වර්ෂ 2018 ක්වූ  ඔක්තොම්බර් 11 වැනිදා බ්‍රහස්පතින්දා




බෙල්ල වෙන් කොට දිව කැපූ

බෙල්ල වෙන් කොට දිව කැපූ

සිද්ධාර්ථ නයනානන්ද

සරසවිය සම්මාන උලෙළේ 2017 වසර සදහා පරිගණක දෘශ්‍ය ප්‍රයෝග වෙනුවෙන් සම්මානය දිනා ගත් තිදෙනා අතර උලෙළට සහභාගී වන්නට නොහැකි වූ තරුණයකු විය. ඒ සිද්ධාර්ථ නයනානන්දයි. ඔහුට හිමි සම්මානය ලබා ගැනීමට පසුගිය දිනෙක සරසවිය පුවත්පතට පැමිණි මොහොතේ අපි ඔහු සමඟ සුහද කතාබහක යෙදුණෙමු.

* සම්මානය ලබුණු බව දැනගත් වෙලාවේ මොකද හිතුණේ?

මේ සරසවිය සම්මානය මට ලැබෙන්න ප්‍රධාන හේතුව මහීල් පෙරේරා මහත්මයා ඇසුරේ ලබුණු අත්දකීම් සහ අධ්‍යාපනය. ඔහු බොහෝ පොත පත පිටරටවලින් පවා ගෙන්වලා අපට ඉගැන්වුවා. ලංකාවේ චිත්‍රපටයක් අවසන් වනතුරු බොහෝ දෙනා දන්නේ නෑ ඒකේ මොනවද නිවැරැදි විය යුත්තේ කියලා. එහෙම අවස්ථාවල වැඩ කළ යුතු ආකාරය ගැන මහීල් මහත්මයා ළඟ ඉද්දි ලැබුණු පන්නරය තමයි අද මට තනිව ඒ තීරණ ගන්න පුළුවන් වන හේතුව. ඉතින් සතුටුයි. උදයකාන්ත මහත්මයාටත් ස්තූතිවන්ත විය යුතුයි, මට දෘශ්‍ය ප්‍රයෝග බාර දීමේ ඒ අවදානම ගත්තාට. මොකද දෘශ්‍ය ප්‍රයෝග කියන්නේ හොලිවුඩ්වල නම් දාහක් දෙදාහක් විතර එකතු වෙලා කරන වැඩක්. අපේ නිෂ්පාදන එතරම් ලොකු නැතත්, එහෙම පිරිසක් එකතු වුණාම වැඩ කිරීම පහසුයි.

* මහීල් මහත්මයා ගාවට ගියේ කොහොමද?

මගේ තාත්තා චිත්‍ර ශිල්පියෙක්. ඩබ්ලිව් නයනානන්ද විජේකුලතිලක. බොහෝ දෙනෙකු ඔහු හඳුනන්නේ '71 කැරැල්ලෙන් හිරේට ගිහින් චිත්‍ර අඳීන්න පටන් ගත්ත පුද්ගලයා හැටියට. අම්මා පද්මලතා රාජපක්ෂ ඇයත් චිත්‍ර ශිල්පිනියක්. පුංචි කාලේ ඉඳලා සංගීතය කරපු මම කම්පියුටර් හාඩ්වෙයාර් ඉගෙන ගන්න පානදුරේ යනවා. එතනදි සුජීව ප්‍රනාන්දු මහත්මයා මට මහීල් පෙරේරා මහත්මයා හඳුන්වා දෙනවා. මේ ක්ෂේත්‍රයට මම 2002 වසරේ පය තබන්නේ ඩ්‍රීම්ස් අන්ඩ් මැජික් ආයතනයෙන් මහීල් පෙරේරා යටතේ. ඒ වසර 12 ක් පුරා පරිගණක දෘශ්‍ය ප්‍රයෝග, ත්‍රිමාන සජීවී කරණය, ශබ්දසංයෝජනය, සංස්කරණය වැනි අංග ඔස්සේ කටයුතුවලට සහභාගී වුණා. 'රන්කෙවිට' තමයි මගේ සහභාගීත්වය ඇතුව මුලින්ම සරසවිය සම්මානයක් දෘශ්‍ය ප්‍රයෝග සඳහා ආයතනයට ලැබුණු අවස්ථාව. පසුව 2014දි මම තීරණය කරනවා නිදහස් පරිගණක ශිල්පියෙක් විදිහට කටයුතු කරන්න. ඉන් පසු කළ ප්‍රධානම චිත්‍රපටය 'බන්ධනය'. ඊට අමතරව දැන් තිරගත වන 'කළු හිම' සඳහා දෘශ්‍ය ප්‍රයෝග සැලසුම් කරන්න අවස්ථාව ලැබුණා.

* 'පරිගණක දෘශ්‍ය ප්‍රයෝග' අප හඳුනාගත යුත්තේ කොහොමද?

සැබෑ ලෝකයේ රූගත කිරීමට නොහැකි මන:කල්පිත දෙයක් චිත්‍රපටය වෙනුවෙන් නිර්මාණය කිරිම වගේම රූගත කළ දෙයක් කතාවට අවශ්‍ය ලෙස සැකසීම හෝ වෙනස් කිරීම තමයි එලෙස හඳුන්වන්නේ. මෙය අලුත් දෙයක් නොවේ. චිත්‍රපටකරණය පටන්ගත් කාලේ ඉඳලාම කළ දෙයක්. ඒත් දැන් එය නව තාක්ෂණය යොදා ගනිමින් වඩාත් දියුණු ලෙස පරිගණකයෙන් කරනවා. පරිගණක දෘශ්‍ය ප්‍රයෝග කියන ක්ෂේත්‍රය ඇනිමේෂන්, කොම්පොසයිටින්, මොඩලින්, මැට් පේන්ටින්, සිමියුලේෂන් ඉෆෙක්ට්ස් වැනි අංශ රාශියක් ඔස්සේ විහිදෙනවා.

* උදාහරණයකින් තේරුම් කළොත්?

උදයකාන්ත මහත්මයා කැමතියි, ඒ වගේ අලුත් තාක්ෂණයන් භාවිත කරලා ඔහුගේ හිතට එන රූප රාමු හදා ගන්න. බන්ධනය චිත්‍රපටයේ මිය ගිය ගැහැනියකගේ බෙල්ල වෙන් කරන කොටස සහ ඇගේ දිව එළියට එද්දි කපන දර්ශනය, කුඩා දැරිය යක්ෂාවේශ වන දර්ශනය වැනි දේවල් කරන්න ඔහු මේ තාක්ෂණය යොදා ගත්තා. ඒ වගේම ප්‍රේකෂකයාට එකවර හඳුනා ගත නොහැකි දේවල් චිත්‍රපටයේ අවශ්‍යතාව අනුව මා ලවා ඔහු වෙනස් කරගත්තා. එකක් ඒ චිත්‍රපටය රූගත කළ නිවෙසේ තිබූ අලුත් සිවිලිම පරණ උළු වහලක් බවට පත් කිරීම. තවත් එකක් වුණේ දැරියගේ මුහුණේ කැලැල්. ඒ වගේම අලුත් පාරක කළ රූපගත කිරීම්වල පසු බිම තරමක් ඈත යුගයේ පාරක් විදිහට හදලා තිබෙන්නේත් මේ දෘශ්‍ය ප්‍රයෝග මඟින්. හැබැයි ප්‍රේක්ෂකයාට ඒ බව නොදැනෙනවා නම් තමයි එය සියුම්ව සාර්ථකව කළා වෙන්නේ.

* අද බොහෝ අධ්‍යක්ෂවරුන් දෘශ්‍ය ප්‍රයෝග භාවිත කරනවාද?

ඔව්. එහෙම කියූ හැටියේ හිතන්නේ අලුතෙන්ම දේවල් වෙනස් කරනවා කියලා. එහෙම නෙවෙයි, සමහර විට අපට ෂූටින්වලදි අමතක වූ දේවල් කර ගන්නත් මෙය වැදගත්වනවා. හොලිවුඩ් වැනි දැවන්ත සිනමාවල මෙවැනි සකස් කිරීම් වැඩියි. දැන් දැන් චිත්‍රපට හැදෙද්දි සහ මේ ගැන දැනුම්වත් වීම වැඩි වෙද්දි භාවිතයත් වැඩි වෙලා තිබෙනවා.

* මේ සම්මානය බෙදී ගිය එකක්. ඇත්තටම මොකක්ද ඒ බෙදීමට හේතුව?

දෘශ්‍ය ප්‍රයෝග නැත්නම් විෂුවල් ඉෆෙක්ට්ස් සහ ස්ටීරියෝස්කෝපික් 2ඩී (ද්විමාණ) සිට 3ඩී (ත්‍රිමාණ) කන්වර්ෂන් කියන්නේ සම්පූර්ණයෙන් වෙනස් ක්ෂේත්‍ර දෙකක්. හරියට සංස්කරණය සහ 5.1 ශබ්ද සංකලනය වගේ. ස්ටීරියෝ 3ඩී ලෝකෙට කලින් ආවට ඉතාමත් ප්‍රචලිත වුණේ 'ඇවටාර්' වගේ චිත්‍රපටවලින්. ඒ ක්‍රමය රස විඳීන්න පුළුවන් ඒ සඳහා විශේෂිතව සැකසූ ත්‍රිමාණ ප්‍රදර්ශන පහසුකම් සහිත ශාලාවලදි පමණයි. ඒත් විෂුවල් ඉෆෙක්ට්ස් නැතුව කතාවක් බලන්න බැරි තැනට අද ලෝකේ ඇවිත්. චිත්‍රපටයක අතපසුවීම්, අමතකවීම් නිවැරැදි කිරීම, පසුතල-චරිතවල ස්වභාව වෙනස් කිරීම ආදිය සඳහා අද විෂුවල් ඉෆෙක්ට්ස් අනිවාර්ය සාධකයක් වෙලා. බුද්ධික සහ සමින්ද ඇතුළු 360 කණ්ඩායම ආයතනය විශාල මහන්සියක් අරගෙන බන්ධනය චිත්‍රපටය 3ඩි නැත්නම් ත්‍රිමාණ කරලා තිබෙනවා. එයට මගේ කිසි සම්බන්ධයක් නෑ. මම කළේ විෂුවල් ඉෆෙක්ට්ස් කොටසයි. එකම සම්මානය පිරිනමමින් වුණත් විනිශ්චය මණ්ඩලය හේතුපාඨයකින් හෝ මේ ක්ෂේත්‍ර දෙක වෙන්කර හඳුන්වා දුන්නා නම් ක්ෂේත්‍ර දෙකේ වෙනස බොහෝ දෙනාට තේරුම්ගන්න තිබුණා. සිග්නිස් සම්මාන උලෙළෙදීත් මේ දේම සිදු වුණා.

* ඔබ මේ කාර්යය සඳහා සුවිශේෂී මෘදුකාංග (සොෆ්ට්වෙයා) භාවිත කරනවාද?

විෂුවල් ඉෆෙක්ට්ස් සඳහා වෙන් වූ සොෆ්ට් වෙයා ගණනාවක් තිබෙනවා. අද ඕපන් සොෆ්ට්වෙයා තිබෙනවා දහස් ගණන් වියදම් කර ලබා ගන්නා ඒවා තරමටම වගේ හොඳයි. ඒ නිසා ඒකත් තවත් ටූල් එකක් වගේ. මාස කීපයකින් ඉගෙන ගන්න පුළුවන්. එතකොට වඩාත් වැදගත් වන්නේ මම පාවිච්චි කරන සොෆ්ට්වෙයා එක නෙවේ කලාව පිළිබඳ මගේ දැනුම සහ හැකියාව. උදාහරණයක් ලෙස ත්‍රිමාණ චරිතයක් නිර්මාණය කරද්දි මුලින්ම එය ඇඹීමේ සිට එයට ටෙක්ස්චරින් නැත්නම් හමක් අඳීන්න වෙනවා. සමහර විට පින්තූර භාවිත කරලා කරන්නත් පුළුවන්. ඒත් චරිතය අනුව වෙනමම අතින් අඳීන්න වන අවස්ථා තිබෙනවා. ඊට පසුවයි ඇනිමේට් කරලා, කොම්පොසයිට් කරලා අන්තිම රූප රාමුව ඉදිරිපත් කරන්නේ. ඒ සඳහා භාවිත වන ලෝකේ දියුණු මෘදුකාංග ලංකාවෙත් භාවිත වෙනවා. විෂුවල් ඉෆෙක්ට් කරන කලාකරුවකුට පුළුවන් ඕනෙ නම් ඕපන් සෝස් භාවිත කරන්න. බ්ලෙන්ඩ්, ෆියුෂන් වගේ සොෆ්ට්වෙයා භාවිත කරන්නත් පුළුවන්.

හැබැයි පරිගණකයක් අතපත ගාන එක හොඳ වුණත් මේ විෂයය සඳහා එන දරුවෙක් මුලින්ම කරන්න ඕනා කලාව. මැටි අතගෑම, චිත්‍ර ඇඳීම, ඡායාරූපකරණය වැනි කලාවන් ඔහු හදාරා තිබීම පහසුවක්.

* මෙවැනි විෂයයන් සදහා විධිමත් පාසලක් තිබුණානම් හොඳද?

ඉන්දියාවේ පුළුල් විදිහට තිබෙනවා. හොලිවුඩ් ආයතන කීපයක්මත් ඇවිත් ඉන්දියාවේ අයට උගන්වනවා. ඒ අය ආසියාවටත් වැඩ කරනවා. ලංකාවෙත් ඒවගේ පාඨමාලා තිබෙනවා. ඒත් හේවුඩ් නැත්නම් සෞන්දර්ය විශ්වවිද්‍යාලය වගේ එකකින් ඇඹීම ඇඳීම වගේ දේවල් ඉගැන්වූවාට සියල්ල එකතු කරන තැනක් නෑ. ඒ සඳහා එක්කෝ ඕස්ට්‍රේලියාවට ඉන්දියාවට යන්න ඕන නැත්නම් වැඩවලින් ලබන අත්දැකීම් පමණයි. ඒ නිසා පාසලක් තිබුණා නම් හොඳයි. බොහෝ අය හිතනවා මෙය පරිගණකය මඟින් පමණක් ඉගෙන ගත හැකි දෙයක් කියලා. ඒත් අදින අඹන දේවලට හුරු නොවී මෙයින් හොඳ නිර්මාණයක් කරන්න බෑ.

* ඔබ වැඩිදුරටත් මේ විෂයය පිළිබඳ හදාරන්න කැමතිද?

මම එහෙම ඉගෙන ගන්නවා නම් ලොකු වියදමක් දරන්න වෙනවා. මගේ මල්ලි මගේ ළඟවැඩ කරලා දැන් සිඩ්නිවල ඉගෙන ගන්නවා. මම ඇමෙරිකාවේ ආයතනයක සොයා බැලුවා ඒත් වියදම වැඩියි. ලෝකේ බිහි වුණු බොහො කලාකරුවන් අතර ස්වයං අධ්‍යයනය කළ අයත් ඉන්නවා. අනෙක දැන් අන්තර්ජාලය හරහා බොහෝ දේ ඉගන ගන්න පුළුවන්. ජ්ඔර්‍ථඩච් පවා කරන්න පුළුවන්, ලංකාවේ ඉඳගෙන වුණත්.

* ඔබ අලුතෙන් සහභාගී වන චිත්‍රපට මොනවාද?

අන්තිමට සහභාගී වුණේ වස්සානයේ සඳ චිත්‍රපටයට. දැනට කැලිෆෝනියාවල ආයතනයකට සම්බන්ධව වැඩ කරනවා. ඒත් මම ලංකාවේ කටයුතු කරන්නයි ආසා. බොහෝ දෙනා ටිකක් ඉගෙන ගත් ගමන් ලංකාව දාලා යනවා. ඒ අතර රට අත් නොහැර දැනට ඉන්න ශිල්පීන් පවා අගය කළ යුතුයි. මොකද ඔවුන් පොඩි ආදායමකට ගොඩක් මහන්සි වෙලා වැඩ කරන නිසා.

* අපේ සිනමාවේ අනාගතය ඔබට පේන්නේ කොහොමද?

ලංකාවේ කලාත්මක චිත්‍රපට ඉතාමත් උසස් තත්ත්වයක තිබෙනවා. පිටරට සම්මානත් ලැබෙනවා. ඒත් වාණිජ චිත්‍රපට බහුතරයක් ප්‍රාථමික මට්ටමේ තිබෙන්නේ. මුදල් බලාපොරොත්තුවෙන් නිර්මාණය කරන්න ගියාම ප්‍රේක්ෂකයා සිනමාවෙන් ඈත් වෙනවා. පවතින තාක්ෂණය නිසා අද ඔවුන් ශාලාවකට යෑම අනිවාර්ය නෑ. එහෙම තිබියදීත් ශාලාවකට එන අයට ලෝකේ නිර්මාණවලට වඩා අඩු මට්ටමක චිත්‍රපටයක් බලන්න තිබුණොත් විශ්වාසය බිඳෙනවා.

* ඔබේ අනාගත බලාපොරොත්තු?

මුල ඉඳන් තිබුණේ චිත්‍රපටයක් අධ්‍යක්ෂණය කිරීමේ බලාපොරොත්තුව. කෙටි චිත්‍රපටයක් කළා ත්‍රිමාණ සජීවීකරණයෙන්. මගේ වෘත්තිය තිරයෙන් පසුපස කරන එකක් නිසා බොහෝ අය හඳුනන්නේ නැති වීම මගේ අරමුණට යන්න අභයෝගයක් වෙන්න පුළුවන්. ඒ කොතරම් අපහසුතා මැද වුණත් ඒකතමයි මගේ අධිෂ්ඨානය.