හාස්‍යය සහ උත්ප්‍රාසය

හා ස්‍යය යනු කිසිදු අසීරුතාවකින් තොරව, සෘජු ලෙසම වටහා ගත හැකි, වඩාත් පාරදෘශ්‍ය වූ මානව භාවයයි. පෞරාණික ග්‍රීකයන් සහ භාරතීය රස සෛද්ධාන්තිකයන් පවා එය පිළිගෙන ඇත.

පොයෙටික්ස් හි ඇරිස්ටෝටලියානු විග්‍රහය ගෙන බැලුව ද ඒ විශ්වාසය සනාථ වේ. ග්‍රීක නාට්‍ය රචකයන් ට්‍රැජඩිය හෙවත් ශෝකන්තය සඳහා පාදක කොට ගත්තේ උත්තම මින්සුන් පිළිබඳ කථා පුවත් බවත්, කොමඩිය සඳහා මූලාශ්‍ර කොට ගත්තේ උත්තමත් නැති, අධමත් නැති සාමාන්‍ය මධ්‍ය මිනිසුන්ගේ කථා පුවත් බවත් ඇරිස්ටෝටල් පහදයි.

එහෙයින් හාස්‍යය නාට්‍ය යනු උත්තම ද නැති අධම ද නැති පෘථග්ජන හෙවත් හුදී ජනයන්ගේ නාට්‍ය විශේෂයක්ය. එය අතිශයින්ම ස්වභාවිකය. ස්වභාවිකත්වයෙන් තොර රංගයකින් සිනාවක් උපදියි නම් එය හාස්‍යය නොව ප්‍රහසනය යැයි අපි ගියවර තේරුම් කෙරුවෙමු.

කවර හෝ පුද්ගලයකුට නොදැනෙන්න රහසෙන් ඔහු දෙස බලා සිටින්න. ඔහුගේ චර්යාවන් දෙස බලා අපට සිනා විය හැකිය. සමහර විට ඔහු සතුටුජනක ඉරියව්වක නොසිටිය ද විය හැක. එහෙත් ඔහුගේ මුහුණින් තමන්ගේ හැඟීම් අරභයා බිහිවන නානා විධ ඉංගිත දෙස බලා අපට සිනහා පහළ වෙයි. එහෙත් ඔහුටම අණ කොට යළිත් ඒ ඉංගිතයන් (Gestures) යළි රඟපාන්න යැයි කිවහොත් (ඔහු පුහුණු නළුවකු නොවෙයි නම්) ඔහුට සාර්ථක ලෙස තම භාව රංග ගත කළ නොහැකිය. දෙවැනි නිරූපණය කළ ඉංගිතවල යම් යම් අස්වාභාවිකතා තිබිය හැක. එවිට අපට සිනා පහළ නොවේ. හාස්‍යයේදී දක්වන ඉරියව් අස්වාභාවික නොවේ. එහෙයිනි අස්වාභාවික ඉරියව් අරභයා හට ගන්නා සිනාවට අප හාස්‍යය යැයි නොකියා ප්‍රහසන යැයි කියන්නේ.

ස්වභාවික හාස්‍යයේ ඇති යථාර්ථවත්ම වූ අවස්ථාව ලෝක රංග කලාවේ වෙනම පරිච්ඡේදයකින් හඳුනාගෙන ඇත. එය ඉංග්‍රීසියෙන් හඳුන්වන්නේ  ‘Dramatic Irony’  කියාය. සිංහල උගත්තු මේ යෙදුමට ‘නාට්‍යමය උත්ප්‍රසාය’ කියා හඳුන්වති. උත්ප්‍රාසය කරන කොට ගෙන ප්‍රේක්ෂකයා තුළ උපදින සිනහව වනාහි හාස්‍යයෙන් උපදින සිනහවටත් වඩා යථාවාදීය, ස්වභාවිකය, අර්ථ පූර්ණය.

Irony  යන වචනයට උත්ප්‍රාසය යන සිංහල වචනය භාවිත කරන කළ එය ගෙන්නා ගන්නේ සිංහල සාහිත්‍ය යෝගයකින්ය යන වග අප විසින් දත යුතු වේ. නොකියා කීම, සඟවා කීම, විරුද්ධාර්තයෙන් කීම වැනි යෝගයන්ට අප සාහිත්‍යමය උත්ප්‍රාසය යැයි කියමු.

උත්ප්‍රාසය හෙවත් Irony  සඳහා පැරැණි සාහිත්‍යයෙන් ඕනෑ තරම් උදාහරණ අපට ගෙන හැර දැක්විය හැකිය. එහෙත් වර්තමානික අපට එය අවබෝධ කර ගන්නට මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ම ප්‍රමාණවත් වේ. එතුමන්ගේ ‘පවන’ නම් ගීතාවලියට උත්ප්‍රාසාත්මක ගී බොහොමයක් නිර්මාණය වී තිබේ.

‘කළු ගල්වලට විකුණාගෙන සීගිරිය

සීගිරි කුරුටු ගී බයිලා කළ හැකිය’

මෙහි ඇතතේ සීගිරිය විකුණාගත හැකිය යන පණිවිඩය නොවේ. එහි අනෙක් පැත්තේ අර්ථය හෙවත් එය එසේ නොකළ යුතුය යන ගැඹුරු අර්ථයයි.

දෙස බස සුරකින මහ වියතුනි

මෙහෙ වරෙල්ලා

කව්සිළුමිණ අමා වතුර කසළ

ගොඩට දමල්ලා

සුකිරි බටිල්ලන් එක්කළ බයිල

පොළට ඇවිල්ලා

රවිකිඤ්ඤා තාල අනුව කපිරිඤ්ඤා වයල්ලා

නොකියා කීම, සඟවා කීම, කණපිටට කීම යන සාහිත්‍යමය උත්ප්‍රාසය තේරුම් ගැනීමට මහාචාර්ය සුනිලුන්ගේ උදාහරණ ගැනීම ප්‍රමාණවත් යැයි මා කීවේ ඒ නිසාය.

මේ සාහිත්‍යමය උත්ප්‍රසායෙන් (Literary Irony) නාට්‍යමය උත්ප්‍රාසය (Dramatic Irony) තේරුම් ගන්නේ කෙළෙසද? ඒ සඳහා අපට ග්‍රීසියට සහ මහා භාරතයටම යා යුතු නැත. ලංකාවේ නුතන නාට්‍ය කලාව තුළ උත්ප්‍රාසාත්මක නාට්‍ය බොහොමයක් බිහි වී තිබේ.

සයිමන් නවගත්තේගමගේ ‘සුබ සහ යස’, ලූෂන් බුලත්සිංහලගේ ‘තාරාවෝ ඉගිලෙති’ වැනි ජනකාන්ත සිංහල නාට්‍ය අපේ රටේ රසික ජනයා ඇඳ බැඳ වැළඳ ගත්තේ ඒවා හාස්‍යය නාට්‍ය නිසා නොව උත්ප්‍රාස නාට්‍ය නිසාය. උත්ප්‍රාසය සමහර විටෙක රැවටීමක් බවට ද පත්වෙයි. ‘සීගිරි කුරුටු ගී බයිලා කළ හැකිය’ යන්නේ උත්ප්‍රාසාර්ථය වන්නේ කුරුටු ගී බයිලා කළ හැකි යැයි සිතා සිටින්නන්ගේ රැවටීමට සිනාසීමයි. එහි දෙවන සහ ප්‍රබල අර්ථය වන්නේ සීගිරි කුරුටු ගී බයිලා කළ නොහැකිය සහ එසේ කළ නොයුතුය යන්නයි.

යසලාලකතිස්ස රජු සහ සුබ නම් දොරටුපාලයා සමාන රූ ඇත්තන්ය. ප්‍රෙක්ෂකයන් මේ දෙදෙනා දෙදෙනකුªª ලෙස හඳුනයි. එහෙත් සෙසු පාත්‍රයින් ඔවුන් දෙදෙනාගේ සමාන රුවට රැවටෙයි. ප්‍රේක්ෂකයන් සත්‍ය දන්නා හෙයින් පාත්‍රයින්ගේ රැවටීම ප්‍රේක්ෂකයන්ට ඉමහත් විනෝදයකි. මේ විනෝදයට අප හාස්‍යය යැයි කීවාට එය හාස්‍යය නොව උත්ප්‍රාසයයි. එහෙයින් උත්ප්‍රාස නළුවා හාස්‍යය නළුවාටත් වඩා ස්වභාවික ඉංගිත දැරිය යුතුය.

යසලාලකතිස්ස රජුගේ මහලු පුරෝහිතයාට සුබ නම් දොරටුපාලයා පෙනෙන්ට බැරිය. මේ තරුණ දොරටුපාලයාගෙ උඩඟුකම මහලු පුරෝහිතයා නොරුස්සයි. එහෙත් දොරටුපාල උපක්‍රමයෙන් සිංහාසනාරූඨ වී ඉන්නා කල පුරෝහිතයා ගොස් ඒ රජ යැයි රැවටී ඔහුට ඉතා භක්තියෙන් යුතුව ආචාර කරයි. එවිට ප්‍රේක්ෂකයෝ කොක් හඬලා සිනාසෙති. පුරෝහිතගේ රාජ වන්දනාව හැකිතාක් සත්‍යවාදී සහ ස්වභාවික වූ තරමට ප්‍රේක්ෂකයන්ගේ සිනාව තීව්‍ර වෙයි.

විජය නන්දසිරි නම් ශූර උත්ප්‍රාස නළුවා පුරෝහිතට සමාරෝපය වී ඉතාම රාජ භක්තියකින් දොරටුපලයා වන්දනා කරනු දැක මම කඳුළු පෙරාගෙන සිනාසුනෙමි. මේ අමනෝඥ මහල්ලාගේ රැවටීම විජය නන්දසිරි රඟපෑ අති ස්වභාවික ඉරියව්ව මතකයට එන වාරයක් පාසා මට යළි යළිත් සිනා පහළ වෙයි.

තාරාවෝ ඉගිලෙති නාට්‍යයේ විජය සහ තිස්ස යනු සමාන රූ ඇති නිවුන් සොහොයුරෝ දෙදෙනෙකි. මේ දෙදෙනා පිළිබඳ වග විභාගය ප්‍රේක්ෂකයෝ හඳුනති. එහෙත් ඒ පිළිබඳ කිසිත් නොදත් සෙසු චරිතවල සිදුවන රැවටීමේ විනම්බෑසියෙන් තාරාවෝ ඉගිලෙති ප්‍රේක්ෂාගාරය සිනා සාගරයක් වෙයි. එහෙයින් රැවටෙන නළුවන් ඉතාම ස්වභාවික ඉරියව් දමනිත කළ යුතුය. ඔවුන් රැවටී ඇති බව ප්‍රේක්ෂකයන්ට ඒත්තුª යන තරමටම ඔවුන්ගේ සිනාව පළල් වෙයි.

ලූෂන් බුලත්සිංහලයන් තාරාවෝ ඉගිලෙති නාට්‍යය සිංහලයට අනුවර්තනය කරන්නේ  The Menaechmi (ද මිනැක්මයි) නම් රෝම නාටකයෙනි. එය රචනා කළ ප්ලෝටස් වනාහි රෝම යුගයේ පහළ වූ ශ්‍රේෂ්ඨතම හාස්‍යය නාට්‍යකරුවාය. එහෙයින් උතුම් හාස්‍යය සඳහා උත්ප්‍රාසය හෙවත් Irony සංකල්පය භාවිත කරන්නට ලෝකය පටන් ගත්තේ අද ඊයේ නොවෙයි.

එහෙයින් එන්න,

උත්ප්‍රාසයේ බියකරු විලාසකයකුත් ඇති බවඅපි හඳුනා ගනිමු

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු