සඳේ ඇබිද්දක් ඔහොම ඉඳින්

ඇන්ටන් ජූඩ්ගේ අවසන් රංගනය

සඳුදා මැදියම ගෙවී යමින් තිබිණ. මා උන්නේ දැඩි නින්දේය. මගේ ඉහ ඉද්දර තිබූ දුරකතනය නාද වන්නට පටන් ගත්තේය. මේ මහ රාත්‍රියේ ඇමතුම ලබා දුන්නේ ජනප්‍රිය චිත්‍රපට අධ්‍යක්ෂ, මා හිතවත් දිනේෂ් ප්‍රියසාද්ය.

පසුගිය බදාදා සරසවියට ගොඩ වූ ඇන්ටන් ජූඩ් අවසන් වරට අප ඡායාරූප ශිල්පී මාලන් කරුණාරත්නගේ කැමරාවට හසු වූ අයුරුයි මේ.

‘මචං ඇන්ටන් ජූඩ් නැති වුණා දැනට පැය භාගයකට කලින්.’

දිනේෂ් බිඳුණු හඬින් පැවසීය. මට අදහා ගත නොහැක. ඇන්ටන් ජූඩ් මිය ගොසිනි. ඒ සුන්දර මිනිසා මිය ගොසිනි. උපදින මිනිසුන් මිය යා යුතු බව ඇත්තය. එහෙත් සොඳුරු මිනිසුන් මෙතරම් ඉක්මනින් ලොව හැර යන්නේ ද යන්න අදහා ගත නොහැක.

ඇන්ටන් ජූඩ් මා හඳුනා ගත්තේ බොහෝ කලකට ඉහතය. ඒ අවදියේ ඔහු වීදි නාට්‍ය සාමාජිකයකු විය. වරායේ රැකියාව කළේය. එමෙන්ම හොඳ ගායකයකු විය. මානෙල් නම් යුවතියකට පෙම්වතා ද වූයේය.

වීදි නාට්‍ය ඔස්සේ කලා ලෝකයට පිවිසි ඔහු ප්‍රසිද්ධ වේදිකාවට එන්නේ විජිත ගුණරත්නගේ දැති කියත හරහාය. ඔහු රට තොට පතල වූයේ සකිසඳ පබිලිස් හරහාය.

ආයිස් අම්මා ගුඩුං කියමින් මුළු රටම හිනැහුණි, නැලවුණි. එහෙත්, ඇන්ටන් ජූඩ් දිගු කලක්ම වේදිකාව සඳහා කැප විණ. පසු කලක විකට නළුවකු ලෙස පතල වුව ද, ඇන්ටන් ජූඩ්ට එයට වඩා විශාල හැකියාවක් තිබිණ. වලාපටල චිත්‍රපටයේ කළ රඟපෑම එයට නිදසුනකි. එමෙන්ම ඔහු ඉතා ගුණ යහපත් හොඳ මිනිසකු වූයේය.

ඔහු සරසවියේ කාටත් හිතවතකු, හොඳ මිතුරකු වූයේය. ඒ සඳහා ඔහුට කාලයත්, වේලාවත් ඕනෑ තරම්ය. සරසවිය පැවැත් වූ සංගීත සංදර්ශනයන් මෙන්ම දැයට කිරුළ ප්‍රසංග වේදිකාවේ ද ඇන්ටන් ජූඩ් හැමවිටම සිටියේය.

පසුගියදා අනුරාධපුරයේ පැවැති දැයට කිරුළ ප්‍රසංගයේ දී ද ඇන්ටන් ජූඩ් අප සමඟ ගියේය. ගීත ගායනයෙන් පසු ඔහු බස් රියට ගොඩ වූයේ විවේක ගන්නටය. එහෙත් මහා ජනකායක් ඔහු වටා රොක් විණි. ඒ කිසි විටක රසිකයන් මඟහැර යාමක් ඔහුගෙන් සිදු නොවිණ. කාටත් වචනයකින් හෝ සංග්‍රහ කිරීම ඔහුගේ සිරිත විය.

පසුගිය සතියේ බදාදා ඇන්ටන් ජූඩ් සරසවියට ගොඩ වැදුණේය. ඒ තරු මිහිර තරඟාවලියේ මාසිකව ගොඩ වදින අපේ ආරාධිතයා ඔහු බැවිනි.

‘මම සර්පිනාව අරන් ආවොත් කොහොමද?’

ඔහු විමසා තිබිණ. මම එයට අනුමැතිය දුන්නෙමි. කිසි විටෙකත් වෙලාව නොවරදින ඇන්ටන් ජූඩ් එදා පැමිණියේ නම් පැය භාගයක් ප්‍රමාදවය. සර්පිනාව ද ඔහු ගෙනාවේය. වෙනදාට වඩා අපේ පාඨකයන්ට අපූරු අත්දැකීමක් ඇන්ටන් ගෙන ආවේය. අපේ ඡායාරූපාගාරයේ සිට ඔහුගේ ගී හඬ ලේක්හවුස් මන්දිරය පුරා ඇසිණ. මා එයට එක් වූයේ ඔහු ගී ගැයුම ඇරැඹූ පසුය.

ඉකුත් 19 වැනිදා සවස හයට පමණ ප්‍රවීණ රංගන ශිල්පී ඇන්ටන් ජූඩ් මිය යාමට මොහොතකට කලින් සුනිල් අරුණ වීරසිරිගේ ‘වීර්යා’ චිත්‍රපටයේ ශ්‍රියාණි අමරසේන සහ රම්‍යා වණිගසේකර සමඟ තම රංගන ජීවිතයේ අවසන් රංගනය ඉදිරිපත් කළ මොහොත නිශ්චල ඡායාරූප ශිල්පී මහේෂ් නිශාන්තගේ කැමරා කාචයේ සටහන් වූයේ මෙසේය.

‘සඳේ ඇබින්දක් ඔහොම ඉඳින් . . . කියන්න බැරිද?’

මම ඉල්ලීමක් කළෙමි. ඔහු ඒ වන විට එම ගීය ගයා අවසන් කළ වග මම නොදත්තෙමි. එහෙත් ඔහු යළිත් ඒ මියුරු ගීය ගැයුවේය. ඔහුගේ ගී තැටිය එහි පැමිණි රසිකයනට ද බෙදා දුන්නේ එයින් පසුවය.

පැයක් පමණ හෙතෙම අප සමඟ අල්ලාප සල්ලාපයේ යෙදුණි. ළමා වියේ ගල්කිස්සේ ඕඩියන් ශාලාවේ චිත්‍රපට නැරැඹූ අන්දම සිහිපත් කළේය. පැරැණි චිත්‍රපට ද එහි ගී ද ඇන්ටන්ට අපූරුවට මතක තිබිණ.

‘හෙට සුනිල් අරුණ ගේ ෆිල්ම් එකට නුවර යනවා.’

මේ මිත්‍රයා වෙන්ව යද්දී මට පැවසුවේය. ඔහු රඟපාන්නට ගියේ සුනිල් අරුණ වීරසිරිගේ ‘වීර්යා’ චිත්‍රපටයේය.

එහි සෙසු පිරිස සූදානම් වද්දී ඇන්ටන් ජූඩ් සාලයේ පුටුවක නිදා සිටියේය. එහෙත් ඒ නින්දෙන් පිබිදෙන්නට ඇන්ටන් ජූඩ් සමත් වූයේ නැත.

ඇන්ටන් ජූඩ් ගේ මරණය සරසවියට දැනුණේ ළබැඳි හිතවතකුගේ වෙන්ව යාමක් සේය. ඒ හිතවතාගේ උණුසුම අප සමඟ සදාකල් රැෙඳන වග නොකියාම බැරිය.

මෙතුවක් රංගනයෙන්, ගායනයෙන් උපයා ගත් ධනය වූයේ ද ඔහු වටා සිටි හිතවතුන් පිරිස පමණි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු