විසිහත් වසරක අබිමානය රුගෙන කලාභූමි ගී මිණි

අද සවස රෝහණ වීරසිංහ සමඟ ආවර්ජනාත්මක සටහනක්

ස ප්ත ස්වරයේ හෘදය සවේදී ගුණය හා විෂයානුබද්ධ දැනුම දැයේ දූ දරුවනට තිළිණ කරමින්, ඔවුන්ගේ නැණස පෑදීමේ උතුම් අරමුණ පෙරදැරිව නුගේගොඩ ‘කලා භූමි’ සංගීතායතනය බිහිවන්නේ අදින් වසර විසි හතකට පෙරාතුවය. ඒ 1985 වසරේදීය. ප්‍රවීණ සංගීතවේදී, ආචාර්ය රෝහණ විරසිංහගේ මූලිකත්වයෙන් ලක්ෂ්මන් විජේසේකර, ආනන්ද වීරසිරි ප්‍රමුඛ ඇදුරු මඩුල්ලක් විසින් මෙහෙය වනු ලැබූ ‘කලා භූමියෙන්’ එදා මෙදාතුර ශිල්ප - ශාස්ත්‍රය ලත් විද්‍යාර්ථීන් බොහොමයකි.

කලා භූමියට විසි හත් වසරක් සපිරීම නිමිත්තෙන් එහි ආදී සිසු හවුල සංවිධානය කරන ‘කලාභූමි – ගී මිණි’ ප්‍රසංගය අද සවස 6.30 ට මහරගම ජාතික තරුණ සේවා සභා රඟහලේදී පැවැත්වේ. ඒ තවත් සමාජ සද්කාර්යයක් මුල් කර ගනිමිනි.

මේ සුවිශේෂී මොහොතේ කලා භූමියේ වත ගොත පවසන්නට අප හා එක් වන්නේ එයට වඩාත්ම සුදුස්සා වන රෝහණ වීරසිංහයන්ය.

මෙවැනි සංගීතායතනයක් ආරම්භ කිරීමේ අදහස මුලින්ම හිතට ආවේ 1969 අවුරුද්දේ විතර. එතකොට මම, ලක්ෂ්මන්, ආනන්ද සංගීත විද්‍යාලයේ අධ්‍යාපනය ලබන කාලේ. කොහොම හරි ඒ අධ්‍යාපන කටයුතුවලින් පස්සේ අපට ගුරු පත්වීම් ලැබුණේ අතිශය දුෂ්කර පළාත්වලට. 1980 දශකයේ මුල් භාගයේ අපට කොළඹ අවට පාසල් සඳහා පත්වීම් ලැබුණා. මේ කාලේදී තමයි අර අදහස නැවත සිතට එන්නේ. සංගීත ඥාණය වගේම හොඳ රස වින්දනයක් ඇති පිරිසක් බිහි කිරීමේ අරමුණින් අපි 1985 වසරේ ‘කලා භූමිය’ ආරම්භ කළා.

ඒ රෝහණ, වාද්‍ය ශිල්පියකු ලෙසින් බොහෝ ප්‍රවීණ සංගීත අධ්‍යක්ෂවරුන්ගේ නිර්මාණ කටයුතු සඳහා දායකත්වය ලබා දෙමින් සිටි අවධියකි.

ගොඩක් ළඟින් මට අපේ ප්‍රවීණයන් ඇසුරු කරන්න ලැබුණා ඒ යුගයේ. ඇත්තටම ඔවුන් මේ සංගීත ආශ්‍රමය ආරම්භ කරන්න කියා අපව ගොඩක් ධෛර්මත් කළා. ආචාර්ය පණ්ඩිත් අමරදේව, ධර්මසිරි ගමගේ යන කලාකරුවන් තමයි ආරම්භයේ අපේ කලායතනයේ අනුශාසකවරුන් වුණේ. අපි වාණිජ අරමුණකින් හෝ ව්‍යාපාරික චේතනාවකින් නෙවෙයි ඇත්තටම කලා භූමිය ආරම්භ කළේ. අදටත් අපි අය කරන්නේ බොහෝ සුළු මුදලක්. විශේෂයෙන්ම මතක් කරන්න ඕනෑ මේ වෙලාවේ විශාරද අමරසිරි පීරිස් සහ නිර්මලා රණතුංග දෙදෙනාව. ආරම්භක අවධියේ ඒ අය මෙහි ගුරු භවතුන් හැටියට කටයුතු කළා.

ඉන් පස්සේ සනත් අබේකෝන් හා මාලා අබේවික්‍රම, දීපිකා ප්‍රියදර්ශනී පීරිස් වැනි අය අපේ ආචාර්ය මඬුල්ලට එක් වුණා.

‘කලා භූමි’ සිසු දරු දැරියන්ගේ දස්කම්, විස්කම් එකම වේදිකාවක් මත විකසිත වූ ‘පිය නැඟුම 01’ ප්‍රසංගය දින තුනක් පුරාවට කොළඹ ලයනල් වෙන්ට්ඩ් රඟහලේ පැවැත්වුණේ එහි පළමුවැනි සංවත්සරය නිමිත්තෙනි.

‘පිය නැගුම’ ප්‍රසංගය දින තුනක් පුරා පවත්වන්නට අපට සිදු වුණේ සිසු දරු, දැරියන් හා ඔවුනගේ මවුපියන් ඒ පිළිබඳ දැක් වූ උනන්දුව සහ කැප කිරීම නිසාමයි. අපි මේ වෙන කොට එවැනි ප්‍රසංග පහක් පමණ පවත්වා තිබෙනවා. මේ ප්‍රසංග නරඹන්නට වරින් වර බොහෝ ප්‍රවීණයන් ආවා. ඒ ඇවිත් අපට සුබ පැතුවා.

කලකට ඉහතදී ඉන්දියාවේ, භාත්කණ්ඩේ විශ්ව විද්‍යාලයේ සාමජිකත්වය ද ‘කලා භූමි’ ආයතනයට හිමි වන්නේ එහි ප්‍රමිතිය පිළිබඳ වඩාත් විශ්වාසනීය සාක්ෂියක් ලබා දෙමිනි.

භාත්ඛණ්ඩ විශ්ව විද්‍යාලයේ ශාඛාවක් විදිහට ‘කලා භූමි’ ආයතනය 2000 වසරේ පටන් ක්‍රියාත්මක වෙනවා. විශාරද මංජුලා සෙනෙවිරත්න අපත් එක්ක සම්බන්ධ වුණාට පස්සේ තමයි ඒ වරප්‍රසාදය අපට හිමි වුණේ. ඇය අපටත් වඩා ශාස්ත්‍රිය සංගීතය ප්‍රගුණ කළ කෙනෙක්. සමහර සංගීත ආයතන මඟින් කරන්නේ විශාල සිසු, සිසුවියන් පිරිසක් විභාග සඳහා සූදානම් කිරීම. ඒත් අපි හැම සිසු, සිසුවියක්ම අදාල විභාග සඳහා තෝරා ගන්නේ ඒ පිළිබඳ ප්‍රායෝගික සහ න්‍යායාත්මක දැනුම උපරිම තලයකට ලබා දුන්නට පස්සේ. අපේ ප්‍රතිඵල ප්‍රතිශතයක් හැටියට ගත්තම ඉහළම තැනක තියෙන්නේ ඒ හේතුව නිසාමයි. මේ සියල්ල සිදු වන්නේ මංජුලා සෙනෙවිරත්න ඇතුළු අපේ ආචාර්ය මඩුල්ලේ දැඩි කැපවීම හා උනන්දුව මතයි.

කලා භූමිය සරස්වතිය වැඩ වසන පුණ්‍ය භූමියක් සේ හැඳින්වුව ද වරදක් නැත. ජාතික තලයට විහිදුණ දක්ෂතා ඇති කලාකරුවන් සේම අධ්‍යාපන ක්ෂේත්‍රයේ ප්‍රාමාණිකයන් රැසක්ද ‘කලා භූමිය’ හරහා බිහි වන්නේ ඒ සරස්වතියගේ ආශිර්වාදය නිසාමය.

ප්‍රදීපා ධර්මදාස, දමිතා අබේරත්න, සසන්ති ජයසේකර වගේ කලා ශිල්පිනියන් ‘කලා භූමියේ’ මුල්ම ශිෂ්‍ය කණ්ඩායමට අයත් අය. ඔවුනගේ දක්ෂතා ඔප් නැංවූණේ කලා භූමිය හරහායි. තවත් විශාල පිරිසක් අධ්‍යාපන ක්ෂේත්‍රයේ ඉහළ තනතුරු හොබවනවා වගේම සංගීත ගුරුවරුන් හැටියට කටයුතු කරනවා. ඒ අතරේ විශාරද නන්ද මාලිනී, වික්ටර් රත්නායක ප්‍රමුඛ බොහෝ සංගීත ශිල්පීන්ගේ නිර්මාණ කටයුතු සඳහා අපේ සිසු සිසුවියන්ගේ දායකත්වය ලබා ගත්තා. චිත්‍රපට, ටෙලි නාට්‍යය රංගනයට වගේම විවිධ රූපවාහිනී වැඩ සටහන්වලටත් ඔවුන්ට අවස්ථා ලබාදුන්නා.

‘කලා භූමිය’ ආරම්භක අවධියට වඩා අද සංගීත ලෝකය ආකුල, ව්‍යාකූලය. විවිධ සංගීත ශෛලීන්, ප්‍රවණතා හා රැළි නිසා වත්මන් සංගීත ක්ෂේත්‍රය උඩු යටිකුරු වී තිබේ. මෙවැනි තත්ත්වයන් මත ‘කලා භූමියේ’ ගමන් මග කෙබඳුදැයි යන්න රෝහණ අපට පැහැදිලි කළේ මේ අයුරිනි.

සංගිත ලෝකයේ කිසිම සාම්ප්‍රදායක්, රැල්ලක් අප හෙළා දකින්නේ, විවේචනය කරන්නේ නැහැ. අපි දරුවන්ට හරි දේ කියලා දෙනවා. සුදුසු, නුසුදුසු දේ තෝරා, බේරා ගන්නට ඔවුන් හුරු කරනවා. අපේ අරමුණ හැම විටම වෘත්තීය සංගීත ශිල්පියකු බිහි කිරීමම නෙවෙයි. උසස් රසඥතාවක් සහිත පිරිසක් නිර්මාණය කිරීමත් අපේ එක් අභිප්‍රායක්. විභාග ඉලක්ක කරගෙන පංති කාමරවලට පමණක් කොටු වුණ පිරිසක් බිහි කිරීමට වඩා ප්‍රායෝගික, අත්දැකීම් බහුල, කලා රසය හදුනන, ඒවා අගය කළ හැකි පිරිසක් නිර්මාණය කිරීම අපේ වගකීමක් හැටියට අපි නිතරම කල්පනා කරනවා. ‘කලා භූමිය’ දනන් තුඩග රැව් දෙන නාමයක් බට අද පත්ව තිබෙන්නේත් ඒ නිසාමයි.

කලා භූමි ආයතනයේ දැනට අධ්‍යාපනය ලබන ශිෂ්‍ය, ශිෂ්‍යාවන් අතරින් දක්ෂතමයාට ශිෂ්‍යත්වයක් ලබාදීමේ අරමුණින් එහි ආදි සිසු හවුල සංවිධානය කරන ‘කලා භූමි – ගී මිණි’ ප්‍රසගය පිළිබඳ රෝහණ වැඩිදුරටත් තතු හෙළි කරමින් මෙලෙස පැවසුවේ අප සංවාදයට විරාමය තබමිනි.

අද සවස 6.30 ට මහරගම ජාතික තරුණ සේවා සභා රඟහලේදී තමයි මේ ප්‍රසංගය පැවැත්වෙන්නේ. ආචාර්ය වික්ටර් රත්නායක, සුනිල් එදිරිසිංහ, අමරසිරි පීරිස්, එඩ්වඩ් ජයකොඩි, චරිතා ප්‍රියදර්ශනී, නිරෝෂා විරාජිනී, ලක්ෂ්මන් විජේසේකර, නිර්මලා රණතුංග, චන්ද්‍රසේන හෙට්ටිආරච්චි, ආනන්ද වීරසිරි, සෝමසිරි මැදගෙදර වැනි ගායක, ගායිකාවන් සියලුම දෙනා නොමිලේ මෙම ප්‍රසංගයට දායක වෙනවා. සුසිල් අමරසිංහ ප්‍රමුඛ වාද්‍ය වෘන්දයක් තමයි ‘කලා භූමි – ගී මිණි’ ප්‍රසංගය සංගීතවත් කරන්නේ. ප්‍රසංගයේ කථනය දමිතා අබේරත්න සහ ප්‍රසන්න ප්‍රියදර්ශන සිදු කරනවා. මේ ගැන වැඩි විස්තර මල්ලව - 0724553793 සහ අකලංක 0777293342 යන දුරකතන අංකවලින් ඔබට දැනගන්නට පුළුවන්.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව