සොඳුරු මොහොතක් අඳුරු කළ නිමේශයක්

වස්සානේ සෙනෙහස

දැන් තිරයේ දිග හැරෙන ඩෙන්සිල් ජයවීර මුල්ම අධ්‍යක්ෂණය

අද ප්‍රදීප් සහ තරංගාගේ විවාහය සිදුවන දිනයයි. දෙපාර්ශවයේ පවුල්වල ආශිර්වාදය මැද මේ දෙදෙනා අතිනත ගත්ත ද ඔවුන්ගේ පළමු හමුවීම සිදු වුණේ අහම්බෙනි.

මිතුදම ලියලා වැඩෙමින් ක්‍රමයෙන් ආදරණීය සුපෙම්වතුන් යුවළක් බවට පත්වුණු ප්‍රදීප් සහ තරංගා තකට තක ගැළපෙන ජෝඩුවක් යන සිතුවිල්ල ඔවුන් දුටු ඕනෑම කෙනෙකුට පහළ නොවුණි නම් පුදුමයකි.

සාද තෙපුල්, සතුටු සිනා මුවග පා වුවද ප්‍රදීප් සිටින්නේ නොසෑහෙන්න නොසන්සුන් ගතියෙනි. ඔහුගේ සිත දැඩි වේදනාවකින් පාරයි. එය හරියට නාඳුනන රාක්ෂයකු විශාල යවුලකින් හදවතට අනිනවා වැනිය.

ප්‍රදීප්ගේ ඒ මානසිකත්වයට හේතුව පෙරදා සිදු වූ සිදුවීමයි. විවාහයේ අඩුපාඩු ඇද්ද සොයා බලා ඊට පිළියම් යෙදීම පිණිස ප්‍රදීප් ඊයේ තරංගාගේ නිවසට ගියේය.

තමන් උත්සවයට අවැසි මල් කළඹ ඇණවුම් කළ මල් හලෙන් ලබා නොගත් බව ඔහුට මතක් වූයේ එහිදීය.

ඔහු වහ වහා එතැනට ගොස් මල් කළඹ රැගෙන එහි වැඩි ආරක්ෂාව ගැන සිතා බලා එය තබන්නට කාරයේ පිටුපස ඩිකිය විවෘත කළා පමණි. ඒ තුළ පිරිමි මළ සිරුරකි.

සර්වාංගයම පුලුස්සා දමමින් අකුණු පහරක් වැදුනාක් මෙන් ප්‍රදීප්ට දැනිණ.

වෙන කරන්නට ද දෙයක් නොතිබූ හෙයින් ඔහු සිතේ ශක්තිය ද දෑතට එක් කර ගනිමින් පාලු තැනක් බලා රිය පැදවීය.

වටපිටාවේ මිනිස් පුළුටක් හෝ නොවූ පෙදෙසක රිය නතර කළ ප්‍රදීප් ගණ අන්ධකාරයෙන් පිරුණු වෙල් යායක් මැදකට ඒ මලමිණිය වීසි කර දමා රථයෙහි වැදී ඇති ලේ පැල්ලම් දඩිබිඩියේ සෝදා දැමීය.

ඒ කාර්යය ද අවසන් කළ පසු ඔහු තමා කළ මේ කටයුත්ත කවුරුන් හෝ දුටුවේදැයි සැකහැර දැන ගැනීමට නිකමට මෙන් අවට සිසාරා නෙත් හෙලුවේය.

පෙර වැදුනාක් මෙන් දහස් ගුණයකට වඩා වැඩි අකුණු පහරක් ප්‍රදීප්ගේ ගතට වැදුණාක් මෙන් දැනිණ. ඒ ඔහු මෙතෙක් කළ සියලුම දේ පිළිබඳ ඉතාම විමසිල්ලෙන් බලා සිටි පුංචි එකකු ඊට මීටර් කිහිපයකට නුදුරෙන් සිටි බැවිනි.

ප්‍රදීප් ඔහු වෙත ළං වෙත්ම ඒ පුංචි එකා විදුලි වේගයෙන් දිව ගොස් අතුරුදන් විය.

ප්‍රදීප්ගේ සිතෙහි ගැස්මට හේතුව වූයේ මේ කරුණු කාරණ වේ.

කෙසේ නමුත් විවාහයෙන් අනතුරුව දෙදෙනා මධුසමයට පිටත් වුණි ද ප්‍රදීප් සිටින්නේ මහත් වූ ව්‍යාකූල මනසිනි. මධුසමයෙන් අනතුරුව දෙදෙනා නිවසට පැමිණිය ද ප්‍රදීප්ගේ තත්ත්වයෙහි වෙනසක් නැත.

රථයේ ඩිකියේ මියගිය පුද්ගලයාට අමතරව ඔහුගේ බෑගය ද ඒ තුළ ඔහුගේ දින පොත ද තිබිණි. ප්‍රදීප් එය පෙරළා බලා අද්භූත තොරතුරු කිහිපයක් සොයා ගන්නා ලදී.

එය කියවා බැලීමෙන් පසුව ප්‍රදීප් පත් වූයේ තවත් අපහසුතාවයකටය.

ඩෙන්සිල් ජයවීරගේ කුලුඳුල් සිනමාපටය වස්සානේ සෙනෙහසහි කතා සාරාංශයයි මේ. සහය සංස්කරණ ශිල්පියෙකු වශයෙන් ක්ෂේත්‍රයට පිවිසි ඩෙන්සිල් ප්‍රධාන සංස්කරණ ශිල්පියකු වූයේ දයාබර නිලූ චිත්‍රපටයෙනි.

අනතුරුව චෙරියෝ කැප්ටන්, චෙරියෝ ඩාලිං, පාර්ලිමන්ට් ජෝක්ස් ඇතුළු චිත්‍රපට හැටකට ආසන්න ප්‍රමාණයක් සංස්කරණය කළ අපට සිටින අත්දැකීම් බහුල සංස්කරණ ශිල්පියකි.

චිත්‍රපටයේ චරිත:

ප්‍රදීප් - උදිත් අබේරත්න

තරංගා - සඳනි සුලක්නා

චන්දන – චන්දික නානායක්කාර

නිර්මලා - උමයංගනා වික්‍රමසිංහ

දියණිය – උදාරා සත්සරණි

සෙසු චරිත – විජේරත්න වරකාගොඩ, වීණා ජයකොඩි, ජනක් ප්‍රේමලාල්, මමෝහාරි විමලතුංග, රොඩ්නි වර්ණකුල, මිහිර සිරිතිලක, රංජිත් ජයසූරිය, සුබෝධි ප්‍රියදර්ශනී, රාජසිංහ ලෝලුවාගොඩ, ගුණවර්ධන හෙට්ටිආරච්චි, ප්‍රසාද් ගලප්පත්ති, පවිත්‍රා වික්‍රමසිංහ, ගාමිණී කුමාර.

වස්සානේ සෙනෙහස සුදත් ධර්මප්‍රිය සහ උපුල් ප්‍රියන්තගේ නිෂ්පාදනයකි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු