.

වෙනත් ගමක අලුත් නිවසක නැවුම් සිතුවිලි සමඟ සමරසේකර පවුල පදිංචි වන්නේ ඉතාම කෙටි කලකිනි.

දැන් ඉතින් ඔක්කොම කරදර ඉවරයි.

අන්ජුලා සැනසුම් සුසුමක් හෙලුවාය.

නව අසල්වැසියෝ ද යහපත්ය.

ඒ අතර වූ වජිරසේන පවුල සමරසේකර පවුලට වඩාත් හිතවත් වූහ. වෘත්තියෙන් ගුරුවරයකු වූ වජිරසේන ශාන්ත ගතිගුණ ඇත්තෙකි.

රක්ෂිත ඉගෙනුම සඳහා ඇතුළත් වූයේ ඔහුගේ භාරකාරත්වයෙන් යුතු ගමේ ඉස්කෝලේ පංතියටය.

අන්න අලුත් කොල්ලෙක් ඇවිල්ලා.

රක්ෂිත පංතියට ඇතුළු වෙත්ම පිටුපසින් දඩබ්බරයකුගේ හඬක් ඇසිණ.

ඒ පංතියේ බලපුළුවන්කාරයා වූ දිලුකය. ඔහු වජිරසේනගේ පුත්‍රයාය. තම පියා පංති භාර ගුරුවරයා වූ නිසාදෝ දිලුක නාහෙට ඇහුවේ නැත. කෙටියෙන් කිව්වොත් වජිරසේනට පවා මේච්චල් කිරීමට අපහසුය.

රක්ෂිත සහ දිලුක එකම පංතියේ එකිනෙකාට එරෙහිව ක්‍රියා මාර්ගයන් ගනිමින් දින කිහිපයක් සිටියෝය.

වජිරසේන පංතියේ මුල් තැන දෙනුයේ රක්ෂිතටය. රක්ෂිතට කවි, ගීත, ඉතිහාසයේ නොයෙක් වැදගත් චරිත පිළිිබඳ කට පාඩම්ය. වජිරසේන රක්ෂිතට කැමැති මෙබැවින්ය. දිලුකට මෙය රිස්සුවේ නැත. ක්‍රමයෙන් රක්ෂිතට එරෙහිව තම සගයන් සමඟ කැරැල්ලක් ඇරැඹීමට දිලුක තීරණය කළේය.

කැලේ මාරු වුණ ද කොටියාගේ පුල්ලි මාරු නොවේ. මේ කියමන සත්‍යක් බවට පත් කරමින් සමරසේකරගේ පවුලේ ආරාවුල් යළිත් හට ගැනීමට පටන් ගත්හ. කෙටිකාලීනව ගෙවූ සුව දිවිය අවසන් වූ සංවේගය රක්ෂිතට සහ ඔහුගේ සහෝදරියගේ සිතෙහි වෙළෙමින් තිබිණි.

මේ සණ්ඩු සරුවල් පිළිබඳ තොරතුරු කටකතා මාර්ගයෙන් පාසලට ගොඩ වදින්නේ රක්ෂිතව තව තවත් කම්පනයේ අගාධයට දමමිනි. මෙයා හොඳ වුණාට රක්ෂිතයේ අම්මයි තාත්තයි හරියට රණ්ඩු වෙනවලු.

ඒ ආරංචි අවියක් කොට ගත් දිලුක රක්ෂිතට පහර දෙන්නට ඒවා උපයෝගී කොට ගත්තේය. මං තවත් ඉවසන එක තේරුමක් නැහැ. ඉක්මනට දිලුකට මොනව හරි කරන්න ඕනේ.

රක්ෂිත සිතෙහි උපන් ඒ නොපහන් හැඟීම දිනෙක ක්‍රියාත්මක කරන්නට හැදුවේය. නමුත් ඒ අදහස නිෂ්ඵල වූයේය. වජිරසේන තම පුත්‍රයාට රක්ෂිත යම් ආපදාවක් කරන්නට යන වග ඉවෙන් මෙන් දැනගත්තේය. ඔහු රක්ෂිතට දඬුවම් ලබා දී අවවාද කොට පිටක් කොට හැරියේය.

අපේ පුතාට ගහන්න එයා කවුද?

සිදුවීම හරි හැටි තේරුම් නොගත් සමරසේකර කිපිණ. ඔහු වහ වහා වජිරසේන හමු විය. දෙදෙනා අතර බොහෝ වෙලාවක් බහින්බස් වීමකි. එය අවසන් වූයේ සමරසේකර සහ වජිරසේන පවුල් අතර හොඳ හිත පලුදුවීමෙනි.

කාලය වේගයෙන් ඉගිල ගියෝය. නෝක්කාඩු වූ පවුල් දෙක අතර ප්‍රේමණීය තුරු වැලක් ලියන්නට පටන් ගත්තේය. ඒ ප්‍රියන්ත සහ දුලානි අතරය. දුලානි වජිරසේනගේ දියණියය.

එමෙන්ම දිලුකගේ එකම අක්කණ්ඩිය වන්නේය. මේ ආදරයේ තුරු වැලෙහි අතු ඉති දලුලා වැඩිණ. තව කලෙකින් එහි මල් පිපෙන්නට ද පටන් ගත්තේය. ඒ පුෂ්පයන්ගේ විකසිත වීම ඇරැඹි මොහාතේ සිට මේ දෙපොළගේ ආදරය ගැන සඟවා සිටින්නට කිසිවෙකුටත් නොහැකි විය. මේ වන විටත් දෙපිරිස අතර වෛරයද තීව්‍රය. පියන්තගේ සහ දුලානිගේ ආදර පවුර බිඳින්න නොහැකි බව සියල්ලෝ දැනගත්හ. එහෙයින් සමරසේකර සහ වජිරසේන පවුල් සාකච්ඡාවකට එළඹිණ. ඉන් දෙගොල්ලෝ යුද ප්‍රකාශ කිරීම නවත්වන්නට තීරණය කළෝය. ප්‍රියන්ත සහ දුලානිට මව්පිය ආශිර්වාදය ලැබෙන්නේය.

අපේ ආදරේ දිනුවා.

දුලානි ඉපිල ගිය සතොසින් ප්‍රියන්තට රහසින් පැවසීය.

මේ සියල්ල සිදු වුණද දිලුක සහ රක්ෂිත විරසකය.

රක්ෂිතයා එන්න එන්නම පංතියේ ඉස්සරහට එනවා.

දිලුකට සිතිණ.

මේකට මොනව හරි කලේ නැතිනම් මට තමා තැන නැති වෙන්නේ.

දිලුකගේ දරුණු අදහස් රක්ෂිතට ආපදාවක් කිරීමේ සැලසුමක් සකස් කෙරිණ.

සිතු දේ නොවන්නේය. නො සිතු දේ වන්නේය. මේ ලෝ දහමය. දිලුකගේ සැලසුම ක්‍රියාත්මක කිරීමට යාමේදී රක්ෂිතට කිසිවෙකුත් නොපැතූ අනතුරක් සිදු වන්නේය. එයින් බලවත්ව තුවාල වන ඔහු රෝහලට ඇතුළත් කරන්නේය.

රක්ෂිත දැන් සිටින්නේ සිහිමුර්ජාවය.

අනේ මං හින්දා වෙච්ච දෙයක්.

ලොවට හොරෙන් දිලූක දෙවියන්ට පවසන්නේය. නමුදු රක්ෂිත සිටිවනමය. කිසිදු සුවයක් පෙනෙන්නට නොවීය.

ඉන් ඔබ්බට සිදුවන දේ ඔබට කියා දෙන්නේ චිත්‍රපටයකි. එය ‘දරුවනේ’ය. ලංකාවේ වැඩිම චිත්‍රපට ප්‍රමාණයක් නිපැයූ සුනිල් ටී. ප්‍රනාන්දුගේ අලුත්ම සිනමා නිර්මාණය වන එය වී. සිවදාසන්ගේ අධ්‍යක්ෂණයකි.

‘දරුවනේ’ සුනිල් ටී. ගේ පළමු නිෂ්පාදනය වූ චණ්ඩි පැටව් සේම ළමා චිත්‍රපටයකි. එය ඔහුගේ අභිමානවත් පනස් දෙවැනි නිෂ්පාදනයයි.

මීට වසර දෙකකට පමණ පෙර පියකු ලෙස විඳින්නට ලැබෙන උපරිම සංවේදී ශෝකජනක අවස්ථාවකට සුනිල් ටී. මුහුණ පෑවේය. එය පිළිබඳ මෙතැන පුන පුනා කතා කිරීම සුදුසු වන්නේ නැත. ‘දරුවනේ’ සඳහා පාදක වී ඇත්තේ වියෝ වූ රිකී පුතණුවන්ගේ කතා පුවත බව සුනිල් .ටී පවසන්නේ හද පිරි කඳුලිනි.

‘දරුවනේ’ හි රංගන දායකත්වය සපයන්නේ මේ අය.

සමරසේකර - ජනක කුඹුකගේ

වජිරසේන - ජයලත් මනෝරත්න

අන්ජුලා - දුලීකා මාරපන

ප්‍රියන්ත - විශ්වනාත් කොඩිකාර

දුලානි - තිසුරි යුවනිකා

රක්ෂිත - ෂයන් පෙරේරා

දිලුක - යොහාන් පෙරේරා

සෙසු නළු නිළියන් -

පාලිත සිල්වා, නදීකා ගුණසේකර, විජේරත්න වරකාගොඩ, කෝකිල පවන්, තිෂූණ පෙරේරා, රචිනි විරංගා, චානක මදුශාන්.