අවුරුදු හතරේදී මල්ලි ළිදෙන් ගොඩගත් වීර පිංපොං
රජිත චාමිකර ගැන
අම්මාගේ මතක පොතින්
තාත්තකුට හැමදාමත් දරුවන් පොඩියි. හැම මවුපියකුටම ඒක පොදුයි. ඒ නිසා මේ පුතාලාගෙ
තාත්තාත් ලොකු පුතාටත් කතා කළේ පොඩි පුතා කියලයි.
පුතාලගේ තාත්තාට ඕනෑ වුණේ එයා ඉගෙන ගත්ත පාසලටම වැඩිමල් දරුවාවත් දාන්න. ඒ නිසාම
දවසක් තාත්තා පොඩි පුතාවත් එක්කගෙන ඉස්කෝලෙට ගියා ප්‍රින්සිපල්ව හම්බ වෙන්න. තාත්තා
ප්‍රින්සිපල් එක්ක කතා කරලා යන්න ලැහැස්ති වෙලා ‘සර්ට වඳින්න පුතා’ කිව්වලු. පුංචි
කාලේ ඉඳලාම දරුවො දෙන්නවම පුරුදු කරලා තිබුණේ වැඩිහිටියන්ට වඳින්න. ඒ නිසා තාත්තා
කිව්ව ගමන් පුතා ප්‍රින්සිපල්ට වැඳලා. එතන තව සර් කෙනෙක් ඉඳලා. මෙයා ඒ සර්ටත්
වැඳලා. ඊට පස්සෙ එතනට ශිෂ්‍ය නායක දරුවො දෙන්නෙක් ඇවිත්. ඒ ළමයි දෙන්නටත් පොඩි පුතා
වැඳලා. ඊට පස්සෙ දන්නවාද මොකද වුණේ කියලා? ඊට පස්සෙ ඉස්කෝලේ පියන් එතනට ඇවිත්. පුතා
එයාටත් වැඳලා.
ඉස්කෝලෙ ගිය පළමු දවසේ නොනවතින වැඳුම් වැන්ද පවුලේ වැඩිමල් පොඩි පුතා ඊට පසුවදාම
ඉස්කෝලෙ යන්න ඇති නේද?
මම එහෙම ඇහැව්වෙ පොඩි පුතාගේ අම්මාගෙන්. ඇය අශෝකා පද්මිණී පෙරේරා.
අපෝ නෑ. එයාගේ නොනවතින වැඳිල්ල නිසාම ඉස්කෝලෙට ගත්තෙ නෑ.
වැන්ඳ නිසාම ගමේ පාසලටම ගිය ඔහු ඔබ කවුරුත් ආදරය කරන පිං පොං. මේ සතියේ පුංචි
දවස්වල විශේෂාංගය වෙන් වන්නේ රජිත චාමිකරගේ බාලේ මතකයන් වෙනුවෙන්.ඉතිං ඊට පස්සෙ
පුතා ගියේ ගෙවල් ළඟ තිබුණු ගමේ ඉස්කෝලෙටමයි. හැබැයි හැමදාම ඉස්කෝලෙට යන්නෙ නම්
පරක්කු වෙලා.
පුතාගේ දඟ වැඩ වගේම වීර ක්‍රියාත් පටන් ගත්තේ අවුරුදු 4 දි විතර. එක දවසක් රජිතයි
එයාගෙ මල්ලියි තව නෑදෑ වන පුතෙකුයි සෙල්ලම් කරන්න ගෙවල් ළඟ තිබුණු පිට්ටනියක් වගේ
තැනකට යනවා. එතන ගැඹුරු ළිඳක් තිබිලා. අපි කවුරුත් දන්නෙ නෑ කොහොම හරි සෙල්ලම්
කරද්දි සුදු පුතාව, ඒ කියන්නේ රජිතගේ මල්ලිව ඒ ළිඳට වැටිලා. මල්ලිව පළවෙනි පාර වතුර
යටට ගිහිල්ලා. දෙවෙනි පාරට උඩට එනකොටම රජිත බිම දිගා වෙලා ළිඳ ඇතුළට අත දාලා මල්ලිව
ඇදලා අරන්. ඔන්න ඔහොමයි අවුරුදු හතරෙදි එයාගේ පුංචි මල්ලියාගේ ජීවිතය බේර ගත්තෙ.
හැබැයි ටික ටික ලොකුª වෙන කොට නම් කළේ වීර වැඩවලට වඩා දඟ වැඩ. කෙටියෙන්ම කිව්වොත්
තේරෙන වයසෙදි රජිත දඟ මල්ලක්. ශිෂ්‍යත්ව කාලෙදි නම් පොතක් අතින් ඇලුවෙ නෑ.
ශිෂ්‍යත්වෙට පාඩම් කළේ මම. මම එයාට ඇහෙන්න එයාට තේරුම් යන විදිහට හැම විෂයක්ම
කියවනවා. එයා කරන්නෙ අහං ඉන්න එකම විතරමයි. මම පුතාට කියලා තිබුණා ශිෂ්‍යත්වෙ පාස්
වුණොත් ඉස්කෝලෙ ළඟ ඉඳන් ගෙදර ළඟට වෙනකම් පුතාව වඩාගෙන එනවා කියලා. මමම පාඩම් කළ
නිසා මට කොහොම හරි ඒ පොරොන්දුවත් ඉෂ්ට කරන්න වුණා.
මට මතක විදිහට පුතා 11 වසරෙදි විතර එයා නිසාම ඉස්කෝලෙ ළමයි අතර රණ්ඩුවක් ඇති වුණා.
ඊට පස්සෙන්දා පන්ති භාර මිස් එද්දී මෙයා ඉටි පන්දම් දෙකක් පත්තු කරගෙන අත් දෙකේ
තියාගෙන දණ ගහගෙන ඉඳලා. ‘ඔහොම ඉන්නෙ ඇයි?’ කියලා මිස් ඇහුවාම පුතා කියලා ‘ඊයේ මම
නිසා වලියක් ඇති වුණ නිසා මම අද ලෝකෙට සාමය ප්‍රාර්ථනා කරනවා’ කියලා. මිස් බැණ බැණ
තමයි පන්තියට ගිහිං තියෙන්නෙ. දැන් වගේම තමයි ඒ කාලෙත් රජිතගේ කටට, වචන, අදහස් ගඟ
ගලන්නා වගේ එනවා. තවත් දවසක් රජිත ‘ඔෆිස්’ යන්න වගේ ඇඳගෙන ඉස්කෝලෙට ගිහිං. එදත් අර
මිස් අහලා මොකද ඔහොම ඉස්කෝලෙ එන්නෙ කියලා. මෙයා කියලා, මෙයාට එලිෆන්ට් හවුස් එකේ
ජොබ් එකක් හම්බ වුණා කියලා. අනේ ඉතින් අර මිස්ටත් හරිම සන්තෝස නිසා මිස් අහලා
මොකක්ද පුතේ ඔයාට ලැබුණු ජොබ් එක කියලා. රජිතගේ කට . . . කියන්නෙ මිස් ප්‍රශ්නෙ අහන
කොටම ‘මම එහේ අලියෝ නාවනවානේ මිස්’ කියලා. ඒ වැඩ නිසා ගුරු දෙගුරු රැස්වීමකදී මට
රජිතගේ හොඳක් අහන්න නම් ලැබෙන්නේ නෑ.
උසස් පෙළ කරන කාලේ නම් රජිත පාඩම් කරන්න ටිකක් උනන්දු වුණා. යාළුවෙකුගේ ගෙදර ඉඳන්
තමයි පාඩම් කළේ. මෙයාලා රෑ වෙනකම් පාඩම් කරලා රෑ තුනට විතර පාරට එනවා. ඒ ඇවිත් පාර
අද්දර තියෙන ගෙවල්වල මල් පෝච්චි කුඩු කරනවා. ඒ වගේම ගෙවල්වල ගේට්ටුවලට, දොරවල්වලට
ගහලා දුවනවා. සමහර දවස්වලට පුතාලා මේ සෙල්ලම කරන ගමන්ම පානදුරේ ඉඳන් මොරටුවට දුවලා.
ඔන්න ඔය වගේ දඟම දඟ වැඩ තමයි කළේ. උසස් පෙළ කරන කාලේ රජිත යාළුවොත් එක්ක ගෙදරට
හොරෙන් නුවරඑළිත් ගියා. අපිට කිව්වෙ පාදුක්කෙ යනවා කියලා. කොහොම හරි මෙයාලා ගත්ත
ෆොටෝස්වල නුවරඑළියේ ‘ක්වීන්ස්’ හොටෙල් එකේ ෆොටෝ. එතනින් තමයි වැඩේ අහු වුණේ.
රජිත කොච්ර දඟ වුණත් කවදාවත් ජීවිතත් එක්ක සෙල්ලම් කළේ නෑ. ඒ නිසයි එයාගෙ ජීවිතය
වැරදුණේ නැත්තෙ.
නිශංකා උඩුගම්පල
|