|
මෙවර සරසවිය සිනමා උලෙළ ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් වෙනුවෙනි. මෙය ඒ නිමිත්තෙන් පිදෙන ප්‍රණාමයකි...
විශිෂ්ටතම සිනමාවේදියා
සිනමාව නම් කිමැයි අපට කියා දුන්නේ ඔබය. සිනමාව නම් කිමැයි අපේ සිනමාවට කියා දුන්නේ ඔබය. අප සියල්ලන් දකුණු ඉන්දියානු සිනමා ව්‍යාකරණයත්, දකුණු ඉන්දියානු සිනමා භාෂාවත් වනපොත් කොට ගෙන ගොරෝසු - තද පැහැති වර්ණයන්ගෙන් දළ සේයා පට මත කථාන්තර පින්තාරු කරද්දී, සිනමාවේ අභිනව ව්‍යාකාරණයත් අභිනව භාෂාවත් අපට ඉගැන්වූයේ ඔබය. චිත්‍රාගාරවල බන්ධනාගාරගත වී ගෝනි පඩංගුවලින් තැනූ ගිරිකුළු අතර හිඳ පයිප්පවලින් ඇද හැළුණු දිය ඇලිවල ස්නානය කරමින්, විදුලි ලාම්පුවලින් ගලා ආ සඳ රැසින් තෙමි තෙමී කාඩ්බෝඩ් තුරුහිස් මත පිපුණු ක්‍රේප් කරදාසි මල්වල සුවඳ ආඝ්‍රාණය කරමින් සිටි අපට සමස්ත ශ්‍රී ලංකාව සෞන්දර්යයෙන් ආඪ්‍ය චිත්‍රාගාරයක් බව වටහා දුන්නේ ඔබය. තෙලි තුඩගින් මෘදු, නෙත්කලු සායම් බිඳුගෙන දළ සේයා පට මත මනුෂ්‍ය ජීවිතයේ සියුම් - ගැඹුරු - සංකීර්ණ සංවේදනා සිත්තම් කළ හැකි බව අපට ක්‍රියාවෙන්ම ඔප්පු කර පෙන්වූයේ ඔබය. ස්වකීය තාරුණ්‍යයත්, රැකියාවත් කුටුම්බයත් පරදුවට තබා අසිනමාවට එරෙහිව කැරලි ගසමින් සැබෑ සිංහල සිනමාවක සමාරම්භක සටහන තැබුවේ ඔබය. සිංහල සිනමාව විශ්වයට ගෙන ගියේ ඔබය. විශ්ව කීර්තිය සිංහල සිනමාවට ගෙන ආවේ ඔබය. සිනමා ක්ෂේත්‍රයේ ප්‍රබුද්ධ සිනමාකරුවන් ද, ප්‍රබුද්ධ රසිකයන් ද බිහි කළේ ඔබය. ශ්‍රී ලංකා ධරණීතලයේ පහළ වූ විශිෂ්ටතම සිනමාවේදියා ඔබය.
පොඩි දරුවෙක් වගේ
මං හිතනවා ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මයා ලංකාවේ සිංහල චිත්‍රපට සඳහා විශාල මෙහෙවරක් කළ පුද්ගලයෙක් කියලා. පළවෙනි වතාවට කැමරාව එළිමහනට රැගෙන ගියේ එතුමා. මෙච්චර ලස්සන රටක් තියෙද්දී චිත්‍රාගාරවල රූගත කිරීම් පසෙක දාලා එළිමහන් රූගත කිරීම් සිදු කළේ ඔහු. හුඟ දෙනෙක් හිතුවේ ඔහුට මෙය කරන්න බැරි වේවි කියලයි. ඒත් එතුමා ඒ කාර්යය කොතරම් ලස්සනට ඉටු කළාද. රඟපෑම වුණත් ඔහු වෙනස් මඟකට යෙමු කළා. අපි කැමරාව ඉදිරියේත් සාමාන්‍ය මිනිස්සු ලෙස හැසිරිය යුතුයි කියන දේ සිනමාවට එක් කළේ් එතුමා. ව්චබභපචත ඒජබඪධද සිංහල චිත්‍රපට කලාවට ඔහු ගෙන ආවා. ලෙස්ටර් මහත්මයා හරිම නිවුණු කරුණාවන්ත පුද්ගලයෙක්. ලෝකය පුරාම ඔහුගේ නම අදටත් බබළනවා. ඒත් ඔහු තුළ ඒ ගැන එදා කිසිම ආඩම්බරයක් තිබුණේ නැහැ. හරිම සාමාන්‍ය පොඩි දරුවෙක් වගේ තමයි එතුමා.
සැමදෙනා සමඟම ගැළපුණා
ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන්නේ මේ රටේ සිනමාව යථාරූපී කළ නැත්නම් අහසින් පොළොවට ගත් නිර්මාණකරුවෙක්. චිත්‍රපට ව්‍යාකරණය පිළිබඳ ඔහුට තිබුණු අවබෝධය ඉතා ඉහළයි. ඔහුගේ ඒ චිත්‍රපට භාෂාව ඉතා හොඳීන් තමන්ගේ නිර්මාණ සඳහා තිර රචනයේ සිට යොදාගත් පුද්ගලයෙක්. ඒ සියල්ල අතර ඔහු ඉතා විනෝදයෙන්, උපහාසය මුසු රසයෙන් යුතුව තමන්ගේ කටයුතුවල නිරත වුණා. තවත් විශේෂත්වයක් වන්නේ ඔහු අප සමඟ හැසිරුණේ තරුණයකු වගේ, බුද්ධිමතුන් සමඟ ඒ තලයට ගැළපෙන අයුරින් වගේම කාර්මික ශිල්පීන් සමඟ ඔවුන්ගේ කෙනෙකු වගේ ඇසුරු කිරීමයි. ඔහු කිසිදු ආඩම්බරයකින් තොර සාමාන්‍ය අයකුගේ මෙන් සිතුම් පැතුම්වලින් පිරි පුද්ගලයෙක්. මානුෂීය මෙන්ම සානුකම්පිත ලෙස ඕනෑම කරුණක් දෙස බලන ඔහු අධ්‍යක්ෂවරයකු නොවන සැම මොහොතකම ඔහු සිනමා රසවතෙකු වුණා. ඔහුට සමකාලීන ලෝක සිනමාකරුවන් රැසක් සිටියා. ඒ අතර අපේ, ශ්‍රී ලංකාව අන්තර්ජාතික වශයෙන් නියෝජනය කළ ප්‍රතිරූපය ඔහුයි.
සීමා පැණවුයේ නැහැ
ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් සිනමා අධ්‍යක්ෂවරයා ලෝක සිනමාව තුළ අද්විතීය ස්ථානයක් හිමි කරගත් එකම ශ්‍රී ලාංකිකයායි. ඒ පිළිබඳව එතුමාගේ නිර්මාණකාර්යයන්ට දායකත්වය ලබා දුන් නළුවෙක් වශයෙන් මෙන්ම ශ්‍රී ලාංකිකයෙක් වශයෙන් ද මට ඇත්තේ මහත් ආඩම්බරයකි. රේඛාව සමඟ ගෘහස්ථ සිනමාකරණය එළිමහන් හිරු එළිය කරා ගෙන යාමේ ප්‍රාතිහාර්යාත්මක ක්‍රියාවලියේ පුරෝගාමියා වූ එතුමා ගම්පෙරළිය චිත්‍රපටය සමඟ දේශීය හා කලාපීය වශයෙන් ද, නිධානය චිත්‍රපටය සමඟ විශ්ව සිනමාව ද අත්‍රික්‍රමණය කළා. නළු නිළියන් සතු හැකියාවන් සහ සීමාවන් හඳුනා ගැනීමේ තීක්ෂණ දැනුමක් ඇති මේ සොඳුරු ආඥාදායකයා වෙතින් දක්ෂ නළුවෙකුට රඟපෑමේදී සීමාවන් පැනවෙන්නේ නැත. ඒ මා පෞද්ගකලිව ලැබූ අත්දැකීමයි. එතුමාගේ නිර්මාණ කාර්යය ගැන කීමට මට ඇති හැකියාව කෙසේ වුවත් එතුමා මගේ රංගන කාර්යය ගැන කර ඇති ප්‍රකාශනයන් වෙනුවෙන් මා එතුමන්ට සදා ණය ගැතිය. සිනමාකරුවන්, අධ්‍යක්ෂවරුන් එනු යනු ඇත. එහෙත් අපගේ ජීවිත කාලය තුළ එතුමාගේ වියොවින් සිනමා කර්මාන්තය තුළ ඇති වූ හිඩැස වියැකී නොයනු ඇත.
අපේ අන්තර්ජාතික ලකුණ
රේඛාවට පෙර පරණ චිත්‍රපට බලද්දී ඒවායේ දෙබස් යෙදෙන ආකාරය, දෙබස් කියන ස්වභාවය ආදිය පිළිබඳ අපට අවබෝධයක් ලැබෙනවා. ඒවා කෙතරම් දකුණු ඉන්දියානු ආභාසය ලබා තිබෙනවා ද යන්න ඒ රංගනයන් දකිද්දි අපට පැහැදිලි වනවා. ඒ තත්ත්වයෙන් ශ්‍රී ලාංකීය සිනමාව මුදවාගෙන අපේම අනන්‍යතාවක් සහිත සිනමාවක් අපට ගෙන දුන් ශ්‍රේෂ්ඨ යුග පුරුෂයා ලෙසයි මම ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් කියන චරිතය දකින්නේ. අප සහභාගී වූ ඕනෑම විදේශීය චිත්‍රපට උලෙළක් ගෙන බැලුවොත්, ඒ රටවලදී සිනමාකරුවන් අපෙන් අහන්නේ ශ්‍රී ලංකාව ගැන හෝ අපේ සිනමාව ගැන නෙවෙයි. ලෙස්ටර් 'මහත්තයා කොහොමද?' කියලයි. එයින් පැහැදිලි වන දේ තමයි සිංහල සිනමාවේ අන්තර්ජාතික සලකුණ ඔහු බව. කලියුගයේ ්මම සනත්ගේ පෙම්වතිය ලෙස දර්ශන දෙකකට පෙනී සිටියා. ඒ හැරෙන්න ලෙස්ටර් මහත්මයා යටතේ මට රඟපාන්න වරම් ලැබුණේ නෑ. මම ඒ ගැන අදටත් කනගාටු වෙනවා. මොකද අන්තර්ජාතික වශයෙන් පිළිගැනීමක් සහිත මහා ශ්‍රේෂ්ඨයකු වුවත් ඔහු අධ්‍යක්ෂණ කටයුතු කරන නිහතමානී ස්වරූපය බලා ඉන්න පුදුම නිසා.
ආදේශකයක් නැහැ
කලාව යනු මානව අධ්‍යාත්මය සුවපත් කිරීමෙහිලා ලොව පවතින ක්‍රියාවලියකි. එය මනුෂ්‍යයන් වන අපගේ ජීවිතවල දුක්ඛ දෝමනස්සයන් මෙන්ම සතුට සැනසුම වැනි සියලු සංවේදනයන් ස්පර්ශ කරයි. ඒ සියලු අත්විඳීම් එක් මිටකට කැටිකොට, එය තමාගේ පරිකල්පනයට නතු කර අපූර්වත්වයෙන් යුතුව නිර්මාණයක් එළි දැක්වීම යනු මහත් භාරධූරවූත් දුෂ්කරවූත් ක්‍රියාවලියකි. සිනමා කෘතියකින් සිදු වන්නේ ඒ දුෂ්කර ක්‍රියාවලිය ඔස්සේ මේ සංවේදනයන් පිළිබඳ ගැඹුරින් ප්‍රේක්ෂකයාට දැනවීමයි. එය ආනන්දයෙන් ප්‍රඥාව කරා රසිකයන් කැඳවාගෙන යෑමට සමත් සුවිශේෂී කලා මාධ්‍යයකි. ඒ මාධ්‍ය භාවිත කරන අධ්‍යක්ෂවරුන් ඕනෑතරම් සිටියද මිනිසාට, ජීවිතයට, රසඥතාව දැනවෙන පරිදි පරිණත දැක්මක් ඔස්සේ මේ විෂයය මෙහෙයවන අය විරලය. එවන් විරල නිර්මාණකරුවන් පමණි ලොව පිදුම් ලබන්නේ. ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් ලෝක සිනමාකරුවකු ලෙස පිදුම් ලැබූවේ ඒ විරල ගණයේ අධ්‍යක්ෂවරයකු ලෙස ආසියාවේ සලකුණ බවට පත් වූ බැවිනි. ඊට තවත් ආදේශකයක් අපට සොයා ගත නොහැකිය.
හරියට සිංහල කතා කළා
ලෙස්ටර් ජේම්ස් පීරිස් මහත්මා මට මුලින්ම හමුවුණේ ඉන්දියාවට 'රේඛාව' චිත්‍රපටයේ ගීත පටිගත කරන්නට ගිය අවස්ථාවේදීය. එතුමා ඉතාම නිහතමානී, හැම මොහොතේම විහිළුවෙන් තහළුවෙන් සිටින කලාකරුවෙක්. අපි විවේකයෙන් පසුවන අවස්ථාවලදී එතුමා මා සමඟ කතාබහ කළා. මට නිතරම පාසල් අධ්‍යාපන කටයුතු වෙනුවෙන් අවවාද ලබා දුන්නා. අපේ ගීත පටිගත කිරීම සිදු කළේ ඉන්දියාවේ වාහිනී චිත්‍රාගාරයේ. එය සිදු කරන්නට පෙර අපි කට්ටියම වාහිනී චිත්‍රාගාරය නරඹන්නට එක්කගෙන ගියා. ඒ කාලයේ මේ චිත්‍රාගාරය තුළ දිනකට චිත්‍රපට දහතුනක් පමණ රූගත කිරීම් සිදු වුණා. එහි ඇතුළත මල්වතු, දියඇළි සකසා තිබුණා. රේඛාවේ ගීත පටිගත කරන විට ඒ ගායනා ලෙස්ටර් මහත්තයා ඉංජිනේරු කාමරයට වී අහගෙන හිටියා. පසුව මගේ ළඟට ඇවිත් ඔළුව අතගාලා 'ඔයාට නමක් ලැබෙන්නේ මේකෙන් තමයි කිව්වා. ඔයාට අනාගතයක් තිබෙනවා' කිව්වා. අවුරුදු ගණනාවක් එංගලන්තේ ජීවත් වුණත් සිංහල වචනයක්වත් වැරැදෙන්න කතා කළේ නැහැ. සිංහලෙන්ම ලස්සනට වචන යොදලා එතුමා කතා කරන හැටි අහන්න ආසයි. මට මගේ ජීවිතේ මම බාල කාලයේදීම හොඳ ප්‍රවීණයන් කිහිප දෙනකු යටතේම වැඩ කරන්නට ලැබී තිබෙනවා. ඒ අය අතරින් ප්‍රධානියා ලෙස්ටර් මහත්මයායි.
|