සමකාලීන සිනමාවේ ජනප්‍රියම නළුවා
සමකාලීන සිනමාවේ ජනප්‍රියම නළුවා රන්ජන් රාමනායක ය. ඒ බව ‘සරසවිය’ සම්මාන පමණක්
නොව සලීම් නිල්සන් ආයතනයෙන් පිට පිට පස් වතාවක් පිදුණු ‘ජනතා සම්මානය’ ද
(PEOPLE’S AWARD) සාක්ෂ්‍ය දරයි.
රන්ජන් සිනමාවට ප්‍රවිෂ්ට වූයේ ‘ක්‍රිස්තු චරිතය’ චිත්‍රපටයේ සමූහ දර්ශනයකට අතිරේක
නළුවකු ලෙස පෙනී සිටීමෙනි. මෙහිදී උත්ප්‍රාසයට තුඩු දෙන කාරණාවක් වන්නේ එම සමූහ
දර්ශනයේ රන්ජන් පෙනී සිටින රූප රාමුව රන්ජන්ට පමණක් නොව චිත්‍රපටයේ අධ්‍යක්ෂ
මහාචාර්ය සුනිල් ආරියරත්නට පවා මේ වන විටත් සොයා ගත නොහැකි වීමයි.
1963 දී මීගමුව කොච්චිකඩේ උපන් රන්ජන් රාමනායකගේ සම්පූර්ණ නම වූයේ සද්ද විද්ද
රාජපක්ෂ පලග පතිර අබකුමාරගේ රන්ජන් ලියෝ සිල්වෙස්ටර් අල්පෝන්සුය. මූලික අධ්‍යාපනය
ලැබුවේ මාරිස්ටෙලා විදුහලෙනි. රන්ජන් , ජනකාන්ත නළු විජය කුමාරතුංගගේ ඥාති පුතුයකු
වීම සුවිශේෂත්වයකි.
‘ජය කොතැනද’ රන්ජන් රඟපෑ පළමු චිත්‍රපටය විය. ඔහු ඊට සම්බන්ධ වූයේ ‘සරසවිය’
පුවත්පතේ පළ වූ දැන්වීමක් ඔස්සේය. රන්ජන් අල්පෝන්සු රන්ජන් රාමනායක ලෙසට නාමකරණය
වූයේ මෙම චිත්‍රපටයෙන් ඉනික්බිතිවය. මෙහි අධ්‍යක්ෂවරයා සෝමරත්න රාමනායකය. රන්ජන්
ඔහුගේ වාසගම තම නමට ඈඳා ගත්තේ තමා සිනමාවට හඳුන්වා දුන් මේ අධ්‍යක්ෂවරයාට කෘතගුණ
සලකනු වස්ය. පළමු චිත්‍රපටයෙන්ම ප්‍රධාන නළුවා වුවත් රන්ජන්ට මුල් යුගයේදී
චිත්‍රපටවල රඟපාන්ට ලැබුණේ සුළු සුළු චරිතය. ඒ රඟපෑම් සඳහා කිසිදු ගෙවීමක් ද
නොලැබිණි. ලැබුණේ බත් පාර්සලයක් පමණි. ඒ නිසා එකල ඇතැමුන් රන්ජන්ට ගර්හා කළේ ‘බත්
පාර්සල් නළුවා’ යැයි කියාය.
ඇතැම් චිත්‍රපටයක රන්ජන් (‘දුර්ගා’, සක්විති රජ’ වැනි) දුෂ්ට චරිත පවා රඟපෑවේය. ඒ
තම හැකියාව කොයි අතකින් හෝ පෙන්වීමටය. රන්ජන් මුලදී තම ඥාති විජය කුමාරතුංග අනුකරණය
කිරීමට බොළඳ උත්සාහයක යෙදුණත් පසුව ඔහු කෙමෙන් මුහුකුරා යෑමත් සමඟ තමන්ටම ආවේණික වූ
රංග ශෛලියක් නිර්මාණය කර ගත්තේය.
මුල සිටම රන්ජන්ට අවශ්‍ය වූයේ දක්ෂ චරිතාංග නළුවකු වන්නට බවක් පෙනී යයි. වරක් ඔහු
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් හමුවන්ට ගියේ ඒ අරමුණ සපුරා ගනු වස්ය. එම අත්දැකීම
රන්ජන් පුවත්පතකට විස්තර කර ඇත්තේ මෙපරිද්දෙනි.
‘86 වසරේ දවසක මම ලෙස්ටර් මහත්තයා මුණ ගැහෙන්න ගියා. දවස් දෙක තුනක් රස්තියාදු
වෙලයි මුණ ගැහුණේ. මම ලෙස්ටර් මහත්තයට කිව්වා මම රඟපාන්න කැමැතියි ඔබේ චිත්‍රපටයක.
අවස්ථාවක් ලබා දෙන්න කියලා. ලෙස්ටර් මහත්තයා මා දිහා බලා හිටියා. මම ඇහුවා සර් මම
දැන් රඟපාලා පෙන්නන්නද කියලා. ලෙස්ටර් හිනා වුණා. නෑ කෙනෙක් දැක්කම මට හිතාගන්න
පුළුවන්. මම ඔයාට අවස්ථාවක් දෙන්නම්’ කියලා ලෙස්ටර් කිව්වා. (ඉරිදා දිවයින මීවිත
1995 ඔක්තෝබර් 15).
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පොරොන්දු වූ පරිදි ඔහුගේ ඊළඟ චිත්‍රපටයේදී රන්ජන්ට අවස්ථාවක්
ලබා දුන්නේය. ඒ චිත්‍රපටය ‘අවරගිර’ය. රන්ජන් දක්ෂ චරිතාංග නළුවකු බව ප්‍රථම වරට
සනාථ කර සිටියේ එම සිනමාපටයෙනි.
ඉන් පසු සුමිත්‍රා පීරිස්ගේ ‘දුවට මවක මිස’ චිත්‍රපටයේ ද ඔහුට සැලකිය යුතු චරිතයක්
ලැබිණි.
කෙසේ වෙතත් රන්ජන්ගේ රංගන ප්‍රතිභාව බරපතළ ලෙස
මතු කර ගත් එකම සිනමාකරුවා උදයකාන්ත
වර්ණසූරිය බව කිව යුතුය. ඔහු අධ්‍යක්ෂණය කළ ‘රෝස වසන්තය’, ‘බහුභාර්යා’, ‘යකඩ
පිහාටු’, ‘පායා එන්න හිරු සේ’ වැනි චිත්‍රපටවල රන්ජන්ගේ රඟපෑම් ප්‍රශංසා කටයුතු
මට්ටමක තිබිණි. ඒවා කිසිසේත්ම ගැඹුරු සංකීර්ණ චරිත නොවූවාට චරිතයට අදාළ ලෙස, ඊට
සාධාරණය ඉටු කරමින් ඔහු එකී චරිත රඟපෑ බව අවධාරණය කළ මනාය. විශේෂයෙන් ‘බහුභාර්යා’
චිත්‍රපටයේ රන්ජන් ඉදිරිපත් කළ රංගනය මෙහිදී වඩාත් කැපී පෙනේ. රන්ජන්ට හොඳම නළුවා
සඳහා වන සම්මාන දෙකෙන් එකක් හිමි වුයේ ද උදයකාන්ත අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයක
රඟපෑමෙනි. ඒ ‘පායා එන්න හිරු සේ’ චිත්‍රපටයේ සුරේන්ගේ චරිතය වෙනුවෙනි. සම්මානය
ලැබුණේ ඕ. සී. අයි. සී. ආයතනයේ උත්තමාචාර උළෙලේදීය. ඊට ඉහත ඔහු කැලුම් පාලිත
මහීරත්නගේ ‘නිලම්බරේ’ චිත්‍රපටයේ කළ රංගනය උදෙසා සරසවිය සම්මාන උළෙලේදී සහ ඕ. සී.
අයි. සී. උත්තමාචාර උළෙලේදී හොඳම නළු සම්මානය හිමි කර ගත්තේය.
මෙයට වසර ගණනාවකට ඉහත (එනම් 1991 දී) රන්ජන් ‘සරසවිය’ සම්මාන උළෙලේදී ‘හිමගිර’
චිත්‍රපටයේ රංගනය වෙනුවෙන් හොඳම නවක නළුවා සඳහා වන සම්මානය හිමි කර ගත් බව ද මෙහිලා
සිහිපත් කළ යුතුය.
රන්ජන් ‘සරසවිය’ සම්මාන උළෙලේ ජනප්‍රියම නළුවා වූයේ 2002 වසරේ සිටය. එතැන් සිට
අවසනට පැවති ‘සරසවිය’ සම්මාන උළෙල දක්වාම ඔහු ජනප්‍රිය නළුවා වන්නේය.
රන්ජන් නළුවකු පමණක් නොව ගායකයෙක් ද වෙයි. ඔහු ‘ලව් ඉන් බැංකොක්’ චිත්‍රපටයට ගැයූ
‘රන් සමනළ ජෝඩුව වාගේ’ ගීතය අතිශයින්ම ජනප්‍රිය වූයේය.
රන්ජන් පසු කලෙක චිත්‍රපට අධ්‍යක්ෂණයට ද පිවිසියේය. ‘පාර්ලිමන්ට් ජෝක්ස්’
‘වන්ෂොට්’, ‘ලීඩර්’ ඔහු අධ්‍යක්ෂණය කළ චිත්‍රපටයි. මෙයින් ‘පාර්ලිමන්ට් ජෝක්ස්’
චිත්‍රපටය සුවිශේෂ වන්නේ එහි රන්ජන් විකට රංගනයක යෙදීමය. ‘රෑ දනියෙල් දවල් මිගෙල්’
චිත්‍රපටයේ ද ඔහු අපූර්ව විකට රංගනයක් ඉදිරිපත් කළේය. මුල් යුගයේදී රන්ජන් චිත්‍රපට
නළුවකුටත් වඩා ජනප්‍රිය වූයේ ටෙලි නාට්‍ය නළුවකු ලෙසිනි. විශේෂයෙන් ‘භාග්‍යා’ ටෙලි
නාට්‍යයෙන් ඔහු බෙහෙවින් ජනකාන්ත වූයේය. ‘චාරුලතා’, ’නිල් මහනෙල්’, ’විශ්ව ගමන’,
‘සාගරය පරදා’, ‘සත් සඳ කිරණ’, ‘පිටගංකාරයෝ’ ඔහු රඟපෑ සෙසු ටෙලි වෘත්තාන්ත අතර වෙයි.
එයින් රන්ජන්ගේ රංග කෞශල්‍ය වඩාත් ප්‍රකට වූයේ ‘පිටගංකාරයෝ’ ටෙලි නාට්‍යයේ කළ
චරිතාංග නිරූපණයෙනි.
උදයකාන්ත වැනි අධ්‍යක්ෂවරයකු හැරුණු කොට අපේ සිනමාවේ සිටින වෙනත් සැලකිය යුතු
මට්ටමේ අධ්‍යක්ෂකවරුන් රන්ජන්ගේ රංග කුසලතාවයෙන් නිසි ප්‍රයෝජනයක් ගැනීමට ඉදිරිපත්
නොවීම කනගාටුදායකය. ප්‍රසන්න විතානගේ හා ඔහුට පසුව බිහි වූ පරපුරේ තරුණ
අධ්‍යක්ෂවරුන් වැඩි අවධානය යොමුකර ඇත්තේ පීටර් අල්මේදා, මහේන්ද්‍ර පෙරේරා, සෞම්‍ය
ලියනගේ, ධර්මප්‍රිය ඩයස්, තුමිදු දොඩන්තැන්න වැනි වෙනත් මාදිලියක නළුවන් කෙරෙහි වන
පසුබිමක රන්ජන්ට සිදු වන්නේ ජනපි‍්‍රය සිනමා ධාරාවේම කර වටක් එරී සිටීමටය.
අවසානයේදී රන්ජන්ට සිනමා ඉතිහාසය තුළ හිමි වන්නේ ජනප්‍රිය නළුවා යන සුවිශේෂණය මිස
විශිෂ්ට චරිතාංග නළුවා යන බුහුමන නොවේ. එය අතිශයින්ම කනගාටුදායක තත්ත්වයකි.
රන්ජන් දේශපාලන ක්ෂේත්‍රයේ ද ක්‍රියාකාරී චරිතයකි. එහි බැබළීමට නම් සිනමාවේ
ජනප්‍රිය කිරුළ දිගින් දිගටම රඳවා ගැනීම අවශ්‍ය වන්නේය. දැන් රන්ජන්ගේ අභිලාශය එය
රැක ගැනීමට කළ හැකි සියලු උපා මං යෙදීම මිස සිනමාව තුළ ප්‍රතිභාසම්පන්න චරිතාංග
නළුවකු වීම නොවන බවක් ද අපට පෙනී යයි.
සුනිල් මිහිඳුකුල
|