වර්ෂ 2018 ක්වූ  ජූනි 07 වැනිදා බ්‍රහස්පතින්දා




දූ දරුවන් තනිකර සෝමවීර යන්නට ගියේය

දූ දරුවන් තනිකර සෝමවීර යන්නට ගියේය

සෝමවීර සේනානායක නම් අප්‍රමාණ කලාකරුවා සරසවීය කර්තෘ මණ්ඩලයේ නියෝජ්‍ය කතුවරයකු ලෙස වසර 20ක් පමණ සේවය කර ඇත. ඔහු සමඟ මගේ පත්‍ර කලා ජීවිතය අඩසියවසරයක් ගත කොට ඇත. ඔහු මගේ මාධ්‍ය ගුරුවරයා විය. උපදේශකවරයා විය. මා ඔහු ගැන ලියන සටහනකි.

රුසියානු මහා ලේඛක ලියෝ ටෝල්ස්ටෝයි මා හඳුනා ගත්තේ සේමවීර සේනානායක නම් ලේඛකයා ගෙනි. ඒ මීට වසර 40කට එපිටය. ‘සරසවිය’ පුවත්පතේ හෘදයාංග ම පාඨකයකු වූ මට එම පුවත්පත සැබෑ සරසවියක් විය. සිනමාවට ඇල්මකින් සිටි අපට ‘සරසවිය’ පුවත්පතින් කලාව, සිංහල සාහිත්‍යය, විශ්ව සිනමාව, ඉතිහාසය, පුරා විද්‍යාව, විශ්ව සාහිත්‍යය ගැනත් ඉගෙනීමට හැකි විය. දිනක් “සරසවිය” පුවත්පතේ ලියෝ ටොල්ස්ටෝයි නම් මහා රුසියානු ලේඛකයා ගැන අපුරු ලිපියක් පළ වී තිබුණි. මේ ලේඛකයා ගැන පාසල් සාහිත්‍ය ගුරුවරයාගෙන් අසා තිබුණත් ටොල්ස්ටෝයි පිළිබඳ නිර්මාණ සාහිත්‍යය හා පෞද්ගලික තොරතුරු දැන නොසිටි මට මේ ලිපිය දැකීමෙන් කුහුලක් ඇති විය. ලියෝ ටොල්ස්ටෝයිගේ ඒ ලිපිය කෙතරම් රසවත් දැයි කිවහොත් ඒ ලිපිය ලියූ සෝමවීර සේනානායකගේ නම ද මට මිහිරක් විය. ලිපිය දෙතුන් වරක් කියවූ මම එය පත්තරයෙන් කපා කළුපාට ඩ්‍රෝවින් පොතක අලවා ගතිමි.

සෝමවීර සේනානායක නම් පුවත්පත් කලාවේදීයා මා හඳුනාගත්තේ එසේ ය. නමුත් ඔහු රූපකායෙන් දැක නැත. පුවත්පත්වල පළවන විශේෂ ලිපි පත්‍රවලින් කපා ගෙන එකතු කරන සිරිතක් මට තිබුණි. ලෝකයේ මෙන් ම ලංකාවේ ද සුවිශේෂ දේශපාලන චරිත, සාහිත්‍ය චරිත, ලෝක නායකයන් මේ අතර විය. මෙසේ පුවත්පත් වලින් කපා පොතක අලවා ගත් දේ පාසල් මිතුරන් හා කියවීම එකල පුරුද්දක් විය. මේ අතර සෝමවීර නවයුගය සඟරාවට ලියූ ලිපිවලට විශේෂ තැනක් ලැබුණි. ආනන්දයේ අප සමඟ සිටී, අද ප්‍රවීණ ගීත රචක කුලරත්න ආරියවංශ මා මෙන් ම සෝමවීර ලියූ ලිපි කියවීමට ඒ කාලයේ සිට ම ඇලුම් කළේය. එකල ආනන්දයේ අප දෙදෙනාත් තවත් මිතුරන් තිදෙනෙකුත් එක් ව සංස්කරණය කළ “සෙවණ” පුවත්පත ද රැගෙන සෝමවීර සේනානායක නම් අප සිත් ගත් ලේඛකයා දැකීමේ අදහසින්, ආසාවෙන් දිනක් අපි ලේක්හවුසියට ගියේමු.

“අප ආනන්දයේ සිසුන්” යයි කී පමණින් සෝමවීර සේනානායක මහතා අපට සරසවිය කර්තෘ මණ්ඩලයට එන්නැයි කීවේය. අපගේ කුලුදුල් පුවත්පත ද රැගෙන අපි නාම මාත්‍රයෙන් දන්නා, රූපකායෙන් නුදුටු ඔහු සොයා ඇදුනෙමු. උපැස් යුවළකින් සැරසී සිටි ඔහු අප සාදරයෙන් පිළිගත්තේය. අප දැක ගැනීමට අසාවෙන් සිටි නමින් පමණක් දැන සිටි රාජා ටී. බස්නායක, පර්සි ජයමාන්න හා සරසවිය ප්‍රධාන කර්තෘ විමලසිරි පෙරේරා ද සෝමවීරගෙන් හඳුනා ගැනීමට හැකි විය. මේ හමුවීම මගේ ජීවිතයට අත්‍යන්තයෙන් බැඳෙතැයි එදා මම නොසිතුවෙමි. සෝමවීර නම් මගේ පි‍්‍රයතම ලේඛකයා පසුව මගේ සමීපතම මිත්‍රයෙකි.හිතවෙතකි. දුක සැප දෙකෙහි ම මා අසල සිටින සොහොයුරෙකි.

1969 පූර්ණ කාලීන ව “සරසවිය” පුවත්පතට සම්බන්ධ වීමට මට ඉඩ හසර ලැබීමත් සමඟ ම සෝමවීර හා සමීවීමටත්, ළෙන්ගතු ඇසුරකින් කටයුතු කිරීමටත් තෝතැන්නක් විය. ‘සරසවියේ’ මගේ ගුරුවරුන් වූයේ ලක්ෂමන් වික්‍රමසිංහ, නිමල් පෙරේරා අභයවර්ධන හා සෝමවීර ය. මා ලියූ විශේෂාංග කපා කොටා සකස් කොට සිත් ඇදගන්නා හෙඩිමක් (ශිර්ෂ පාඨයක්) දමා එය හැඩ ගන්වන සැටි මම ධ්‍යානයට සම වැදුණු යෝගියකු ලෙස බලා සිටියෙමි. මා ලියූ විශේෂාංගයේ කපා බැහැර කරන දේත්, වඩාත් මතු කොට පෙන්වන දේත් ගැන මට කියා දෙන ඔහු ඉතා කුඩා ප්‍රවෘත්තියක පවා සැඟ වී තිබෙන දේ තුළින් විශේෂාංග ලියන අයුරු ද කියා දුන්නේය. සාහිත්‍ය කලාව වෙතට මා යොමු කළ ගුරුවරයා ද ඔහු ය.

“රන්ජිත් සිනමාව ලියනවා වගේ ම සාහිත්‍ය පැත්තටත් යොමු වෙන්න. ඔයා වැඩිය ආශ්‍රය කරන්නේ ඒ වගේ බුද්ධිමත් අය. ඒ අවස්ථාව ලැබෙන්නේ නැහැ වෙන අයට,” ඔහු වරක් කීවේය.

තමා ලියන නිර්මාණාත්මක රචනා ඔහු මට මුලින්ම කියවීමට දෙන්නේ මගේ අදහස් දැන ගන්නා අදහසිනි. ඔහු ලියූ නවකතා, කෙටි කතා කියවන මම අපමණ රසයක්, ආස්වාදයක් ලැබුවෙමි. මා අදත් සිතන හැටියට අපට සිටින හොඳ ම කෙටි කතා කාරයා ඔහු කියා ය. ඒතරම් ම ඒවා උසස් ය. නවකතා නිර්මාණයේ ද ඔහු සූරයෙකි. “මවකගේ ගීතය” හා “යශෝරාවය” මුලින් ම කියවූ දා “සෝමේ මේ නවකතා දෙකට සාහිත්‍ය සම්මාන ලැබෙනවා සිකුරුයි” කියවූ දා ඔහු නිහතමානී ව සිනාසුණ සැටි මට තවමත් මතකය.

“රන්ජිත් ඉතින් මගේ පළමුවෙනි පාඨකයා නොවැ” කියමින් ඔහු සතුට මා හා බෙදාගත්තේය.

අප දෙදෙනා දහවල් කෑම කෑවේ එකට ය. කාර්යාලයේ වැඩ අවසන් ව බස් නැවතුම් පොළ දක්වා අපි එකට ගියෙමු. ඒ හැම අවස්ථාවක ම අපගේ මාතෘකාව සාහිත්‍යය යි. ඔහු තම සිත පිළිසිඳ ගත් වස්තු බීජයක් මට කියයි. එය ඇතැම් විට අප දෙදෙනාගේ ම අදහස් අනුව විකාශනය කරයි.

ඔහු ලියු දෙවන නවකතාව වූ “අඹු සැමියෝ” පොත 1970 ලියා එහි අත්පිටපත මට පෙන්නුවේය. මම නව කතාව එක හුස්මට කියවා ගෙන ගියෙමි.

“මොකද පොත ගැන හිතෙන්නේ...” පසුදා ඔහු මගෙන් ඇසීය.

“හරිම රසවත්, ඊයේ මහ රෑ ගතවෙලා බව දන්නේ පොත කියවලා ඉවර වුණා ම. මට නං හිතෙන්නේ චිත්‍රපට කතාවකටත් හොඳයි.”

“රන්ජිත් එහෙනං පිටකවරයට චිත්‍රයක් ඇඳලා දෙන්න.”

“මිස්ටර් නිමල්” නමින් අපි ආදරයෙන් කතා කරන ඔහු අපට ගුරුහරුකම් දෙන, ඉතා සුළු දෙයක් වුව ද ඕනෑ කමින් වැඩි වේලාවක් ගෙන කියා දෙන මානව දයාවෙන් පිරිපුන් මිනිසෙකි.

ඔහු සෝමවීර ගෙන ආ කවරය දෙස විනාඩි කිහිපයක් බලා සිට මට කතා කළේය.

“හොඳ ආර්ට්ස්ට් කෙනෙක් ... හොඳයි හොඳයි කලර්ස්කීම් එක හොඳට ගැළපෙනවා. සරසවියට ලියනවා වගේ ම අඳින්න.

එතැන් සිට මිස්ටර නිමල්. සෝමවීර ලවා ම සරසවිය පත්‍රයේ චිත්‍ර හා ශීර්ෂ පාඨ ඇඳීමට අවස්ථාව ලබා දුන්නේ ය. මම හැකිතාක් නිර්මාණත්මක ව සෝමවීර බාර දෙන චිත්‍ර නිම කොට දෙන්නේ ය. මේ සැමට ම මිස්ටර් නිමල් හා සෝමවීර සතුට පළ කොට අගය කිරීම මට ලොකු ධෛර්යයක්, ශක්තියක් විය.

දිනක් සෝමවීර හා මිස්ටර් නිමල් කිසියම් සාකච්ඡාවක නියැළී සිට, මා ඇමතුවේය. මා ලියමින් සිටි ලිපියේ කඩදාසිවලට බරක් තබා ඔවුන් අසලට ගියෙමි.

“මේ සෝමවීර කියනව, රන්ජිත් ලව්වා හොඳ කවරයක් සරසවියේ මුල් පිටුවට ඇඳ ගමු කියලා එයා අදහස දෙයි.”

මම අන්ද මන්ද වීමි. ඒ වන විට (1972) සරසවිය පුවත්පත පිටපත් එක් ලක්ෂ පහළොස් දාහක (1,15,000) වාර්තා ගත අලෙවියක් තිබු පත්‍රයකි. මේ පත්‍රයේ හරියට පොසොන් දිනට නිකුත් වන පත්‍රයට මට චිත්‍රයක් ඇඳීමට ආරාධනා කොට තිබේ. එදා සරසවිය හා නවයුගය මුල් පිටුව සැරසීමට ප්‍රතිහාපුර්ණ චිත්‍ර ශිල්පීන් කිහිප දෙනකු සිටියහ. ජී.එල්. ගෞතමදාස, තලංගම ජයසිංහ, සිබිල් වෙත්තසිංහ, බන්ධුල හරිස්චන්ද්‍ර, එස්. ආර්. හේමපාල මේ අය අතර ප්‍රධාන ය.

සෝමවීර මා අසලට ආවේය.

“ඔන්න හොඳ චාන්ස් එකක්. ලබන සරසවිය පිට වෙන්නේ හරියට පොසොන් පෝයට. මම අදහස දෙන්නම් රන්ජිත් චිත්‍රය අඳින්න.”

මා අඳින ලද චිත්‍රයට මුල් පිටුවේ ම වර්ණාවක් ලියා මගේ නම ද පළ කිරීමෙන් සෝමවීර මගේ නිර්මාණ ජීවිතයට අඩිතාලම දැමුවේය.

මේ කාලයේ මට දිවයිනේ සියලු ම ප්‍රවීණ ලේඛකවන්ගේ පොත් පිටකවර නිර්මාණය කිරීමේ අවස්ථාව උදා විය. ඒ අතර මාර්ටින් වික්‍රමසිංහ,එදිරිවීර සරච්චන්ද්‍ර, කේ.ජයතිලක, ගුණදාස අමරසේකර, මඩවල එස්. රත්නායක ද වූහ. මේ නිසා ලේඛකයන් සමීපව ඇසුරු කිරීමේ අවස්ථාව ලැබුණි. සෝමවීර, සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මහතාට කියා සාහිත්‍ය සාකච්ඡා මා ලවා කරවා ගැනීමට අවස්ථාව ලබා දුන්නේය. සිනමාවට කොටු වී සිටි මා ශාස්ත්‍රීය අංශයට යොමු කිරීමේ අවස්ථාව ලබා දුන්නේ ද සෝමවීර ය. එහි අග්‍රඵලය වුයේ අජිත් තිලකසේන සමඟ කළ විද්‍යාත්මක සම්මුඛ සාකච්ඡාව ය. “සමාජවාදී යථාර්ථය නිර්මාශීලී ලේඛනයට වධයක් වූ එකල “මේ ලිපිය පළ කළේ සෝමවීරගේ උවමනාවට ය. මේ ලිපිය දෙබරයකට ගල් ගැසීමක් විය. බෙනඩික්ටි දොඩම්පෙගම, එඩ්වින් ආරියදාස, දයාසේන ගුණසිංහ හා සෝමවීර පමණක් මේ විශේෂාංගය අගය කළ අතර ලේක්හවුසියට පිටතින් පැමිණි කලාවේදී දේශපාලන පොලිස්කාරයන් මට එරෙහි ව යුද්ධ ප්‍රකාශ කළේ මා යූ.ඇන්.පී කාරයකුයි හංවඩු ගසමිනි. “ ලේක්හවුසියෙන් මා ඉවත් කිරීමට තරම් ඔවුහු ප්‍රකෝපකාරි වූහ. ඒ අවස්ථාවේ මගේ පිහිටට පැමිණි සෝමවීර මා වෙනුවෙන් සටන් කොට කර්තෘ ලවා මා බේරා ගත්තේය.

සෝමවීර කවදත් ලේක්හවුසියේ මිතුරන් ඇසුරු කළේ පරෙස්සමිනි. සමීපව ඇසුරු කළේ අතේ ඇඟිල් ගණනට අඩු පිරිසකි. ඒ අතර මට විශේෂ තැනක් හිමි විය. කවදත් කලබලයක් නැති, අනවශ්‍යදේට පැටලැවෙන්නේ නැති, අසුබවාදය පිටු දකින, සුබ දේ පමණක් කතා කරන, අනුන්ගෙ දේ නොසොයන, උපේක්ෂාවෙන් ඒවා දැක, හැකි නම් නිර්මාණ වලට අමුද්‍රව්‍ය ලෙස ප්‍රතිනිර්මාණය සඳහා ගබඩා කර තබාගන්නා නිශ්ශබ්ද චරිතයෙකි. එවවැනි චරිතයක් එඩිතර ව මා වෙනුවෙන් සටන් කිරීම මට ද අදහාගත නොහැකි සිද්ධියකි.

හිතාදර මිත්‍ර සෝමවීර ම කියන පරිදි ස්වභාවයෙන්ම “ කුකුල් කේන්තිකාරයකු” වන මා වරක් කතුවරයකු හා බහින් බස් වී, වැඩ කිරීම නවතා, කාර්යාලයෙන් පිට වී යන විට සෝමවීර මා ලුහුබඳිමින් ගාමිනී සිනමාහල තෙක්ම පැමිණියේ සරසවිය කර්තෘ මණ්ඩලයට අලුතින් පැමිණි සුගත් වටගෙදර ද කැටුවය. ( සුගත් පසුව ශ්‍රී ලංකා රූපවහිනි සංස්ථාවේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල්වරයකු විය.) මා අස්වසා අතින් අල්ලාගෙන නැවත කාර්යාලයට ගිය අයුරු මට මතක් කළ හැකිය. එදා මෙන්ම සෝමවීර හා සුගත් මගේ සහොයුරන් මෙන් අභාග්‍ය සම්පන්න අවස්ථාවල ද ළඟ සිටියෝය.

“ නවයුගය” පුවත්පතක් ලෙස නව මුහුණුවරකින් ඇරඹීමට සරසවිය කර්තෘ විමලසිරි පෙරේරා මහතාට භාර විය. එහෙත් නවයුගයේ නිල නොලත් සංස්කාරකවරයා වූයේ සෝමවීර ය. ඔහුට සහායට සිටියේ මා පමණි. නිමල් පෙරේරා අභයවර්ධන මහතාගේ උපදෙස් පරිදි ඔහු නවයුගයට ස්වර්ණමය යුගයක් උදා කළේය. නවයුගය උගතුන් අතර රසවාහිනියක් විය. වියතුන් සබා මැද සිට නවයුගය වටා බුද්ධිමත් පාඨකයන්, සිසුන් ඒකරාශි කර ගැනීමේ පසුබිමේ සිටියේ සෝමවීර ය. ඔහුගේ සහායකයකු ලෙස අපි උදේ 9 සිට සවස 7 වනතුරු කන්තෝරුවේ ගත කළෙමු. නවක කෙටි කතාකරුවන් වූ ඇරැව්වල නන්දිමිත්‍ර, සුමිත්‍ර රාහුබද්ධ, ලක්ෂ්මි බෝම්ඹුවල, ස්වර්ණ ශ්‍රී බණ්ඩාර ඇතුළු පිරිසක් නවයුගයෙන් උසස් තලයකට ගෙන ඒමට ඔහු පුරෝගාමී විය. “ නව මඟක කතාවක්” නම් මේ කෙටිකතා පිටුවට අපි දෙදෙනා කෙටිකතා තෝරා හොඳම කෙටිකතාවට රුපියල් 100 ක චෙක්පතක් වෙන් කළෙමු. මේ කෙටිකතා සැමටම චිත්‍ර ඇඳීමට සෝමවීර මට භාර කළේය.

“ සරසවිය” හා “ නවයුගය” පුවත්පත්වල ප්‍රධාන කර්තෘ ලෙස කටයුතු කළ විමලසිරි පෙරේරා මහතා “ සිළුමිණ” පත්‍රයේ ප්‍රධාන කර්තෘවීම නිසා සෝමවීර කාර්ය බහුල විය. “සිළුමිණ” පත්‍රයේ කර්තෘ වාක්‍ය ලිවීමට ද ඔහුට පැවරිණි. මේ දහසක් රාජකාරි කටයුතු අතර ඔහු සාහිත්‍ය නිර්මාණ ද කළේය. ඔහු ලියූ “ මවකගේ ගීතය” 1972 හොඳම නවකතාව ලෙස ද “ යශෝරාවය” 1977 හොඳම නවකතාව ලෙස ද, “ මැණික් නදිය ගලා බසී” 1983 හොඳම නවකතාව ලෙසද රාජ්‍ය සාහිත්‍ය සම්මාන හිමි කර ගත්තේ ය. මේ නවකතා තුනේ ම පිටකවර නිර්මාණය කිරීමෙන් ඔහුගේ උසස් සාහිත්‍ය කෘතිවලට දායකවීමට ලැබීමත් මගේ ජීවිතයේ භාග්‍යයක් කොට මම සලකමි.

. මහගම සේකර මහතාත්, සෝමවීරත්, මාත් අතර තිබුණේ අපූරු මිතුරු කමකි. මේ මිතුරුකම දැන සිටි ආනන්දයේ සිසුවෙක් අප සොයා පැමිණ සේකර මහතාත් සෝමවීරත් කෙසේ හෝ ආනන්දයේ සාහිත්‍ය උත්සවයකට සහභාගි කරවා දෙනමෙන් මගෙන් ඉල්ලා සිටියේය. මම ඔහුගේ ඉල්ලීම ඉටු කළෙමි. ආනන්දයේ සාහිත්‍ය සංගමයේ ලේකම්වරයා වූ ඔහු ශ්‍රී ලන්කන් එයා ලයින් හි ඩුබායි කළමනාකාරවරයාව සිටි සහ පන්සිළු කලා කේන්ද්‍රයේ ද ලේකම්වරයා ය. නමින් ඔහු ලාලිත්‍ර පල්ලේගම්ගොඩ ය.

මහගම සේකරත්, ඔහු සමඟ පැමිණි එච්.එම්.මොරටුවගමත්, සෝමවීරත් සමඟ මම ආනන්දයට ගියෙමි. ලෙඩ්ස් බීටර් ගොඩනැගිල්ල ඉහළම තට්ටුවට සේකර නැංගේ හති අරිමිනි.

“ මේකේ නැඟලා එනකොට මැරෙයි ද දන්නේ නෑ සෝමේ” සේකර සිනාසෙමින් හති අරිමින් පඩි නැංගේය.

ලාලිත්‍ය ඇතුළු ආනන්ද සිසුන්ගේ ආදරය මැද සේකර හා සෝමවීර කතා පැවැත්වූහ. විදුහල්පති රාජපක්ෂ මහතා එදා කථිකයන්ට මුව පුරා ස්තූති කොට තම කාමරයට කැඳවා සංග්‍රහ කළේය.

විදුහල්පතිතුමාගෙන් සමුගෙන පාර ආ අපි සතරදෙනා නොයෙකුත් දේ දොඩමින් මරදාන දුම්රිය පොළ දක්වා ගමන් ගතිමු.

ටිකක් දුර ගිය මහගම සේකර සෝමවීර දෙස බලා මෙසේ කීවේය.

“ කෝච්චියට නං තව වෙලා තියෙනවා නේද මොරටු? ටිකක් ඇඟ රත් කරගන්න කැමැති නැද්ද?”

මොරටුවගමත්, සෝමවීරත් මාත් සිනාසුණෙමු.

“ රන්ජිත් මරියකඩේ පැත්ත ගැන දන්නවනේ. නැද්ද තැනක්” සෝමවීර ඇසීය.

“ තියෙනවා. ඉස්තරම් ඉඩ පහසුකම් නම්” මම කීවෙමි.

“ මොන ඉස්තරං ද හිටගෙන දෙකක් දාගන්න තැනක් තිබුණොත් ඇති.” සේකර නිහතමානි ව කීවේය.

මරදානේ රවුෆ් ගොඩනැගිල්ල අතරින් ඇති පටු පාර දිගේ මම ගමන් කරමි. සේකර, සෝමවීර, මොරටු මා පසුපස ගාටති.

සෙනඟ බහුලව සිටියත් අපට ආසන හතරක් සොයා දීමට බාර් හිමියා කාරුණික විය.

සේකර යමක් ඇණවුම් කළේය.

අපි සාහිත්‍යය ගැන දොඩමින් සිටියෙමු. අපේ කතාව අබිබවා ඇතැම්විට සෙස්සන්ගේ කාලගෝට්ට්ය මතු විය.

“ අන්න බලන්න රසිකත්වය, කලා රසය තියෙන හැටි, මේ බාර්වලත් ඒවා තියෙනවා. සෝමේ හිමින් බලන්න අර ඈත ඉන්න හාදයා. කහ පාට කමිසය ඇඳලා ඉන්නෙ. මිනිහා පුංචි අඩියක් ගහන ගමන් කියවන පොත මොකක්ද කියලා.”

අපි ඒ පැත්තට දැස් යොමු කළෙමු. රසිකයෙක් මහගම සේකර ලියූ “ සක්වාලිහිණි” පොත කියවයි.

“ අම්මපා මේක පොතක ලිව්වොත් කවුරුත් විශ්වාස කරන එකකුත් නැහැ. අභව්‍ය දෙයක්, ඕක ඔය වෙලාවට සිද්ධ වෙයි ද? කියලා කියාවි.” මොරටු කීවේය.

“ අපි මිනිහට අපි ගානේ ඩ්‍රින්ක් එකක් දෙමු.යී සේකර යෝජනා කළේය.

“ ඔය වැඩේට හොඳ රන්ජිත්. අපි දැන් පිටත් වෙන්න වේලාව. අපි නැගිට්ට ම ඔයා මේක දෙන්න.” සේකර කීවේ බෝතලයේ ඉතිරිව තිබූ මීවිත පෙන්වමිනි.

සේකර, සෝමවීර, මොරටු නැගී සිටින විට මම රසිකයා සොයා ගියෙමි.

“ මොනව මහගම සේකර මහත්මයා මෙතැන්ට ආවා. කෝ.... කෝ....” ඔහු කලබලයෙන් ඇසීය.

“ අර යන්නේ උස මහත මහත්තයා සිගරට් එකක් බොන්නෙ. අර කණ්ණාඩි දාපු මහත්තයා දන්නවද? සෝමවීර සේනානායක මහත්තයා...”

“ ෂා. මට යාළුවෙක් එන නිසා යාගන්න විදිහක් නැහැ නේ. සේකර මහත්තයාගේ කවි පොත් “ බෝඩිම” හේම මම ආසාවෙන් කියෙව්වෙ. මම ඉස්පිරිතාලේ වැඩ කරන්නෙ. මගෙ යාළුව පබ්ලික් ලයිබ්‍රරි එකට ගියා පොත් දෙකක් ගේන්න.”ඔහු ලත වුණේය.

සේකර මහත්තයයි, සෝමවීර මහත්තයයි මතක් කරලා මේ ටික බොන්න. ඒ ගොල්ලෝ සතුටින් ආදරෙන් දුන්න දේ. මම කියමින් ඔහුගෙන් සමුගන්නෙමි.

අඩියට දෙකට දුවමින් මා පිරිසට එකතු වෙද්දී සේකර ඇතුළු පිරිස සිටියේ මරදානේ දුම්රියපොළ අසලය.

“ රසිකතුමා සතුටු ඇති. අපිට වෙලාව හරි...” සේකර හා මොරටු සෝමවීරගෙන් හා මගෙන් සමුගෙන දුම්රිය ඇල්ලීමට ගියෝය.

මහගම සේකර අවසන් වරට අපට හමු වූයේ එදින ය.

සෝමවීර සේනානායක මිත්‍රයා ගැන ලියන මේ මොහොතේ මගේ සිතට නොයෙක් දේ එයි. ඒවා පොතක් ලියන තරමට ම දිග වැඩිය. සෝමවීරගේ ජීවිතය යනු “ මගේ ජීවිතයෙන් භාගයයි” කියන තරමට ම අපට අතීතයක්, අත්දැකිම් සම්භාරයක් තිබුණි. මේ ලිපියේ වුවද සෝමවීර අබිභවා මගේ චරිත ලක්ෂණ මතු වුනණාදෝයි මට සිතුණ වාර අනන්තය. එහෙත් අප දෙදෙනාට ම පොදු දේ ඒ තුළින් ලිවීම ට මම හිත හදා ගතිමි. ඔහුගේ අපි තවමත් සංසාරේ කෘතිය දොරට වැඩිය උත්සවයේ දී කතාවක් කළ මහාචාර්ය සුනිල් ආරියරත්න කීවේ “ මේ කෘතියෙන් භාගයක් ඇත්තේ රන්ජිත් ගැන” කියාය. මේ නිසා කියවන ඔබ මට සමාව දෙනු ඇතැයි උදක්ම මම සිතමි.

සරසවිය, නවයුගය හා සිළුමිණ කර්තෘ මණ්ඩල එවකට තිබුණේ එකටය. සෝමවීරගේ මේසයට මුහුණලා ඉදිරියෙන්ම තිබුණේ මගේ මේසයයි. එහෙත් මා දවසින් වැඩි හරියක් හිටියේ, ගත කළේ ඔහුගේ මේසයේ ඉදිරිපිට ඇති පුටුවේය. ඇතැම්විට මා ලියන්නේ ද ඔහුගේ මේසයේ ඔහු ඉදිරියේ සිටය අමුත්තකු පැමිණි විට පුටුව පරිත්‍යාග කොට මම මගේ මේසයට යමි. එදා අපි කර්තෘ මණ්ඩලයේ සීමිත සංඛ්‍යාවක් සිමිත ඉඩ ප්‍රමාණයක එකට ගුලි වී සිටියෙමු. බෙනඩික්ට් දොඩම්පෙගම, ලක්ෂ්මන් ජයවර්ධන, ලක්ෂ්මන් වික්‍රමසිංහ, පර්සි ජයමාන්න, පී.බී ඉලංගසිංහ, විමලනාත් දිසානායක, දෙල්තොට චන්ද්‍රපාල, රවින්ද්‍ර විජේවර්ධන, බන්ධුල මෙත්තානන්ද, සිබ්ල් වෙත්තසිංහ, එස්.ආර්. හේමපාල, බන්දුල හරිස්චන්ද්‍ර, රාජා ටී බස්නායක, සෝමවීර හා මම ද මේ අතර වීමු. අර්නස්ට් වඩුගේ, කුමාරදාස වාගිස්ට, බන්දු එස්. කොඩිකාර, රෙජී බුලත්සිංහල ද ඉඩ ඇති පරිද්දෙන් වාඩි ගත්හ. සිරිකහවල, විමල් තිලකරත්න, රන්ජිත් වීරසිංහ, ප්‍රභාත් කුමාර, චන්ද්‍රසිරි සෙනෙවිරත්න, පියසේන වික්‍රමගේ, සිරි කුලරත්න, දයාරත්න ලියනගේ, සෝමාදේවි පරණයාපා විටින් විට පැමිණ සෝමවීරගේ මේසය අසල පුටුව අක්‍රමණය කරති.

මේ අතරින් සාහිත්‍යයට ලැදි පිරිස සෝමවීරගේ සහෘදයෝ වූහ. අලුතින් කර්තෘ මණ්ඩලයට එක් වූ සුගත් වටගෙදර හා ගාමිණී සුමනසේකර ( දිවයින ඉරිදා සංග්‍රහයේ හිටපු කර්තෘ) මේ පිරිස අතර වූහ. ලේක්හවුස් පාලන අධිකාරියේ වෙනස්වීම් සමඟ එඩ්මන්ඩ් රණසිංහ, ඇස්, සුබසිංහ, දයාසේන ගුණසිංහ, ධර්මදාස බොතේජු, ග්‍රැන්විල් සිල්වා, මුදිත කාරියකරවන සමඟ කටයුතු කිරීමට අප දෙදෙනාට අවස්ථාව ලැබුණි. පසුකලෙක සුසිල් ගුණරත්න හා අනුර රාජගුරු බණ්ඩාර ද සෝමවීරගේ ගෝලයන් සේ කර්තෘ මණ්ඩලයට එකතු වුහ.

සෝමවීර සේනානායක නම් මේ අසාමාන්‍ය පත්‍ර කලාවේදියා නව පරපුරට අත හිත දුන් අවස්ථා ගනණක් මට සිහිකර ගත හැකිය. අනුරාධපුර “ නිර්මාණසේනා” කලා සංවිධානයෙන් කල එළි දුටු තරුණ පිරිසක් සෝමවීරට ආදරය කළෝය. සුසිල් ගුණරත්න, විමලරත්න අධිකාරි, ගුණරත්න රංහොටි, ආර්.එම්. සෙනෙවිරත්න ඇතුළු පිරිස සෝමවීර මඟින් මට හඳුනා ගන්නට ලැබිණ. මේ පිරිසට උපදෙස් දුන් අනුශාසකයා සෝමවීර ය. මම ඔහු සමඟ අනුරාධපුර ඈත ගම්මානවල සැරිසැරූවෙමි. ට්‍රැක්ටර්වල ගමන් කරමින්, කුඹුරුවල අට්ටාල උඩ නිදා ගනිමින් ද , ඇළ දොළවල නාමින් ද මා සහාය වූ එවැනි සුන්දරතම අවස්ථාවල තම ගුරුවරයාට භක්තියෙන් ඔවුන් කරන සත්කාර නොඅඩුව මටත් ලැබුණි. ඒ අවස්ථා සිහිනෙන් ගෑ සුවඳ සේ නිබඳ ව මගේ මතකයේ රැදෙයි.

සෝමවීර ලේක්හවුසියෙන් සමුගත්තේ “ නවයුගය” පත්‍රයේ කතුවරයා ලෙස සිටියදීය. මා ඔහුට සමිපව සිටි නවයුගයට පෙරටත් වඩා උපකාර කළෙමි. එහෙත් එක් දිනක හදිසියේම ගත් තීරණයක් මත 1986 දිනක ඔහු ලේක්හවුසියෙන් සමුගන්නට තීරණය කළේය. ඔහු යමක් තීරණය කරන්නේ හොඳට සිතා බලාය. වසර 21 ක් ලේක්හවුසියේ සේවය කොට සමුගත් දා මගේ ජීවිතයේ හොඳම මිතුරා තාවකාලිකව වෙන්වීම් දුකින් මම අසරණ වීමි.

සෝමවීර ටෙලිනාට්‍ය රචනයේ අග්‍ර ස්ථානයක සිටින ප්‍රතිභාපූර්ණ ලේඛකයෙකි. මෙරට විකාශනය වූ දිගම ටෙලි නාට්‍යයේ රචකයා ද ඔහු විය. “ පළිගුමැණිකේ” ගෙන් පටන් ගත් ඒ ගමන, ඒ නිර්මාණ ගංගාව අද වෙනතුරුත් නිරායාසයෙන් ම ගලා යයි. ඔහු තිර නාටක ලියූ “ චරිත තුනක්” හා “ ගිරය” මා වඩාත්ම පි‍්‍රය කරන ටෙලි නාට්‍ය ලෙස නම් කළ හැකිය. “ චරිත තුනක්” නවකතාව ලියූ කේ. ජයතිලක මහතා මේ මෑතකදී “ ලක්බිම” පත්‍රය සඳහා මා කළ සංවාදයක දී කියා සිටියේ තමා නවකතාවේ නුදුටු මානයක් සෝමවීර “ චරිත තුනක්” ටෙලිනාට්‍ය තිර රචනයෙන් දුටු බවය.

මේ රෙකමදාරුව ඔහුගේ නිර්මාණ කාර්යයේ විශිෂ්ට අවස්ථාවක් සේ ගැනිය හැකි ය. චිත්‍රපට තිර නාටක කිහිපයක් ඔහු රචනා කර ඇත. ඒ අතරින් ‘ආරාධනා’ තිර රචනය මම අගය කරමි. ඔහු මුල් යුගයේ ලියූ තිර නාටක මුලින් ම සාකච්ඡා කළේ මා සමඟ ය.

අපි විවේක ස්ථානයකට ගොස් මධුවිතින් සප්පායම් වී තිර කතාවල ගැටලු තැන් ගැන කතා කළෙමු.

කතා නිර්මාණයේ එතරම් සූරයකු නොවුව ද රසිකයකු, සහෘදයකු ලෙස මා කරන ඇතැම් යෝජනා ඔහු නිහතමානී ව පිළිගෙන ඒවා වෙනස් කළ අවස්ථා තිබේ.

“රන්ජිත් ඒක එහෙම තමා විය යුත්තේ” ඇතැම් කතාවක ගැටලු තැන සදොස් කරමින් ඔහු මට කියා ඇත. මේ අයුරින් මට වඩා වසර තුනකින් වැඩිමහල් මගේ මිත්‍රයා මා ගැන විශ්වාස තැබු අවස්ථා එමට ය. මට කනගාටුවකට ඇත්තේ නවකතා හා කෙටි කතා නිර්මාණයේ අපුරු ප්‍රතිභාවක් තිබූ ඔහු ගේ ඒ නිර්මාණ ශක්තිය ටෙලි නාට්‍ය රචක සෝමවීර විසින් ගිලගෙන ඇත යන සංකල්පය මා තුළ තිබෙන බැවිනි.

මේ නිසා සෝමවීර සේනානායක නම් ප්‍රතිහාපූර්ණ නවකතා කරුවා පසු බා සිටී. කෙසේ වුව ද ඔහු ලියූ රචනා උසස් තැනක වැජඹෙයි. කලාත්මක අතින් ද ජනප්‍රියත්වයෙන් ද ඒවා එක සේ පරිපුර්ණ ය.

මිතුරකුගේ ජය හා සතුටු අවස්ථාවල සිටින මිතුරන් ඔහුගේ දුකේ දී හෝ අභාග්‍යයේ දී දක්නට නොලැබෙති. සෝමවීරගේ කල්යාණ මිත්‍රත්වය මුර්තිමත් වන්නේ මිතුරකු අමාරුවේ වැටුණු විට ය. එය ඔහුගේ ජීවිතයේ වටිනා ම මනුෂ්‍ය ගතියකි. දුර්භාග්‍ය සම්පන්න මොහොතක ඔහු මට පිහිට වූ අයුරු මම කෘතඥතා පූර්වක ව සමරමි. බොහෝ ඇසු පිරූ තැන් ඇති, නිර්මාණ ශක්තියෙන් උපරීම තලයක සිටින ඔහු බුදු දහමින් ලත් පෝෂණය නිසා නිවී පහන් වී ළය සැනහෙන ශාන්ත ගතිගුණ වලින් පෝෂණය වූ තවුසකු බඳුය. එබැවින් ඔහු කෝප නොවෙයි. ප්‍රකෝප නොවෙයි. ඔහු ජීවිතයේ යාථාර්ථය තේරුම් ගෙන සන්සුන් දිවියේ සන්තුෂ්ටිය වටහා ගෙන තිබේ. සන්තුෂ්ටිය ඔහුට පරම ධනයකි. එම පරම ධනය ලැබිය යුතු අවස්ථා ඔහුගේ ජීවිතයේ එමට ඇත. ඔහු නිවන් ලැබීමට ඒ පිනම ඇති.