ජීවන්ගේ දේශපාලනයට ෂෙරින්ගේ විරෝධය

අර්නස්ට් වඩුගේ රස ආවර්ජනයක

බොහෝමයක් නළු නිළියන් මෙන්ම කලා ශිල්පීන් ශිල්පිනියන් ද මට පෞද්ගලිකව දැන හඳුනාගෙන සමීප මිතුරු මිතුරියන් වීමට අවකාශ ලැබුණේ ඔවුන්ගේ මුල්ම රංගනය හෝ මුල්ම නිර්මාණය එළිදැකීමට ද කළින් සිටය. ජීවන් කුමාරතුංග ද එසේමය. මා ඔහුව දුටුවේ ඔහු නළුවෙකු වීමට පෙරාතුවය. එහෙත් ඔහු අප මිතුරකු නොවීය. හොඳම මිතුරකු වූයේ ජීවන්ගේ පෙම්බර පියාණන් වූ (සිඩ්නි කුමාරතුංග මහතා) ගේ මල්ලී වන විජය කුමාරතුංගය.

එකල විජය සමඟම නිතර දකින්නට ලැබුණු ජීවන් කෙරෙහි අපේ වැඩි අවධානයකට ලක් වූයේ නැත. ඔහුට ද අපව හඳුනා ගැනීමට එතරම් උවමනාවක් නොවූවා විය හැකිය. මඳ හිනාවක් පානවාට, වචනයක් දෙකක් කතාබහ වෙනවාට වඩා ජීවනුත් අපත් අතර සම්බන්ධයක් නොවීය.

එහෙත් විජය සමග නිතර ගැවසුණු බැවින් ඔහු හා විජයගේ ඥාති සම්බන්ධය කවුරුත් දැන සිටියහ. විජය ඒ වන විට ද කාර්යබහුල ජනාකාන්ත නළුවෙකු වූ බැවින්, ඔහු කවදා හෝ තම ඥාති පුත්‍රයා සිනමාවේ ‘නග්ගලා ගනීවි’ යැයි කවුරුත් සිතූහ.

එහෙත් එවැන්නක් සිදු නොවීය.

ජීවන්ගේ සිනමා ගමනට විජයගෙන් හරිහමන් අනුග්‍රහයක් නොලැබුණු බව සත්‍යයකි. විජය, ජීවන්ට මහත් සේ ආදරය කළේය. ඔහුට අවශ්‍ය වූවා නම් ‘හැටට හැටේ’ වේගයෙන් ජීවන්ව තල්ලු කරගෙන යා හැකිව තිබුණි. එහෙත් ඔහු එසේ නොකළේය.

ඒ විජය තුළ තිබූ වැදගත් දර්ශනයක් නිසාවෙනි.

විජය, ජීවන්ට ආමන්ත්‍රනය කළේ ‘ජීවාන්’ කියාය.

‘පුතේ ජීවාන් . . . මට උඹව තල්ලු කරගෙන මේ ක්ෂේත්‍රයේ ඉදිරියට යන්න පුළුවන්. මං තල්ලු කරන තරමට උඹට ක්ෂේත්‍රයෙනුත් හොඳ තල්ලුවක් ලැබේවි. ඒත් පුතේ ජීවාන් . . . මං උඹව තල්ලු කරල යම් දවසක අත හැරියදාට උඹ වැටෙනවා. ඇත්තෙන්ම කෙනෙකුට තවත් කෙනෙකුව තල්ලු කරගෙන යා හැකි දුරක් තියෙවා. මං ඒ දුරට උඹව තල්ලු කරගෙන ගියාට පස්සේ, ඉදිරියේ උඹව වැටෙනවාට මං කැමති නැහැ. උඹ ස්වඋත්සාහයෙන් මේ ගමන පලයන්. මට විශ්වාසයි තවත් කුමාරතුංග කෙනෙක් ඉදිරියේදී මේ රටේ බැබළේවි.’

විජය තම ඥාති පුත්‍ර ජීවන් කුමාරතුංගට දුන් අවවාදය එයයි. එය කවර නම් වූ මසුරං වටින අවවාදයක් ද, ආදර්ශයක්ද . . .

ජීවන් විවාහ වූයේ 1984 වසරේදීය. ඒ වන විට ඔහු ජනප්‍රිය නළුවෙකි.

ජීවන් - ෂෙරීන් පෙම් කතාව මුලින්ම රටට හෙළිදරව් කළේ මාය. ඔවුන් අතර සමීප ඇසුරක් පවතින බව ආරංචි වූ සැණින් අපි ජීවන් – ෂෙරීන් පෙම් කතාව හෙළිදරව් කළෙමු. ‘සරසි’ පුවත්පතේ මැද පිටුව පුරා ඔවුන්ගේ පෙම් කතාව පළ වූ අතර, එම කලාපයේ කවරය සැරසුණේ ද ඔවුන් යුවළගේ ආකර්ෂණීය ඡායාරූපයකිනි.මා එකල එම පුවත්පතේ විශේෂාංග කර්තෘවරයා වූ අතර එහි ප්‍රධාන කර්තෘ ධූරය හෙබ වූයේ ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී බන්දුල පද්මකුමාරයන්ය.

එවකට ෂෙරීන්ලා පදිංචිව සිටියේ වැල්ලවත්තේ පිහිටි දැකුම්කළු නිවසකය.

‘ඔන්න මං දන්නෙ නෑ. ඔය ඉන්නෙ ෂෙරීන්ගෙන්ම අහගන්න ඕන දෙයක්.’

එදා පෙම් කතාව අකුරු කිරීමට ෂෙරීන්ගේ වැල්ලවත්තේ නිවසට ගිය විට ජීවන් පැවසූ වදන් මට දැනුත් මතකයේ ඇත. පුරා පැය කීපයක් මම ෂෙරීන් සමඟ ඔවුන්ගේ ගෙදර කෑම මේසයට වී විවිධ දේ පිළිසඳරේ යෙදුනෙමි. මා හිතන විදියට ඒ අද ඇමැති බිරියක වන ෂෙරීන් කුමාරතුංග පුවත්පත් සාකච්ඡාවකට මුහුණ දුන් ජීවිතයේ මුල්ම අවස්ථාව විය යුතුය.

කොළඹ ඉන්ටර්කොන්ටිනෙන්ටල් (වත්මන් සිලෝන් කොන්ටිනෙන්ටල්) සුපිරි හෝටලයේ අති චමත්කාරජනක ලෙස ඔවුන්ගේ විවාහය මංගල්‍යය රටේ ජනාධිපති වූ ජේ. ආර්. ජයවර්ධන මහතා ඇතුලු ඉහළම පෙළේ දේශපාලනඥයන්, නළු නිළියන්, සිනමා ශිල්පීන්, මාධ්‍යවෙදීන් විශාල පිරිසකගේ සහභාගිත්වයෙන් සිදු විය.

දේශපාලන පවුලක් නිසාවෙන් යම් යම් දේශපාලන කටයුතුවලට ජීවන් සහභාගි වී සිටියේ වී නමුදු මුලින්ම පූර්ණකාලීනව ඔහු ක්‍රියාශීලී දේශපාලනයට අවතීර්ණ වූයේ 1993 දීය.

මුලින් මුලින් තමා දේශපාලනයට පිවිසෙන බව ‘රස’ පත්තරයෙන් ඔහු යම් යම් ඉඟි කර තිබුණද සෘජුවම ඔහු එසේ ප්‍රකාශ කළේ නැත.

ඒ වනවිට රටේ පැවැති දේශපාලන වාතාවරණය එතරම් යහපත් වූයේ නැත. 89 කැරැල්ල හේතුවෙන් දේශපාලන කැලඹිලි සටන් ඉතාම උග්‍රව පැවතියේය. රටක් වශී කරගෙන සිටි විජය කුමාරතුංග සාහසික වෙඩි වරුසාවකට ලක්ව ලේ විලක් මැද ජීවිතක්ෂයට පත්වීම පිළිබඳව දේශපාලන ලෝකයේ පමණක් නොව මුළුමහත් රට පුරාම පැවතියේ භීතියකි.

එම භීෂණ සමයේ ගිනි දළු නිවී යාමට ද පෙරාතුව විජය කුමාරතුංග පවුලෙන්ම ජනප්‍රිය කෙනෙකු ක්‍රියාකාරී දේශපාලනයට පිවිසීමට යාම ගැන රටේ උණුසුම් ආන්දෝලනයක් ඇති විය. රටක් වටින විජයට අත් වු ඉරණම හේතුවෙන් ජීවන් කුමාරතුංග දේශපාලනයට අවතීර්ණවීමට අදහස් කිරීම හේතුවෙන් ජීවන්ට හිතවත් කවුරුත් එයට එතරම් ප්‍රියමනාප භාවයක් දැක් වූයේ නැත. ගිනි දහවල් ආදරණීය විජය කුමාරතුංග පොල්හේන්ගොඩ දී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධියෙන් අතිශය කම්පනයට පත්ව සිටි ජීවන්ට ලැදි බොහොමයක් ඔහු ක්‍රියාකාරී දේශපාලනයට ප්‍රවිශ්ඨ වීමට අදහස් කිරීම ගැන විරුද්ධ වූහ.

ඉනුත් කාටත් වඩා කඩු කිණිසි අමෝරා ගෙන ජීවන්ගේ දේශපාලන ගමනට බලවත්ම අකැමැත්ත ප්‍රසිද්ධියේම ප්‍රකාශ කරමින් විරුද්ධ වූයේ ඔහුගේ ආදරබර බිරිඳ ෂෙරීන්ය. පෙම්බර බිරිඳ වශයෙන් භීෂණ දේශපාලන සංස්කෘතියක් පැවැති යුගයක තම සැමියා එයට සම්බන්ධවීමට තීරණය කිරීම ගැන විරුද්ධ වීම විශ්මයක් නොවේ.

ජීවන් කුමාරතුංග ක්‍රියාකාරී දේශපාලනයට.

බස්නාහිර පළාත් සභාවට තරග කරයි.

‘රස’ පත්‍රය නිකුත් වූදාම ෂෙරීන් මට දුරකතනයෙන් ඇමතුවාය. ජීවන් දේශපාලනයට පිවිසෙනවාට තමා තදින්ම විරුද්ධ බව ඇය හැඟීම්බරව ප්‍රකාශ කළාය.

‘වඩු අයියා, ඔයාලා ජීවන්ගේ හොඳ යාළුවෝ නේද, එහෙම නම් ඔය වැඩේ කොහොම හරි නතර කරන්න උත්සාහ ගන්න.

ඇය ඉල්ලා සිටියාය.

ජීවන් දේශපාලනයට පිවිසීම අරමුණු කරගෙන මා ප්‍රධාන කර්තෘ ධූරය දැරූ ‘රස’ පත්‍රයේ පිටු දෙකක ප්‍රමාණයේ දැවැන්ත පිට කවරයක් පළ කළෙමි. ඔහු නිල් පැහැති ජාතික ඇඳුමෙන් සැරසී, අතක් ඔසවා ජනතාවට ආචාර කරන අන්දම පිළිබිඹු වෙන මෙම ඡායාරූපයට ජීවන් මහත් සේ ඇලුම් කළේය. අප ඡායාරූප ශිල්පී බර්ටි ගුණසේකර එය ඡායාරූපයට නැඟීය.

‘රස’ කවරයෙන් පෝස්ටරයක් සකස් කර මුද්‍රණය කර දෙන මෙන් ජීවන් අපෙන් ඉල්ලීමක් කළේය. ‘රස’ හිමිකරු ප්‍රිතිරාජ් වීරරත්න මහතාගේ ද අනුමැතිය අනුව එය එලෙසම සිදු විය. ඡන්ද සටන මහත් උග්‍ර ලෙස පැවැත්වුණි. අවසානයේ ජීවන් කුමාරතුංග වැඩිම මනාප සංඛ්‍යාවකින් බස්නාහිර පළාත් සභා මන්ත්‍රීවරයකු ලෙස තේරී පත් විය.

තමා සැමියාට ඇති ආදරය නිසාම, එවකට පැවති වාතාවරණය හේතුවෙන් ජීවන් දේශපාලනයට පිවිසෙනවාට විරුද්ධ වූ ෂෙරීන්, අද ඔහුගේ පෞද්ගලික ජීවිතයේ මෙන්ම දේශපාලන ජීවිතයේ ද සෙවනැල්ල මෙන් පසුවන්නීය.

ජීවන් කුමාරතුංග යනු සැබැවින්ම ආදර්ශමත් පුද්ගලයෙකි. නොපසුබට උත්සාහය මෙන්ම අප්‍රතිහත දිරිය නිසාම ඔහු තම කලා ක්ෂේත්‍රයත්, දේශපාලන ක්ෂේත්‍රයත් ජය ගත්තා යැයි පැවැසීම නම් අතිශයෝක්තියක් නොවේ. ඔහු එක රැයකින් පෑයූ ‘පහන් තාරකාවක්’ නම් නොවේ. එය කලා ජීවිතයට මෙන්ම දේශපාලන ජීවිතයට ද වලංගුය.

ඔහුට මුලින්ම චිත්‍රපටවල පවා රඟපෑමට අවස්ථාව ලැබුණේ දුෂ්ඨ චරිතය. ජීවන් මුලින්ම රඟපෑවේ රත්නවීර ද සිල්වාගේ ‘තනි තරුව’ චිත්‍රපටයේය. එහි ඔහු පාසල් දුෂ්ඨයා විය. ඉන් පසු එක දිගටම චිත්‍රපට සදහා ඔහුට ආරාධනා ලැබුණේ දුෂ්ඨයා ලෙස චරිත නිරූපණයටය. සාරංගා, නැවත හමුවෙමු, ඔබට දිවුරා කියන්නම්, ජය සිකුරුයි ඇතුළු චිත්‍රපට කීපයකම මහ එපා කරපු හිත්පිත් නැති දුෂ්ඨයා විය.

මෙම ‘දුෂ්ඨයා’ චිත්‍රපටවල අනිකුත් චරිතවලට පමණක් නොව ජීවිතයටම මහත් පීඩා ගෙන දුන්නේය. ඔහුට මෙම දුෂ්ඨයා එපා විය. ඇතැම් විට ඔහුට ඉදිරි බලාපොරොත්තුවක් ද තිබෙන්නට ඇත. මතු දේශපාලනයට පිවිසීමෙ හුදෙකලා සිතුවිල්ලක් එකල ද ඔහු තුළ තිබෙන්න ඇත.

චිත්‍රපටවල මින් මතු රඟ නොපා හිටියත්, මින් මතු චිත්‍රපටවල දුෂ්ඨ චරිතය මං රඟපාන්නේ නැහැ . . . පුවත්පත්වලට ඔහු එඩිතරව ප්‍රකාශ කළේය. ඉන් අනතුරුව අපේ ජනකාන්ත චිත්‍රපට අධ්‍යක්ෂ නළු රෝයි ද සිල්වා ජීවන්ට යුවතියන්ගේ ආදර ජීවිතයේ සදාතනික පෙම්වතා බවට පත් කළේය. රෝයිගේ ‘හිත හොඳ කොල්ලෙක්’ චිත්‍රපටයේ ජීවන් හාපුරා කියා පෙම්වතා ලෙස ප්‍රධාන චරිතය රඟපෑවේය. ‘හිත හොඳ චණ්ඩියා’ පමණක් නොව ජීවන් සුපෙම්වතා ද මහත් සේ ජනප්‍රිය විය. ජනතාව මෙම අලුත් කතානායකයාට, පෙම්වතාට පෙම් බඳීන්නට වූහ. එන්න එන්නම ජීවන්ගේ ජනප්‍රියත්වය වර්ධනය විය.

ජනප්‍රියත්වය මොන තරම් වර්ධනය වූවාද කිවහොත් බස්නාහිර පළාත් සභාවේ වැඩිම මනාප සංඛ්‍යාවකින් ඔහු මන්ත්‍රීවරයකු බවට පත් විය. අද කොළඹ දිස්ත්‍රික්කයෙන් විශාල මනාප සංඛ්‍යාවකින් තේරී පත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු බවට පත්ව වත්මන් ආණ්ඩුවේ තැපැල් ඇමැති ධූරය හොබවයි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු