|
සිනමාහලක ගෙවුණු මතක
චිත්‍රපටය පෙන්වන කාමරය ප්‍රොජෙක්ටර් කාමරයයි. එහි සේවකයන් තුන් දෙනකු සිටී. ප්‍රධාන ප්‍රේක්ෂක යන්ත්‍ර ක්‍රියාකරු සිනමාහලේ බය මගේ පියාට පමණි. අනික් සේවකයන් ඔහුට දක්වන්නේ පුදුම සැලකීමකි. කළමනාකරුත් ඔහුට බයය. හේතුව ඔහු නැතිනම් චිත්‍රපටය ප්‍රදර්ශනය කළ නොහැකි නිසාය.
කන ළඟ කවුදෝ චීන හඬින් කවියක් කියන්නාක් මෙන් ඇසුණු මම දඩි බිඩිස් ගා අවදි වූයේ මෙතෙක් වේලා චූන් එකේ බලමින් සිටි හීනයේ අවසන් ජවනිකාවේදීය. තවමත් අවට කළුවරය. මෙලෝ දෙයක් පෙනෙන්නට නැත. හිටි ගමන් නැවතත් ඒ හඬ දකුණු කන ළඟින්ම ඇසෙන්නට විය. බැලින්නම් කොහේදෝ යන මදුරුවෙක් මගේ දකුණු කන ඇතුළට යන්නට මෙතරම් දඟලන්නේ මොන කෙන් ගෙඩියක් සොයන්නදැයි සිතා පුල් ඩම් දමා මාගේ දකුණු අතින් මගේ කනටම වේගවත් පහරක් එල්ල කළේ අර මදුරු රාජයා සුනු විසුණු වී යන්නටැයි සිතාගෙනය. පහර කොතරම් වේගවත්දැයි දැනුණේ මට උදේ තරු පෙනෙන්නට පටන්ගත් විටය. අර මදුරුවා මගේ වේගවත් පහරේ සුළඟට කිසිම අනතුරක් නැතිව විසි වී ගොසින්ය. ඒත් කන ඇතුළෙන් ඇන්ටෙනා වයරය ගැල වී ඇති ටෙලිවිෂනයකින් එන ෂූ හඬක් නොනැවතී අසෙන්නට පටන් ගත්තාය. ඇඳේ වාඩි වූ මා කන අතගාමින් අර මදුරුවාට හෙන හතම වැදී තවත් එකක් හෝ දෙකක් වැදීයන් කියා පතමින් මාගේ ජල ක්‍රීඩාගාරය නොහොත් නාන කාමරයට යන්නට ඇඳෙන් බැස ගෙන පළමු අඩිය තියා දෙවන අඩිය තියන්ට මත්තෙන් මට මාගේ ශාරීරික ව්‍යායාම් උපකරණ කට්ටලය මතක් වී විදුලි බල්බ්යේ ස්විච් එක දමා බලන විට පාන්දර 5.50 ලෙස ඔරලෝසුවේ කටු සෑදී පැහැදී සිටිනු දැක අර ව්‍යායාම් කට්ටලය දෙස ඇස් පිය නොහෙලා විනාඩි තුනක් පමණ බලා සිට ෆුල් ෆිට් පොරක් සේ ඇඟපත සෝදා ගැනීමට අඩිය තියනවාත් සමඟම මාගේ සරම අර ව්‍යායාම් උපකරණයේ පැටලී කෙසෙල් ගහක් කැපුවාක් සේ මම කැරකැවී වැටුණේ මාගේ ජල ක්‍රීඩාගාරයේ දොරේ ඔළුව තදින් වදිමිනි. එවිටම ඔළුව වටේට කුරුල්ලන් කෑගසින් ඉගිළෙනවා මෙන් දැනෙන්නට විය. අද පුුදුමාකාර උදෑසනකි. පාන්දරම කානේ ෂූ ශබ්දයක් ද දැන් ඔළුව වටේ කුරුල්ලන් කෑගසමින් සිටින අයුරු ද මට සිදු වී හමාරය. හනි හනික ලක ලෑස්ති වූ මා මෝටර් සයිකලය පණ ගන්වාගෙන පැද යන්නේ මගේ සිනමාහල වෙතටය. දැන් වේලාව උදේ 8.30 ට පමණ ඇත. මම ඔෆිස් කාමරයට වැදී බුදු පහන දල්වා දවසේ පත්තරය කියවන්නට පටන් ගත්තෙමි. පත්තරය උඩින් පල්ලෙන් කියවූ මා පුටුවේ හොඳට දිගා වී අතීතයේ මෙම සිනමා ශාලාව ගැන සිතන්නට පටන් ගත්තෙමි. මම සිනමා හලේ වැඩට පැමිණියේ අ. පො. ස. (උ. පෙ.) දෙවන වරට මුහුණදීමට සිටින අවස්ථාවකදීය. එනම් මාගේ පියා විසින් සිනමාහල අලුතින් තනා එය පාලනය කර දැන් තමන්ට කර ගැනිමට ඇති අපහසුව නිසාය. මම සිනමාහලට එන විට සිනමාහලේ සේවකයෝ දොළෙස් දෙනෙක් පමණ සේවය කරමින් සිටියහ. මෙහි සතියේ දින පහේ එනම් සඳුදා සිට සිකුරාදා දක්වා සවස 6.30 දර්ශනය සහ රාත්‍රී 9.30 දර්ශනය තිරගත කෙරුණි. සෙනසුරාදා සහ ඉරිදා උදේ 10.30 සවස 2.30 සවස 6.30 රාත්‍රී 9.30 වශයෙන් දර්ශන වාර හතරක් තිරගත කෙරුණි. සෙනසුරාදා සහ ඉරිදා උදේ 10.30 ප්‍රදර්ශනය පළමුව සිනමාහල ඉදිරිපිට 'අද මැටිනි දර්ශනය උදේ 10.30' ලෙස ලොකු අකුරෙන් අදින ලද බෝඩ් එකක් සිනමාහල ඉදිරිපිට තබනු ලබයි. එය හරියට අපේ පන්තියේ ඇති කළුලෑල්ල වාගේය. සිනමාහල ඉදිරිපිට ලොකු අකුරෙන් අදින ලද දැන් ප්‍රදර්නය වන චිත්‍රපටයේ නම ඇති දැන්වීම් පුවරුව සිනමාහල ඉදිරිපස බිත්තියේ සවිකර ඇත. මෙම අකුරු ඇදීම සඳහා වෙනම කාමරයක් සිනමාහල පිටුපස තිබුණි. අප එයට ආර්ට් රූම් එක යැයි කියයි. එම අකුරු ඇදීම සඳහා සිනමාහලේම වැඩ කරන කෙනෙක් සිටියාය. අලුතින් චිත්‍රපටයක් එන විට ඔහු එම චිත්‍රපටයේ අකුරු ඇති පොටෝ කාඩ් එකක් බලාගෙන ඒ විදියටම එම අකුරු ඉතා විශාල කරමින් ඩිමයි කොළ පුරා ලොකුවට අදී. එම කොළ අලවන්නේ රාත්‍රී කාලයේය. ලොකු ඉනිමගක් බිත්තියට හේත්තු කර පාප්ප බාල්දියකින් එක් කෙනෙක් පාප්ප උලා අර ඩිමයි කොළ පිළිවෙළට ලොකු බෝඩ් ලෑල්ලේ අලවයි. ඊට පසු අවසානයේ අර ඩිමයි කොළ උඩින් පාප්ප බුරුසුවෙන් පාප්ප ගා ඉනිමගින් බැස ගිය පසු අපිට විශාල අකුරු තියෙන අළුත් ප්‍රධාන දැන්වීම පුවරුව දැක ගැනීමට හැකි වෙයි. අපේ සිනමාහලේ කරත්තයක් තිබුණි. එම කරත්තයේ තුන්මුලස් අතට සවිකරපු බෝඩ් ලෑලි දෙකක චිත්‍රපටයේ පෝස්ටර් සහ චිත්‍රපටයේ නම අලවාගෙන ඇතුළේ සිටිනා පුද්ගලයා බෙරයක් ගසමින් දැන්වීම් පත්‍රිකා බෙදයි. ගමේ සිටින කුඩා කොලු පැටවුන් මෙම කරත්තය පසුපස දිව යන්න තවත් සටනකි. අපි එම කරත්තයට ඩගු ඩුගු කරත්තය යැයි කියයි. තවමත් ඒ බෙරය මා ළඟ තිබේ. නමුත් පළු දෙකම නැත. කරත්තයේ බැඳි ගොනා උදේ පිටත් වී ගම පුරා ඇවිද හවසට සිනමාහලට ළඟාවේ. කවුරුවත් දක්කන්නේ නැත. ඒ සතා තනිවම පාරේ යන්නේ පළපුරුදු කරුවකු ලෙසිනි. ඒ වගේම ගම්මුන්ද ඒ සතාට පුදුමාකාර ආදරයක් දක්වයි. කන්න දෙයි. බොන්නට වතුර දෙයි. හරි සැලකිලිය. සිනමාහලේ සේවය කරන අයටත් ගම්මුන්ගෙන් විශේෂ සැලකිලිය. ඔවුනුත් ඉතින් එය ජයටම සමරති. ඒ සැලකිල්ල සිනමාහල නිසාය. මොකද චිත්‍රපටයක් නැරඹීමට පැමිණි විට ඔවුනට විශේෂ සැලකිලි අනිවාර්යයෙන්ම ලැබෙන නිසාය. සිනමාහලේ කළමනාකරු මාගේ පියාටත් වඩා ජනප්‍රියය. ඔහු නිතරම සිනමාහලේ සිටින නිසා චිත්‍රපට නරඹන්නන් නිතරම ඔහුව දකින බැවිනි. සිනමාහලේ ප්‍රේක්ෂකාගාරය පන්ති කීපයකට බෙදා වෙන්කර තිබුණි. ඉහළ මාලය බැල්කනිය හෙවත් බි. ඩී. සි. පංතියයි. B. D. C යනු BALCONY DRESS CIRCLE ගමේ සිටිනා ප්‍රභූ පන්තිය චිත්‍රපටය නරඹන්නේ මෙම බැල්කනි ආසනවලය. ඒවා කුෂන් කර තිබුණි. ඕ.ච්. ඛ් යන වචනය පැරණි නාට්‍ය ශාලාවලින් ආ වචනයකි. එම ආසන අර්ධ කවාකාර හැඩයකින් පිහිටා තිබුණි. ශාලාවේ පහළ තට්ටුවේ පිටුපස ආසන පෙළ ඕ. ඩී. සී යි. B. D. C යනු ORDINARY DRESS CIRCLE. මෙම ආසන මධ්‍යම පන්තිය චිත්‍රපටය නරඹන පන්තියයි. එයට ඉදිරියෙන් 1 වන පන්තිය. ඊළඟට 2 වන පන්තිය සහ තිරය ඉදිරියෙන්ම ගැලරිය පිහිටා තිබුණි. පහළ ආසන සියල්ලම ලී පුටුය. වාඩිවන සහ පිට තබන ස්ථාන තුනී ලෑලිවලින් තනා තිබුණි. ගැලරිය බංකු පමණි. මෙම පන්ති වෙන් කිරීම සඳහා වැටවල් තනා තිබුණි. සෑම පන්තියකටම සේවකයන් දෙදෙනකු සිටී. කෙතෙක් ටිකට්පත් නිකුත් කරන අතර දොර ළඟ සිටි අනිකා එම ටිකට් පත් පරීක්ෂා කර භාග ටිකට් සහ සම්පූර්ණ ටිකට් හරියට ගෙන ඇත්දැයි පරීක්ෂා කර ටිකට් පතින් කෑල්ලක් ඔහු ළඟ තබාගෙන ඉතිරි කැබැල්ල චිත්‍රපටය නරඹන අයට දෙයි. චිත්‍රපටයේ විවේක කාලයෙන් පසුව සමහර ප්‍රේ්ක්ෂකයන් ගැලරියේ වැටෙන් රිංගා 2 වන පන්තියේ පුටුවල වාඩි වේ. නමුත් අර දොර ළඟ සිටින සේවකයාට මෙය ඉවෙන් මෙන් තේරෙයි. ඔහු ළඟ කුඩා බැටරි කෑලි දෙකේ පෙන් ටෝචයක් ඇත. හරියටම අර වැටෙන් රිංගූ කෙනාගේ මුහුණට ටෝච් එළිය ඇල්ලීමෙන් පසු අර ප්‍රේක්ෂකයා ආපසු වැටෙන් රිංගා ගැලරියේ අසුන් ගනී. චිත්‍රපටය පටන් ගත් වේලාවේ සිට අවසානය වන තෙක් ශාලාව තුළ පුදුමාකාර සිගරට් දුමකි. ප්‍රේක්ෂකයාට ඒ බවක් ගානක් නැත. පුටුවල සිටිනා මකුණන් කොච්චර කෑවත් චිත්‍රපටයේ තියෙන ආකර්ෂණයට ඒ බවක් දැනෙන්නේවත් නැත. සිනමාහලේ විශාල තිරය පිටුපස විශාල පෙට්ටියක් තුළ එක ස්පීකරයක් සහ එම පෙට්ටිය උඩ විශාල ටුවිටරයක් තිබුණා. ශාලාවේ ආසන 550 කි. එකල තිබූ වැල්ව් ඇමිලිපියරයෙන් එන හඬ තනි ස්පීකරයෙන් සහ ටුවිටරයෙන් ප්‍රේක්ෂකයන් 550 ක් පිනවීම දැන්නම් මට හිතා ගන්නවත් බැරිය. ඒ හඬේ ඉතා බර ගතියක් සහ පපුවට වදිනවා වැනි හැඟීමක් ද දැනුණි. චිත්‍රපටය පෙන්වන කාමරය ප්‍රොජෙක්ටර් කාමරයයි. එහි සේවකයන් තුන් දෙනකු සිටී. ප්‍රධාන ප්‍රේක්ෂක යන්ත්‍ර ක්‍රියාකරු සිනමාහලේ බය මගේ පියාට පමණි. අනික් සේවකයන් ඔහුට දක්වන්නේ පුදුම සැලකීමකි. කළමනාකරුත් ඔහුට බයය. හේතුව ඔහු නැතිනම් චිත්‍රපටය ප්‍රදර්ශනය කළ නොහැකි නිසාය. චිත්‍රපටයක් තිරගත වන අතරතුර ගැලරියෙන් විසිල් හඬක් ඇසේ නම් එම චිත්‍රපටය හොඳට දුවන බව අපට දැනේ. ඒ වාගේම ගැලරියෙන් ලොකු ඈනුම් ඇරීමක් හූ හඬක් එයි නම් චිත්‍රපටයට දෙවියන්ගේම පිහිටය. එදා ගැලරිය එතරම් ප්‍රබලය. එකල බෲස්ලී රඟපාන කරාටේ චිත්‍රපට සඳහා වැඩිපුරම එන්නේ පිරිමි පාර්ශවයයි. ඔවුන් චිත්‍රපටය නරඹා සිනමාහලෙන් එළියට එන්නේ බෲස්ලී ඇඟට ආරූඪ කරගෙනය. බැරි වෙලාවත් ඇගේ වැදුණත් අර චිත්‍රපටයේ ගහන පහරවල් දෙක තුනක් කන්නට සිදුවන බව දන්නා අපගේ සේවකයන් චිත්‍රපටය ප්‍රදර්ශනය අවසන් වනවාත් සමඟම එක් කෙනෙක් දොරක් අස්සේ හැංගේ. තවකෙක් සිනමාහලේ සිට කිලෝ මීටර් භාගයක් පමණ ඈතකට ගොසින්ය. තවකෙක් මිදුලට බැස උඩ බලාගෙන ආකිමිඩිස්ටවත් හදාගන්න බැරි ගණනක් හදනවා සේ විශාල කල්පනාවකය. බෲස්ලීලා සියල්ල ගිය පසු නැවතත් ඔවුන් සිනමාහල තුළ රිංගා ගන්නේ හරියට පූස් පැටව් වගේය. එකල වෙසක් පොසොන් දිනවල විශේෂ දෙයක් සිදු වෙයි. පොහොය දිනයන්හි චිත්‍රපට ප්‍රදර්ශනය නොකරන නිසා පොහොය දින රාත්‍රී 12.00 පසුව චිත්‍රපට තිරගත කිරීම අරඹයි. වෙසක් නැරැඹීම සඳහා ගමේ සිට පැමිණි බොහෝ දෙනා මෙම චිත්‍රපටය නැරැඹීමට තියෙන්නේ පුදුමාකාර පොරයකි. මේ සඳහා ප්‍රදර්ශනය වන්නේ ද බෞද්ධ චිත්‍රපට වීම විශේෂයකි. එම දර්ශනය අවසානයේ අලුයම 2.30 ට පමණ දෙවැනි දර්ශනය පටන් ගනී. තාත්තා එම දිනවලට රෑ කෑම අපේ ගෙදරින් ගෙනත් සේවකයන්ට දෙනු මම බලා සිටිමි. ඉඳිආප්ප සමඟ පොල් මැල්ලුම මාළු ඇඹුල් තියල් කට්ට සම්බල් අල සම්බෝලය. ඔවුන් මෙය දිව්‍ය ආහාරයක් ලෙස ගිල දමන්නේ හරිම සතුටිනි. කෑම කා අවසන් වූ පසු තේ බෝතලයේ ඇති තේවලින් ඔවුනට සංග්‍රහ කරයි. මේ සියල්ලම අම්මා විසින් ගෙදර උදව්වට සිටින පොඩි අම්මා සහ මැණික අම්මා සමඟ එකතුව පිළියෙල කර පසුව තාත්තා ගෙන එන්නේ ඕපල් රෙකාඩ් කළු කාර් එකෙනි. තාත්තා ජාතික ඇඳුම ඇඳගෙන සිනමාහල ඉදිරිපිට සිටිනා විට මට දැනෙන්නේ රජෙක් සිනමාහල ඉදිරිපිට සිටිනවා වැනි හැඟීමකි. මේ ලිපිය ලියන මේසයට උඩින් තාත්තාගේ පින්තූරයට මල් මාලයක් දමා තිබෙනවා දකින මාගේ දෑසට කඳුළක් එන්නේ නිරායාසයෙනි.
- අධිපති වැලිගම චාන්දනී සිනමා |