අලි පිළිබද මොළය

අර්නස්ට් වඩුගේ රස ආවර්ජනයක

Taste Differn රසය විවිධයි , යනුවෙන් පිළිගත් කියමනක් ඇත. එය එසේය. රසය යනු එකනකාට වෙනස් වූ දෙයකි. කෙනෙක් අතිශයින් ප්‍රිය කරන වස්තුව, තව කෙනෙකුගේ පිළිකුලට, වෛරයට හේතු විය හැකිය. කෙනකු කැමති කලා කෘතියකට තව කෙනකු අකැමැති විය හැක. එය ලෝක ස්වභාවයකි.

මෙම ලෝක ස්වභාවය කලාකරුවන්ට ද වෙනස් විය නොහැක. මොන තරම් සුපතල කීර්තියක් දරන කෙනකු හෝ වේවා කෙනෙක් අනිකාට වෙනස් විය හැකිය.

එලෙසින්ම මාගේ දීිර්ඝකාලීන මාධ්‍ය ජීවිතයේදී මට හමු වු සහමුලින්ම වෙනස් වූ කලාකරුවකු ලෙස ජෝ අබේවික්‍රම හැඳින්විය හැකිය. සැබැවින්ම ජෝ අබේවික්‍රම වනාහි මෙරට පහළ වූ අති විශිෂ්ට නළුවකු බවට කිසිදු වාදයක් විවාදයක් නොමැත. හැටපස් වසරක ඉතිහාසයක් ඇත්තා වූ සිංහල සිනමාවේ බොහෝ කාලයක් ජෝ අබේවික්‍රම ලකුණ අනන්ත වූ දස්කම් දැක්වූවේය.

ජෝ අබේවික්‍රම කිසිවකුට සමාන වන්නේ නම් ඒ ජෝ අබේවික්‍රමට ම පමණි. වචනයේ පරිසමාප්ථාර්ථයෙන්ම ජෝ අබේවික්‍රම සතු වූ අනන්‍යතාව අපේ සිනමාව පුරාම විරාජමානව පවතින්නේය.

රංගනයෙන් පමණක් නොව, දීර්ඝ කාලයක් ඇසුරු කළා වූ මා මිත්‍ර ජෝ අබේවික්‍රමගේ සැබෑ චරිතය තුළ ද පැවතියේ ඔහුටම ආවේණික වූ චරිත ලක්ෂණ පමණකි.

ඔහු ශ්‍රේෂ්ඨ නළුවකු තරමටම ඔහු ශ්‍රේෂ්ඨ ගැමියෙකි. විසල් නගරයක දිවි පෙවෙත ගෙව්ව නමුදු ඔහු හැමදාමත් ජීවත් වූයේ සිතින් ගමේය. තමා උපන් රත්නපුර ලෙල්ලොපිටිය සොඳුරු ගම්මානය පමණක් නොව, ශ්‍රී ලංකාවේ සෑම ගමකටම පෙම් බැන්දේය. එයට ප්‍රමාණවත් වූ මා සියැසින් දුටු සාක්ෂි එමට ඇත.

‘ජෝ . . . ගම’ ගැන මගේ අත්දැකීම් ගෙනහැර පෑමට පෙරාතුව ඔහුව මට ජීවිතයේ මුල් වරට හමු වූ දිනය සටහන් කිරීම උචිත යැයි සිතේ. ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග වැනි උසස් කලාකරුවන් මුලින්ම හමු වුූ දිනය පිළිබඳව අද මට නිශ්චිත මතකයක් නැතත්, ජෝ අබේවික්‍රම ‘කවටයා’ මට හමු වූ මුල්ම දිනය මේ මොහොතේත් මගේ මනසේ රැඳී ඇත්තේය.

‘කවටයා’ යන යෙදුම මා මෙහි සඳහන් කළේ සැබැවින්ම මුල් කාලයේ එම අසහාය විකට නළුවාට ගෞරව පිණිසමය. මට ඔහුව මුලින්ම හමු වූයේ ද ඔහු හාස්‍යෝත්පාදක රංගනයෙන් රටක් පිනවමින් සිටි අවදියේය. ඒ මීට දශක තුන හමාරකට හෝ දශක හතරකට පමණ වූ ඈත අතීතයේ දිනකය.

ඔහු එවකට පදිංචිව සිටියේ නුගේගොඩ ජම්බුගස්මුල්ල පාරේ පිහිටි තරමක ප්‍ර‍්‍රමාණයේ කුලී නිවසකය. ඒ වන විට පසු කලෙක ඔහුගේ වාසස්ථානය වූ නුගේගොඩ පාගොඩ පාරේ පිහිටි සුවිසල් නිවස ඉදිවෙමින් පැවතියේය. ගඩොලින් ගඩොල ඉදි වෙමින් පියවරින් පියවර මහා මන්දිරයක් වන තම ‘රන් සෙවණ’ පෙන්වීමට ඔහු මාව කිහිප දිනක්ම කැටුව ගියේය. ඔහු තුළ මහත් සොම්නසක් අභිමානයක් පැවතියේ යැයි මට සිතේ.

මුලින්ම මා ජෝ හමුවීමට ගියේ ‘කලා’ පත්‍රයේ විශේෂාංගයක් සඳහාය. එකල ‘ඇපොයිමන්ට්’ දමා නළු නිළියන් හමුවීමේ සිරිතක් තිබුණේ නැත. අද මෙන් දුරකතන පහසුකම් හෝ එස්. එම්. එස්. සංස්කෘතියක් තිබුණේ ද නැත.

අද සමහරු මෙන් බොරු සෝබනේට ගෙදර ඉඳන් ‘එයා ෂූටිං ගිහින්’ කියා එයාම පවසන සිරිතක් තිබුණේ නැත. (මේ අද සමහරු ගැන නවක මාධ්‍යවේදීන් නඟන චෝදනාවකි).

නොදන්වා හෝ ගෙදරට ගොඩ වදින මාධ්‍යවේදියා ඉතාම ලෙන්ගතුව පිළිගැනීමට එකල ගාමිණී ෆොන්සේකා, විජය කුමාරතුංග, ටෝනි රණසිංහ, මාලිනී ෆොන්සේකා, අනුලා කරුණාතිලක, ජීවරාණි කුරුකුලසූරිය, සන්ධ්‍යා කුමාරි, ආනන්ද ජයරත්න වැනි මහා නළු නිළියෝ සැදී පැහැදී සිටියහ.

‘ආ එන්න එන්න . . . අර්නස්ට් එන්න,, අද වැඩක් නැති දවසක්. මරු ඔයා ආපු එක’

මාව ජීවිතයටම නොදැක සිටි ජෝ අබේවික්‍රම මාව පිළිගනිමින් ඔහුට සුපුරුදු ලෙන්ගතු අයුරින් ආමන්ත්‍රණය කරමින් මාව පිළිගත් ආකාරය ගැන මට එක අතකට මිහිරි විස්මයක් දැනුණි.

මේ ජනප්‍රිය නළුවා මාව මගේ මුල් නමින්ම ඇමතීම ගැන මට පුදුම මෙන්ම සතුටක් සිතුණි. කතාබහ නොකළේ වී නමුදු ඊට පෙරාතුව දිනක චිත්‍රපටයක මංගල දර්ශනයේදී අප හමු වූ බවක් මට එදා සිහිපත් කළේ ද ඔහුය.

එකල ජෝ අබේවික්‍රම ජනප්‍රිය ගුවන් විදුලි වැඩසටහනකට සහභාගී වී තිබුණි. ‘ජෝගෙන් අහන්න’ නම් වූ එම වැඩසටහන නිෂ්පාදනය කළේ එක්කෝ ආරියදාස පීරිස්ය. නැතහොත් විමලදාස පෙරේරාය.

‘මේ මගේ රසිකයානේ ගිංතොට අර්නස්ට් කුමාර වඩුගේ . .. . එන්න එන්න අපි ජම්බු කමු’

ජම්බුගස්මුල්ල මාවතේ පිහිටි මෙම නිවසේ මිදුලේ ලොකුª ජම්බු ගසක ජම්බු පිරී පැවතුණි. ඔහු තම සරොම කූඩයක් මෙන් සකසා ගෙන ජම්බු ගෙඩි විශාල ප්‍රමාණයක් කඩාගෙන විත් මට දී ඔහුත් අනුභව කිරීමට ගත්තේය.

‘ජම්බු එච්චර කන්න හොඳ නැතිලු නේද’

මා පැවසූ විට ඔහුට පුංචි කේන්තියක් ආවේය.

‘එහෙනම් සුද්දගෙ ඇපල්, මිදි ද කන්න හොඳ. කජු, පේර, දෙළුම් කියන්නේ අපේ ගමේ කෑම. මේව රජ මසුරන් කෑම’

ඔහු මහත් උජාරුවෙන් යුතුව පැවසීය.

ඒ ජෝ අබේවික්‍රමය . . .

මගේ ජීවිතයට ජෝ අබේවික්‍රම වඩාත්ම සමීප වූයේ ‘ජෝඩු වළලු’ චිත්‍රපටය නිෂ්පාදන අවදියේ යැයි මට සිතේ. ‘ජෝඩු වළලු’ නිෂ්පාදනය කරන ලද්දේ කේ. පී. ඒ. ජයරත්න සහ ඩී. පී. වික්‍රමසිංහ විසිනි. එහෙත් එහි මුළු නිෂ්පාදනයම භාරව එහි නිෂ්පාදන කෘත්‍යාධිකාරී ලෙස කටයුතුª කළේ ගාමිණී ජයරත්නය. සැවොම සමඟ ඉතාම සුහදශීලීව කටයුතුª කළ හොඳ මහත්මයකුª වන ගාමිණී ජයරත්න ජෝ හැඳින්වූයේ ‘සුදු මහත්තයා’ කියාය. ඒ ජෝ, ගාමිණීට තැබූ සැලකීම නිසාමය.

‘ජෝඩු වළලු’ චිත්‍රපටයේ ප්‍රධාන චරිතය නිරූපණය කළේ ජෝ අබේවික්‍රමය. සුමනා අමරසිංහ, වින්සන්ට් ප්‍රේමසිරි, නිහාල් සිල්වා, විල්සන් කරුණාරත්න, දයා අල්විස්, යූ. ආරියවිමල්, ශ්‍රියානි ෆොන්සේකා, කීර්ති හේවාවසම්, ඩේෂන් අමරසිංහ ආදීන් ද රඟපෑ ‘ජෝඩු වළලු’ අධ්‍යක්ෂණය කළේ පතිරාජ එල්. එස්. දයානන්දය. අද විද්යුත් මාධ්‍ය ක්ෂේත්‍රයේ ඉහළ කීර්තිධර චරිතයක් වන නිමල් ලක්ෂපතිආරච්චි ද එහි නිෂ්පාදන අංශයෙන් තනතුරක් දැරුවේය.

පුරා මාස ගණනාවක් ‘ජෝඩු වළලු’ එළිමහන් දර්ශන රූපගත කළේ ආනමඩුව පළාතේ පිහිටි සේරුකැලේ නම් වූ සොඳුරු ගම්මානයකය. මනස්කාන්ත වූ ගමක් වුව ද එහි අවට වූයේ කැලෑවක් වැනි පෙදෙසකි. චිත්‍රපටය සඳහා අවශ්‍ය වූයේ යෝධ ගල්පරවලින් ගහන විශාල වන පෙදෙසකි.

මා ‘ජෝඩු වළලු’ නිෂ්පාදන අධිකාරී ලෙස කටයුතුª කළ හෙයින් මාස ගණනාවක් ජෝ ඇතුළු කට්ටිය සමඟ සේරුකැලේ ගත කිරීමට මට ද සිදු විය. ඒ වන විට ජෝත් මාත් හොඳ මිතුරන් වීමු. එබැවින් අප දෙදෙනා බොහෝ විට එකටම ගත කළෙමු.

නළු නිළියන් ඇතුළු පිරිසට නතර වීම සඳහා පළාතේ ඉහළම සුපිරි හෝටල්, තානායම් ආදිය සූදානම් කර ගැනීමට ගාමිණී ජයරත්නට අවශ්‍ය විය.

‘ජෝ . . . ඔයා කැමැතියිනේ රෙස්ට්හවුස් එකේ මේ කාලේ ගත කරන්න’

මම ජෝ ගෙන් ඇසුවෙමි. ඔහු මා දෙස රවා බැලීය.

දර්ශණ තල (ලොකේෂන්ස්) පිරික්සීම සඳහා ජෝ, පතී, ගාමිණී, මා, කැමරා ශිල්පී ජිනදාස පෙරේරා ඇතුළු කීප දෙනකු කල්තියා සේරුකලේට ගියෙමු. එහිදී ජෝ පළාතේ ගැමි නිවාසවලට ගොස් ගම පුරා සංචාරය කරමින් එම ගමට මහත් සේ සමීප වෙමින් සිටියේය.

‘මොන රෙස්ට් හවුස් ද අර්නස්ට් . . . මේක රත්තරන් ගමක්නේ . . . ඕගොල්ලන්ට ඕන නම් රෙස්ට් හවුස් යන්න. මට ඔන්න ඔය ගමක අතු පැළක වුණත් කමක් නෑ ලෑස්ති කරන්න. බිම පැදුරක් එලාගෙන හුළං හමන, දෙයියනේ කියලා මේ ගමේ මිනිස්සු එක්ක මං ඉන්නම්, මේ මාස කීපයම.’

ජෝ ඉතාම හැඟීම්බරව කීය. ඔහුගේ ආසාවට, ඔහුගේ ඉල්ලීමට චිත්‍රපටයේ කවුරුත් අවනත වූහ. ඒ වන විට නව යොවුන් වියේ පසු වූ රූමත් ජනප්‍රිය නිළියක වූ සුමනා අමරසිංහ පවා චිත්‍රපටයේ දර්ශන ගැනීම් පැවති කාලය පුරාම නවාතැන් ගත්තේ ගමේ කුඩා නිවෙස්වලය. කවුරුත් සුපිරි හෝටල්වල කෑම බීමවලට වඩා ගමේ කොස්, දෙල්, අල පොළොස් ගංමාලු ආදී ගැමි ආහාරවලට ප්‍රිය කළහ.

රූපගත කිරීම් වෙලාසනින් නිම වූ ඇතැම් දිනවලට ‘පැදුරු සාජ්ජේ’ වරදින්නේම නැත. ‘පැදුරු පාටිය’ පවත්වනුයේ ද පළාතේ ධනවතුන්ගේ සිටු මැදුරුවල නොවේ. කැලෑබද පෙදෙසක පිහිටි කුඩා නිවසක මිදුලෙහි හෝ රූස්ස ගස් යටය. පැදුරු පාටිය පැවැත්වෙන එළිමහන් රංගපීඨය වූයේ එයයි. නිවෙසක පත්තුවෙන අනේක විදුලි පහන් නොමැත. ‘පැට්රල් මැක්ස්’ නමින් ගම්මුන් හඳුන්වන දීප්තිමත් ලාම්පුවක් ගසක අතුවල දැල්වෙන්නේය.

ගායනා කෙරෙනුයේ හිපොප්, හෝ රැප් ගීත නොවේ. දයා අල්විස්, වින්සන්ට් ප්‍රේමසිරි, යූ. ආරිය විමල් පැරැණි මෙන්ම නූර්ති ගී ගායනයේ රුසියෝය. නිහාල් සිල්වාගේ විකට රසාංග ඒ අතර වරදින්නේම නැත. මේ සියල්ල සංවිධානය වනුයේ ජෝගේ මැදිහත්වීම මතය. විස්කිි බ්‍රැන්ඩි, ජින් අහලකටවත් වද්ද ගන්නේ නැත. ‘දංකොටුව ස්පෙෂල්’ නම් වූ එම පළාතේ රස මිහිරි ගෘහ කර්මාන්තයක් වූ මධුවිතෙන් සාජ්ජය රසවත් වන්නේය. ජෝ ද විවිධ ගීත ගායනා කරයි.සැබැවින්ම මෙම මහා නළුවා විටෙක කුඩා දරුවකු මෙනි. ලොකු කුඩා කා සමගත් අහිංසක විනෝදයක් ලැබීම ඔහුගේ අරමුණ විය.

ජෝ අබේවික්‍රම යනු එක අතකට සංකීර්ණ වූ චරිතයක් විය. ඔහු සිනමාවට ආදරය කළේය. සංගීතයට ආදරය කළේය. ගමට පෙම් බැන්දේය. මිනිසුන්ට ලෙන්ගතු වූවේය. මේ සියල්ල සමඟ ඔහු සතා සිවුපාවාට ගහ කොළට මෙන්ම වනාන්තරයට ඉමහත් සේ ආදරය කළේය.

කීප අවස්ථාවක්ම මට ජෝ සමඟ කතරගම මෙන්ම යාල වනෝද්‍යානයට යාමට අවස්ථාව උදා විය.

අප ජෝඩු වළලු කණ්ඩායම මේ විශේෂ කීප දෙනෙක් තිස්ස, කතරගම, යාල, සිතුල්පව්ව ආදී පෙදෙස්වල ගිය ගමනක මතක සටහන් අදත් මට මැවි මැවී පෙනෙන්නාක් මෙනි.

ගාමිණීී ජයරත්න, පතිරාජ එල්. එස්. දයානන්ද, ජිනදාස පෙරේරා ජෝ, මා ඇතුළු අප කට්ටියක් එහි ගියෙමු. මෙහිදී යාල වනෝද්‍යානයේ අපි මුළු දහවල් කාලයම ගත කළෙමු.

සැබැවින්ම ජෝ සතුන්ට මොන තරම් ආදරේ කළ පුද්ගලයෙක්ද කියා එදා අපට අපූරුවට වැටහිණි.

එමෙන්ම ඔහුට බොහෝ සතුන් ගැන පුදුමාකාර දැනුමක් අවබෝධයක් ඇත. සතුන්ගේ ජන්මයම ඔහු දනියි.

‘ඔහොම නවත්වන්න වාහනේ. තව ඩිංගකින් ඔතනින් අලි රංචුවක් යයි’

ඔහු පැවසුවේ. හරියටම විනාඩි කීපයක් ගෙවී යාමට මත්තෙන් එය සිදු විය. අලියකුගේ අඩි පාරක් යාන්තමට හෝ දුටුවහොත් ඔහුට අලි පරපුරම ගැන හෝ පැවසීමට දැනුමක් තිබුණි. මේ ඇතින්නියක්, සද්ධන්ත ඇත් රජෙක් ද, අලි පැටවෙක්ද, අලි රංචුවක්ද කියා හඳුනාගත හැකි ඥානයක් ඔහුට තිබුණේය. එපමණක් නොව එම අඩි පාර සටහන්ව කොපමණ කාලයක් ගෙවී ගොස්ද කියා පැවසීමට හැකි ‘අලි පිළිබඳ අලි මොළයක්’ ඔහුට තිබුණි. අලි ඇතුන් ගැන පමණක් නොව බොහෝ සතා සිවුපාවා ගැන ඔහුට දැනුමක් පැවතියා පමණක් නොව ඔහු ඉමහත් සේ සතුන්ට ආදරය කළ පුද්ගලයකු විය.

ජෝ අබේවික්‍රම සම කළ හැක්කේ ජෝ අබේවික්‍රමට පමණක් බව මෙහි මුලදී පැවසූවෙමි. එය මේ වන විට ඔබට ද වැටහී ඇතැයි මම විශ්වාස කරමි.

අප අතරින් වියෝ වූ සමහරුන් නිසා ඇති වූ හිඩැස පිිරවීමට තව බොහෝ අය ඇතිවීමට ඉඩ ඇත. එහෙත් ජෝ අබේවික්‍රම නම් වූ මෙම ශ්‍රේෂ්ඨතම නළුවා මෙන්ම අපූරු මිනිසා අපට අහිමි වීමෙන් ඇති වූ හිඩැස අබමල් රේණුවකින් හෝ මැකීමට පියවීමට කිසිවකුටත් තව ආත්ම ගණනාවකටවත් බිහි වේදෝයි මට සැක සිතේ.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව