කෝලම් මල කෝලම්

‘කෝ ලම්’ යන වචනයට ලංකාවේදී තේරුම් දෙකක් තිබේ. එකම වචනය සිංහල සහ දෙමළ යන දෙ සංස්කෘතීන් හි අරුත් දෙකක කි‍්‍රයාවලීන් දෙකක් සඳහා ලංකාව තුළ භාවිත වෙයි. සිංහල සංස්කෘතිය තුළ කෝලම් යනු ප්‍රකට ජන නාට්‍ය විශේෂයකි. දෙමළ සංස්කෘතිය තුළ කෝලම් යන තෛපොංගල් උත්සවය සඳහා වර්ණවත් වී, සහල් සහ පිටි යොදා ගෙමිදුලේ අඳිනු ලබන අලංකාර සැරසිල්ලකි.

ඉන්දීය සංස්කෘතිය තුළ ද විවිධ භාෂාවන් අතර ‘කෝලම්’ යන වචනයට විවිධ අර්ථ සම්පාදනය වී තිබේ. මලයාලම් ඇතුළු දකුණු ඉන්දීය භාෂා බොහොමයක කෝලම් කියා හඳුන්වන්නේ නැට්ටුවන්ගේ වෙස් අලංකාරවල ඇති විචිත්‍රත්වයයි. කුළු බසෙන් කෝලම් කියා කියන්නේ යකුන් නැටීම වැනි අභිචාරයකටය. තෙළිඟු බසෙන් කෝලම් කියන්නේනැටුමටයි. වෙස් ගැන්වීම යන අර්ථයෙන් ද කණ්නඩ බසෙහි කෝලම් යන වචනය භාවිත වෙයි.

ලංකාවේ පහතරට ගැමි පළාත්වල කෝලම් නමින් අද ද පවත්වන ගැමි නාටක විශේෂයට සම්බන්ධ යැයි සිතිය හැකි කිසිදු ජන නාටක ප්‍රභේදයක් ඉන්දියාවේ නැත. එහෙයින් කෝලම් යන නම කෙසේ වෙතත් ඒ නාට්‍ය විශේෂය නම් ස්වාධීන ශ්‍රී ලාංකීය ජන නාට්‍ය වර්ගයක් බව විද්වතුන්ගේ මතයයි. පහත රට දෙවොල් නැටුම ගත්ත ද එහි උත්පත්ති කතාවෙන්ම කියැවෙන පරිදි දෙවොල් දෙවියන් වනාහි දකුණු ඉන්දීය චේර දෙසේ හෝ කොච්චින් දේශයේ හෝ කේරළ දේශයේ හෝ මලබාර් දේශයේ සිට සීනිගං පටුනෙන් ලංකාවට ගොඩ බැසි අයෙකි. පත්තිනි දේවියද ගජබා රජු ඉන්දියාවේ ‘සිලප්පදිකාරම්’ සහ ‘මණිමේකලයි’ යන මූලාශ්‍රයන්හි හමුවන කන්නගී සහ කෝවලන්යන චරිතයන් ලංකාවේදී පත්තිනි සහ පාලඟ’ බවට පත්ව ඇත්තාහ. සතරවරම් දෙවිවරු අතරින් විෂ්ණු සහ කතරගම යන දේව විශ්වාස ද අපට බලපා ඇත්තේ ඉන්දීය දේව ධූරාවලිය හරහාය.

උඩරට නැටුම හෙවත් කොහොඹා යක් කංකාරියේ උත්පත්ති කතාවට අනුව එහි ආදි කර්තෘ මල රජු ලංකාවට එන්නේ ද ඉන්දියාවේ මල රටේ සිටය. මල රජු ඉන්දියාවේ දනුස් කොඩියෙන් මුහුදට බැස ලංකාවේ ඌරා තොටෙන් මෙරටට ගොඩබට යැයි එහි සඳහන්ව ඇත. ‘සොකරි’ ද ලංකාවට එන්නේ ඉන්දියාවේ සිටයි.

එහෙත් ලංකාවේ පහතරට ප්‍රදේශවල අද වනතුරුත් ප්‍රචලිතව පවතින කෝලම් නම් ජන නාට්‍ය පිළිවෙතට ඉන්දීය ලක්ෂණ බලපා නැත. එහි සංගීත, ගායනා හා නර්තන පමණක් නොව කෝලම් වෙස් මුහුණු සහ ඇඳුම් ආයිත්තම් ආදී ආභාර්‍යාභින විචිත්‍රාංග ද දැඩි ස්වාධීනතාවක් පළ කරන බව බැලූ බැල්මට ද පෙනේ. කෝලම් ජන නාට්‍ය විශේෂය හැරුණු කොට ලංකාවේ භාවිත ශබ්ද කෝෂයේ ‘කෝලම්’ යන වචනය යොදා තනා ගන්නා බොහෝ වාගාලාප ඇත. ඒවා අතර ‘මෙයාගේ කෝලං’, ‘එන්න එපා කෝලං කරන්ඩ’ වැනි යෙදුම් හි ඇත්තේ ද කෝලම් නම් ජන නාට්‍ය විශේෂයේම වෙනත් අර්ථ ගැන්වීම්ය. ‘මේක හරි කෝලමක්නේ’ කියා කියන්නේද එහි නාට්‍යමය ව්‍යාජය හෙවත් සත්‍යවාදී නොවන බව දැක්වීමටය.

එහෙත් කෝලම් යන වචනයට ‘මළ’ යන උපසර්ගය එක් වූ කල හැදෙන්නේ වෙනත් අර්ථයකි. ‘මළ’ යන්න උපසර්ගයක් හෝ විශේෂණයක් හෝ කොට ගෙන සකස් කර ගන්නා වාගාලාප බොහොමයක් සිංහල භාෂාවේ ඇත.

මළ කෝලං, මළ පෙරේතයා, මළ කරදරේ, මළ හොල්මං, මළ සමයං, මළ හෝන්තු, මළ විකාර, මළ ජරාව, මළ ඉලව්ව, මළ කෙළියයි, මළ ජූලියයි, මළ මගුලයි, මළ සේක’යනු ඉන් උදාහරන කිහිපයකි. ‘මලපහ’ සහ ‘මල මුත්‍රා’ කියන තැන ‘මල’ යනු කිළිටි, අපද්‍රව්‍ය යන තේරුමයි. එහෙත් ඊට පෙර දැක්වූ යෙදුම් සියල්ලේම ඇති ‘මළ’ අර්ථය නම් මරණයයි. ‘මෘත’ යන සංස්කෘත වචනය මෘත, මට, මඩ, මළ ලෙස වරනැඟී සිංහලයට ‘මළ’ යන මෘතාර්ථ වචනය සකස් වී ඇත. අප ‘මළ ගෙදර’, ‘මළ ගම, මළ දානය, මළ බෙරය, මළ සිරුර කියා කියන්නේ ද ඒ අර්ථයෙනි.

එහෙත් ‘මල පනිනවා’ කියන තැන ඇත්තේ වෙනත් අර්ථයකි. එහි යොදන ‘ල’ යන්න දන්තජාක්ෂරයකි. සංස්කෘතයෙන් තත්භවව බිඳී ආ නිසා මෘත අර්ථයේ ‘මළ’ වචනය සඳහා මූර්ධන්‍ය ‘ළ’ යෙදී ඇත. එහෙත් තත්සම වචනයක් ලෙස දන්තජ ල යන්න යොදා ‘මල’ කී විට ඇති වන්නේ රෝස මල, නෙළුම් මල කියන තැන ඇති වාච්‍යාර්ථයයි. අද තරුණයන් අතර කෙන්ති යාම හෙවත් ‘තද වීම’ අර්ථ දක්වන්නට යෙදෙන වර්තමාණික ප්‍රකට යෙදුමකි ‘මල පනිනවා’ යන්න. එහෙත් මෙය භාවිත කරන්නන් සමහර විට එහි නිවැරැදි අර්ථය නොදැන භාවිත කරනවා විය හැකිය.

‘කෙන්ති යන්නා’ හඳුන්වන්නට අප අතීතයේ සිට යෙදූ වාගාලාපයකි ’මූලග්ගිනිකාරයා’ යන්නයි. මූලග්ගිනි කාරයා යනු අර්ශස් රෝගියාය. අර්ශස් රෝගය උත්සන්න වූ කල රෝගියාගේ අධෝමුඛයෙන් බඩවැල එළියට පනී. එවිට ඔහුට එන වේදනාව හේතු කොටගෙනරෝගියාට කේන්ති යයි. කෝපාවිෂ්ට වූ අර්ශස් රෝගියාගේ අධෝමුඛයෙන් ගුදය එළියට ඒමේ ක්‍රියාව උපහාසයෙන් යුතුව හැඳින් වූ රූපකය වන්නේ ‘මල පනිනවා’ යන්නයි. ඒ රූපකය එතරම් සභ්‍යවාදී නැත. එහෙත් වත්මන් තරුණ පරම්පරාව ස්ත්‍රී පුරුෂ භේදයෙන් තොරවම ‘මල පනිනවා’ යන රූපකය කේන්තිය සඳහා භාවිත කරයි. සුන්දර තරුණ තරුණියන්ට ‘මල පනිනවා’ කී විට ඇති වන වාච්‍ය රූපය වටහා ගතහොත් ඔවුන් මින් පසු ඒ ‘අසභ්‍ය වචනය’ (සභාවට ගත නොහැකි දේ අසභ්‍යයි) භාවිත නොකරනු ඇත.

අපේ පැහැදිලි කිරීම ‘මළ කෝලං’ පිළිබඳයි. එහි ඇත්තේ මාත හෙවත් ‘මළ’ යන අර්ථයයි. මියගියාට පසු කෝලං කරන්නේ හොල්මනයි. ප්‍රේත, පිසාච, කුම්භාණ්ඩාදී අමනුෂ්‍ය චරිත උපහාසයෙන් සහ හාස්‍යයෙන් යුතුව දක්වන්ට අප මළ කෝලං කියා යොදා ඇත. මේ ජන ශ්‍රැතික යොදා ගැනීම අපට වර්තමාන ලෝක රංග කලාවේ විශේෂ වර්ගීකරණ පැහැදිලි කිරීමක් සඳහා ද යොදා ගත හැක.

බටහිර රංග කලාවේ භාවිත වන පැහැදිලි අර්ථ දෙකකින් යුතු ඉංග්‍රීසි වචන යුගලයකි. ‘COMEDY JOKE’. COMEDY යන ඉංග්‍රිසි වචනය ග්‍රික් භාෂාවෙන් ගත් COMEDY කකයන වචනයමයි. ට්‍රැජඩි, කොමඩි සහ සැටායර් යනු ඉපැරැණි ඇතෑන්ස් නාට්‍ය ක්‍රමවේද තුනයි. ඉන්ට්‍රැජඩිය උත්තම චරිත අරඹයාද කොමඩිය සාමාන්‍ය මිනිසුන් අරභයා ද සැටායර් නාටකය අධම හෝ සත්ත්ව හෝ ප්‍රේත හෝ හීනධීන වූ චරිත අරභයා ද සකස් වී තිබී ඇත.

ට්‍රැජඩිය හෙවත් ශෝකාන්තය වෙන්ව හඳුනා ගැනීම පහසුය. එහෙත් සැටායර් සහ කොමඩි යන වර්ග දෙකම වැටෙන්නේ සුඛාන්ත නාට්‍ය ගොඩටයි. එසේ නම් කොමඩියේ සහ සැටායර් නාට්‍යයේ වෙනස හඳුනා ගැනීම මඳක් සංකීර්ණ ක්‍රියාවලියකි. කොමඩිය හාස්‍ය නාට්‍ය කියාත්සැටායර් නාටකය උත්ප්‍රාසක නාට්‍ය කියාත් අප වෙන් කොට වචනය යොදා සිටිය ද ඒ දෙක වෙන්වෙන සීමාව අප හඳුනාගෙන නැත.

ග්‍රීසියේ ට්‍රැජඩි නාටකයට උදාහරණයක් ලංකාවෙන් අතීත නාට්‍ය කලාවෙන් සොයා ගැනීම අපහසු විය හැක. එහෙත් කොමඩි සහ සැටායර් වර්ගයේ නාටක විශේෂ අපේ ජන රඟමඬලේ ඕනෑ තරම් තිබේ. කෝලම් නාටකය කොමඩි නාටක ගණයේ ලා විග්‍රහ කළ හැක. එහෙත් සැටායර් හෙවත් ප්‍රහසන නාටක ගණයේ ලා අපට ගිණිය හැක්කේ අපේ යාතු කර්මවල ඇති නාට්‍යමය පෙළපාලි වර්ගය. යථාර්ථයේ ඇති කෝලමත්, අධි යථාර්ථයේ හෙවත් ෆැන්ටසියේ ඇති ‘මළ කෝලමත්’ අපට කොමඩි සහ ප්‍රහසන සේ හඳුනා ගත හැක. එහෙයින් අපේ ජන රඟමඬලේ COMEDIANS ලා ඉන්නේ කෝලමේය. JOKER ලා ඉන්නේ ‘මළ කෝලමේ’ ය.

එහෙයින් එන්න.

JOKE and COMEDY හෙවත් හාස්‍ය සහ ප්‍රහසනය හඳුනා ගැන්මට

මේ උස් බිම හොඳයි

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව