වර්ෂ 2018 ක්වූ  අගෝස්තු 02 වැනිදා බ්‍රහස්පතින්දා




මධුර සුපිරිසුදු රම්‍යා වූ පෙම් 2007-2016

මධුර සුපිරිසුදු රම්‍යා වූ පෙම් 2007-2016

කුසපබා නමැති අලංකෘත සිනමාපටය ඔස්සේ පූජා ජැක්සන් ඇන්තනිගේ පෙම්වතිය විය. දුලානි අනුරාධා කුවේණිය ලෙසින් විජය රජු වූ රොජර්ට පෙම් බැන්දේ විජය කුවේණි සිනමාපටයෙනි. දුලානිට සිනමාවේ කුවේණිය යනුවෙන් නමක් පටබැඳුනේ ද එකී චිත්‍රපටය තුළිනි. සුපෙම් යුවළවල් තුනක් එක චිත්‍රපටයක් තුළින් දක්නට ලැබුණේ සුපර් සික්ස් සිනමාපටය ඔස්සේය. රොෂාන් රණවන, සාරංග දිසාසේකර, හේමාල් රණසිංහ පෙම්වතුන් වෙද්දී මලීකා සිරිසේනගේ, පබෝදා සංදීපනී සහ අරුණි රාජපක්ෂ ඔවුන්ගේ පෙම්වතියන් විය.

වැඩ බැරි ටාසන් සිනමාපටයේ සිටින්නේ අපූරු ආදරවන්තයින් යුවළකි. ඒ ටෙනිසන් කුරේ සහ පියුමි පුරසිංහයි. ඉන් අනතුරුව පියුමි සැලකිය යුතු චරිතයකින් සිනමාවේදී අපට හමු වුණේ නැත. එහෙත් වැඩ බැරි ටාසන් තිරගත වන කාලවකවානුවේදී ටෙනී - පියුමි ඉමහත් වු ජනප්‍රිය පෙම් යුවළක් වූයේය.

අහක බලන්නේ මොකෝ සිනහ නොවෙන්නේ.

එහෙම ඇහැව්වේ පාර්ටිකන්ය. මේ පාර්ටිකන් නමැති දමිළ තරුණයා සිටියේ මිල්ටන් ජයවර්ධන අධ්‍යක්ෂණය කළ තාරුකා මල් චිත්‍රපටයේය. පුබුදු චතුරංග එකී චරිතයට පණ පෙව්වාය. පාර්ටිකන් එසේ ඇවිස්සුවේ තම දමිළ පෙම්වතියවය. නදීශා හේමමාලි එම චරිතය මැව්වාය. අහක බලන්නෙ ගීය ගැයුවේ ජානක ගුණරත්නය. ජෝතිපාලයන්ගේ ශෛලියට සමාන හඬක් ඔහුට තිබූ නිසා එම ගීය මෙන්ම පුබුදු නදීශා සිනමාවේ තවත් මතක හිටින සුපෙම්වතුන් යුවළක් විය.

සදා අමතක නොවන සිනමාපට ගොන්නෙහි සිකුරු හතේ සිනමාපටය ඇති වගට කිසිදු සැකයක් නැත. එය කොතරම්ම ජනප්‍රිය වූවා ද කිවහොත් එහි රඟපෑ විජය නන්දසිරි එම වසරේ ජනප්‍රියම නළුවා හැටියට සරසවිය සම්මානය දිනා ගත්තේය. හාස්‍යොත්පාදක සිනමාපටයක් වුව ද එහිද සුපෙම්වතුන් යුවළක් වූහ. ඒ සුරාජ් මාපා සහ අනර්කලී ආකර්ෂාය. අවසනදී සුරාජ් අත ගැනීමට හිමාලි සයුරංගිට සිදු වුණත් චිත්‍රපටයේ දර්ශන වැඩිපුර තිබුණේ සුරාජ් සහ අනර්කලීට වෙන්වීය.

වලාකුල් වියන් තනාලා ඉරේ රැස් නිවාදමා
වසන්තේ අරන් ඇවිල්ලා සිහිල් සේලයෙන් වෙළා
අනේ මං බලාන උන්නා යළිත් ඔබ එතැයි කියා
සිනහ රන් කැළුම් සලාලා
මගේ සඳ උදා වෙලා
පැතූ පෙම් පැතුම් මල් ඉහිරිලා
ගැලූ පෙම් ගඟුල් දැන් ඉතිරිලා
අනන්තේ සිසාරා රහසේ මා
පියාඹන්න ආසයි ඔබ හා මා

තුරුණු සිත් ස්පර්ශ කළ එවන් වූ සිනමාවේ ප්‍රේම ගීතයක් දිගු කලකට පසු ඇසිණ. උදයකාන්ත වර්ණසූරියගේ ආසයි මං පියාඹන්න සඳහා අන්තර්ගත වූ සොඳුරුතම ගීයෙන් සිනමාවේ එකතු කළේ රොෂාන් රණවන සහ පූජා උමා ශංකර්ගේ හදවත්ය.

සෙනේෂ් දිසානායක බණ්ඩාරගේ හාර්ට් එෆ් එම් සිනමාපටය තුළින් තවත් සුපෙම්වතකු සිනමාවට පය තැබීය. ඒ ගයාන් වික්‍රමතිලකය. ඔහුට තිරයේදී පෙම් බැඳි රංගන ශිල්පිනිය වූයේ කාංචනා මෙන්ඩිස්ය.

ඔය අතරතුරදී රොෂාන් රණවනට තවත් ඉන්දියානු සුන්දර රංගන ශිල්පිණියක් තිරයේදී පෙම් බඳින්නට පටන් ගත්තේය. ඇය මොනිකා මරුතිරාජ් නම් විය.

ගුම්නාදේ රෑනින් රෑනේ
මී මැස්සන් රෑනක් සේ
ආකාසේ අත්තටු විහිදා
ඉඟිළෙන්නේ සන්තෝසේ

රොෂාන් සහ මොනිකා එලෙස පෙම් රැගුම් රැඟුවේ සංජය නිර්මාල්ගේ රෝස කැලේ චිත්‍රපටය වෙනුවෙනි.

එකල රොෂාන් තිරයේ සිහින කුමරකු විය. ඊළඟට ඔහු ආවේ කිශානි අලංකි සොයාය.

ඔයා මගේ නම් ජීවිතේ මල් කියමින් ආදරේ නාමයෙන් චිත්‍රපටයේදී රොෂාන් කිෂානිට පෙම් බැන්දේය.

රිදී තිරයට ආගන්තුක කොලු ගැටයෙක් නිල්දිය යහන හරහා සුපෙම්වතකු බවට පත් විය. සාරංග දිසාසේකර එලෙස කුළුඳුලේ සිනමාවට එද්දී ඔහුගේ පෙම්වතිය වූයේ චතුරිකා පීරිස්ය. ඔවුනගේ පෙම්පුවත එම සිනමාපටයෙන් පසුව අවසන් විය.

සුපිරි නළු රන්ජන් රාමනායක ද සිය මීළඟ පෙම්වතිය සොයා ගන්නේ අප අසල්වැසි රාජ්‍ය වූ ඉන්දියාවෙනි. සුරූපී ඇය ආදීන් කාන් නම් විය. එදත් අදත් තිරයේ ආදරණීය සුපෙම්වතකු බවට තම ස්ථානය අචලව වත්වාගෙන යන රන්ජන්ට ආදීන්ව මනාව ගැළපිණ. මේ දෙදෙනා ලීඩර් සිනමාපටයේ පෙම්වතුන් විය.

වාසනා ලොවක් ගෙනාව
දිව්‍යලෝකෙ ඉඳලා ආව කෙල්ලේ
සුරූපි කෙල්ලේ

දුෂ්‍යන්ත් වීරමන් පැරැණි ගීයක් එලෙස ගැයුවේ ශිරෝමි රොමේෂිකා වෙනුවෙනි. ඩාන්සින් ස්ටාර් සිනමාපටය ඔවුන් දෙදෙනාම සුපෙම්වතුන් බවට පත් කරලීය.

නිරන්තරයෙන් නවකයින් තිරයට එක්කාසු කරන උදයකාන්ත වර්ණසූරිය පායා එන්න හිරු සේ සිනමාපටය තුළින් තවත් එවන් ව තරුණියකට සිනමාවෙහි දොරගුළු විවර කොට දුන්නාය. රන්ජන් රාමනායක ද්විත්ව චරිත මවද්දී කුලුඳුලේ සිනමා වරම් හිමි කරගත් උදාරි වර්ණකුලසූරිය ඔහුගේ පෙම්වතිය වූවාය.

එකමත් එක රටක සිනමාපටයේ පෙම්වතුන් වූයේ සනත් ගුණතිලක සහ නිරෝෂා පෙරේරායි. සම්මතයෙන් බැහැර වූ පෙම්වතුන් යුවළක් ලෙසින් ඔවුන් එහි චරිත මැවූහ.

සරත් සඳේ රැයක මුදු සුවඳ දරාගන්න
හිතවත් පෙම් කතාවක් සුළඟට මුමුනන්න
වරා මලෙන් මලෙට මල් වියන් තනා ගන්න
පෙම්වත් භාවනාවක් මට කියලා දෙන්න
හැඟුම් විහඟුන් තුරුලු වෙද්දී
සිතුම් සියොතුන් ඉඟිල්ලේ වී
ඔබේ දෙනුවන් මා හා දැල් වී
මාගේ දෙනුවන් පුරා විහිදෙයි

මේ සිනමා ලොව තුළ තවත් ජනප්‍රිය ගීයක්. භාචි සහ චරිත් අබේසිංහයි මෙය ගැයුවේ. චරිත්ගේ ජූලියා චිත්‍රපටයයි ඒ ගීතය ඇතුළත් වුණේ. නදීශා හේමමාලි සහ සම්පත් ශ්‍රී රෝෂන් එහි සුපෙම්වතුන් විය.

අර්ජුන කමලනාත් සහ අමීශා කාවින්දි අද වන විට ද සැබෑ ලෝකයේ ද පෙම්වතුන්. මේ යුවළ එකට හමුවන්නේ සුදු හංසි සිනමාපටයෙන්.

උත්තරා සිනමාපටයේ සුරාජ් සහ හෂිනි ගෝනගල පෙම්වතුන් බවට පත් වෙනවා. ඔය කාලයේදීම චන්න පෙරේරා නැවතත් චතුරිකාට පෙම් බඳිනවා. ඒ හදවත මල් යායයි සිනමාපටය තුළින්.

රොන් සුවඳ දෙන මල් පියළි මත
පාව යමු රෑනේ
ඇල් පවන් අතරින්
හිරුත් වෙත මත් බිගුන් වාගේ
ජීවිතේ හරි සුන්දරයි ආදරේ එහි මල් මිටයි
ඉන්නවා නම් මා ළඟින්
කොයි තරම් නම් සොඳුරු ද මිහිරේ

රොෂාන්ගේ සහ පූජාගේ පෙම්වත් රැඟුම් නොඅනුමානවම ඔබට මතක් වෙන්න ඇති. සුවඳ දැනුණා ජීවිතේ සිනමාපටය තුළින් තමයි රොෂාන් පූජා නැවතත් එක් වන්නේ. ආකර්ෂණීය සිත් ඇද බැඳ තබා ගත් ආදරණීයම සිනමාපටයක රොෂාන් පූජා එලෙස සුපෙම්වතුන් වුණේ අවසන් වතාවටයි. ඔවුන් දෙදෙනා තිරයෙන් ඒ කාලයේ පමණක් වෙන්ව යන්නේ නව පෙම්වතුන් යුවළකට ඉඩ දෙමින්. මේ දෙදෙනා නම් සිනමාවට අලුත්ම අලුත්. රයිනි චාරුකා සහ ඩිලෝන් ජයසිංහ. ඒ අන්දමින් තිරයට ආවේ සිංහාවලෝකනය සිනමාපටයෙන්.

මතකද හැන්දෑවේ අප දෙදෙනා
මන්දාරම් අඳුරේ
දවසක්දා මල් වැස්සේ තෙමුණා

එහෙම මේ පෙම්වතුන් යුවළට අතීත කතාවක් මතක් වෙනවා. පුබුදු චතුරංගටත් තව පෙම්වතියක් මුණ ගැහෙන්නේ කාලේ හොඳා කියන්නා වගේ. චැලෙන්ජර්ස් ඒ පෙම්වතියව පුබුදුට හොයා දුන් චිත්‍රපටය වනවා.ශේෂාද්‍රි නම් වූ ඇය තිරයටම ඔබිනා සුරූපිණියක් ලෙසට හැඳින්වූවාට වරදක් නැහැ.

සිහින මනමාලි මා ගාව ඉන්නේ
ඔයා මගේ ලෝකේ ආලෝකෙ වන්නේ

සුරේෂ් ගමගේ ඒ අන්දමින් දීපා චන්දිගේ අත් අල්ලමින් රඟ දුන්නේ ස්විට් ඒන්ජල් චිත්‍රපටය වෙනුවෙනි. ඉන්දියානු සම්භවයක් සහිත රංගන ශිල්පිණියක වූ දීපා එම චිත්‍රපටයෙන් පසුව අප දුටුවේ නැහැ.

කුසපබා නමැති අලංකෘත සිනමාපටය ඔස්සේ පූජා ජැක්සන් ඇන්තනිගේ පෙම්වතිය විය. දුලානි අනුරාධා කුවේණිය ලෙසින් විජය රජු වූ රොජර්ට පෙම් බැන්දේ විජය කුවේණි සිනමාපටයෙනි. දුලානිට සිනමාවේ කුවේණිය යනුවෙන් නමක් පටබැඳුනේ ද එකී චිත්‍රපටය තුළිනි. සුපෙම් යුවළතුනක් එක චිත්‍රපටයක් තුළින් දක්නට ලැබුණේ සුපර් සික්ස් සිනමාපටය ඔස්සේය. රොෂාන් රණවන, සාරංග දිසාසේකර, හේමාල් රණසිංහ පෙම්වතුන් වෙද්දී මලීකා සිරිසේනගේ, පබෝදා සංදීපනී සහ අරුණි රාජපක්ෂ ඔවුන්ගේ පෙම්වතියන් විය.

සිහිනය දිගේ එන්න එන්න

අමිල අබේසේකරත් උදාරි වර්ණකුලසූරියත් එලෙස කියමින් ආවේ සිහිනය දිගේ එන්න චිත්‍රපටය නිසාය.

පුංචි තිරයේ අවිහිංසක පෙම්වතා වූ විශ්ව කොඩිකාර රිදී තිරයේදී තිසුරිගේ පෙම්වතා වුණේ දරුවනේ චිත්‍රපටය නිසාය. දිගු කලකට පසු කමල් අද්දරආරච්චිට තිරයේදී පෙම්වතියක්ව මුණගැසිණ. ඒ සඳලි සුලක්නාය. කලර් චිත්‍රපටය ඔස්සේ සුපෙම්වතුන් වුණ ඔවුන් කදිමට ගැළපුණේය. එහිම තවත් සුපෙම්වතුන් යුවළක් විය. ඒ ප්‍රියන්ත මංසිළු සහ උදයන්ති කුලතුංගය.

සුපිරි නළු රන්ජන් රාමනායක රුවංගි රත්නායක සමඟ තිරයේ පෙම් හබය ආරම්භ කරන්නේ ජීවිතය ලස්සනයි චිත්‍රපටයෙහි රංගනයේ යෙදෙමිනි. රන්ජන් තමන් පෙම්වතිය කරගත් රංගන ශිල්පිණියන්ගේ ලැයිස්තුවට රුවංගීව එක්කාසු කරගත්තේ එලෙසින්ය.

හංගන්න බැරි වේවි ආදරේ . . .
හැංගෙන්න හැදුවාට හොරැහින් හොරෙන්

ඒ ළයාන්විත ගීයට වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම ආදරණීයව රැඟුවේ විශ්ව කොඩිකාර සහ උපේක්ෂා ස්වර්ණමාලිය. බෝම්බ සහ රෝස සිනමාපටය ඔවුන් එක්කාසු කරන්නට සමත් විය.

මැණික් විජේවර්ධන - උදිත් අබ්රත්න

විශ්ව ලංකා - කිශානි අලංකි

මේ සුපෙම්වතුන් දෙයුවළ අනිත්‍යා චිත්‍රපටය තුළින් තිරය අලංකෘත කළෝය. තිරයේ පෙම් බඳින්නට කිෂානි කුලුඳුල් නොවුණත් අනෙක් තිදෙනාම නම් මේ චරිතවලට කෝඩුකාරයෝ වූහ.

ජැක්සන් ඇන්තනි පරපුරේ අකිල ධනුද්ධරත් මාලිනී ෆොන්සේකා පරපුරේ සෙනාලි ෆොන්සේකාත් තිරයට ආ නවමු සුපෙම්වතුන් යුවළක් විය. සිරි පැරකුම් ඔස්සේ එකී නව යුවළ තිරයේ හමු වෙමින් නවමු ආශ්වාදයක් සිනමා ලෝලීන්ට එක් කරලීය.

වෙනස්ම අන්දමේ සිනමාපට තිරයට ගෙන ආ ජයන්ත චන්ද්‍රසිරි සමනළ සන්ධ්වනිය හරහා යශෝධා විමලධර්මට අලුත්ම පෙම්වතකු මුණ ගැස් වීය. ඔහු උද්දික ප්‍රේමරත්න නම් විය. ඒ පෙම්වතා කදිමට තම වගකීම ඉටු කළ බැවින් ජයන්ත ඔහුගේ මහරජ ගැමුණු සිනමාපටයේ ගැමුණු රජුගේ චරිතය ද බාර දුන්නේ උද්දිකටය.

රන්ජන් රාමනායක නිසා ජනප්‍රිය වූ නිළි කුමරියන් බොහෝය. රන්ජන් පෙම්වතා කර ගනිමින් එලෙස තිරයේ පෙම්වතිය වූයේ නිපුනි විල්සන්ය. රන්ජා චිත්‍රපටයට නිපුනි රන්ජන්ගේ පෙම්වතිය වෙමින් ඉහළ ජනප්‍රියත්වයක් හිමි කර ගත්තීය.

බොරදිය පොකුණ නිර්මාණය වූ යුගයේදීම එය තිරගත වූවා නම් එහි රඟපෑ රංගන ශිල්පියා අද වන විට ජනප්‍රිය තරුවක් වී ඇති වගට කිසිදු සැකයක් නැත. දුමින්ද සිල්වා නමැති ඔහු බොරදිය පොකුණෙහි චරිත මැව්වේ කෞශල්‍යා ප්‍රනාන්දුගේ පෙම්වතා හැටියටය.

තව දවසක් හමු වී ඉමු මේ භවේ
එක සැරයක් දුටුවත් ඇති දෑස් ඔබේ
ඔබ වෙනුවෙන් හැඬුව තරම් කියන්න හීන්සැරේ

ස්පන්දන චිත්‍රපටයට ඇතුළත් නොවුණත් එම ගීය නිර්මාණය වූයේ එකී චිත්‍රපටයේ ප්‍රවර්ධනය වෙනුවෙනි. ඉහළ ජනප්‍රියත්වයක් ඊට හිමි විය. රොෂාන් රණවන ස්පන්ධන චිත්‍රපටයේ ශලනි තාරකාගේ පෙම්වතා විය. පසුකාලීනව ඒ සුපෙම්වතුන්ගේ ජවනිකා ඇතුළත් කොට තව දවසක් ගීතයට රූප රචනා නිර්මාණය විය.

සනත් ගුණතිලකගේ අධ්‍යක්ෂණයක් වූ සිනහව අතරින් සිනමාපටයේ සනත් ගුණතිලක සේමිණි ඉද්දමල්ගොඩව සිය පෙම්වතිය කර ගත්තේය. සනත්ගේ තිරයේ පෙම්වතියන්ගේ නාම ලේඛනයට අලුතින්ම පැමිණි තැනැත්තී ඇය විය. ප්‍රවේගය හේමාල් රණසිංහට වාසනාව උදා කළ චිත්‍රපටයයි. උදාරි පෙරේරා ඔහුගේ පෙම්වතිය වෙමින් සිනමා ලොවට වඩාත් ගැළපෙන පෙම් යුවළක් බිහි කළේය. මේ වගේ ආදරයක් සිනමාපටය තුළින් ඩිනක්ෂි ප්‍රියසාද් පෙමින් වෙලුණේ අනුජ් රණසිංහ සමඟිනි.

ඔබ නැතුව ඔබ එක්ක චිත්‍රපටය සාම්ප්‍රදායික පෙම්වතුන් යුවළක් නොගෙන ආ චිත්‍රපටයකි. ඉන්දීය නිළි අංජලි පාටිල් එහි පෙම්වතිය විය. ශ්‍යාම් ප්‍රනාන්දු පෙම්වතා විය. අංජලි හොඳම නිළිය ලෙස සරසවිය සම්මානය දිනුවේ මෙම චරිතය නිසාය. සිංහල සිනමාව කලක් සිය රුවින් එකලු කළ ලාල් වීරසිංහ නැවතත් පෙම්වතකු බවට පත් වන්නේ සිංග මචං චාලි චිත්‍රපටයට එක් වෙමිනි. සුප්‍රකට නිළි ඩිලානි අබේවර්ධනගේ දියණිය කවීශා අබේවර්ධන ලාල්ගේ පෙම්වතිය විය. බින්දු බෝතලේගම සහ මාධි පණ්ඩිතරත්න පෙම්වතුන් බවට පත් වූයේ නටන් නැතුව දින්නා සිනමාපටය ඔස්සේය.

සුපිරි නළු රන්ජන් රාමනායක සිංහයා චිත්‍රපටයට දායක වෙමින් සිය ඊළඟ පෙම්වතියව සොයා ගත්තේය. ඇය මහේෂි මධුසංකා නම් විය. සක්කාරං චිත්‍රපටයේ ගයාන් වික්‍රමතිලකත් ප්‍රසාදිනි අතපත්තුත් අසම්මත පෙම්වතුන් විය. චමත්කාරජනක සිනමාපටයක් වන පත්තිනි තුන්කොන් ආදර කතාවක් ලෙස ගලා ගියේය. පූජා උමා ශංකර්, උද්දික ප්‍රේමරත්න සහ අරුණි රාජපක්ෂ එකී තුන් කොන් ප්‍රේම කතාවේ තුන් කොන නියෝජනය කළේය. දිත්‍රිමාන් චැටර්ජි, රිතිකා කොඩිතුවක්කුගේ සම්මතයට පිටුපෑ ආදර කතාව ඇගේ ඇස අග නම් විය.

සිතුවිලි පුරා..... ඔබ මා ළඟයි සිතුනා....

ඒ ප්‍රේමලාපය ආදරණීය කතාවක් චිත්‍රපටය තවත් ජනප්‍රිය කරලීය. රිදී තිරයේ පෙම්වතා වෙන්නට තවත් අභ්‍යාස අවශ්‍ය නොවූ හේමාල් රණසිංහ මෙවර තවත් උදාරි කෙනෙකු සිය පෙම්වතිය කොට ගත්තේය. ඒ උදාරි, උදාරි වර්ණකුලසූරියය.

පුතණ්ඩියා සිනමාපටය ඔස්සේ බුද්ධික ජයරත්න, හිමාලි සිරිවර්ධනගේ ආදරය දිනා ගත්තේය. උලත් එකයි පිලත් එකයි සිනමාපටය තුළින් රොෂාන් රණවන අමුතුම අන්දමේ ආදරවන්තියක් සොයා ගත්තේය. ඇය ඩිල්ෂානි පෙරේරා නම් විය. දසුන් පතිරණ සමනලී ෆොන්සේකාට පෙම් බැන්දේ මෝටර් බයිසිකල් සිනමාපටය තුළිනි. මායා චිත්‍රපටයට පුබුදු සොයා ගත්තේ සිනමාවට කුළුඳුල් තරුණියකි. ඇය ශෙහාරා ෆ්‍රැන්සිස්කස් නම් විය. රොෂාන් රණවන ටනාෂා සතරසිංහට ආදරය කළේ තිරයේ ඔහුගේ නවතම පෙම්වතිය වූ නිසාය. රන් දේදුන්නක් තුළින් එම යුවළ සිනමා පේ‍්‍රක්ෂකයින්ට දක්නට හැකි විය. අප සිනමාවට ආගන්තුක මාතෘකාවක් ඔස්සේ නිර්මාණය කළ සය පෙති කුසුම සිනමාපටය ඉකුත් සරසවිය සිනමා උලෙළේ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සම්මානයෙන් පිදුම් ලැබීය. ජෙහාන් ශ්‍රීකාන්ත්, දසුන් පතිරණ, යශෝධා රසඳුනි එහි සුපෙම්වතුන් ලෙස චරිත මැවුහ.