සුදුවත ඇදි ඔහු
ඔහු හැමවිටම ඇන්දේ සුදු පැහැයයි. වෙනසකට තිබුණේ එම ඇඳුමට උඩින් එළා තිබූ සුදු
රෙද්ද පමණ ය. වෙනදාට නැඟෙන ඔහුගේ සරල සිනහව එදාත් දෙතොලඟ යාන්තමට ඇඳී තිබුණා යැයි
මට හැඟේ. ගිය සිකුරාදා පසුවරුවේ ඔහු අප සැමගෙන් සඳහටම සමු ගත්තේ ය.
ඔහු ඊ. එම්. ජී. එදිරිසිංහ ය. මෙරට සිනමා විචාරයේ නියැළුණ පිරිස අතර වඩාත් සාමකාමී
විචාරකයා ඔහු යැයි පැවසීම නිවැරැද ිය. කිසිවිටෙකත් කිසිවකු ගේ සිත රිදවීමට අකැමැති
ඔහු අවම වශයෙන් සිනමා කෘතියක් විවේචනයේ දී පවා කිසිම සිනමාකරුවකුගේ සිත නොරිද වන්නට
වග බලා ගත්තේ ය. විවේචකයකුට සිත නොරිදවා විවේචනය කළ හැකිද ? බැරි කමක් නැත. එයට
හොඳම උදාහරණය එදිරිසිංහ මහත්තයාගේ සිනමා විචාරයයි.
ලෝකයේ සිනමා විචාර කලාව ආරම්භ වූයේ ප්‍රංශයේය. 1914 වනවිට සිනමා විචාර කලාව එහි
යායුතු මාවත් පිළිබඳ නිවැරැදිව වටහා ගත්තා වැනි විය.
කොටින්ම සිනමාව යනු ලොව සත්වැනි කලාව යැයි අබිසෙස් කරන ලද්දේ ප්‍රංශ සිනමා
විචාරකයන් විසිනි. එහිදී සිනමා විචාරය වඩා පුළුල් විෂයයක් වූයේය.
එය වෙනම විෂය පථයක ලා හැඳීන්වීමටද සිනමා රසාස්වාදනය යනු සෙසු විෂයයන්ට වඩා වෙනස්
එයටම ආවේණික කලා ලක්ෂණවලින් යුත් එකක යැයි ඔවුහු හඳුනා ගත්හ. මේ නිසාම සිනමා
රසාස්වාදනය ලොව බොහෝ රටවල පාසල් විෂයයක් විය.
එහෙත් ඉතා මෑතක් වනතුරු සිනමා රසාස්වාදය විශ්වවිද්‍යාලවලට පවා වැද්දා නොගැනිණ.
එමෙන්ම වත්මනේ දී පවා සිනමා රසාස්වාදනය පිළිබඳ එහි කෙරෙන ඇතැම් දෙසුම් ඒ පිළිබඳ
ඇට්ටකුණා වූ මතවාදවලින් යුක්ත ය.
මෙරට සිනමා විචාරය ඇරැඹෙනුයේ ලාංකික සිනමාව ඇරැඹීමටත් පෙර ය. ඒ වනවිටත් මෙරට තිරගත
වූ දෙමළ හෝ හින්දි චිත්‍රපට පිළිබඳ සිනමා විචාරයන් එකල පුවත්පත්වල පළ විය. එහෙත් මේ
කිසිවක් සිනමා විෂය පිළිබඳ කළ ගැඹුරු හැදෑරීම් නොව සිනමා කෘතින් පිළිබඳ අදහස් පළ
කිරීම් පමණකි.
එහෙත් ආසියාවේ පැරැණිතම සිනමා සංගමය කොළඹ සිනමා සමාජය ඇරැඹෙනුයේ ද අපේ මුල්ම කතානාද
චිත්‍රපටය තිරගත වන්නටත් පළමුව ය. කෙසේ වෙතත් ඉහළ පෙළැන්තියේ තරුණයන්ගේ අදහස්වලින්
පිරි කොළඹ සිනමා සමාජයේ අලුත් සිනමා අදහස් රටපුරා ව්‍යප්ත වූයේ නැත.
එක් අතකින් රටපුරා එවකට විහිදුණ දකුණු ඉන්දියාවේ තැනුණ චිත්‍රපට අපේ සිනමා රසිකයන්
එයට වසඟ කර ගත් එකම ශෛලිය එය විය.
එයින් ඔවුන් යම් තරමකට හෝ මුදා ගැන්මට තවත් වසර ගණනාවක් ගත විය. එපමණක් නොව එකල
සිටි සිනමා විචාරකයන් ද එයින් මුදවා ගැන්ම පහසු කටයුත්තක් නොවීය. එසේ නොවන්නට
දෙවැනි සිංහල කතානාද චිත්‍රපටය වූ අසෝකමාලා චිත්‍රපටය පිළිබඳ ලියැවුණ සිනමා විචාර
හා අදහස් එයට වඩා මුළුමනින්ම වෙනස් වන්නට ඉඩ තිබිණ.
කෙසේ වෙතත් දේශීය සිනමා විචාරය පිළිබඳ ලියැවුණ බොහෝ අදහස් තුළ ගම්‍ය වූයේ යහපත්
කතාන්දරයක් චිත්‍රපටයකට ඇතුළත් විය යුතු බව ය.
ඒ හැරෙන්නට එහි ඇති සිනමා විලාසිතාව පිළිබඳ නිසි අධ්‍යයනයක් සිදුවූයේ නැත. මේ
තත්ත්වය කෙතරම් ද යත් එකල සිටි ඇතැම් විචාරකයෝ ගම්පෙරළිය චිත්‍රපටය පිළිබඳ විචාර
ලිවීමෙන් වුවමනාවෙන්ම වැළකී සිටියහ. නිධානය වැනි චිත්‍රපටයක රුව ගුණ තේජස හඳුනා
ගැන්මෙහි ලා ඔවුහු අපොහොසත් වූහ. සමහර විචාරකයන් දැක තිබූ ලොව ඉහළම චිත්‍රපටය වූයේ
මදර් ඉන්ඩියා පමණී.
මේ ඇතැම් විචාරකයන්ට ලෝකයේ සිනමා ශෛලීන් හෝ සිනමා විලාසිතාවන් පිළිබඳ අල්පමාත්‍ර හෝ
දැනුමක් නොතිබුණහ. එයින් වඩාත් අසරණ වූයේ නැතහොත් බැට කෑවේ තරුණ රැඩිකල්
සිනමාකරුවන් ය. මේ නිසාම ඇතැම් සිනමාකරුවන් විසින් විචාරකයන් අරබයා නඟන ඇතැම්
මතවාදවල වැරැද්දක් නැත්තේම නොවේ.
ඊ. එම්. ජී. එදිරිසිංහ සිනමා විචාරයට එක්වනුයේ එවන් පසුබිමකය.
ඔහු සිනමාවට මුලින් එක්වනුයේ විචාරකයකු ලෙස නොව සිනමා තිරනාටක රචකයෙකු හැටියට ය. ඒ
‘රේල් පාර’ චිත්‍රපටයෙනි. කෙසේ වෙතත් ඔහු වඩා පතළ වනුයේ සිනමා සහ කලා විචාරකයකු
හැටියට පසුකලෙකය. හෙතෙම මුලින්ම සිනමා ජූරි සභාවකට එක්වනුයේ 1987 වසරේ ජනාධිපති
සම්මාන උළෙලේ ජූරි සාමාජිකයකු හැටියට ය. එයින් වසරක් ගෙවුණ තැන හෙතෙම සරසවිය සිනමා
ජූරියේ ද සාමාජිකයකු විය
. එයින් වසරක් ගෙවුණ තැන ඔහු සරසවිය සිනමා උළෙලේ ජූරි සභාවේ සභාපති පදවිය ඉසිලුවේය.
එයින් පසුවුවද කිසිකලෙක සාමාන්‍ය සාමාජිකයකුව කටයුතු කරන්නට ඔහු මැලි වූයේ නැත.
සරසවිය සම්මාන උළෙලේ දී එහි ජූරි සම්බන්ධීකාරක ලෙස වසර ගණනාවක් කටයුතු කළ මම
එදිරිසිංහ මහතාණන් සමඟ සමීපව කටයුතු කිරීමේ භාග්‍යය ලදිමි.
එය ඔහුගේ ඇතුළු හදට එබෙන්නට ලැබුණු මහඟු අවස්ථාවක් විය.
ඔහු කිසිවිටකත් අනුන්ගේ සිතක් රිදවන්නට අකැමැති බව ඇත්ත ය. එහෙත් එමෙන්ම ඔහු ගේ
තීරණ නොවෙනස් ය. ඒ සම්බන්ධයෙන් ඔහු සෘජු වූයේය.
වරක් සිනමාව සම්බන්ධ ඔහුගේ සෞම්‍ය ප්‍රතිපත්තිය පිළිබඳ මා විචාලේ සුහද කතාබහක
අතරතුර ය. මම තදින් ලියන්න කැමැති නැහැ. එතුමාගේ පිළිතුර විය.
මේ නිසාම සිනමා කර්මාන්තයේ නියැළි පිරිස සමඟත් එදිරිසිංහ මහත්තයාට අරගලයක් නොවිණ.
ජූරි සම්බන්ධීකරණ කටයුත්ත ඉතා පරිස්සමින් කළ යුතු රාජකාරියක් විය. එකක් නම් එකිනෙකට
වෙනස් ගතිගුණ සහිත සමාජය තුළ කිසියම් සිවිල් බලයක් ඇති එමෙන්ම දැන උගත් කලා
විඥානයකින් යුත් ඉතා කාර්යබහුල හත්දෙනෙක් එකිනෙකා එක් කර ගැනීමයි. දෙවැන්න ඔවුන්ගේ
සම්මාන පිළිබඳ කටයුතු හා කතාබහ සම්මාන උළෙල නිම වනතුරු දේව රහසක් සේ රැක ගැනීමයි.
මට හමුවූ ජූරි සාමාජිකයන් අතර මා බොහෝවිට අමාරුවේ වැටෙන්නේ එදිරිසිංහ මහතා
නිසාවෙනි. හේතුව ඔහු වෙතින් කිසිදු අපහසුතාවයක් හෝ ඉල්ලීමක් සිදු නොවීමයි.
අවම වශයෙන් එතුමා වෙතට යැවිය යුතු වාහනය නිසි වෙලාවට නොපැමිණීම පිළිබඳ එය සැපයිය
යුතු මා උරණ වුවද එතුමාණෝ උරණ නොවෙති. එය සමාව දිය හැකි සාමාන්‍ය වරදක් සේ සලකති.
එපමණක් නොව කිසිදු ආකාරයක හෝ වෙනත් පහසුකමක් හෝ නොපතති. මා අමාරුවේ වැටෙන්නේ ඔහුට
සැලකීමේ දී ඔහු කිසිත් බලාපොරොත්තු නොවන බැවිනි. එමෙන්ම ඔහු ඉතා චාම් මිනිසකු
වූයේය. සිය ජීවිත කාලය ඇතුළත හෙතෙම කිසි කලක ජංගම දුරකතයක් පාවිච්චි කරනු මා දැක
නැත.
එය සැලකුවේ කරදරයක් හැටියට ය. කලක් ඔහු සේවය කළේ දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ය.
එමෙන්ම ඔහු නීතිඥවරයෙකු ද විය. එහෙත් මේ කිසිවක් ඔහුට අබරණ නොවීය. ඔහු සිංහල මෙන්ම
ඉංග්‍රීසි බසෙහි ද සමතෙකු විය.
එබැවින්ම රොබින් තම්පෝ පිළිබඳ විලාසිනි තම්පෝ ලියූ ඉංග්‍රීසි පොත සිංහලට පරිවර්තනය
කළ ඔහු නුවන් නයනජිත් කුමාර, ගාමිණී ෆොන්සේකා පිළිබඳ ලියූ ග්‍රන්ථය ඉංග්‍රීසියට
පෙරළුවේය. ඔහු සිංහල චිත්‍රපට කිහිපයකටම ඉංග්‍රීසි උප සිරැසි යෙදීමෙහි ලා සිය භාෂා
දැනුමේ මහිමය පසක් කළේය.
ඔහු ප්‍රසිද්ධ රැඟුම් පාලක මණ්ඩලයේ මෙන්ම සාහිත්‍ය අනු මණ්ඩලයේ ද නාට්‍ය අනු
මණ්ඩලයේ ද සාමාජිකයකුව සිටියේය. ඒ කිසිවක් හරහා ඔහු හිස උදුම්මාගත් කෙනෙක් නොවීය.
එමෙන්ම මේ සියලු කටයුතු ඔහු සිදු කරන ලද්දේ අප්‍රමාණ කැපවීමකිනි. ඒ සඳහා කාලයක්
ශ්‍රමයත් වැය කිරීම ඔහුට ගැටලුවක් නොවිණ.
එමෙන්ම ඔහු සරසවිය ට අප්‍රමාණව ඇලුම් කළේය. මේ ඇලුම් කිරීම කෙතරම් ද යත් මා කතු
පදවියට පත් වූ පසු ඔහු වරින්වර ඒ පිළිබඳ නිරතුරු සිය අදහස් පළ කළේ ය.
ඒවා ඉච්ඡා ප්‍රශංසා නොවීය. ඇතැම් කවරයක් පිළිබඳ ඔහු සිය දෝෂාරෝපණය ගෙනාවේ ය. පැසසිය
යුතු තැන ඔහු මහ ඉහළින් පැසසුවේ ය.
මේ නිසාම ඔහු පුවත්පත පිළිබඳ දක්වන අදහස් මට වැදගත් විය.
ඔහු රෝගාතුර වූ වග සැලවූයේ ගිය සතියේ මුල ය. එයින් දින දෙකක් යන්නට මත්තෙන් ඔහුගේ
මරණය පිළිබඳ පුවත සැලවිණ.
එයින් පැය විසි හතරක් ගත වන්නට මත්තෙන් අවසන් කටයුතු සිදු කෙරිණ. ඒ සියල්ල ජීවත්ව
සිටියදීම ඉල්ලූ පරිදි ඉතා චාම් ආකාරයෙන්ම ය.
වතින් සුදු ඇඳී පමණින් හැඩනොවී සිතින් ද සුදු මහතෙකු සොයන්නට තවත් මේ සසර පුරා
සැරිසරන්නට වේ යැයි ඉන් ඉක්බිති මට සිතිණ.
|