අද හොඳම දවස නෙළුම් පොකුණට ඔබ එනවානම් . . . .

මාරම්බරී ගායනාභිෂේකය

එඩ්වඩ් ජයකොඩිට සුබ උපන් දිනයක් පතමු!

ලාංකේය සුභාවිත ගීත කලාවේ මුදුන් ඉමක ජය දද බැන්දූ එඩ්වඩ් ජයකොඩි ගායනවේදියාණෝ හෙට සිය දිවි මගේ පණස් අට වැනි වියට පා තබත්. ඒ ජීවන මගෙහි පුරා තිස් පස් වසරක් ඔහු ජීවත් වූයේ සප්ත ස්වරයේ අසිරිය සමඟිනි. එහි ජීවනාලිය වූයේ ගීතයයි.

ඔහුගේ ඉමිහිරි ගායනාවෝ අප දෙසවන් මිහිරෙන් මත් කළා පමණක් නොව අපට ජීවිතයේ අරුත ද පසක් කර දුන්නේය. අතොරක් නැති දුක්ඛ සංතාපයන්, අවුල් වියවුල් සුළඟේ පා කර හරිමින් ගීතවත් වන ඒ මියුරු සර විටෙක හදවත් කතරට වට මල් වැස්සක් මෙනි.

සමකාලීන සුභාවිත ගීත කලාවේ එඩ්වඩ් තරම් විවිධ තේමාවන් ඇසුරු කර ගනිමින් ගී ගැයූ ගායන ශිල්පියකු ඇතොත් ඒ ඔහුම පමණක් විය හැකිය. සිතුවමක් පරිපූර්ණ වන්නට සිත්තරකුගේ පින්සල් පහරවල් සිය, දහස් ගණනක් අවශ්‍ය වේ. එහෙත් එඩ්වඩ්, අප හදවත නමැති කැටපත් පවුරේ රූ සිරි අඳින්නේ වදන් කිහිපයකිනි . සැබැවින්ම එවන් සුගායනීය ගායනයකින් මැවෙන වදන් චිත්‍රය, මහා සිත්තරකුගේ තෙළි තුඩෙන් බිහිවන භාවාත්මක සිතුවමක් මෙන්ම අපට ජීවිතය විවරණය කර දෙයි. විවිධ වර්ණයන් උපයෝගී කර ගනිමින් අලුත් වර්ණ රටා නිමවන සිත්තරකු මෙන් එඩ්වඩ් සප්තක තුනෙහි නිදහසේ සැරිසරමින් සිය හඬ ලෙළ වන්නේ අප හදවත් ප්‍රමෝදයට පත් කරමිනි.

‘වසන්තයේ අග හමු වෙමු සොඳුරිය

ලවැලි තලාවක විසුළ කුසුම් මත

අතිනත ගෙන පෙර නොකී කතා අසා

අලුතින් සුසුමක් ගෙන වෙන් වී යමු

ලා සඳ නැඟෙනා හෝරාවේ . . .’

ඒ වරෙක ඔහු ප්‍රේමයේ අසිරිය සිය අපූර්ව ගායන මාධූර්යයෙන් ඔපවත් කළ අයුරුය. එහි තනු හා සංගීත නිර්මාණය ද එඩ්වඩ්ගේ වීම තවත් විශේෂත්වයකි. ආචාර්ය වික්ටර් රත්නායකයන්, එඩ්වඩ් ගේ ඒ අපූර්ව ගී තනු නිර්මාණය පිළිබඳ වරෙක සිය අදහස් ගෙන හැරපෑවේ මෙලෙසිනි.

‘තවත් සුවිශේෂී වූ එඩ්වඩ් ගේ ගී තනුවක්, මගේ සවන් දොරටුවෙන් ඇතුªªළුව, හදවත් කුටිය සිසාරා චිත්ත රූප මවමින්, චමත්කාර මනෝ ලෝකයක් මවන්නට විය. ඒ මිහිරි ගීය වූයේ කපිල කුමාර කාලිංග විසින් ලියා එඩ්වඩ් විසින්ම තනු නිර්මාණය කොට ගයන ‘වසන්තයේ අග’ නම් ගීයයි. මේ ගීය අසන වාරයක් පාසා මා කැඳවා යන්නේ හෙළයේ මහා සංගීතවේදී අමරදේවයන්ගේ ගී තනු රාවයෙන් අලංකෘත වූ ඒ මහා කලාගාරයටයි. රසික හද කන්කලු ස්වර සංගතියෙන් ගෙත්තම් කරන, එය තව තවත් උද්දීප්තියට පත්කරන රස භාවයන්ගෙන්, සිත් බඳුන් උතුරුවාලන ඒ සොඳුරු යාමයටයි. ගේය පද රචනාව නොයෙක් වර්ණයන්ගෙන් සම්මිශ්‍රණය වූ පුෂ්ප තටාකයක් නම්, අමරදේවයන් ගී තනුව නමැති මාලා දාමයට ඒවා අමුනන්නේ කිසියම් සිතුවමක් ගෙත්තම් කරන ආකාරයෙනි. එඩ්වඩ් ඒ ක්‍රියාදාමයේ අති සියුම් රසෝද්දීප්තිය මනාව පරිශීලනය කළ බවක් උක්ත ගීතය ශ්‍රවණය කිරීමේදී මට දැනිණි.’

එඩ්වඩ් ගේ මධුර, මනෝහර තනු නිර්මාණයන් පිළිබඳ වික්ටර් රත්නායකයන් ගේ එකී ප්‍රශස්ත ඇගැයුම එකී විෂය පථය සම්බන්ධයෙන් එඩ්වඩ් සතු නිසඟ සිද්ධ ප්‍රතිභාවට කදිම නිදසුනකි. එඩ්වඩ්ට වැඩි වශයෙන්ම ගීත නිර්මාණය කර දුන්නේ ආචාර්ය රෝහණ වීරසිංහයන්ය. වරෙක එඩ්වඩ්, කුමාරදාස සපුතන්ත්‍රිගේ ගේය පද රචනාවකට රෝහණ උදෙසා ගීයක් නිර්මාණය කළේය.

‘ගමන් මගක් තිබුණා ද මේ

ප්‍රේම චාරිකාවේ

ගිමන් හලක් හමු වී ද මේ

ප්‍රේම චාරිකාවේ’

ඒ එම ගීතයයි. ගේය පද රචනයෙහි අරුත මැනවින් සාක්ෂාත් කොට ගනිමින් තනුව නිර්මාණය කිරීමේලා එඩ්වඩ් සතුව තිබෙන ප්‍රතිභාව ඒ නිර්මාණය හරහා ද අපට පසක් වේ. රෝහණ බැද්දගේ විසින් රචනා කොට ඔහුම ගැයූ ‘නැන්දා මාමා දෙන්නා’ ගීතය එඩ්වඩ් ගේ තනු නිර්මාණයෙන් හැඩ වූයේ එකී ශිල්පියාගේ ගායන පරාසය හා අනන්‍යතාව සුරැකෙන පරිද්දෙනි. පණ්ඩිත් අමරදේව, වික්ටර් රත්නායක, සනත් නන්දසිරි, මාලිනී බුලත්සිංහල, සුනිල් එදිරිසිංහ, ටී. එම්. ජයරත්න, නීලා වික්‍රමසිංහ, කරුණාරත්න දිවුල්ගනේ, රෝහණ බෝගොඩ, චරිතා ප්‍රියදර්ශනී, ක්‍රිෂාන්ත එරන්දක ඇතුළු ගායක, ගායිකාවන් පණස් දෙදෙනකු සඳහා එඩ්වඩ් තනු නිර්මාණයෙන් දායක වී තිබේ. ඔහු සංගීත නිිර්මාණය කළ වේදිකා නාට්‍ය හා ටෙලි නාට්‍ය ද රැසකි. ‘අංගාරා ගඟ ගලා බසී, ‘මාවතේ අපි’, ‘සෙක්කුව‘, ‘නරි බෑණා’, ‘ගජමන් පුවත’, ‘ස්පාටකස්’, ‘ ඊඩිපස්’, ‘සතර වරම් රජ දරුවෝ’ ඇතුළු වේදිකා නාට්‍ය දහ හතක රඟපාමින් සිය බහුවිධ කලා හැකියාවන්ගෙන් තවත් එක් සුවිශේෂී පැතිකිඩක් ඔහු අපට ගෙන හැර පෑවේය. වේදිකාවේ අන්තිම කෙළවරට ඇසෙන සේ මයික්‍රෆෝනය නොමැතිව ගී ගයමින් ඔහු කරළිය මත පෑ පෙළහර ඔහුගේ සමකාලීන ඇතැම් ගායකයන්ට හා තාක්ෂණික මෙවලම් මත යැපුණු ශිල්පීන්ට කියා දුන්නේ අපූරු පාඩමකි.

කෙසේ වෙතත් එඩ්වඩ් ජයකොඩි ලකුණ වඩාත් ඉස්මතුව පෙනෙන්නේ ගායනවේදියකු ලෙසිනි. ජන ගී ආර වේවා, උත්තර භාරතීය රාගධාරී සම්ප්‍රදාය ඇසුරු කර ගනිමින් වේවා එසේත් නැතහොත් බටහිර සංගීත ශෛලියට නිර්මිත ගීතයකට වේවා එඩ්වඩ් සිය විශ්මිත හඬින් මනා සාධාරණයක් ඉටු කළේය.

‘ නැත ලොවේ අන් රසඳුනා - ආදරේ සේ සුවදෙනා’ කිව්වාක් මෙන් එඩ්වඩ් ගේ මුවින් වැඩිපුරම ගළා ආවේ ප්‍රේමයේ සුන්දරත්වයයි. නිසල රැයක තරු කැට අතරින් පාව එන සෞම්‍ය සඳ එළියක් සේ ඒ ගී හඬ විචිත්‍රවත්ය.

‘නිල් නුවන් පෙඟෙන අඳුර ගලා නුරාවෙන් වෙලී

මල් පිපෙන සුළඟ නීල වලා තුළට ගුළි වෙවී

සඳ හොරෙන් සිනා වී නිල් දිය මතට පාවෙමින්

හදේ දොරටු විවර කළෙමි සොඳුර ඔබෙ නමින්’

ඒ ගීය සවන් පත් වැකෙන කවර නම් ආදරවන්තයකුගේ වුව හද සන්තානය සෙනෙහසින් මුකුලිත නොවෙන්නේද? තමන් පෙරදාක අත් විඳි ප්‍රේමයේ චමත්කාරය සිහින් පවන් රොදක්ව ගත, සිත පුරා දැවටෙමින් හදවතට පවන් සලන්නේ ජීවිතයට නැවුම් මිහිරියාවක් එක් කරමිනි.

‘මේ ඉර – හඳ යට හමු වී

ආදරයෙන්

කතා කරපු අය, සෙනේ වඩපු අය

ළඟ පාතකවත් නෑ . . .’

ප්‍රේමයෙන් බිඳුනු හදවත් අමතා වරෙක ඔහු එසේ ගීතවත් වෙයි. ආදරයේ සුන්දරත්වය වෙනුවට එහි ඇත්තේ කටුකත්වයකි. විප්‍රලම්භ ශෝකය කැටි වූ එඩ්වඩ්ගේ හඬ අප හදවතට එක් කරන්නේ කෙතරම් පහන් සංවේගයක්දැයි මොහොතකට සිතන්න. පද මාලාවේ අරුතත්, තනු රචනයෙහි හැඩ රුවත් එකට පුරුද්දමින් එහි භාවයන් සිය හ¼ඩින් හා ගායනා විලාශයෙන් උද්දීප්තියට පත් කරන්නට එඩ්වඩ් දක්වන සාමර්ථ්‍යය වෙනත් ඕනෑම විශිෂ්ට ලාංකේය ගායනවේදියකුට දෙවැනි නොවේ. සරල ගීතයේදී මෙන්ම ශාස්ත්‍රීය ගායනයේ දී ද ඔහු දක්වන්නේ අසමසම ගායන පෞරුෂයකි.

‘මාරම්බරී

කෝල වී පෑ මුවේ

මන්දහාසේ

මනලෝල වේ . . . උන්මාද වී

මා හදා පුණ්‍යවන්තී . . .

මාරම්බරී . . .’

කුමාරදාස සපුතන්ත්‍රි විසින් රචිත මෙම ගීතයේ තනු නිමැවුම රෝහණ වීරසිංහගෙනි. මේ ශාස්ත්‍රීය ගායනයේදී එඩ්වඩ් සිය ස්වර හසුරු වන්නේ ඔහුගේ විශිෂ්ට ගායන චාතුර්යය යළිත් වරක් අප අභිමුවෙහි විදහා පාමිණි. මේ තවත් එවැනි උදාහරණයකි .

‘මුව මුක්තාලතා

පිපි හංසාංගනා

විල් නෙළුමාසනෙන් ආ ළඳේ

නුඹ භාග්‍යා සරෝජා වියේ

ස්වර්ණා වර්ණා පැහැයෙන් දිලේ . . .’

ශ්‍රැති ස්වරයෙන් මධුරතාව උද්දීපනය කිරීමේලා එඩ්වඩ් සතු වෙසෙස් කෞශල්‍යය මේ ගීයෙන් ගම්‍යමාන වේ. ආචාර්ය අජන්තා රණසිංහගේ පද මාලාවක් වූ මෙය සංගීතවත් කළේ සංගීතවේදී ආනන්ද පෙරේරාය. මෙබඳු ගී අපේ ගීත සාහිත්‍යයේ ඇත්තේ අල්ප වශයෙනි. වික්ටර් රත්නායකයන් ගේ ‘හෝපලු වන පෙත’, සනත් නන්දසිරි ගයන ‘වෘන්දා වනේ යමුනා තෙරේ’, පී. වී. නන්දසිරි ගේ ‘කමලාසනී’ හා සුනිල් එදිරිසිංහයන්ගේ ‘හංස රාජිනි’ වැනි ගීත හැරෙන්නට එබඳු ශාස්ත්‍රීය ගායනා මෑත ඉතිහාසයෙන් අපට හමු වන්නේ නැත. මේ අඩුව පුරවාලමින් එඩ්වඩ් ගයන්නට යෙදුණ මේ ගී ද්වය ඔහුගේ පමණක් නොව හෙළ ගී ක්ෂේත්‍රයේ ද කඩඉම් ලකුණකි.

මේ ලිපිය එඩ්වඩ් ජයකොඩි නමැති ප්‍රවීණ සංගීත ශිල්පියාගේ නිර්මාණ පිළිබඳ කෙරෙන විමර්ශනයක් නොවනා වග මෙහිලා සඳහන් කරමි. හෙළ ගීත ක්ෂේත්‍රය අරභයා එඩ්වඩ් ගේ අනුපමේය දායකත්වය මෙවැන්නකින් විග්‍රහ කළ නොහැකි තරම් වූ බරපතළ කාරණාවකි. ඒ වගත් මෙහි සඳහන් කළ යුතුම වේ.

එඩ්වඩ්ගේ උපන් දිනය හෙටට යෙදී ඇතැයි මුලින් සඳහන් කළෙමි. ඒ නිමිත්තෙන් ඔහු සිය රසික සහෘදයා වෙත ‘මාරම්බරී’ ප්‍රසංගය අද සවස 6.30 ට ‘නෙළුම් පොකුණ’ රඟහලට කැටුව එන්නේ අසීමිත සෙනෙහසිනි.

එදා මෙදාතුර, දශක තුන හමාරක් මුළුල්ලේ එඩ්වඩ් ගැයූ රසවත්, අර්ථවත්, සාරවත් ගීත සංගෘහිතයක් අද දිනයේ සජීවීව ඔබට රස විඳිය හැකිය. යුග ගායනයෙන් විශාරද චරිතා ප්‍රියදර්ශනී පීරිස් හා ශාරන්‍යා ජයකොඩි ‘මාරම්බරී’ ප්‍රසංගයට දායක වේ. චන්න විජේවර්ධන හා චන්දන වික්‍රමසිංහගේ නර්තන ලාලිත්‍යයෙන් හැඩවන මෙහි විචිත්‍ර කථනය වසන්ත රෝහණ ගෙනි. ‘මාරම්බරී’ මෙම සුවිශේෂ ප්‍රසංගය සංවිධානය කරනු ලබන්නේ පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ 82 ඉංජිනේරු පීඨ කණ්ඩායමයි.

‘කරදිය ගැඹරේ තුන්යම ගෙවුණේ

නුඹගේ දෑතට සවිය වඩන්නයි

සුහුඹුල් අත් පා යදඬු කරන්නයි

කිරි කැටි පුතුනේ . . . කිරි කැටි පුතුනේ . . .’

එඩ්වඩ් ගායනවේදියකු ලෙසින් සිය ප්‍රභාමත් සෞන්දර්ය චරිකාව අරඹන්නේ එම ගීතයත් සමඟිනි. 1977 වසරේ ගුවන් විදුලි සරල ගී වැඩ සටහනක් වෙනුවෙන් නිර්මිත එහි පද රචනය ප්‍රේමකුමාර ජයවර්ධනගෙනි. සංගීතවත් කළේ රෝහණ වීරසිංහයන්ය.

‘යට ගිය දවස

දඹදිව සැවැත් නුවර, දෙව්රම් වෙහෙර

අප බුදු හිමි වැඩ සිටින සඳ

යට ගිය දවස

පිඬු සිඟා යන හිමි නමක් මග

රුසිරෙන් අගපත් යුවතියක දැක

පෙම් බැඳ ඇයට

කෙළෙසුන් වසඟව සසුනෙහි උකටලිව

යට ගිය දවස’

එයින් තිස් පස් වසකට පසුව එඩ්වඩ් ‘කුස - පබා’ චිත්‍රපටයට ගයන මේ තේමා ගීතය ද රෝහණගේ තනු හා සංගිත නිර්මණයකි. එඩ්වඩ් ගේ ගායන දිවියේ සදා නොබිඳෙන අත්වැල වූ රෝහණ මෙම ‘මාරම්බරී’ ප්‍රසංගය සංගීතවත් කරනු ලබයි.

එඩ්වඩ් ගේ ජීවන ගමන් මඟෙහි මෙන්ම සෞන්දර්ය දිවියේ ද පාද පරිචාරිකාව චරිතාය. ‘මාරම්බරී’ ප්‍රසංගය පසුපස හිඳීනා දැවැන්ත සෙවනැල්ල ඇයම වේ. සහජයෙන් උරුම වූ සංවිධාන ශක්තියත්, මනා කළමනාකාරිත්වයත් විටෙක මන්දෝත්සාහී එඩ්වඩ්ට පෙර මඟ ලකුණු කියා දෙන්නේ අසීමිත සෙනෙහසිනි. එඩ්වඩ්ට හුදු ප්‍රිය බිරියක නොවී මාතු භාර්යාවක වූ චරිතාට ද නිතැතින්ම අපගේ ගෞරවනීය ප්‍රසාදය හිමි විය යුතුමය.

‘මාරම්බරී’ එඩ්වඩ් ජයකොඩි ප්‍රතිභාලෝකන කෘතියෙහි පසු වදන ලියන ආචාර්ය පණ්ඩිත් අමරදේවයෝ ඒ ලිපිය අවසන් කරනුයේ මෙපරිද්දෙනි.

‘එඩ්වඩ් ජයකොඩි ගායන ශිල්පියාණන්ට තවත් දිගුª කලක් රසික දන මන සනහන්නට ආයු වර්ණ සැප බල නැණ පිරිපුන් අසිරිමත් අනාගතයක් පතමි මම ඉත සිතින්.’

සරසවියේ අපේ පැතුම ද එයමය.

ළබැඳී ගාන්ධර්වයාණනි . . .

ඔබට චිරං ජයතු!

‘ළ සඳ පළුව ඇවිත්

නිල්ගිර මුදුනින්

රන්තරු මාල බැඳන්

රන්වන් අහසින්

අද හොඳම දවස

ඔබ එනවා නම්’

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු