12 සමඟ අතුල පතිරණ
රෙජිනෝල්ඩ් රෝස්ගේ වඩාත්ම ප්‍රසිද්ධියට පත් වූ Twelve Angry
Men ආශ්‍රයෙන් වේදිකා
ගතවන අතුල පතිරණ ගේ ‘දොළහක්’ වේදිකා නාට්‍යය මෙම මස 10 වැනිදා ලයනල් වෙන්ඩ්ට්
රඟහලේදී වේදිකා ගතවේ. දොළහක් පිළිබඳ එහි අධ්‍යක්ෂ අතුල පතිරණ නම් නාට්‍යකරුවා සමඟ
කළ කතාබහක් ඇසුරින් මේ ලිපිය සැකසුණි.
* ඔබ ‘දොළහක්’ ඔස්සේ ප්‍රේක්ෂකයන් හමු වෙන්නේ දිගු නිහැඬියාවකට පසුව නේද?
‘මම මෙතෙක් වේදිකාවට රැගෙන පැමිණියේ ස්වතන්ත්‍ර නිර්මාණයන්. 2002 වර්ෂයෙන් පස්සේ
වේදිකාවේදී කාලයක් මම නිහඬ පිළිවෙතක් අනුගමනය කරනවා. ඒ ඊට පස්සේදි මා බාර ගත් පුංචි
තිරයෙහි නිර්මාණ සමඟ කාර්යබහුල වීමත් සමඟයි. මෙන්න මේ කාලයේ ගෙවී යාමත් සමඟම හරියටම
2005, 2006 වගේ වසර අතර කාලයේදියි මට අපූරු පිටපතක් ලැබෙන්නේ.
මගේ අතට පිටපත
ලැබුණත් ඒක කියවන්න, අධ්‍යයනය කරන්න මට කාලයක් ගත වෙනවා. ඒ මම ඒ පිටපතත් සමඟ කාලයක්
ජිවත් වන නිසයි. ඒ විදියට තෝරා ගත්ත පිටපත වේදිකාවට රැගෙන පැමිණීමට සුදුසුයි කියලා
මා තීරණය කරන්නේ 2011 වසරේදීයි.
ඊට අවශ්‍ය චරිතයන් තෝරා ගත්තට පස්සේ ඒ වසරේ
අප්‍රේල් මාසයේ පටන් පුහුණුවීම් ආරම්භ කරන්නේ හොඳ නිර්මාණයක් ප්‍රේක්ෂකයන් හමුවට
රැගෙන එන අදහසින්. මේ කාලය මම කැප කරන්නේ වේදිකාවේ. වේදිකාවේ ගත කරන්නට වෙන් වුණු
කාලයේ වෙනත් කටයුතු කිරීමට නොපෙලඹෙන නිසා මගේ රසික – රසිකාවන්ට මාව දකින්න නොලැබීම
අරුමයක් නොවෙයි.
නිර්මාණයක් සඳහා කැප කරන කාලය කොයි තරම් දිගු වුණත්, ඒ කාලය ඔස්සේ
බිහිවෙන්නේ සාර්ථක නිර්මාණයක් නම් ඒ දිගු නිහැඬියාව මට ආශිර්වාදයක්. මගේ නිර්මාණයේ
සාර්ථකත්වයට ලැබුණු අපූරු ඉඩහසරක්.’
* ඔබට ලැබුණු පිටපත නිර්මාණයක් විදියට තෝරා ගන්නත් කාලයක් ගිය බවක් පෙනෙනවා. එහෙම
වෙන්නේ ඇයි?
‘යම් පිටපතක් ලැබුණු ගමන්ම මේක නිර්මාණයකට සුදුසුයි කියලා තෝරා ගැනීමක් කරන්න මට
බැහැ. ඒක නිර්මාණයන් තෝරා ගැනීමේදී මගේ ක්‍රියාදාමය නොවෙයි. මට පිටපතක් ලැබුණාට
පස්සේ ඒ් පිටපත මම හොඳට කියවනවා. අධ්‍යයනය කරනවා. ඊට ලෝකයේ දී ඇති වටිනාකම වගේම මේ
නිර්මාණය කොයි තරම් අපට අදාළ ද යන්න පිළිබඳත් කාලය පිළිබඳත් මා සැලකිලිමත් වෙනවා.
ඒ
වගේම මේ නිර්මාණය ඔස්සේ මට වැදගත් වන්නේ ස්වතන්ත්‍රයක් ද පරිවර්තනයක් ද යන්න
නෙමෙයි. මටම ආවේනික වූ නිර්ණායකයන් ඔස්සේ මට ලැබුණු පිටපත කොයිතරම් සාර්ථක ලෙසින්
ගැලපීමකින් යුතුව ඉදිරිපත් කරන්නට හැකිද යන්න පිළිබඳ පමණයි. එවැනි සාර්ථකත්වයකට
පැමිණීමේදී ඒ සඳහා ගතවන කාලය පිළිබඳ යම් ගැටලුවක් මට නැහැ. මට වඩාත් වැදගත් වන්නේ
කාලය නොව නිර්මාණයයි.’
* ‘දොළහක්’ වේදිකා නාට්‍යයට මූලික වුණු තේමාව පිළිබඳ යමක් කිව්වොත්?
‘දොළහක්’ වේදිකා නාට්‍යය ඔස්සේ කතාබහට ලක්වෙන්නේ ගැලපීම හා භුමියට තිබෙන්නා වූ අදාළ
තත්ත්වයන් පිළිබඳයි. ‘දොළහක්’ සඳහා පාදක වෙන්නේ රෙජිනෝල්ඩ් රෝස් ගේ
Twelve Angry Men කියන නිර්මාණයයි. දොළහක් පිළිබඳ කතාබහ කරද්දී මේ නිිර්මාණය පිළිබඳත් යමක් කිව
යුතුයි. මේ නිර්මාණය නොයෙකුත් උළෙලවල්වලදී සම්මාන ගණනාවක් දිනාගෙන ඇති නිර්මාණයක්.
ඒ වගේම පසු කලෙක සිනමා කෘතියක් බවට ද පත් වුණු බව කියන්නම ඕනෑ. මෙහිදී කතා බහට
ලක්වෙන්නේ දොළොස් දෙනෙකුගෙන් සමන්විත වන ජූරි සභාවක එකොළොස් දෙනෙකුම එකඟ වූ
තීන්දුවක් සාධාරණ සැකය මත පදනම්ව විරුද්ධව ඡන්දය පළ කළ එක් තනි සභිකයෙකුගේ පෙලඹීම
නිසා සලකා බැලීමට බල කෙරෙන ආකාරයයි.
ගැටවර වියේ සිටිනා කොල්ලෙකු සිය පියා ඝාතනය කළේ
ද නැද්ද යන්නයි නඩුවෙන් විභාග කෙරෙන්නේ. ඝාතන නඩු විභාගයක් අවසානයේදී
විනිශ්චයකාරවරයා විසින් තීන්දුව දීමේ වගකීම පවරන්නේ ජූරි සභාවටයි.
එතැනින් තමයි නාට්‍ය ආරම්භ වෙන්නේ. කෙසේ වෙතත් බහුතර මතවාදයක් වෙනස් කිරීමට එක්
අයෙකුට හෝ කුඩා කණ්ඩායමකට හැකි ද යන්න පිළිබඳත් නාට්‍යය ඔස්සේ කතාබහ කෙරෙනවා නේද
යනුවෙන් යමෙක් ප්‍රශ්න කළොත් එයත් පුදුමයක් නෙමෙයි.
* ජූරි සභිකයින් දොළොස් දෙනා පිළිබඳ යමක් කියන්නට හැකිද?
‘තීන්දුව ‘වැරැදිකරු’ වුවහොත් විත්තිකරුට මරණ දඬුවම හිමි වීම අනිවාර්ය බව ජූරි සභාව
දන්නවා. තීන්දුවක් ගැනීම සඳහා ජූරි කාමරයට යන මේ පුද්ගලයින් දොළොස් දෙනා එකිනෙකාගේ
පෞර්ෂයන් සහ චරිත ස්වභාවයන් හඳුනා ගන්නේ එහිදීයි.
මේ ජූරි සභිකයින් අතරින් කිහිප
දෙනෙකුම විවිධ හේතූන් නිසා විත්තිකරු කෙරෙහි කලින් ගොඩ නඟා ගත් අගතිගාමී ආකල්පවලින්
යුක්තයි. ඇතැමෙක් ඔහු කෙරෙහි අප්‍රසාදයක් ඇති කරගෙන සිටින්නේ කොල්ලාගේ ජාතිය, සමාජ
පසුබිම නිසයි.
එක් ජූරි සභිකයකුට තමන්ගේ පෞද්ගලික අත්දැකීමෙන් වියුක්තව බැලිය
නොහැකියි. මෙවැනි විවිධ වූ පෞරුෂයන් සහිත මිනිසුන් කණ්ඩායමක් එක්ව සම්මුතියකට
එළැඹීමේ ක්‍රියාවලියේදී මුහුණ දීමට සිදුවන ගැටුම්, දුෂ්කරතාවයන් පිළිබඳ අපූරු
අදහසක් නාට්‍යය ඔස්සේ පිළිබිඹු වේවි.
ඒ වගේම තමන් වෙත පැවරෙන වගකීම පිළිබඳ බරපතළ
ලෙස සිතන, ඉදිරිපත් වී ඇති සාක්ෂි විමසිල්ලෙන් නැවත විමසා බැලීමට සූදානම් පිරිසක්
වගේම ඒ වගකීම නිසියාකාරව ඉටු නොකරන පිරිසක් ලෙසින් ජූරි සභිකයින් දොළොස් දෙනා
කණ්ඩායම් දෙකකට බෙදා හඳුනා ගත හැකියි. ඔවුන් ඔස්සේ මා කියන්නට තනන නාට්‍යයෙහි යටි
පෙළ අරුත ප්‍රේක්ෂකයාට තේරුම් ගැනීමට අමාරු කාර්යයක් නොවේවි.
යැයි මා ඔබට ආරාධනා කරනවා.
* ජූරි සභිකයින් මත පැවරෙන වගකීමට තීන්දුවක් ගැනීමේදී ඇතිවන සාකච්ඡාවක් වේදිකාව මතට
රැගෙන ඒමේදී ඔබ සාර්ථකව ප්‍රේක්ෂකයන්ව ජය ගත්තේ යැයි සිතනවාද?
‘දොළහක්’ කියන්නේ දෙබස් මූලික නාට්‍යයක්. දෙබස්වලින් පමණක් ප්‍රේක්ෂකයා
ප්‍රේක්ෂාගාරයේ රඳවා ගැනීම බොහොම අපහසු කාර්යයක්. සමහර නාට්‍ය වගේ ප්‍රේක්ෂකයා
ප්‍රහර්ශනයට පත් කරන බොහෝ දේ ‘දොළහක්’ කියන වේදිකා නාට්‍යයේ අඩංගු නැහැ.
ඒ නිසා
ප්‍රේක්ෂකයාව ප්‍රේක්ෂාගාරයේ පැය දෙක හමාරක් රඳවා තබා ගැනීම කියන අභියෝගයට
අධ්‍යක්ෂවරයෙක් විදියට මම මුහුණ දුන්නා. මේ නාට්‍යයේදී සංගීතය බහුල වශයෙන් යොදා
නොගැනෙන නිසාම මේ දේ කළ යුත්තේ දෙබස් ඔස්සේයි. ඒ ඔස්සේ ප්‍රේක්ෂකයාට යමක් සිතන්නට
ඉතිරි කරමින් බොහෝ වටිනාකමක් සමාජයට රැගෙන එන්නට ලැබුණු ඉඩහසර මම උපරිම ලෙස
ප්‍රයෝජනයට ගත් බවක් දැනෙනවා.
මේ තත්ත්වයට රැගෙන එන්නට මම වගේම ඩබ්ලිව්. ජයසිරි, ධර්මප්‍රිය ඩයස්, ලක්ෂ්මන්
මෙන්ඩිස්, තුමිඳු දොඩන්තැන්න, විශ්වජිත්, සම්පත්, ජගත්, පූජිත, සංජය, ගිහාන්, සමන්,
ගාමිණී, ජයදේව ආදී මේ සියලු දෙනාගෙන්ම මට ලැබුණු සහයෝගය අපමණයි.
ඔවුන් සමඟ එකතු වී
නියම ප්‍රමිතියේ ගුණාත්මක භාවයෙන් යුතු නිර්මාණයක් සෑම විටම ප්‍රේක්ෂකයාට රැගෙන
යන්නට මා උත්සාහ කරනවා. එහි ප්‍රමිති හීන වෙන්නට නොදී වඩ වඩාත් හොඳින් පවත්වා ගෙන
යන්නට රංගන ශිල්පීන් සමඟ සාකච්ඡා කරමින් ගන්නා උත්සාහය නිසාම මට හිතෙන්නේ මා
වේදිකාව ජය ගත් බවයි. ප්‍රේක්ෂාගාරය ඊට නියම සාක්ෂියක් ලෙස හැඟෙන්නේ අප රඟන්නට
වේදිකාවට පිවිසුණු විටයි.
තිලානි ශානිකා විතානාච්චි
|