රණවිරුවෙකුගේ යුධ විරෝධය
සිනමා කෘතින් සදහා පාදක වූ සත්‍ය කතා පිළිබඳ විවරණය කෙරෙන ලිපි මාලාව - 48
අමෙරිකාව සෑම ජූලි මස 4 වැනිදාම එරට නිදහස් දිනය සමරයි. 1946 ජූලි 4 වනදා රොනල්ඩ්
ලෝරන්ස් කොවික් උපන්නේ අමෙරිකාවේ විස්කොන්සින් හි ලේඩිස්මිත් ප්‍රදේශයේය. පසු කලෙක
රෝමානු කතෝලික පසුබිමක ඔහු හැදුණේ වැඩුණේ නිව්යෝර්කයේ මසපෙකුආ ප්‍රදේශයේය.
අමෙරිකාව වියට්නාමය හා යුද්ධයක පැටලෙද්දී ජනාධිපති ජෝන් එෆ්. කෙනඩි ජාතිය ඇමතුවේය.
‘රටෙන් ඔබට ලැබෙන්නේ මොනවාදැයි විමසන්න එපා. ඔබෙන් රටට ලැබෙන්නේ මොනවාදැයි
විමසන්න.’
ජනාධිපතිවරයාගේ කතාවෙන් සිය අදහස් කුළු ගන්වා ගත් කොවික් අධ්‍යාපනය හමාර කොට 1964
සැප්තැම්බරයේදී අමෙරිකානු හමුදාවට බැඳුණේය. සති දොළහක් පුරා ඔහු කැලිෆෝනියාවේ හමුදා
කඳවුරක පුහුණුව ලැබුවේය. පළ කළ දක්ෂතා වෙනුවෙන් සම්මාන දිනූ ඔහු උතුරු කැරොලිනාවේ
ලෙජෙයුන් කඳවුරට යැවුණේ වැඩිදුර පුහුණුව සඳහාය.
1964 නත්තලේදී යළි නිවෙසට පැමිණ සති
කිහිපයක් විවේකීව ගත කළ ඔහු ඊළඟට වර්ජිනියා හි හමුදා ගුවන් විදුලි පණිවිඩ හුවමාරු
පාසලට යැවිණි. එහිදී ඔහු සටන් බිමේදී පණිවිඩ හුවමාරු කර ගන්නා අන්දම පිළිබඳ හොඳින්
උගත්තේය.
1965 දෙසැම්බරයේදී ඔහු ස්වේච්ඡාවෙන්ම වියට්නාම යුද බිමට යනු පිණිස හමුදාව හා එකතු
වූයේය. 1967 ජනවාරි 15 දා ආපසු මව් බිමට පැමිණි ඔහු තවත් මාස කිහිපයකට පසු යළි
දෙවැනි වතාවටත් යුද බිමට ගියේය. එහිදී ඔහු පළ කළ දක්ෂතා නිසා පදක්කම් කිහිපයක්ම
කොවික් වෙත පිරිනැමිණි.
1967 ඔක්තෝබරයේ කුආ වියෙට් නදී අසබඩ ගම්මානයකදී කොවික් ඇතුළු භට පිරිසකට සතුරු
ප්‍රහාරයකට මුහුණ දීමට සිදු විය. එහිදී කොවික් අතින් වැරදීමකින් වෙඩි වැදී ඔහුගේම
බළ ඇණියේ සෙබළෙක් මරු මුවට පත් වූයේය. එය අත් වැරදීමක් බව ඔහු ප්‍රකාශ කළ අතර බළ
ඇණියේ කිසිවකු ඔහුට එරෙහිව මත පළ කළේ නැත.
1968 ජනවාරි 20 දා කුආ වියෙට් නදියට උතුරු දිගින් වූ එළිමහන් ප්‍රදේශයක සිදු වූ
සටනකදී ඔහුගේ දකුණු පාදයට වෙඩි වැදිණි. ඊළඟ වෙඩි පහර ගමන් කළේ ඔහුගේ දකුණු උරහිස
හරහාය. ඔහු ගලවා ගෙන යන්නට මුලින්ම පැමිණි සහෝදර සෙබළා සතුරු වෙඩි ප්‍රහාර හමුවේ
මරුම් කන්නට සිදු විය.
දෙවැනි සහෝදර සෙබළා සතුරු වෙඩි ප්‍රහාර මැදින් පැමිණ කොවික්ව
බේරා ගෙන රෝහලට යැවීමට කටයුතු කළේය. සතියක කාලයක් ඩා නැන්ග් හි දැඩි සත්කාර ඒකකයේ
ප්‍රතිකාර ලබමින් සිටින අතරතුර කොවික්ට දැනගන්නට ලැබුණේ තමාව බේරා ගත් දෙවැනි සෙබළා
ද කොවික් තුවාල ලැබූ දිනයේම පස්වරුවේ සටන් බිමේදී මිය ගිය බවය.
යළි සිය රට පැමිණෙන විට කොවික්ගේ පපු ප්‍රදේශයෙන් පහළ පණ නැති වී තිබුණේ ඔහුගේ
සුෂුම්නාවට සිදු වී තිබූ හානි නිසාය. රොනල්ඩ් ලෝරන්ස් කොවික්ගේ ජීවිතය රෝද පුටුවට
සීමා වෙද්දී යුද්ධයේ ශූන්‍යභාවය ඔහු අවබෝධ කර ගත්තේය.
මේ වන විට අමෙරිකාව පුරා යුද
විරෝධී රැල්ලක් ඇති වී තිබිණි. කොවික් යුද ප්‍රවීණයකු ලෙස යුද විරෝධී ව්‍යාපාරයට
එක් වෙමින් සාමය වෙනුවෙන් පෙනී සිටින්නෙක් ලෙස ජනප්‍රියත්වයට පත් වූයේය. මෙම යුද
විරෝධී උද්ඝෝෂණවලදී දොළොස් වතාවක්ම ඔහු අත් අඩංගුවට ගැනිණි.
‘අමෙරිකාව සිය තරුණ පරපුර වියට්නාමයට යවා ඔවුන්ගේ ජීවිත විනාශ කරනවා’ ඔහු ජනතාව
අමතා ප්‍රකාශ කළේය.
සමහර අය ඔහුව කොමියුනිස්ට්වාදියකු හා දේශ ද්‍රෝහියකු ලෙස හැඳින්වූහ. එහෙත් දුර්මුඛ
වූයේ කොවික් නොවේ. ඔහු යුද බිමේදීත්, දැඩි සත්කාර ඒකකයේදීත් ලද අත්දැකිම් ජනතාවට
විස්තර කළේය.
1974 දී කොවික් ආබාධිත රණ විරුවන් පිරිසකට නායකත්වය සපයමින් 17 දිනක
උපවාසයක යෙදුණේ වියට්නාම යුද්ධයට එරෙහිවය.
ආබාධිත රණ විරුවන්ට රෝහල්වලදී නිසි
සැලකිලි නොලැබෙන බව ද ඔහු පැවසුවේය. පාලකයන් රණ විරුවන්ට නිසි ආකාරයේ සැලකිලි ලබා
දීමට පොරොන්දු වූ පසු කොවික් හා පිරිස උපවාසය අත් හළහ.
|
|
රොන් කොවික්
අද |
එදා රොන් කොවික් යුද
විරෝධී ව්‍යාපාරවලට සහභාගි වෙමින් |
අදත් ජීවතුන් අතර සිටින කොවික් ඉරාක යුද්ධය සඳහා ද ක්‍රියාකාරීව විරෝධය පෑවේය.
අදටත් ඔහු අමෙරිකානු යුද වියරුවට එරෙහිව ක්‍රියාකාරීව කටයුතු කරයි.
රොන් කොවික් යන
නම යටතේ ඔහු සිය චරිතාපදානය ‘බෝර්න් ඔන් ද ෆෝත් ඔෆ් ජුලයි’ යනුවෙන් ලියුවේය. මෙම
පොත පදනම් කර ගෙන තවත් වියට්නාම යුද ප්‍රවීණයකු හා සම්මානනීය සිනමාකරුවකු වන ඔලිවර්
ස්ටෝන් නිර්මාණය කළ චිත්‍රපටය ද පොතේ නමින්ම හැඳින් විණි.
ඔලිවර්ට අවශ්‍ය වූයේ චිත්‍රපටය වියට්නාමයේදීම රූගත කරන්නටය. එහෙත් ඒ වන විට ද
අමෙරිකාව හා වියට්නාමය අතර සබඳතා පැවතුණේ යහපත් තත්ත්වයක නොවේ. එහෙයින් එය
පිලිපීනයේදී රූගත කෙරිණි.
1986 තිරගත වූ ඔලිවර් ස්ටෝන් ගේ ප්ලැටූන් චිත්‍රපටයෙන් ද
පළ වුූයේ යුද විරෝධී අදහස්ය. යුද විරෝධියකු ප්‍රධාන චරිතය කරගත් ‘බෝර්න් ඔන් ද ෆෝත්
ඔෆ් ජුලයි’ 1989 දෙසැම්බර් 22 දා සිට ලොව පුරා තිරගත වීම ඇරඹිණි.
රොන් කොවික් ලෙස
ටොම් කෲස් රඟපෑ එහි රේමන්ඩ් ජේ. බැරී, කැරොලින් කාවා, ජොෂ් එවන්ස්, ස්ටීවන්
බෝල්ඩ්වින්, ටොම් බෙරෙන්ජර්, විලියම් ඩෆෝ, විවිකා ඒ ෆොක්ස් වැනි නළු නිළියෝ රඟපෑහ.
ඩොලර් ලක්ෂ 140 ක වියදමින් තැනූ එම චිත්‍රපටය බොක්ස් ඔෆිස් වාර්තා පිහිටුවමින් ලැබූ
ආදායම ඩොලර් මිලියන 372 ඉක්ම වීය. එමෙන්ම ඊට ඉතා යහපත් විචාරක ප්‍රතිචාර ද ලැබිණි.
‘බෝර්න් ඔන් ද ෆෝත් ඔෆ් ජුලයි’ වෙත හොඳම චිත්‍රපටය හා හොඳම සංස්කරණය සඳහා වූ ඇකඩමි
සම්මාන පිරිනැමිණි. එමෙන්ම එයට ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන හතරක් ද, අමෙරිකාවේ චිත්‍රපට
අධ්‍යක්ෂවරුන්ගේ සංගමයේ සම්මානය ද පිරිනැමිණි. එය එතෙක් මෙතෙක් ලොව බිහි වූ
විශිෂ්ටතම යුද විරෝධී චිත්‍රපට අතරින් එකක් ලෙස අදත් සැලකුම් ලබයි.
කුමාර සිරිවර්ධන
|