මේ අම්මාගේ කවිය කියවන්න

තිසුරිට.............

අම්මා කෙනෙකුට දරුවෙකු තරම් වටිනා සම්පතක් තවත් නැහැ. ඇගේ ඇඟ ලේ කිරි වන්නෙත් ඒ අසීමිත ධාරක ස්නේහය නිසාමයි. මාර්තු මස හය වන දිනට යෙදුණ විසි එක්වන ජන්ම දිනය සමරන යොවුන් රංගන ශිල්පිනී තිසුරි යුවනිකා වෙනුවෙන් ඇගේ මවගේ හද පිරී තිබෙන්නේ මීට විසි එක් වසරකට පෙර තිබූ ස්නේහයෙන්මයි. තිසුරි වෙනුවෙන් ඇගේ සිතෙහි උපන් සිතුවිලි මෙසේ පන්හිඳෙන් ලිය වෙයි.

තිසුරි දුවේ

දෙතනේ එල්ලී

කිරි උරා බිව්

සෙනෙහෙ උණුසුම

නිබඳවම සෙව්

පුරා විස්සක් වසර ගෙවිලා

මගේ තුරුළෙම තවත් රැඳිලා

නුඹයි මගේ ප්‍රාණේ

දියණියේ ්. . .

නුඹයි අපේ ප්‍රාණේ

සඳ එළිය සේ

හද සිසිල දෙන

මිණි පහන සේ

ගෙට එළිය දෙන

හිරු එළිය සේ

අපට පණ දෙන

නුඹයි මගේ ප්‍රාණේ

දියණියේ . . .

නුඹයි අපේ ප්‍රාණේ

තුරුණු වියේ එළිපත්ත නැඟලා

හද පියන්පත් තදින් වහලා

දැනෙන හැෙඟනා දේ වසන් කොට

මගේ සිත සුවපත් කළා දුව නුඹ

නුඹයි මාගේ ප්‍රාණේ

දියණියේ . . .

නුඹයි අපේ ප්‍රාණේ

රන් රුවක් සේ රූපෙ වැඩිලා

මගේ උරුමය දෝතෙ රැඳිලා

එදා මගේ තැන – අද ඔබේ ළඟ

සෙනෙහෙ උතුරයි - සතුට තෙරපෙයි

බයයි මට හද පුපුරයි ද කියලා

නුමයි මගේ ප්‍රාණේ

දියණියේ . . .

නුඹයි අපේ ප්‍රාණේ

අපට පමණක් නොවේ දියණියේ

රටට අභිමානයකි අද ඔබ

ලොවේ සිත් සනහනා අයුරින්

හෙට දිනේ බැබළෙයි ඔබේ මඟ

නුඹයි මගේ ප්‍රාණේ

දියණියනේ . . .

නුඹයි අපේ ප්‍රාණේ

- සුසන්තා චන්ද්‍රමාලී


ශල්‍ය වෛද්‍ය විශේෂඥයකුගේ කුරුළු තුඩින් 11 දා

ශල්‍ය වෛද්‍ය විශේෂඥ ඩී. ජේ. ඇන්තනිගේ කුළුඳුල් ගී සරණිය ‘කුරුළු තුඩින්’ සංයුක්ත තැටිය එළිදැක්විම මාර්තු මස 11 වැනි ඉරු දින සවස 6.00 ට කොළඹ ආනන්ද විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී පැවැත්වේ.

මෙහි සියලුම ගී තනු වෛද්‍ය ඩී. ජේ. ඇන්තනි විසින් නිර්මාණය කර ඇත. ගී පද රචනා බන්ධුලසිරි හේවාගමගේ, වෛද්‍ය මෙලනි අමරසූරිය සහ වෛද්‍ය බී. එම්. සී. දසනායක අතින් ලියැ වී ඇත. සංගීත සංයෝජනය හා මෙහෙයවීම ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය සංගීත් රත්නායක සහ තරිඳු දසුන් ජයතිලකගෙනි.

වෛද්‍ය වෘත්තියට කැප වූ මෙන්ම සංගීතයට ද ඇලුම් කරන කුසලතා පිරිපුන් ඔහු ගිටාර් හා කී බෝඩ් වාදනයට ද දස්කම් පායි. ජාතික ගුවන් විදුලිය මෙහෙය වූ ‘තරු අතරට තරුවක්’ ගායනා තරගයේ පන්දහසක් අතරින් අවසාන මහා තරගය නියෝජනය කිරීමට සුදුසුකම් ලද්දෙකි.

මහාචාර්ය කාලෝ ෆොන්සේකා, සිනමාවේදී රවීන්ද්‍ර රන්දෙනිය ආදීහු උළෙලේ කෙටි දෙසුම් පවත්වති. ගායන සහය මංජුලා දිල්රුක්ෂිගෙනි. උළෙලේ නිවේදන කටයුතු වසන්ත රෝහණයන් ගෙනි.

මහනුවර අම්පිටිය, ධර්මපාල විද්‍යාලයේ සහ මහනුවර ධර්මරාජ යන විදුහල්වල ආදි ශිෂ්‍යයකු වන වෛද්‍ය ඇන්තනි 1981 වසරේදී පේරදෙණිය සරසවියට ඇතුළත්ව 1987 දී වෛද්‍ය උපාධිය ලබා ගත්තේය. එක්සත් රාජධානියේ ලන්ඩන් නුවර ප්‍රින්සස් රෝයල් රෝහලේ වැඩිදුර අධ්‍යාපනය ලබා දැනට කොළඹ වෛද්‍ය පීඨයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයකු ලෙස කටයුතු කරයි.

වෛද්‍ය චන්ද්‍රානි ඇන්තනි සමඟ විවාහ වී සිටින ශල්‍ය වෛද්‍ය ඇන්තනි මහතා කොළඹ රාජකීය විදුහලේ ඉගෙනුම ලබන පුතුන් දෙදෙනකුගේ දයාබර පියෙකි.


රෝමාට සුබ පැතුම්

විවාහ දිවියේ දෙවසර සමරන රංගන ශිල්පිනී, ලක්සලු සල ආයතනයේ මාධ්‍ය සම්බන්ධිකරණ නිලධාරිනී රෝමා රෝෂි ජයකොඩි සහ හරීන් පුෂ්පකුමාර යුවළට සරසවියේ සුබපැතුම්.


ලෝචනා ඉමාෂි අලුත් වැඩක

ලෝචනා ඉමාෂි අපේ කාලයේ දක්ෂ නිවේදිකාවක්. එමෙන්ම ඇගේ සුරූපී රුවින් හැඩ කළ ටෙලි සිතුවම් ද අඩුවක් නැතිව විකාශය වුණා. ඒත් මේ සටහන් කරන්නේ ඇගේ කලා කටයුත්තක් පිළිබඳ නම් නෙවෙයි.

ලෝචනා අද දෙහිවලදී අලුත් කටයුත්කතකට මුල පුරනවා. ඒ කුලී රථ (මීටර් ටැක්සි) වලට අවැසි මීටර් ඇතුළු උපාංග ඇති වෙළඳසලක් අරඹමින්.දෙහිවල ඒ. බී. සී. ගොඩනැගිල්ලේ තමයි ලෝචනාගේ අලුත් සාප්පුව තිබෙන්නේ. කලක් සිරස දිගන්තය වැඩ සටහනේ නිවේදිකාව වූ ඇය අපි අපි වගේ ධ්ධ් සහ අළු පාට හීන වැනි ටෙලි සිතුවම් තුළින් අප හමුවට පැමිණියා. ආයෙමත් ආදරෙන්, සඳ පිණි බිඳක යන ටෙලි නාට්‍ය ද්විත්වය ඔස්සේ ඔබට ලෝචනාගේ රංගන හැකියාව ඉදිරියේදී දැකිය හැකියි.


චමිලාගේ උමා නර්තනාංජලි 10 වැනිදා

චමිලා වික්‍රමසිංහ ‘උමා නර්තනාංජලි – 2012’ නර්තන ප්‍රසංගය මෙම මස 10 වැනිදා සෙනසුරාදා මහරගම යොවුන් රඟහලේදී පැවැත්වේ.

චමිලා වික්‍රමසිංහ යන නමින් හඳුන්වනවාට වඩා ඈ ප්‍රේක්ෂකයන් අතරට පිවිසියේ උමා යන ආදරණීය නාමයෙනි. ඔවුන් කෙතරම් ඇයට ආදරය කළේ ද යත් චමිලා වික්‍රමසිංහ යන නම පවා අමතක කිරීමට තරම් ‘තුමුල නමුනු කුල ගිරිහිස’ ගීතයට ඈ ඉදිරිපත් කළ නර්තනය ප්‍රබල විය. කුඩා කල සිටම නර්තන හැකියාවන්ට දක්ෂතාවයක් දැක් වූ චමිලාගේ දක්ෂතාවයන් හඳුනා ගත් ඇගේ මව්පියෝ ඇයව පද්මිණී දහනායක, රැජින සෙල්වනායගම්, මිරැන්ඩා හේමලතා, චන්න විජේවර්ධන, කුලසිරි බුදවත්ත යන ගුරු මෑණිවරුන් හා පියවරුන් වෙත නර්තනය හැදෑරීමට යොමු කළහ. බුදවත්ත රංගායතනයේ නර්තන ආචාර්යවරියක ලෙස කටයුතු කළ චමිලා ගල්කිස්ස ශාන්ත තෝමස් විදුහලේ නර්තන ආචාරිනියක් ලෙස සේවයට යන්නේ 1997 වර්ෂයේදීය. ඇගේ මේ සියලු දක්ෂතාවයන් දුවා දරුවන් රැසකට බෙදා දිය යුතුය යන මතයේ සිටිමින් ඕ 1999 වසරෙහි උමා රංගායතනයය ආරම්භ කළාය.

වසර 13 ක රංගායතන අත්දැකීම් හා වසර 25 ක පමණ නර්තන දිවියේ අත්දැකීම් සමඟ චමිලා වික්‍රමසිංහ ඉදිිරිපත් කරන ‘උමා නර්තනාංජලි’ ප්‍රසංගය සඳහා ඇගේ ශිෂ්‍යාවන් රැසක් සිය නර්තනයෙන් සහයෝගය දක්වයි. නදීෂා මදුෂානි, මධූෂා කෞමදී, හංසනී නදූෂා, ඩිලූෂා රිද්මි, සඳලි මුතුසරි, නෙලූෂා සවන්දි, විදූෂි චමත්කා, පියුමි මිනෝෂා, ශයිකා චතුමි, හංසනී ප්‍රමෝදිකා, ශණිකා හර්ෂණී යන සිසුවියන්ගේ නර්තනයන්ගෙන් එදින ‘උමා නර්තනාංජලි’ ප්‍රසංගය හැඩ වෙයි.

චමිලා වික්‍රමසිංහට සහ ඇගේ සිසුවියන් ඉදිරිපත් කරන මේ ‘උමා නර්තනාංජලි’ ප්‍රසංගය සාර්ථකව ඉදිරිපත් කරන්නටත්, ඉන් නැවත ඇගේ මතකය ප්‍රේක්ෂකයන් අතර රඳවන්නටත් හැකි වේවායි අපි සරසවියෙන් ඇයට සුබ පැතුම් ගෙන එන්නෙමු.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු