පබාවතී ඔබ සොයා එමි මම

මහාචාර්ය සුනිල් ආරියරත්න

කෙසේ වෑවෙම්

කෙසේ මම වෑවෙම්දෝ

කෝකිල සරයෙන් ඇයගේ වදන් ඇසේ

නිලුපුල් කුසුමින් ඇයගේ නුවන් දිලේ

- අමරදේව

ඉර බැස යමින් තිබිණි. පිළියන්දල, කොළඹ පාරේ තිබූ වාහන තදබදය මඩපාතට හැරුණු පසුව තරමක් අඩු විණ. නැවතත් අප කර්තෘ අරුණ ගුණරත්නයන්ගේ ජංගම දුරකතනය නාද විය. එයට දුන් පිළිතුරු මට ඇසේ. එය පැහැදිලිය.

‘මඩපාත හන්දියෙන් වමට. එතැනින් පොල්හේන හන්දිය. ආයෙමත් දකුණට.’

ඔහු රියැදුරුට පවසන්නේ දුරකතනය කියන මඟ සළකුණුය. අපි නිසි පරිදි මඟ සකයා යයි. අප එන පෙර මඟ එතුමාණෝ බලා සිටියහ. ඔහු මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ය.

‘මං හිතන්නේ අවුරුදු විසි පහක් විතර ඉඳලා.’

මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අසුනක හරි බරි ගැසෙයි. මහාචාර්යතුමන්ගේ අදහසට අපේ කර්තෘ විරුද්ධත්වය පළ කළේය.

‘එහෙම නම ඇයි? පබාවතී ඔබ සොයා එමි මම කියල ගීතයක් ලිව්වේ.’

මහාචාර්ය සුනිල් ආරියරත්නයන්ගේ අරුන්දතී ගීත සංග්‍රහයේ එන පබාවතී මෙන්ම කුස වලප නම් ගීත සිහිපත් වෙයි.

‘අපොයි එහෙම කිව්වහම හරි. ඔව්. එහෙම නම් අවුරුදු හතළිහක් විතර පරණ ප්‍රේමයක්.’

බොල්ගොඩ ගඟට යාබද බිම් කඩක ඉදි වූ චාම් සිත් ගන්නා සුළු නිවහන මැදින් ඔහු අප කැඳවා යන්නේ ඉවුරටය. ලා රත් පැහැ ගත් අහස් කුස තව නොබෝ වේලාවකින් හිරු අස්තංග ගත වන බැව් සළකුණු කරයි. එහා ඉවුරේ ඇති මහා මන්දිරවල නැති අපූරු නිරාමිස සුවයක් සුනිල් ආරියරත්නයන්ගේ අසපුවෙහි ඇති සේය.

ඒ අවට වූ ගම් නියම් ගම් දිසා මහාචාර්ය සුනිල් ආරියරත්නයන් අපට හඳුන්වා දෙයි. ඒ අතරවාරය අපේ කතාබහේ මුලක් සොයා ගන්නට අප වෙහෙස වෙමු.

ඒ කතාව පටන් ගත්තේ මෙහෙම.

‘ඇත්තටම පබාවතියට ආදරය කරන්න ඔබ පටන් ගත්තේ කවදාද?

මගේ මතකය දිව යනවා මීට අවුරුදු තිස් පහකට පමණ එපිට ඉතිහාසයකට. උසස් පෙළ පංතියේ ඉන්න කොටයි මම කවි සිළුමිණ කියවන්න පටන් ගත්තේ. එහිදීයි කුස - පබා පිළිබඳ දැනගන්නට ලැබුණේ.

ඒ කාලයේදීම කවි පොතක් ලිව්වා. ඒකෙ පබාවතියගේ ශ්‍රියාව ගැන කියවුණු කවියක් ද ඇතුළත් වුණා.

ඒ වන කොට ඔබ කුස ජාතකය කියවලා තිබුණේ නැද්ද?

පාසලේදී කවි සිළුමිණ අප කියෙව්වේ හුදු විභාගයක් සමත්වීමට පමණයි. එහි ඇති සාහිත්‍ය රසය මනාව අවබෝධ කර ගත්තේ නැහැ. එවකට කවි සිළුමිණ කියවීම මට බොහොම නීරස කටයුත්තක් වුණා. කථිකාචාර්ය කෙනෙකු විදිහට පත්වීම ලැබිලා කැලණි විශ්වවිද්‍යාලයේ මං ඉගැන් වූවේ නූතන සාහිත්‍ය පිළිබඳ පමණයි. එතැනින් මට යාපනය විශ්වවිද්‍යාලයට යන්න සිදු වුණා. එවකට අපගේ අංශ ප්‍රධානී මහාචාර්ය සුචරිත ගම්ලත් මහතා මට නූතන සාහිත්‍යට අමතරව පැරැණි සාහිත්‍යත් උගන්වන්න පැවරුවා. මං හිමිහිට මඟ හරින්න හැදුවත් ඔහුගේ බලවත් ඇවිටිල්ල මත මට එය නොකර ඉන්න බැරි වුණා. එහිදියි මං කවි සිළුමිණ හරියට කියෙව්වේ, අධ්‍යයනය කළේ. ක්‍රමයෙන් මා පබාවතීට ප්‍රේම කරන්නට පටන් ගත්තා.

ඉතින්?

ඒ ප්‍රේම කිරීමේ ආසාව උච්ච වූ තැනදී මං මහාචාර්ය ගම්ලත් එක්ක මේ කතාව ඇසුරෙන් තිර පිටපතක් ද ලිව්වා. එතකොට මං මගේ චිත්‍රපට ජීවිතය අනුපමාත් සමඟ පටන් අරගෙනවත් නැහැ. ඒ කාලයේ කුස - පබා වැනි දැවැන්ත චිත්‍රපටයක් කරන්න මට වත්කමක් තිබුණේ නැහැ. මං යාපනේ විශ්වවිද්‍යාලයෙන් ඉවත් වනවාත් එක්ක කුස - පබා සිනමාපටයේ සිහිනය වියැකී ගියා.

ඇයි මෙතරම් කුස පබාට ප්‍රේම කළේ?

ඒක වුණේ කවි සිළුමිණ හරියට කියෙව්වට පස්සේ. ජාතක කතා පොත නිසා නෙවෙයි. කුස ජාතකයේ ඉන්න පබාවතිය මුරණ්ඩු, කෲර, නාහෙට අහන්නේ නැති කෙනෙක්. ඒත් කවි සිළුමිණෙහි පබාවතිය එහෙම නැහැ. ඇය ඉහත ගතිගුණ මඳක් සමනය කර ගත්තියක්. බුදු සිරිතේ ඉන්න යසෝධරාට වැඩිය යසෝදරාවතහි ඉන්න යසෝදරාට සමහරෙකු කැමැති වෙන්න පුළුවන්. වෙස්සන්තර ජාතකයේ මන්ද්‍රි දේවියට වඩා වැඩි කැමැත්තක් වෙස්සන්තර කාව්‍යයෙහි මන්ද්‍රි දේවියට තිබෙන්න පුළුවන්. ඒ වගේ කුස ජාතකයේ පබාවතියට වැඩියෙන් කවි සිළුමිණෙහි පබාවතියට මං ආදරෙයි එය ලියූ හය වැනි පරාක්‍රමබාහු රජුට ස්තුතිවන්නට.

පබාවතියට ඇළුම් කළ නිසාමයි කුස - පබාට මගේ මෙතරම් නෑදෑකම් තිබෙන්නේ.

එහෙත් ඔබ කුස පබා සිනමාපටයට වැඩිපුරම භාවිත කරලා තියෙන්නේ කුස - පබා ජාතකය? ඇයි කවි සිළුමිණ පමණක් ඊට යොදා නොගත්තේ?

චිත්‍රපටයට කවි සිළුමිණ සහ ජාතක කතාව සමබරව ගත්තා කියලා මට විශ්වාසයි. කවි සිළුමිණ රචනා කළ හය වැනි පරාක්‍රමබාහු රජු කියලා තියෙනවා ‘පෙඳෙහි රස හව් විඳිනා දෙනෙතා ඉතා දුලබෝ’ යනුවෙන්. ඒ කියන්නේ කවි රස විඳී අය අද වගේම ඒ කාලයෙත් බොහෝ හිඟයි. ඒත් ජාතක කතාව එහෙම නැහැ. එය වැඩි දෙනා කියවලා තියනවා. ඒක හින්දා චරිත නිරූපණයේදී කවි සිළුමිණත් කතාන්දරය ගොඩ නැඟීමේදී කුස ජාතකයත් අඩු වැඩි වශයෙන් භාවිත කළා.

එතනදි තිර රචකයා භාවිත වූයේ කොයි ආකාරයෙන්ද?

තිස්ස අබේසේකරයන් මගේ පොඩි මල්ලි, අහස් මාලිගා, උත්පලවන්නා රචනා කළා. කුස - පබා ඔහුගේ අතින් ලියවෙන්නේ මගේ දැඩි පෙරැත්ත මත. අවුරුදු කිහිපයකට උඩදී තිස්ස අබේසේකරයන් බටහිර සිනමාවෙන් එහා සීමාව ස්පර්ෂ කරමින් ඒ සිනමා කෘති විඳීමින් සිටි කෙනෙක්. පසු කාලයේ ඔහු ඉන් ක්‍රමයෙන් මිදුණා. ශාන්තාරාම් වැනි ඉන්දියානු සිනමාවේදීන්ගේ සිනමාපට කෙරෙහි ඔහුගේ වැඩි නැඹුරුවක් තිබුණා. ඒ නිසාමයි ඔහු සංස්ථා සභාපති කාලයේ චෝල මණ්ඩල සිනමා උළෙල පැවැත් වූයේ. එහෙයින් කුස - පබා වැනි සංගීතමය පිටපතක් ඔහු අතින් හොඳින් ලියවුණා කියලයි මගේ විශ්වාසය. පබාවතී මරණයට පත් කරන්න ගෙනි යන තැනට ඔහු ගීතයක් යොදා ගනිමු කිව්වා. මම ඒ අදහසට පුදුම වුණා. අබේසේකරයන් මට ඩීඩාර්, බාබුල්, මූගල් ඊ අසාම් ඇතුළු චිත්‍රපට ගණනාවක්ම උදාහරණයට ගෙන එතැනට ගීතයක් තිබිය යුතුමයි යන්න සනාථ කළා. ඒ වගේම කුසගේ මුහුණ විරූපීවීමට හේතුව වූ පෙර අකුසල කර්මය පිළිබඳ කවි සිළුමිණෙහි නැහැ. ඔහු ඒ පුනරුත්පත්ති කතාව ද චිත්‍රපටය එකතු කළා. ඇත්තෙන්ම චිත්‍රපටයේ අත්තිවාරම හැදුවේ තිස්ස අබේසේකරයන් කිව්වොත් හරි.

චිත්‍රපටයේ ලොකුම දුර්වලකම වන්නේ මේ පුනරුත්පත්ති දර්ශන පෙළ යැයි සමහර විචාරකයෝ කියනවා?

මෙහෙමයි, ඒ පුනරුත්පත්ති කතාව එහෙම් පිටින්ම බැහැර කරන්න බැහැ. අබේසේකරයන්ගේ ඒ අදහසට මං එකඟ වුණේ ඒ දර්ශන පෙළ නැතිනම් චිත්‍රපටය පැය දෙකකට හදා ගන්න බැරි නිසා. එය අග ඉඳලා මුලට හරියටම කතාව දිග හැරියොත් පැය තුන හමාරකටත් වැඩියෙන් චිත්‍රපටය දීර්ඝ වෙනවා. අනික කුස, දෙවියොත් සමඟ කෙරෙන කතාව මං දකින්නේ චිත්‍රපටයේ පොතේ ගුරු හැටියට. එහෙයින් පුනරුත්පත්තිය නොදැක් වූවොත් මේක අසාර්ථක වෙන්න තිබුණා. අපි සති දෙකක් පමණ දීර්ඝ සාකච්ඡාවක යෙදිලයි ඒ තීරණය ගත්තේ.

චිත්‍රපටය රූගත කරන කොට තිස්ස අබේසේකරයන් ජීවතුන් අතර නැහැ. ඔහු සිටියා නම් කුස - පබා වෙනත් මාවතක යන්නට තිබුණා නොවේද?

ඔව්, ඔබ කියන කතාව නිවැරැදියි. මන්දයත් රූප ගත කරන විට පවා ඔහු යම් යම් දේ මීට එකතු කරන්න ඉඩ තිබුණා. එහෙත් අබේසේකරයන් නිතරම කියු දෙයක් තමයි තිර නාටකයක් ලියා දුන් පසු ඒක දැන් මගේ නෙවෙයි, සිනමාකරුවාගේ කියලා. ඔබට ඕන විදිහට චිත්‍රපටය කරගෙන යන්න කියන එක. ඔහු අත්තිවාරම සකසා දුන් පසු මට ඇවැසි තැන්වල ගඩොල් ගලවන්න, සවි කරන්න අයිතිය මට තිබුණා. ඒ නිසා මා කිව්වේ චිත්‍රපටයේ එහෙම් පිටින්ම වෙනස් නොකර තවත් හරවත් අදහස් එකතු වෙන්න තිබුණා ඔහු සිටියා නම් යන වග.

කුස - පබා බොහෝ දුරට ඉන්දියානු ශෝනරි ශාන්තාරාම් වැනි සිනමාකරුවන්ගේ ශෛලිය ගත්තා කිව්වොත්?

ඒකට මට මෙහෙම පිළිතුරක් දෙන්න පුළුවන්. මට ඕන කළේ පොදු ජනතාව රස විඳි කුස ජාතකය එහෙම් පිටින්ම ලබා දෙන්න නෙවෙයි. ඒක රසවත් කොට චිත්‍රපට ගත කරන්න. ඉතින් ඒකට මං ශාන්තරාම් ඇතුළු ඔහුගේ සමකාලීන සිනමාකරුවන් නිර්මාණය කළ චිත්‍රපට අධ්‍යයනය කළා. විශේෂයෙන්ම ශාන්තරාම්ගේ ස්ත්‍රී, නව්රාංගේ, ජනක් ජනක් පායල් බාජි බැලුවා. දඹදිව චාරිත්‍ර පිළිබඳව කවි සිළුමිණෙහි සඳහන්ව නැහැ. එහි සිරිත් විරිත්, ඇඳුම් පැළැඳුම් කොයි ආකාරයෙන් තිබිණි ද යන්න විස්තර සහිතව නැහැ. අනික ජාතක කතාවල නිශ්චිත මූලාශ්‍රයක් නොමැති නිසා මට අසීමිත නිදහසක් ලැබුණා කුස - පබා රූගත කරද්දී. මේ නිසා මා උතුරු සහ දකුණු ඉන්දියානු සංස්කෘතියේ ඇති බොහෝ දෑ මේ සඳහා භාවිත කළා. කෙටියෙන්ම කිව්වොත් මා කුස - පබා හරහා කරලා තියෙන්නේ උතුරු සහ දකුණු ඉන්දියාව යා කිරීමක්.

කෙසේ නමුත් කුස පබා අවසානයේදී ජාතක කතාවෙන් බැහැරව වෙනත් මඟකට ගමන් කරනවා. මේ ගැන මොනවද ඔබට කියන්න තියෙන්නේ?

මේ තිර නාටකයේ අතාර්තික සිදුවීම් අපි ඉවත් කළා. ඒවා අඩංගු වුණා නම් චිත්‍රපටය නුතන සමාජයට නොගැළපෙන එකක් වෙනවා. උදාහරණ කිහිපයක් මං කියන්නම්. ජාතක පොතේ හැටියට පබාවතියව හත්කඩකට කපන්න අණ දෙන්නේ මදු රජතුමා. එහෙත් හරියට හොයලා බැලුවොත් ඒ තීන්දුව දෙන්න ඕන දඹදිව අග රජු. මන්දයත් ඒ වන විටත් පබාවතියගේ නියම අයිතිය තියෙන්නේ ඔහුට. ඒ වගේම පබාවතියගේ නැගනියන් සත් දෙනෙකු පිළිබඳ සඳහනක් තිබුණා.

එය තිර පිටපතට ඇතුළත් වුණා නම් ඔවුන් කෙරෙහි ද මිනිස් අවධානය යොමු වෙනවා. අපට වුවමනාව තිබුණේ පබාවතියම පමණක් චිත්‍රපටයේ ප්‍රධාන චරිතය කරන්න. ඇත් ගාලේ සැඟවුණු කුස පබාවතියට වසුරුවලින් පහර දුන් බව නේද අසා තිබෙන්නේ. ඒත් ඒක චිත්‍රපටයකට අප්‍රසන්න සිදුවීමක්.

තව තැනක සඳහන්ව තිබෙනවා කුස, පබාවතියගේ මුහුණට බුලත් කෙළ පහරක් ගසනවා කියලා. බලන්න ඒක කොතරම් අප්‍රියජනක දර්ශනයක් ද? ඒ සියල්ල තිර නාටකයේ නැහැ. කුස ජාතකයෙයි, කවි සිළුමිණෙහි ලිය වී තිබෙන්නේ කුස පරපීඩකයකු ලෙස. පබාවතී අතිශය මුරන්ඩු තැනැත්තියක් යන වග. එහෙත් ඒ දෙදෙනාවම චිත්‍රපටයේදී අපි සංවේදී චරිත බවට පත් කළා. එහෙම නොවී අමු අමුවෙන්ම කුස කතාවම චිත්‍රපටයට නැගුණා නම් මෙලහකටත් එය ප්‍රතික්ෂේප වෙලා.

තව තැනක තියනවා ජාතක කතාවෙන් ඔබ වෙනස් කරපු. ඒ චිත්‍රපටය අවසානයේ කුස රජු වෙස් මුහුණක් දාගෙන එන විට සතුරන් බිය වී දුවන තැන?

ජාතක කතාවේ තියෙන්නේ කුස පැමිණ ‘මම තමයි කුස රජ්ජරුවෝ’ කිව්වහම සතුරන් තැතිගෙන ඉවත්වන බවට. තිස්ස අබේසේකරයන් කියූ පරිදි ඒක හරියට කුස මමය කියා සහතිකයක් ඉදිරිපත් කරනවා වගේ වැඩක්.

ඇතැමෙක් පවසනවා තිස්ස අබේසේකර නොදන්න සිනමා සංස්කෘතියක අතරමං වෙලා කියලා. හැබැයි ඔහු ජීවතුන් අතර සිටියා නම් මේ වන විට කුස - පබා පිළිබඳ ඔහු සහ ප්‍රබුද්ධ රසිකයන් අතර මහත් සංවාදයක් ගොඩ නැඟිලා.

ලංකාවේ මෙතරම් නිළියන් සිටිද්දී පබාවතියට පූජාව තෝරා ගත්තේ ඇයි.? ඇයගේ සුරූපීකමට යටින් මුහුණේ ඇඳී තිබෙන හිතුවක්කාරකම නිසාද?

තිර නාටකය ලියන කාලේ පබාවතිය නිරූපණය කරන්න පූජාව යොදා ගනිමුයි කියලා අප අතරේ පුංචි මතයක් තිබුණා. ඒ ඔබ ඉහත සඳහන් කළ හේතුව නිසා. මමයි, ලූෂන් බුලත්සිංහල සහ ටී. අර්ජුන සිනෙ සිටි එකේ පූජා දෑස් අන්ධ හිඟන්නියකගේ චරිතය රඟපෑ නාන් කඩවුල් සිනමාපටය නැරැඹුවා. ඇගේ රංගන ප්‍රතිභාව මං දැක්කේ එදා. එදාමයි පූජාට පබාවතියව ලබා දෙන්න තීරණය කළේ.

කුස පබාගෙන් පසුව?

කුස පබා විචිත්‍ර රීතිය යටතේ කළ චිත්‍රපටයක්. හුදී ජන පහන් සංවේගය වෙනුවෙන් නිර්මාණය වූවක්. හිත මිත්‍රයින් මගෙන් අහනවා, පොඩි මල්ලි, සිරිබෝ අයියා වැනි චිත්‍රපටයක් නොකර මෙවැන්නක් කළේ ඇයි කියලා. වජිරා වගේ සංගීතමය චිත්‍රපටයකින් පස්සේ විචිත්‍ර යන කුලකයට වැටුණේ කුස - පබා. තිර නාටකය විසින් ඉල්ලා තිබුණේ විචිත්‍ර ගණයේ චිත්‍රපටයක්. ඒක නිසයි ඒ අන්දමින් මෙය නිර්මාණය වූයේ. කුස - පබාගෙන් පසුව මං වෙන නිිර්මාණයක් ගැන හිතලා නැහැ. කුස - පබාට වියදම් කළ නිෂ්පාදකවරුන්ට ලාභ කෙසේ වෙතත් යෙද වූ මුදල හොයා දෙනකම් මං කුස - පබා සමඟ ඉන්නවා. එහෙයින් වෙන චිත්‍රපටයක ඡායාවක්වත් මගේ සිතේ නැහැ. පබාවතිය යුග යුග ගණන් මිනිස් ජීවිත හා බද්ධ වූ වෘතාන්තයකි. එය සදා කල් අප හා බැඳුනා වූ කතාවකි.

ඉර බැස ගොසිනි. බොල්ගොඩ ගඟේ ඔරුවක එළියක් පෙනේ. අසළයාත්‍රවකින් ගීයක් ඇසේ. මට කුස - පබා සිහිපත් වෙයි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු