සිග්නිස් සම්මාන උළෙලට නිර්මාණ භාර ගැනේ

ගෙවුණු වසරේ සිනමා සහ රූපවාහිනී නිර්මාණකරණයේ යෙදුනු විශිෂ්ටයන්, විශිෂ්ට නිර්මාණයන් අගයා සම්මානයෙන් පුදනු ලබන සිග්නිස් (ඕ. සී. අයි. සී / යූ. එන්. ඩී. ඒ.) උත්තමාචාර උළෙල තිස් හය වැනි වරටත් එළඹෙන සැප්තැම්බරයේ බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිත අතර එහි නිර්මාණ බාර ගැනීම මේ දිනවල සිදුවේ.

2011 වසරේ තිරගත වූ සියලුම සිංහල චිත්‍රපට ද එම වසරේ විකාශය වූ කොටස් 75 ට වැඩි නොවූ ප්‍රාසාංග ටෙලි නාට්‍යයන් සහ ඒකාංගික ටෙලි නාට්‍යයන් ද එම වසරේ නිර්මිත රූපවාහිනී / සිනමා වාර්තා වැඩසටහන්, කෙටි දෘශ්‍ය රූප (කෙටි චිත්‍රපට, වෙළෙද දැන්වීම්, පූර්ව ප්‍රචාරක පට - සංගීත වීඩියෝ) සහ සජීවීකරණ නිර්මාණයන් ද මේ සඳහා සුදුසුකම් ලබති. මෙම වසරේද දේශීය සිනමාව සහ ඒ හා බද්ධවන සිනමා කර්මාන්තයේ ප්‍රගමණය වෙනුවෙන් අග්‍රගණ්‍ය මෙහෙවරක යෙදුණ නිර්මාණකරුවන් තිදෙනෙකු වෙනුවෙන් සිග්නීස් අන්තර් ජාතික ප්‍රණාමය ද,, දේශීය සිනමා සාහිත්‍ය උන්නතිය වෙනුවෙන් සාහිත්‍යකරණයේ නියැලෙන්නන් දිරිමත් කිරීම සඳහා පිදෙන සිරිල් බී. පෙරේරා අනුස්මරණ සම්මානය ද පිරිනැමෙන අතර ජයවිලාල් විලේගොඩ අනුස්මරණ සම්මානය සඳහා ‘නුතන සන්නිවේදන ප්‍රවණතා හමුවේ දේශීය සිනමාවේ හෙට දවස’ යන මැයෙන් ආධුනික විචාර තරගය ද පැවැත්වේ.

සියලුම නිර්මාණයන් ඩී. වී. ඩී . තැටි මඟින් පමණක් 2012 මැයි 15 වැනි දිනට ප්‍රථම සිග්නිස් ශ්‍රී ලංකා පර්ෂදය, අංක 19, බැල්කම් පෙදෙස, කොටා පාර, බොරැල්ල යන ලිපිනයෙහි පිහිටා ඇති කාර්යාලයට කර්යාල වේලාවන් තුළ දී ගෙනවිත් බාර දිය හැකියි. අයැදුම්පත්‍ර සහ වැඩි විස්තර 0112693425 හෝ 0718954214 යන දුරකතන අංකයන්ගෙන් ලබා ගැනීමට පුළුවන.


සුපර් සික්ස් ඊළඟට ඊ. ඒ. පී. මණ්ඩලයේ

උදාර පල්ලියගුරුගේ ගේ සුපර් සික්ස්, කුස පබා සිනමාපටයෙන් පසුව ඊ. ඒ. පී. මණ්ඩලයේ සිනමා ශාලාවන් හීී තිරගත වේ. මෙය ලංකාවේ වැඩිම වියදමක් දරා නිර්මාණය වූ චිත්‍රපටය වන අතර ඊට වැය කර ඇති මුදල ලක්ෂ නවසිය හැත්තෑවකි.

ප්‍රධාන නළු නිළියන් එකසිය හැට දෙනෙකු සහ අතිරේකව දහසකට ආසන්න ප්‍රමාණයක් රංගනයෙන් දායක වූ සුපර් සික්ස් මෙරට මෙන්ම මැලේෂියාව, ඉන්දියාව යන රටවල්හි සුන්දර දර්ශන තලයන් හී රූගත කොට තිබේ.

සනත් ගුණතිලක, මහේන්ද්‍ර පෙරේරා, ආනන්ද වික්‍රමගේ, රොෂාන් රණවන, සාරංග දිසාසේකර, පබෝදා සංදීපනී, සුනෙත් චිත්‍රානන්ද, පුබුදු චතුරංග, ඇන්ටන් ජූඩ්, මිහිර සිරිතිලක, රොඩ්නි වර්ණකුල, ප්‍රියන්ත සෙනෙවිරත්න, චිත්‍රා වරකාගොඩ, මැණිකේ අත්තනායක, දුලීකා මාරපන, ගාමිණී හෙට්ටිආරච්චි, චතුර පෙරේරා, ජනේෂ් සිල්වා, අරුණි රාජපක්ෂ, හේමාල් රණසිංහ, මලිකා සිරිසේනගේ සුපර් සික්ස් රංගනයෙන් හැඩ කරන නළු නිළියන් අතරින් කිහිප දෙනෙකි.

මෙය ආර්. සදේශ් කුමාර්ගේ නිෂ්පාදනයකි. අනුර ඒකනායක පිටපත රචනා කොට ඇත. ඩොනල්ඩ් ජයන්ත සහය අධ්‍යක්ෂවරයාය. මහේෂ් දෙණිපිටිය සමඟ රංග දසනායක සංගීත අධ්‍යක්ෂණය කොට ඇත. පීටර් හෙන් සටන් අධ්‍යක්ෂවරයා වේ. කැමරාව රුවන් කොස්තාගෙනි. ඉන්දික උදාර ලංකා අංග රචනා ශිල්පියාය. අජිත් රාමනායක සහ ඇන්තනී (ඉන්දියාව) සුපර් සික්ස් සංස්කරණය කරති. අශෝක ආරියරත්න නිෂ්පාදන කළමනාකරුය.

ගීත දොළහක් අඩංගු වන සුපර් සික්ස් සංගීතමය චිත්‍රපටයකි.


රටගෙදර, අවුරුදු උත්සවයක

චිත්‍රපට සහ ටෙලි නාට්‍ය අධ්‍යක්ෂ දයාරත්න රටගෙදර කලබලකාරී චරිතයක් නෙවෙයි. නිර්මාණ කාර්යයකදී ඉතාම සංයමයෙන් කටයුතු කරන අයකු වග සාමාන්‍ය ප්‍රසිද්ධ කරුණක්. එහෙත් රටගෙදර මේ දවස්වල නම් කඩියකු මෙන් කඩිමුඩියේ එහෙට මෙහෙට දුවන වගක් ආරංචි වනවා. ඊට හේතුව 08 වැනිදා උඩහමුල්ල ජය පාර ක්‍රීඩාංගනයේ පැවැත්වෙන අවුරුදු උත්සවයක මූලික වැඩ කටයුතු කරන්න ඔහුට භාර වී ඇති නිසාය. තරමක නුහුරු කාර්යයක් වුවත් රටගෙදර තම උපරිම දායකත්වය මෙයට ලබා දෙන බවයි වාර්තා වන්නේ.

එදින ප්‍රධාන ආරාධිත අමුත්තන් වශයෙන් බස්නාහිර පළාත් ක්‍රීඩා සහ යෞවන කටයුතු අමාත්‍ය උපාලි කොඩිකාර මැතිතුමා සහ මහරගම නගරාධිපතිනි කාන්ති කොඩිකාර මැතිනිය සහභාගි වීමට නියමිතයි.


“රත්තරං” 'ඇලකණ්ඩියේ මාකස්' වෙයි

රත්තරං නමින් රූ ගැන්වුණ නිශාන්ත ද අල්විස්ගේ දස වැනි චිත්‍රපටය ඇලකණ්ඩියේ මාකස් යනුවෙන් නම වෙනස් කර තිබේ.

මෙය නිශාන්තම අධ්‍යක්ෂණය කළ නගරං චිත්‍රපටයේ දෙවැනි කොටසයි. ඇලකණ්ඩියේ මාකස් ලෙස ක්ලීටස් මෙන්ඩිස් රංගනයේ යෙදෙයි.


චිත්‍රපට අධ්‍යක්ෂවරුන්ට – නිෂ්පාදකවරුන්ට අඩු මුදලින් චිත්‍රපට පිටපත්

එරංග සේනරත්න, කුසුම්චන්ද්‍ර ගමගේ, නාලක විතානගේ, උදාන ෆොන්සේකා, ඩෙන්සිල් ජයවීර, ඩී. බී. වර්ණසිරි ඇතුළු ලංකාවේ නමගිය අධ්‍යක්ෂ සහ නිෂ්පාදකවරු රැසක් ෆයින් විෂන් ආයතනයට අනුබද්ද නාරාහේන්පිට පොල්හේන්ගොඩ පිහිටි ෆයින් විෂන් පික්චර්ස් ආයතනයට පසුගිය දිනෙක ගොඩ වී සිටියේ විශේෂ සම්මන්ත්‍රණයක් සඳහායි.

එම ආයතනයේ සභාපති රොහාන් වැලිවිට මෙහෙය වූ මෙමඟින් ෆයින්විෂන් ආයතනය මඟින් ලබාගත හැකි සේවාවන් පිළිබඳ සාකච්ඡා කෙරිණ. ඔහු පැවසූ පරිදි ඉන්දියාවේ පැරැණිම චිත්‍රපට රසායනාගාරයක් වූ බොම්බායේ ෆිල්ම් ලැබ් ආයතනයේ ලංකාවේ නියෝජිතයා වන මෙහි තාක්ෂණය උපයෝගී කර ගනිමින් චිත්‍රපටයක ප්‍රදර්ශන පිටපත වත්මන් ක්‍රමයට වඩා 50% ක වියදමක් ඉතිරි කර ගනිමින් ලබා ගත හැකිය. එමෙන්ම චිත්‍රපටයක් ආරම්භයේ සිට අවසානය දක්වා එච්.ඩී තාක්ෂණ සේවාවන් පහසු මිලට මෙම ආයතනයෙන් ලබා ගත හැකිය.


ගාමිණී ජයලත් දිනමිණ මුල් පුටුවට

දිනමිණ පුවත්පතේ වැඩ බලන කර්තෘ ලෙස ගාමිණී ජයලත් මහතා පත් කොට තිබේ. මෙතෙක් එහි සම කර්තෘ වශයෙන් සේවය කළ ඔහු රංගනයෙන් ද තම හැකියාව ප්‍රකට කෙරූ අයකි. අග්නිදාහය, ගරිල්ලා මාර්කටිං ඇතුළු චිත්‍රපට, ටෙලි නාට්‍ය ගණනාවක විවිධ චරිත මැවූ හෙතෙම පසුගිය සුමති සම්මාන උළෙලේ පිනිබරයාමය ටෙලි සිතුවමේ මාධ්‍යවේදී චරිත රංගනය උදෙසා කුසලතා සම්මානයෙන් පිදුම් ලැබීය.

සරසවිය ගාමිණීගේ අලුත් පදවියට උණුසුම් සුබපැතුම් ගෙන එයි.


නියාස්ගෙ දහ හතර වෙනි සිනමා කෘතියේ වැඩ අරඹයි

මොහාන් නියාස් සිය දාහතර වැනි සිනමා කෘතිය අරඹයි. මායාවි නම් වූ එහි රූගත කිරීම් මේ දිනවලදී නුවරඑළියේදී සිදුවෙමින් පවතී.

චන්න පෙරේරා, අජිත් වීරසිංහ, ශලනි තාරකා සමඟ ශෙහාරා හේවදේව චරිත මවන මායාවි ශාමා කැලනි නිෂ්පාදනය කරයි.

කැමරාව පී. කේ. ලෙනාඩ් මෙහෙයවයි. ගයනි සතරසිංහ අංග රචනයෙන්, රොෂාන් ජයසුන්දර සහය අධ්‍යක්ෂණයෙන්, ශෙහාන් ගලහිටියාව ගී පද රචනයෙන් එකතු වන මෙහි සංගීතය ෆර්හාන් ෂාන්ගෙනි. තීක්ෂණ අනුරාධ සමඟ උරේෂා රවිහාරි ගායනයෙන් දායක වෙති.

යසෝමා, එක මලක පෙති, සඳ යහනට, අනුරාගයේ අනන්තයට මොහාන් මීට ප්‍රථම නිර්මාණය කොට ඇති චිත්‍රපට වේ.


සිනමාව සුරැකීමේ සන්ධානයේ

මහා සභා රැස්වීම හෙට

වෘත්තීමය කලාකරුවන්ට චිත්‍රපට නිෂ්පාදනයේදී සහ ප්‍රදර්ශනයේදී ඇතිවන ගැටලුවලට විසඳුම් ලබාදීම මූලික අරමුණ කර ගනිමින් පිහිටුවා ගත් ලාංකීය සිනමාව සුරැකීමේ සන්ධානයේ මහා සභා රැස්වීම මෙම මස 06 වැනිදා උදෑසන 10 ට බොරැල්ල සුදර්ශි ශාලාවේදී පැවැත්වේ. මේ සඳහා වෘත්තීමය වශයෙන් ක්ෂේත්‍රයේ නියැලෙන නිෂ්පාදකවරු, අධ්‍යක්ෂවරු, කාර්මික ශිල්පීන් සහ නළු නිළියන්ට එහි කැඳවුම්කරු එරංග සේනාරත්න ආරාධනා කර සිටී.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු