කවුද වැඩි

ට්විටර් වෙබ් අඩවියේ වැඩිපුරම අනුගාමිකයන් පිරිසක් සිටින්නේ මෙගා තරුව බච්චන්ට ද? එසේත් නැත්නම් සුපිරි තරුව ෂාරුක්ට ද?

මේ දෙදෙනාම අභිබවමින් මිලියනයකට වැඩි අනුගාමිකයන් පිරිසකට හිමිකම් කියන්නේ සෝනම් කපූර්ය. වික්ටෝරියා බෙකම් පවා ඇයගේ අනුගාමිකාවකි.


විද්‍යා මේ කොහෙද?

කාන්තාවකගේ සුන්දර රූ සපුව වගේම ඇයගේ ජීවිතයේ විවිධ පැතිකඩ ද සිනමා තිරයෙන් දිග හැරෙන සිනමාපට ඕනෑ තරම්ය.

තවමත් සුපිරි නිළියකට වඩා සුපිරි නළුවකුගේ රංගනයට වැඩි මිලක් ගෙවන බොලිවුඩයේ ද එවැනි සිනමාපට විරල නැත.

ජාත්‍යන්තර කාන්තා දිනය යෙදෙන මාර්තු අට වැනිදාට පසු දින එනම් මාර්තු නව වැනි දින උදා වන්නේ භාරත සිනමා වංශ කතාවට තවත් එවැනි සිනමාපටයක් එක් කරමිනි. ‘කහානි’ එම සිනමා අන්දරයයි.

කාන්තාව මුල් කර ගෙනම නිපද වූ සිනමාපට හතරකටම රංගනයෙන් දායකත්වය සැපයූ විද්‍යා බාලන් මෙහි ද කතා නායිකාවයි. ඇය රැඟූ පා, ඉෂ්කියා, නෝ වන් කිල්ඩ් ජෙසිකා සහ ඩර්ටි පික්චර් නිර්මාණය වී තිබුණේ ද කතා නායිකාව කේන්ද්‍ර කරගෙනයි. ඒ සියල්ලක්ම වාගේම විචාරක ඇගැයුමත්, ආදායමත් නොමඳව ලැබූ නිර්මාණයි.

‘කහානි’ (කොහේද), සිනමා දසුන් ගෙනහැර පාන්නේ නැති වූ සැමියා අර්නාබ් සොයා ලන්ඩනයේ සිට පැමිණෙන ගැබිනි බිද්‍යා බග්චි නම් කාන්තාවගේ කතාවයි. සියලු සාධකවලින් සැමියා මිය ගොස් ඇති බව පැහැදිලි වුවත් සත්‍ය නිරාකරණය කර ගැනීමට ඇය, ඇය වෙනුවෙන් සහ දරුවා වෙනුවෙන් වෙහෙසෙන්නීය. මෙහි බිද්‍යා ලෙස විද්‍යා රඟන අතර අර්නාබ්ට පණ පොවන්නේ පරම්බ්‍රතා චැටර්ජිය. සිනමා පටයේ අධ්‍යක්ෂ සුජෝයි ගෝෂ්ය.

‘ද ඩර්ටි පික්චර්’ හි සිනමා රංගනයේ සාර්ථකත්වය ‘කහානි’ සිනමාපටයේ ප්‍රවර්ධනය සාර්ථක වීමට ද බලපා තිබේ. තරුවක අභිබවන රංගන හැකියාවක් විද්‍යා නම් තාරකාවට තිබීම මෙහි රහසයි.

විද්‍යා තම රංගන ජීවිතයේ පරමාදර්ශය කරගෙන සිටින්නේ අමීර් ඛාන්ය. කලකට ඉහත ඇය තමන්, අමීර්ගේ කාන්තා භූමිකාව ලෙස හඳුන්වා ගෙන තිබේ. චිත්‍රපටය ප්‍රවර්ධනය කිරීමේදී පවා ඇය අමීර් ආදර්ශයට ගෙන ඇත.

‘හැඟීම් ප්‍රකාශ කරන චරිත රඟපාන්න මං හරිම කැමැතියි. සාරියක් දවටා ගෙන වැස්සේ නර්තනයක යෙදෙන චරිතයක ඇත්තටම මට කරන්න දෙයක් නැහැ.

ක්‍රියාදාම සිනමාපට රංගනයට නම් කැමැත්තක් ඇත්තේම නැති තරම්. ඒත් විකට රංගනයට කැමැතියි. මේ වසරේදී ‘ගන්චක්කර්’ විකට සිනමපටයේ ඉම්රාන් භෂ්මි සමඟ රඟපානවා. ඒ මගේ පළමු විකට රංගනයයි.’

මෑතකදී ‘කහානි’ සිනමාපටය පිළිබඳ පැවැති මාධ්‍ය සාකච්ඡාවකදී විද්‍යා ප්‍රකාශ කළාය.

එහිදී වැඩිදුරටත් ඇය කියා සිටියේ දැන් බොලිවුඩයේ තාරකාවන්ට ස්වර්ණමය යුගයක් එළැඹී ඇති බවයි.


මැරලින්ද මනීෂාද

හෙ රොයින්’ සිනමාපටය රූගත කිරීම් අතරතුරදී පවා වැඩි කතා බහට ලක් වූ සිනමාපටයකි. ඒ ඓශ්වර්යා රායි ගැබ් ගත්තේ සිනමාපටය රූගත කරද්දී නිසයි.

ඊළඟට ගැටලුව වූයේ ඈෂ් වෙනුවට තෝරා ගන්නා නිළියයි. අවසානයේදී ‘හෙරොයින්’ට එකම සුදුස්සිය වූයේ කරීනායි.

සිනමාපටය ගැන ලැබෙන අලුත්ම ආරංචියට අනුව මේ කතාව ගෙතී ඇත්තේ මනීෂා කොයිරාලගේ චරිතය වටායි. මුලින් මෙය හොලිවුඩයේ මැරිලින් මොන්රෝ වටා ගෙතී ඇති බවට ද රාවයක් පැතිරිණි.

රංගන ජීවිතයේ සාර්ථකත්වයට පිය නඟා සිටියදී මත්පැන් සහ පෙම් සබඳතා නිසා රංගන ජීවිතය අසාර්ථක කර ගත් නිළියක ලෙස මනීෂා කොයිරාල හැඳින්වේ.


පාපන්දු රන්බීර්

රන්බීර් කපූර් සිනමාවේ දකින්න නොලැබුණා නම් කොතැනකද ඉන්නේ?

ඔහුම පවසන අන්දමට එසේ නම් ඔහු සිටින්නේ පාපන්දු ක්‍රීඩාංගනයකයි. එසේ නම් පාපන්දු ක්‍රීඩාවේ යෙදෙන කඩවසම් තරුණයකු ප්‍රේක්ෂකයන්ට දැකගන්නට තිබුණි.

‘සිනමාපට නොලැබුණා නම් මං පාපන්දු ක්‍රීඩකයෙක්. පාපන්දු මට ජීවිතය වගෙයි. කණ්ඩායමක් විදියට වැඩ කරන්න, අධිෂ්ඨානයක්, විනයක් ඇතුව ක්‍රියා කරන්න මේ පුදුම සහගත ක්‍රීඩාවෙන් පන්නරයක් ලැබෙනවා.’

රන්බීර්ගේ හිතේ තිබුණු ආසාව යළි ඉස්මතු වී තිබෙන්නේ පෙප්සි ප්‍රචාරණ වැඩ සටහනකට ඔහු තෝරා ගැනීමෙන් පසුවයි. තමන් තෝරා ගැනීම ගැන ඔහු මේ දිනවල සිටින්නේ උතුරා යන සතුටකිනි.

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රගපාමු