ඡන්දෙන් තෙවරක්ම පරාදයි දිනන හැටි කියා දෙන්න

ජීවිතය සමඟ දුක සැප බෙදා ගන්න, ඔබේ දුක් කඳුළු බෙදා ගන්නා විශේෂාංගය ආදරණීය උපේක්ෂා

මේ වන විට ආදරණීය උපේක්ෂා ජනප්‍රිය විශේෂාංගයක් වී හමාරය. වෙනදාට වඩා උපේක්ෂා දැන් ඔබට සමීපය. ඒ ඔබ වෙනුවෙන් ඈ ඇගේ වටිනා සිතුවිලි දිග හරින බැවිනි. පසුගිය සති කිහිපය තුළ ‘ආදරණීය උපේක්ෂා’ ට ලැබුණු ලිපි රාශියකි. ඒවාහි ඇත්තේ බොහෝ සංවේදී පුවත්ය. ඉන් කිහිපයක් උපේක්ෂාට යොමු කොට ඇගේ අදහස් කිහිපයක් අපි ලබා ගත්තෙමු.

‘ආදරණීය උපේක්ෂා’ පිළිබඳ තවත් දෙයක් කිව යුතුයි. ඒ මීට ලැබෙන ප්‍රතිචාර ගැනය. ඒවා පසුගිය දිනවල උපේක්ෂාට ලැබුණු අදහස් උදහස්වලට සමානය. කෙටියෙන්ම කිව්වොත් මල් මෙන්ම ගල් ද මේ සඳහා එවන්නෝ වෙති. සමහරෙක් ‘ආදරණීය උපේක්ෂා’ සඳහා කෙළින්ම චෝදනා එල්ල කරති. ඒවා මඟින් පළමුව සඳහන් කළ අදහස වඩාත් තීීව්‍ර වේ. ඒ ‘ආදරණීය උපේක්ෂා’ බෙහෙවින් ජනප්‍රිය බවය.

අක්කේ, මගේ වයස අවුරුදු දහසයයි. මගේ තාත්තා නැති වෙලා. මම පොඩි කාලේ ඉඳලා නැන්දා ගාව හැදුණේ. මම පාසල් යන්නේ නෑ. කුකුල් කොටුවකත් වැඩ කළා. මට ඒකේ වැඩ කරන්නත් අමාරුයි අක්කේ. මම හරිම කැමැතියි රඟපාන්න. ඒ ගැන කිිසි දෙයක් දන්නේ නැති වුණාට මට රඟපාන්න පුළුවන් කියලා මට විශ්වාසයි. අනේ අක්කේ පුළුවන් නම් මට උදවු කරන්න.

ආර්. ඒ. රසික සම්පත්

මල්ලිගේ හිතේ විශ්වාසය ගැන මට ගොඩාක් සතුටුයි. හැම දේකම සාර්ථකත්වය රැඳිලා තියෙන්නේ තමන්ගේ ආත්ම විශ්වාසය මත. අපිට නිවැරැදි මාර්ග තෝර ගන්න හැකි නම් කාටවත්ම අපේ ජීවිත වරද්දවන්න බෑ. මල්ලිට මම දුරකථන ඇමතුමක් දෙන්නම්. රසිකට ජීවිතය ජය ගන්න පුළුවන් කියලා මටත් විශ්වාසයි. මට කළ හැකි උදව්වක් මම මල්ලිට කරන්න උත්සාහ කරන්නම්.

මම උසස් අධ්‍යාපනය හැදෑරූ තරුණියක්. එත් තවම මට මගේ අධ්‍යාපන මට්ටමට ගැළපෙන රැකියාවක් නොලැබුණු නිසා දැනට මම ඇඟළුම් කම්හලක සේවය කරනවා. ඒත් එම ස්ථානයේදී මට වඩා අධ්‍යාපන මට්ටමෙන් අඩු අය කිසිම හේතුවක් නැතිව මට බනින කොට ඇත්තටම අක්කේ මම කළ වරද ඉගෙන ගත්ත එකද කියලත් හිතෙනවා. අනේ අක්කේ, මගේ හිත හදා ගන්න දෙයක් කියන්න.

ශෂිකා දුල්මිණි – නාත්තණ්ඩිය

අදහස් නොගැළපීම් නිසා අමිහිරි අත්දැකීම් නොලැබූ කෙනෙක් මේ ලෝකේ නැති තරම් නංගෝ. ඔයා මුලින්ම හිතන විදිහ වෙනස් කර ගන්න ඕනෑ. තමන්ට වඩා තත්ත්වයෙන් හෝ වෙන යම් හේතුවක් මත උසස් ද පහත් ද යන දේ හිතන්නේ නැතිව ප්‍රශ්නවලට සෘජුව මුහුණ දෙන්න. නංගි හෘද සාක්ෂියට එකඟව අවංකව වැඩ කරගෙන යන්න. ඔයාට කාට හරි දෙයක් පවසන්න තියෙනවා නම් කෙළින් සහ වැදගත් විදිහට ඒ සම්බන්ධයෙන් කතා කරන්න. හිත ශක්තිමත් කරගෙන ජීවියට මුහුණ දෙන්න දුල්මිණි.

මම විවාහ වී දැනට මාස හයයි. අපි විවාහ වුණේ විවාහ යෝජනාවකින් වුණත් අපි දෙදෙනා බොහොම ආදරෙන් ජීවිතය බෙදා ගෙන ජීවත් වුණා. ඒත් අක්කේ ළඟදී දවසක මගේ පැරැණි පෙම්වතිය අහම්බෙන් හමු වෙලා මගේ දුරකථන අංකය ඉල්ලා ගත්තා. ඇය දැන් මට නිතරම කෝල් කරනවා. එස්. එම්. එස්. එවනවා. මෙය මගේ පවුල් ජීවිතයට අනිවාර්යයෙන්ම බලපානවා. ඇයගෙන් සිදුවන මේ කරදරය නවත්ත ගන්නේ කොහොමද?

නදීශ් ලක්මාල් - මාවරමණ්ඩිය

සම්පූර්ණ වැරැද්ද නම් තියෙන්නේ නදීශ්ගේ අතේ. ඔයා ඇයි ඔයාගේ දුරකථන අංකය දුන්නේ? මල්ලිට දැන් මුලින්ම කරන්න තියෙන්නේ පැරැණි පෙම්වතියට කරුණු කාරණා පැහැදිලි කරලා ඇයට ඔබට කතා නොකරන ලෙස කීමයි. එයත් විසඳුමක් නෙමෙයි නම් නදීශ් ඔයා මේ ප්‍රශ්නය ගැන බිරිඳව දැනුවත් කරන්න. ඇය හොඳ බිරිඳක් නම් ඔයාගේ අවංකකම ගැන සලකලා ඔයාට මේ ප්‍රශ්නෙදි ශක්තියක් වේවි. ඒ වගේම ඔයාට පුළුවන් නම් මල්ලී ඔයාගේ දුරකථන අංකය මාරු කරන්න.

අක්කේ මම වයස අවුරුදු විසි හයක එක් දරු මවක්. මගේ මහත්තයා රට. එක්තරා පුද්ගලයෙක් මම යන යන තැන්වල මගේ පස්සෙන් එනවා. ඔහු මට වචනයකින් හෝ කිසිදු දෙයක් නොපවසන අතර සෑම විටම මගේ දිහා බලාගෙන ඉන්නවා. මෙය මට මානසික වධයක්.

සඳනි - කොටියාකුඹුර

සඳනිට මේ ප්‍රශ්නය තියෙන්නේ දීර්ඝ කාලයක් තිස්සේ නම් ඔයා මේ ගැන දෙමව්පියන්ව මුලින්ම දැනුවත් කරන්න. ඊට පස්සේ යාළුවෙක්, හෝ දෙමව්පියන් හෝ සහෝදරයෙක් සමඟ ඔහු හමුවෙලා මේ පිළිබඳ සෘජුව ඔහුගෙන් අහන්න. ඔහු නංගිට ලබා දෙන පිළිතුර අනුව ඉදිරි ක්‍රියා මාර්ග ගන්න.

මම අවුරුදු 24 ක තරුණයෙක්. අක්කේ අපේ තාත්තා පරම්පරාවෙන්ම ගොවි මහත්තයෙක්. මම සාමාන්‍ය පෙළ දක්වා ඉගෙන ගෙන තියෙනවා. දැනට මං තාත්තාගේ කුඹුරු වැඩවලට උදව් වෙනවා. ඒත් අක්කේ මම කැමති කොළඹ ඇවිත් රැකියාවක් කරන්න. නමුත් ඒකට අපේ තාත්තා කැමති නෑ.

ශ්‍රීමාල් කුමාර – ඌරුබොක්ක

පරම්පරාවෙන් උරුම වෙන දේවල් අපි රැක ගන්න ඕනෑ ශ්‍රීමාල්. මල්ලි කියන විදිහට පරම්පරා ගණනාවක් පෝෂණය කරලා තියෙන්නේ කෘෂි කර්මාන්තය. හැම දේම දියුණු වෙන ලෝකේ අලුත් තාක්ෂණයත් සමඟ තාත්තාගේ පරම්පරා උරුමයට නව ජීවයක් ලබා දෙන්න මල්ලිට පුළුවන් නම් ගොඩක් හොඳයි. ජීවිතය එක දෙයකට කොටු කර නොගෙන ඔයා කාලයෙන් උපරිම ප්‍රයෝජන අරගෙන කටයුතුª කරන්නමල්ලී.

අක්කේ මම තවම පාසල් යන ශිෂ්‍යාවක්. මම ඉගෙන ගන්නේ 12 වසරේ. මගේ හොඳම යාළුවා පිරිමි ළමයෙක්. අනේ අක්කේ, අපි දෙන්නා අතර තියෙන්නේ යාළුකමක් විතරමයි. ඒත් මගේ යාළුවෝ මගේම ගුරුවරුන් හිතාගෙන ඉන්නේ අපි පෙම්වතුන් කියලා. මම ඒ අයගේ හිතේ තියෙන වැරැදි අදහස නිවැරැදි කරන්නේ කොහොමද අක්කේ?

ඉරේෂා - කටුබැද්ද

තමන් නිවැරැදියි කියලා තමන් දන්නවා නම් සහ නංගි කවුද කියලා නංගි දන්නවා නම් අනවශ්‍ය දේවල් හිතන්න එපා නංගෝ. නංගිට අනිත් අයගේ මතය වෙනස් කරන්න නම් යාළුකමෙත් වෙනසක් කරන්න වෙනවා. රැවුලයි කැඳයි දෙකම බේරාගෙන වැඩ කරන්න හරිම අමාරුයි. ඔයා කරන හැම දේම හිතට එකඟව කරන්න.

මම දැන් තුන් වරක්ම ප්‍රාදේශීය සභා ඡන්දයට ඉදිරිපත් වුණා. ඒත් ඒ එක වරකදිවත් මට ජයග්‍රහණය කරන්න බැරි වුණා. නමුත් මම විශ්වාස කරන විදිහට මම ගමේ අයට මට පුළුවන් විදිහට වැඩ කරලා තියෙනවා. ඔයාගේ අත්දැකීම් තුළින් මගේ දේශපාලන ගමන් මඟ සාර්ථක කර ගන්න අදහසක් කියන්න.

නම සඳහන් නොකළ පාඨකයෙක්

ඔබේ පරාජය ගැන නම් මට ඇත්තටම කණගාටුයි. ඔබට උපදෙසක් දෙන්න තරම් නම් මට දේශපාලනය සම්බන්ධයෙන් ලොකු අත්දැකීම් නෑ. නමුත් මම ලබා තිබෙන දේශපාලන ජයග්‍රහණය සහ ජීවිතයේ අත්දැකිම් අනුව මට ඔබට කියන්න තියෙන්නේ බොහෝ වෙලාවට අපිට දෙයක් ලැබෙන කොට තවත් දෙයක් අපිට නැති වෙනවා කියන එක තමයි. තුන් වරක්ම පරාජය වුණු ඔබේ දේශපාලන ජීවිතය ගැන නැවත හිතන්න. සමහර දැවැන්ත චරිත සහ පොහොසත් පුද්ගලයින් දේශපාලනය නිසා ජීවිත නාස්ති කර ගන්නවා. අධිෂ්ඨානයෙන් සහ බුද්ධිමත්ව කටයුතු කරන්න. ඒ වගේම දේශපාලනය කරන ගමන්ම රැකියාවක් කරන්නත් අමතක කරන්න එපා.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු