මතකයේ ජීවත් වනු පිණිස මියෙන්න ඉඩ දෙන්න

සිනමා කෘතින් සදහා පාදක වූ සත්‍ය කතා පිළිබඳ විවරණය කෙරෙන ලිපි මාලාව - 50

ලොව පුරා චිත්‍රපට උළෙල කැලඹ වූ රමෝන් සම්පෙඩ්‍රෝ ගේ පුවත

ස්පාඤ්ඤයේ පෝර්ටෝ ඩෝ සන් ප්‍රදේශයේදී රමෝන් සම්පෙඩ්‍රෝ උපත ලද්දේ 1943 ජනවාරි 5 දාය. ගැලිසියා ප්‍රදේශයේ ධීවර කටයුතුවල යෙදුණ ඔහුට සයුර හොඳින් හුරු පුරුදු තැනක් වූයේය. මුහුදේ පිහිනීම හා කිමිදීම ඔහුගේ විනෝදාංශය වූයේය.

උසක සිට මුහුදු දියට පැන දිය යට කිමිද නැවත උඩ මතු වන්නට ඔහු මහත් කැමැත්තක් මෙන්ම දක්ෂතාවක් ද දැක් වූයේය. ගැලිසියා ධීවර ගම්මානය පිහිටා තිබුණේ ස්පාඤ්ඤයේ උතුරු දිගට වන්නටය.

එය තවත් පැහැබර උදෑසනක් වූයේය. ප්‍රබෝධවත් තරුණයකු ලෙස දවස ඇරඹූ රමෝන් මුහුදු වෙරළට ගියේය. වෙරළ අද්දර උස ගල් කුළක් තිබිණි.

ඒ මත සිට සයුරට පැනීම ඔහුගේ අරමුණ වූයේය. මුහුදට පැන දිය යට කිමිද, අඩ පැයක් පමණ පිහිනා විනෝද වී පැමිණ දවසේ අනෙකුත් වැඩ කටයුතුවල නියැළෙන්නට ඔහු ඉටා ගත්තේය.

‘පනින්ට පෙර සිතා බලන්න’ යනුවෙන් කියමනක් තිබුණ ද ඔහුට දෙවරක් සිතන්නට අවශ්‍ය වූයේ නැත. ගල් කුළ මත සිට පහළ බැලූ ඔහුට පෙනුණේ නිල් පැහැයෙන් බබළන සයුරු දිය කඳයි.

එම දිය කඳ තම ශරීරය දරන බව ඔහුගේ විශ්වාසය වූයේය. දෑත් ඉහළට ඔසොවා එකකු කර ගත් ඔහු සයුරට නැමී ගල් කුළෙන් පහළට පැන්නේය. ඔහුගේ දෑත් දිය කඳ කපා ගෙන ඇතුළට පිවිසියේය.

එහෙත් එම අවාසනාවන්ත දිනයේ රමෝන් සම්පෙඩ්‍රෝට වැරදී තිබිණි. එදින එතැන සයුරු දිය ඔහු සිතූ තරම් ගැඹුරකට විහිද තිබුණේ නැත. කෙළින්ම පත්ලට ඇදී ගිය ඔහුගේ හිස වේගයෙන් සයුර පත්ලේ ඇනිණි.

හිස දැඩිව වේදනා දෙද්දී ඔහු යළි දිය මතුපිටට ඇදී ආවේය. එහෙත් වෙනදා මෙන් තමාට පිහිනිය නොහැකි වග ඔහුට වැටහිණි. දිය මතම තමා සිහි විසඥ වන බවත්, තමා වටා වූ ලෝකය අඳුරු වන වගත් රමෝන් සම්පෙඩ්‍රෝට වැටහිණි.

යළි ඔහු සිහිය ලැබුවේ රෝහලකදීය. වෙරළ අවට සිටි අය සිහි විසඥ වූ සම්පෙඩ්‍රෝ රෝහලට ගෙනැවිත් තිබිණි. ඔහුට දැනුණේ තම අත පය තමාට අහිමිව ඇති සෙයකි.

එහෙත් හිස ඔසොවා බැලූ ඔහුට පෙනුණේ අත පය හානියකින් තොරව පවතින බවය. එසේ නම් ඒවා තමාට අවනත නැත්තේ ඇයි?

වෛද්‍යවරු රමෝන් සම්පෙඩ්‍රෝගේ ප්‍රශ්නයට අකමැත්තෙන් වුව පිළිතුරු සැපයූහ. හිස් මුදුන මුහුදු පත්ලේ ඇනීමත් සමඟ ඔහුගේ සුෂුම්නාවට බරපතළ හානි සිදු වී තිබේ. එනිසාම ඔහුගේ ශරීරයේ ගෙලින් පහළ අප්‍රාණිකව තිබේ.

විසි පස් හැවිරිදි තරුණයකුට එවැනි ආරංචියක් ලැබීම මොන තරම් අවාසනාවක්ද? ජීවිතයේ කිසිම කාර්යයක් තනිවම කර ගත නොහැකි තරම් දුක්ඛිත තත්ත්වයකට රමෝන් සම්පෙඩ්‍රෝ ඇද වැටී සිටියේය.

අවලංගු කාසියක තත්ත්වයට ජීවිතය පරිවර්තනය වී තිබියදී මේ දුක්ඛිත ජීවිතයට වඩා මරණය යෙහෙකැයි සම්පෙඩ්‍රෝ සිතුවේය. එහෙත් ඔහුට තනිවම සිය දිවි හානි කර ගන්නට නුපුළුවන. අප්‍රාණික තත්ත්වය නිසා ඔහුට ඒ සඳහා ද කිසිවකුගේ උපකාර අවශ්‍ය වෙයි.

මරණය පතා සම්පෙඩ්‍රෝ පළමුව ගියේ ස්පාඤ්ඤයේ පහළ අධිකරණයටය. තමාට හෝ වෙනත් අයකුට පලක් නැති තම ජීවිතය කෙළවර කර ගන්නට අවසර දෙන මෙන් ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය. අධිකරණය එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ විට ඔහු ශ්‍රෙෂ්ඨාධිකරණය වෙත ගියේය.

ශ්‍රේෂ්ඨාධිකරණය ද ඔහුට සිය දිවි හානි කර ගන්නට අවසර දුන්නේ නැත. පසුබට නොවූ ඔහු යුරෝපයේ මානව හිමිකම් කොමිසම වෙත කරුණු ඉදිරිපත් කරමින් සිය දිවි හානි කර ගන්නට අවසර ඉල්ලා සිටියේය.

ඔහුට එසේ අවසර ඉල්ලීමට පවා සිදු වී ඇත්තේ කිසිවකුගේ උපකාර රහිතව දිවි හානි කර ගන්නට තරම්වත් තමාට හැකියාවක් නොමැති නිසා බව ඔහු අධිකරණ ඉදිරියේත්, කොමිසම හමුවේත් පැවසුවේය. එහෙත් ඔහුට සිය දිවි නසා ගන්නට අවසර නොලැබිණ.

‘මට මැරෙන්න අවශ්‍යයි. ඉන් පසු මට ඔබේ මතකයේ ජීවත් විය හැකියි’ රමෝන් සම්පෙඩ්‍රෝ අධිකරණ වෙතින් කරන ඉල්ලීමට ස්පාඤ්ඤයේ පමණක් නොව ලොව පුරා මාධ්‍ය හරහා ඉමහත් ප්‍රසිද්ධියක් ලැබිණි. එහෙත් ඔහුට මිය යන්නට අවසර නොලැබිණි.

වසර 27 ක් තිස්සේ මරණය ඉල්ලා සිටි රමෝන් සම්පෙඩ්‍රෝ 1998 ජනවාරි 12 දා මිය ගියේ පොටෑසියම් සයනයිඩ් විස වීමෙනි. ඊට දින ගණනක් පසු ඔහුගේ සමීප මිතුරියක වූ රමෝනා මනෙයිරෝ අත් අඩංගුවට ගැනුණේ රමෝන්ට සිය දිවි හානි කර ගන්නට උපකාර කළාය යන චෝදනාව යටතේය. එහෙත් සාක්ෂි මඳකම නිසා පසුව ඇය නිදහස් කෙරිණි.

වසර හතකට පසු, ඇයට එරෙහිව නීතිමය වශයෙන් කටයුතු කළ හැකි කාලය ඉක්ම ගියායින් පසු ඇය රූපවාහිනී වැඩ සටහනකට සහභාගී වෙමින් තමා රමෝන්ට සිය දිවි හානි කර ගන්නට උපකාර කළ බව පිළිගත්තාය.

‘මම ඒක කළේ රමෝන්ට මා ආදරය කළ නිසා. ඔහු ජීවත් වෙමින් විඳින වේදනාව මට දරා ගත නොහැකි වූ නිසා’ ඇය කීවාය.

රමෝන් සම්පෙඩ්‍රෝ ගේ ජීවිත කතාව අළලා Mar Adentroxp නමින් ස්පාඤ්ඤ චිත්‍රපට අධ්‍යක්ෂ ඇලෙජෙන්ඩ්‍රෝ අමෙනබාර් 2004 දී සිනමා පටයක් නිමැ වීය. ‘ද සී ඉන්සයිඩ්’ එහි ඉංග්‍රීසි නම වූයේය. ජාවියර් බාර්ඩෙම් එහි රමෝන් ලෙස රඟපෑ අතර සෙල්සෝ බ්‍රගාලෝ, මාබෙල් රිපෙරා, තාමර් නොවාස්, ජෝන් ඩල්මෝ වැනි නළු නිළියෝ එහි රඟපෑහ.

2004 දී හොඳම චිත්‍රපටය ලෙස එය ඇකඩමි හා ගෝල්ඩන් ග්ලෝබ් සම්මාන දිනා ගත්තේය. යුරෝපා චිත්‍රපට උළෙලේදී ඊට හොඳම අධ්‍යක්ෂවරයාට හා හොඳම නළුවාට හිමි සම්මාන පිිරිනැමිණි.

ගෝයා සම්මාන උළෙලේදී එය හොඳම චිත්‍රපටය, හෙඳම අධ්‍යක්ෂ, හොඳම නළුවා හා නිළිය ඇතුළු සම්මාන 14 කට පාත්‍ර විය. වෙනිස් චිත්‍රපට උළෙලේදී ‘ද සී ඉන් සයිඩ්’ විශේෂ ජූරි සම්මානය හා හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූ අතර එහිදී ජාවියර් බාර්ඩෙම් හොඳම නළුවාට හිමි සම්මානය දිනා ගත්තේය.

රමොන් පැවසූ ආකාරයෙන්ම ඔහු මරණයෙන් පසු ලෝ වැසියන්ගේ මතකයේ ජීවත් වූයේය.

සංජේ ලීලා බන්සාලි අධ්‍යක්ෂණය කළ රිතික් රොෂාන් හා ඓශ්වර්යා රායි ප්‍රධාන චරිත රඟපෑ ‘ගුෂාරිෂ්’ චිත්‍රපටය ආභාෂය ලබා ඇත්තේ ද රමෝන් සම්පෙඩ්‍රීගේ ජීවිත කතාව ඇසුරෙන් බව මෙහිලා සඳහන් කළ යුතු වෙයි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු