රුහුණු රටේ කුමරු අරන් කුමාරනායක එදිරිසිංහ

නෑ දෑ හිත මිතුරන් හැර දමා දුරු රටකට ඔහු ගියේ කෙළි දෙලෙන් කාලය ගත කරන්නට නම් නෙවෙයි.

කුමාරනායක එදිරිසිංහ ‘රුහුණු රටේ කුමරු’ සී. ඩී. තැටිය අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ මැතිතුමාට පිළිගන්වමින්.

ඔහු සිරි ලක් මවට කෙටි කලකට ආයුබෝවන් කියා ඩුබායි රටට ගියේ රන් කහවණු සොයන්නයි.

එලෙස දුරු රටක තනි වුණු කුමාරනායක එදිරිසිංහ හිතේ තනිකම මකා ගත්තේ හිතේ උපන් සිතුවිලි ගීයක් ලෙසින් කඩදාසියක් මතු පිට පද ඇමිණීමෙනි.

පෙම් බැන්ද සිත් බැන්ද ඒ කාලයේ

අපි එකට සිටියා මගේ ශ්‍රීමතී

ශ්‍රීමතී උපන්නේ ඩුබායි රටේද?

ශ්‍රීමතී වගේම මගේ ‘රුහුණු රටේ කුමරු’ සී. ඩී. තැටියේ ඇතුළත් ගීත දහයක්ම උපන්නේ ඩුබායි රටේ. ඒ ගී ලියද්දී නම් මට හිතුණේ නෑ කවදා හරි සී. ඩී. තැටියක් මට කරන්න ලැබේවි කියලා. නමුත් නිල් බලකාය සංවිධානයේ අනුග්‍රහය නිසා තමයි මට ‘රුහුණු රටේ කුමරු’ සී. ඩී. තැටිය රසිකයින්ට තිළිණ කරන්න හැකි වුණේ. ‘රුහුණු රටේ කුමරු’ ගීතයෙන් කියවෙන්නේ අපේ අතිගරු ජනාධිපතිතුමන් ගැන. ඊට අමතරව මගේ සී. ඩී. තැටියේ මව් ගුණ ගීත, දේශාභිමාන ගීත වගේම දරුවන් වෙනුවෙන් ලියූ ගීතත් ඇතුළත් වෙනවා.

කුමාරනායකගේ ‘රුහුණු රටේ කුමරු’ සංයුක්ත තැටිය ගැන ඔබේ අදහස් 0770450601 දුරකථන අංකයෙන් ඔහුට පවසන්න. එය ඔහුගේ ඉදිරි ගමනට ශක්තියක් වනු නොඅනුමානයි.


‘සුවඳ සලන’ දොරට වඩී

පරාක්‍රම මනම්පේරිගේ ගී එකතුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර ටිකිරි කොබ්බෑකඩුව මහතාගේ ප්‍රධානත්වයෙන් හා මහනුවර නගරාධිපති මහීන්ද්‍ර රත්වත්තේ මහතාගේ සහභාගිත්වයෙන් පැවැත් වූ උළෙලකදී දොරට වැඩිණ.

කිංස්වුඩ් විදුහලෙන් සිප් සතර හදාරා, පද්මසිරි පැස්කුවල් ගේ මඟ පෙන්වීමෙන් 1968 දී හේලියන්ස් සංගීත කණ්ඩායමට එක්ව එතැන් සිට 60 දශකයේ අවසාන භාගයේ මෙන්ම 70 දශකයේ වසර 3 ක කාලයක් අපමණ බාධක මැද ප්‍රසංග වේදිකාවේ රිදම්, ලීඩ් ගිටාර් වාදකයකු මෙන්ම ගායකයෙකු ලෙස පරාක්‍රම කන්ද උඩරට නමක් දිනා සිටියි.

කපිල කුමාර කාලිංග, අශෝක කෝවිලගේ, සුරංජිත් ආරියවංශ, කුලරත්න ආරියවංශ, රෝහන් බෝපෙආරච්චි වැනි පද රචකයන්ගේ ද, විශාරද චතුරංග බණ්ඩාර අමරසූරිය, නවරත්න ගමගේ, තරංග රත්නායක වැනි සංගීතඥයන්ගේ නිර්මාණ සමඟින් පරාක්‍රම මනම්පේරිගේ Sweet Dreams ඇතුළු ගී 16 ක් මෙයට ඇතුළත් වේ.


බර්නාඩ් ෂෝ ඔබට මතකද?

ඔහු බර්නාඩ් ප්‍රේමසුන්දර දිසානායකය. බොහෝ දෙනෙකු ඔහුව දන්නේ නිශ්චල කැමරා ශිල්පියකු ලෙසිනි. ඔහුගේ තෙවැනි ඇස මෙහෙයවීමෙන් ඡායාරූපයට නැඟුණු රූපයන් බොහොමයකි. ඒවා පුවත්පතක කවරය සැරැසූයේ අද ඊයේ නොවේ.

අහඹුවක් ලෙස ඡායාරූප කරණය මෙහෙයවීමට ඔහුට සිදු වුවද බර්නාඩ්ගේ සිත කුඩා කල පටන්ම රැඳුණේ සාලයෙහි ඇති රූප පෙට්ටියෙහිය. පුංචි තිරයෙහි රඟපෑ බොහෝ චරිතයන් හේ තනිවම රඟපෑවේය. උසස් පෙළ උගන්නා අවදියේ ඔහුගේ නළු පිස්සුව උග්‍ර විය.

‘මුලින්ම ටෙලිවීව් ආයතනයේ නාට්‍ය හා රංග කලා පාඨමාලාවක් කරන්නේ මේ නිසාමයි. එතනට පැමිණෙන ජයන්ත චන්ද්‍රසිරි කියන නිර්මාණකරුවාගේ ටෙලි නාට්‍යයක මට රඟපාන්න ලැබෙනවා. ඔහුගේ ‘වෙස් මුහුණු’ ටෙලි නාට්‍යයේ මාරයාගේ පිටුපස සිටින මාර සේනාවේ මම රඟපෑවා.

ආරියරත්න ඇතුගල මහත්තයාගේ සිත්තර ගුරුණ්නාන්සේගේ ගෝලයා ‘බණ්ඩා’ ගේ චරිතය මගේ රංගනය ඔපවත් කළ බවට රහසක් නොවෙයි. තවදුරටත් ජාතික තරුණ සේවා සභාවේ නාට්‍ය හා රංග කලා පාඨමාලාව හදාරන්න මට හිතුණේ රඟපාන්න නම් ඒ පිළිබඳ හැදෑරීමේ වටිනාකම වගේම රංගනය පිළිබඳ යමක් ඉගෙන ගැනීම වඩාත් වැදගත් බව වැටහුණු නිසයි.’

‘උරුම ලද්දෝ’, ‘දේවි’, ‘රම්‍ය නගරය’, ‘දඬුබස්නාමානය’, ‘සූරිය විංසතිය’, ‘පෙරේරාට එරෙහිව කුරේරා’, ‘සමර්ථා’, ‘රැජන’, ‘භවත්‍රා’ ආදී ටෙලි නාට්‍ය තිස් පහක පමණ බර්නාඩ් රඟපෑමෙන් සහභාගි වී ඇත.

ඊට අමතරව නිල් දිය රළ, අනන්ත රාත්‍රිය, ජුලියට්ගේ භූමිකාව, හිරිපොද වැස්ස වැනි නිර්මාණ ඔස්සේ රිදී තිරයට පිය නැඟූ ඔහු ළඟදීම තිරගත වීමට නියමිත ඉනෝකා සත්‍යාංගනීගේ සින්ඩ්‍රෙල්ලා චිත්‍රපටයෙන් ඔබ හමුවට පැමිණෙයි.

‘රංගනයේදී මම මටම ආවේනික ශෛලියකින් චරිතය නිර්මාණය කරන්න උත්සාහ කරනවා. රංගන ශිල්පියෙකුට රංගනය වෙනුවෙන් ඕනෑම කැප කිරීමක් කළ හැකි විය යුතුයි.

එත් සමහර අධ්‍යක්ෂවරු තම නිර්මාණයට රංගන ශිල්පීන් තෝරා ගැනීමේදී ඒ චරිතයට ගැළපෙන අය තෝරා ගන්න බවක් අපි දකින්නේ නැහැ. මේ හැම දෙයක් ගැනම අවධානයෙන් සිටි මා අධ්‍යක්ෂණය කියන අංශයට යොමුවෙන්න කැමැතියි. ඒ සඳහා පෙර පුහුණුවක් අවශ්‍යයි. පසුගිය දවස්වල ජාතික තරුණ සේවා සභාවේ නිස්කෝ වීඩියෝ පාඨමාලාව හැදෑරුවේ අවශ්‍ය දැනුම ලබා ගන්නයි.’

අධ්‍යක්ෂවරයෙක් වීමට සිහින දකින බර්නාඩ් ප්‍රේමසුන්දරගේ ජීවිතයේ සාර්ථකත්වය පිටුපස සිටින්නේ ඔහුගේ බිරිඳ චමිලා දිල්රුක්ෂිය. ඈ රූපලාවණ්‍ය ශිල්පිනියකි. මේ අතර ඡායාරූපයේ නියැලෙන අතරම රංගනයෙහි දිගු ගමනක නිරතවීමට අදහස් කරනා ඔහුට ඔබත් අමතන්නේ නම් 0724110276 යන දුරකතන අංකයට හෝ සත්සර, නයිගල, කිතුවල්වල, මීරිගම යන ලිපිනයට ලියන්න.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව