ගෙවී ගිය සතියක ඉපදුණු බලාපොරොත්තු

පසුගිය සතියේ මෙරට සිදුවීම් කිහිපයක් දෙස මම මෙවර ලිපිය ලිවීමේ දී අවධානය යොමු කරන්නට කැමැත්තෙමි. මෙයින් එකක් නම් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ නව ගොඩනැඟිල්ල විවෘත කිරීමේ දී අතිගරු ජනාධිපතිතුමන් අතින් සම්මාන පිරිනැමීමේදී රජයේ චිත්‍රපට අංශයේ කීර්තිමත් සිනමාකරුවන් තිදෙනෙකුට සම්මාන පිරිනැමීමයි.

මේ සිනමාකරුවන් තිදෙනා නම් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස්, තිස්ස ලියනසූරිය සහ සුගතපාල සෙනරත් යාපා ය.

රජයේ චිත්‍රපට අංශය හරහා මේ තිදෙනා මෙන්ම මේ වනවිට ජීවිතයෙන් සමුගෙන සිටින තිස්ස අබේසේකර, ප්‍රඥාසෝම හෙට්ටිආරච්චි, රංජිත් ලාල්, අයිවන් දසනායක වැනි සිනමාකරුවෝ ජාත්‍යන්තර කීර්තියට පත් වාර්තා චිත්‍රපට රැසක් නිර්මාණය කළහ. රජයේ චිත්‍රපට අංශය මෙරට මෑතඉතිහාසය රූපයෙන් එක්කළ සංරක්ෂණාගාරයක් පමණක් නොව ලොව ඉහළ ගණයේ ලා සැලකෙන වාර්තා චිත්‍රපට නිෂ්පාදනාගාරයක් ද විය. කලකට ඉහත අද මෙන් ටෙලිවිෂන යන්ත්‍ර නැති සමයේ හිටි ගමන් ඈත ගම්වලට දිව එන රජයේ චිත්‍රපට අංශයේ වොක්ස්වැගන් වෑන් මගින් විවිධ වාර්තා හා අධ්‍යාපනික චිත්‍රපට ද ප්‍රදර්ශනය කරනු ලැබීම එකල සුලබ සිදුවීමක් විය.

අප එකල කොකු පණු රෝගය ගැන දැන ගත්තේ ද එබඳු වාර්තා චිත්‍රපට මගිනි. කෙසේ වෙතත් රජයේ චිත්‍රපට අංශය පිළිබඳ මතුයම් දිනයක ලියන්නට අදහස් කරගෙන සිටින නිසා එම සෙස්ස ලිවීම පස්සට දමා නාට්‍ය ක්ෂේත්‍රය පිළිබඳ අවධානය යොමු කරන්නට කැමැත්තෙමි.

බොහෝදෙනා නොදන්නා නමුත් පසුගිය සතියේ නාට්‍ය කේෂත්‍රයේ වැදගත් සිදුවීම් දෙකක් සිදු විය. එකක් නම් නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ රඟහලේ වේදිකාව මත ලාංකික නාට්‍යයක් මුල් වරට වේදිකා ගතවීම ය. දෙවැන්න කොළඹ ජාත්‍යන්තර රංග කලා උළෙල පැවැත්වීම ය. මෙරට ජාතික කලා රඟහලක් පිළිබඳ කලාකරුවන් බොහෝ දෙනෙකු අවශ්‍යතාව සඳහන් කළේ අද ඊයේ සිට නොවේ. විශේෂයෙන්ම විවිධ රට රටවල් සංචාරයේ නියැලි අපේ කලාකරුවෝ දේශ -දේශාන්තරවල දුටු නාට්‍ය කරුවන් විඳීන යම් පහසුකම් දැක ඒවා හා මෙරට සසඳමින් මැසිවිලි නැංවූහ.

එනිසාම වසර ගණනාවක් මුළුල්ලේ ජාතික රංග ශාලාවක් යනු බොහෝ දෙනෙකු මැවූ සිහිනයක් විය. අවසානයේ කොළඹ නෝමැඩ්ස් උද්‍යානය වසාගෙන මේ රංග ශාලාව ඉදි විය. එය ආරම්භයේ පටන් ඒ පිළිබද විවිධ මත දැරූ අය එමට ය.

සමහරු ඒ පිළිබද සර්ව සුබ සිහින දුටු අතර සමහරු පුරුදු පරිදි අසුබ සිහින දුටහ. ඒ අනේ රටේ හැටි ය. අද නෙළුම් පොකුණ ජාතික රංග ශාලාව වී හමාර ය. නෙළුම් පොකුණ හා ඒ සබැඳී කාරණා පිළිබද අතිගරු ජනාධිපතිතුමන් සමඟ නාට්‍යකරුවන් කළ කතා බොහෝ සුබ පළ ගෙන දෙන්නක් වූ වග මට පැවසුවේ ශ්‍රියන්ත මෙන්ඩිස් ය. ඒ පසුගිය දවසක හැන්දෑවේ මුහුරත් උළෙලකට සහභාගි ව සිටි අවස්ථාවකදී ය. එහිදී මට දැන ගන්නට ලැබුණු හැටියට ඇතැම් නාට්‍යකරුවන් සිය පෞද්ගලික ඉල්ලීම් පිළිබද කතා කරද්දී අතිගරු ජනාධිපතිතුමන්ගේ වැඩි අවධානය යොමු වූයේ නාට්‍ය අනු මණ්ඩලය ඉල්ලා සිටි පොදු ඉල්ලීම කෙරෙහි ය. මේ ඉල්ලීම නම් අනෙකක් නොව වසරේ හොඳම නාට්‍යය ලෙස රාජ්‍ය සම්මානයට පාත්‍ර වන කවර හෝ නාට්‍යයක් වේද යත් එය ලෝක නාට්‍ය උළෙල දිනයේ දී නෙළුම් පොකුණ රඟහලේ වේදිකා ගත කිරීමට ඉඩ සලසා දෙන ලෙස ය. එයට අතිගරු ජනාධිපතිතුමන් ගේ අනුමැතිය වහා ලැබිණ. ඒ අනුව පසුගිය ලෝක නාට්‍ය උළෙල දවසේ නෙළුම් පොකුණ රඟහලේ දී මුල් වරට සිංහල වේදිකා නාට්‍යයක් කරළියට නැඟුණේ ය. එය මෙවර හොඳම නාට්‍යය ලෙස සම්මානයට පාත්‍ර වූ ‘ජනේලයෙන් පනින්නද’ නාට්‍යයයි. එය වේදිකා ගතවූයේ පසුගිය 27 වැනිදා ය. එදින පැවැත් වූ උත්සවය ද බොහෝ පුහු ආටෝපවලින් තොර චාම් උත්සවයක් විය. එදින නාට්‍ය හා රංග කලා විෂයය හදාරන දිවයිනේ තෝරාගත් පාසල් දරු - දැරියන් රැසක් ද ඒ සඳහා සහභාගි වී සිටියහ. එයින් සමහරු පැමිණ සිටියේ අනුරාධපුරයෙනි. තවත් සමහරු කුරුණෑගලිනි. අපේ පාසල් අවදියේ එනමින් යුත් විෂයයක් නොවී ය. එබැවින් එබඳු කලා උන්මාදයක් ඔළුවට ගැසූ කළ පාඩම් අත පසුවන්නේ යැයි බොහෝ ගුරුවරුන්ගෙන් මෙන්ම ගෙවල් දොරවලින් ද නැඟුණ මැසිවිලි බොහොමයකි. එය පාසල් විෂයයක් බවට පත්වීම අලුත් පරම්පරාවක වාසනාවක් යැයි මම සිතමි. එමෙන්ම එම විෂයය හැදෑරිය යුත්තේ මොකක් හෝ විෂයයක් හදාරා සහතිකය නම් කොළ කැබැල්ල ලබන්නට නොව අදට වඩා යහපත් හෙට දවසක් නිර්මාණය කිරීම උදෙසා ලබන වරප්‍රසාදයකින් යුක්තව බැව් මේ පරම්පරාවට ආදරයෙන් මතක් කර දීමට ද මම කැමැත්තෙමි. හේතුව එය පාසලේ දී විෂයයක් ලෙස හදාරන්නට එකල අප වැනි සිසුනට අවසර නොවූ හෙයිනි. එබැවින්ම චිත්‍රපටයක් හෝ නාට්‍යයක් නැරැඹීම අප සැලකුවේ වීර ක්‍රියාවක් හැටියට වූ අතර ඇතැම් වැඩිහිටියෝ එකී වීර ක්‍රියාව මහා තක්කඩි වැඩක් ලෙස සැලකූහ. එහෙත් දැන් එයට නිල පිළි ගැනීමක් ලැබී ඇත. ‘ජනේලයෙන් පනින්න ද’ නාට්‍යයට පෙර නෙළුම් පොකුණ රඟහලේ එළිමහන් රංග පීඨයේ දී ‘සුද්දෙක් ඔබ අමතයි’ වේදිකා ගතවිණ.

එයින් අනතුරුව එළැඹි ඉරිදා මහාචාර්ය සරච්චන්ද්‍රයන්ගේ ‘සිංහබාහු’ නෙළුම් පොකුණේ වේදිකා ගතවිය. මෙරට නාට්‍ය කලාවේ මහා නිර්මාණ අතරින් එකක් වූ ‘සිංහබාහු’ මෙන්ම ‘මනමේ’ ද මේ අනුව එහි වේදිකා ගතවිය. ‘සිංහබාහු’ නැරැඹීමට පැමිණි ප්‍රේක්ෂක සංඛ්‍යාවෙන් එක් අයෙක් වූයේ මා ය. ‘මනමේ’ වේදිකා ගතවනුයේ මේ ලිපිය ලියන දවසේ සවස ය. එනම් අඟහරුවාදායි. මෙරට නාට්‍ය ඉතිහාසයේ එවන් විශිෂ්ට නිර්මාණ මෙම රඟහලේ වේදිකා ගතවීම එවන් නාට්‍ය පිළිබඳ ප්‍රේක්ෂකයාට අලුත් අත්දැකීමක් වනු නොඅනුමාන ය.

මෙරට නාට්‍ය කලාවේ තවත් ඉසව්වක් ලෙස පසුගිය දා පැවැත්වූ කොළඹ ජාත්‍යන්තර රංග කළා උළෙල හැඳීන් විය යුතුය. මේ උළෙල මෙරට නාට්‍ය කරුවනට නැවුම් අත්දැකීමක් හැටියට සැලකිය යුතුය. වර්තමාන ලංකාවේ කලා ප්‍රබෝධයන් උදෙසා ජාත්‍යන්තර කලා උත්සවයන්ගේ අවශ්‍යතාව වැඩියෙන් දැනෙන්නකි. ජාත්‍යන්තර රංග කලා උළෙල එයට පූර්වාදර්ශයක් ලෙස මම සලකන්නෙමි. මේ උළෙල පැවැත්වීමේ ගෞරවයෙන් වැඩි හරියක් පැවරෙනුයේ නාට්‍යවේදී එම්.සෆීර්ගේ පෞද්ගලික කැපවීමට ය. මෙරට එබඳු නාට්‍ය හෝ සිනමා උළෙලක් මගින් ජාත්‍යන්තර අවධානය වැඩි වශයෙන් දිනා ගත හැකි වනු ඇතැයි අපි විශ්වාස කරමු. මේ නාට්‍ය උළෙල මෙන්ම කොළඹ ජාත්‍යන්තර සිනමා උත්සවයක් ද අපේ රටේ රසිකයන්ගේ අනාගත බලාපොරොත්තු අතර වැජඹෙන බැව් කිව යුතුම ය.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    FEEDBACK

    මතු දිනෙක

    රගපාමු