වර්ෂ 2018 ක්වූ  අප්‍රේල් 05 වැනිදා බ්‍රහස්පතින්දා




රඟපාන ගමන් යළිත් පාසල් ගිය ආනන්ද ජයරත්න
අතීත කලා ලෝකයේ රස තොරතුරු සොයා යන ලිපි පෙළක්

රඟපාන ගමන් යළිත් පාසල් ගිය ආනන්ද ජයරත්න

දහනායක ආනන්ද ජයරත්න පාසල් යවයි

චිත්‍රපට කලාව වෙනුවෙන් තම රැකියාව පරිත්‍යාග කළ ගුරුවරයකුට නැවත පත්වීමක් දෙන ලෙස අධ්‍යාපන ඇමති ඩබ්ලිව්. දහනායක මහතා නියෝග කළ පුවතක් 1956 ක් වූ සැප්තැම්බර් මස 16 වැනිදා ‘ඉරිදා ලංකාදිප’ පත්‍රයේ මුල් පිටුවේ පළ වූ පුවතකින් හෙළි වෙයි. ‘සුරතලී’ චිත්‍රපටයේ රඟපෑම සඳහා රජයෙන් නිවාඩු ගන්නට දැරූ ප්‍රයත්නය සපල නොවූ නිසා රක්ෂාව අත්හැර දමා ඉන්දියාවට ගිය ආනන්ද ජයරත්නට තමන් පෙර සේවය කළ බදුල්ලේ හීල්ඔය කණිෂ්ඨ පාඨශාලාවට පත්වීමක් දී ඇත. ‘සුරතලී’ චිත්‍රපටයේ සුනිල් නම් උප කතානායකයා හැටියට ආනන්ද ජයරත්න තෝරා ගනු ලැබීය. බදුල්ලේ හීල්ඔය කණිෂ්ඨ පාඨශාලාවේ ඉංග්‍රීසි ගුරුවරයකු වශයෙන් සේවය කරමින් සිටි ඔහු පඩි නැතුව දෙමාසයක් නිවාඩු දෙන ලෙස හිටපු අධ්‍යාපන අධ්‍යක්ෂවරයාගෙන් ඉල්ලා සිටියේය.

හිටපු අගමැති සර් ජෝන් කොතලාවල හා හිටපු මුදල් හා අධ්‍යාපන ඇමතිවරු වන ඇම්. ඩී. එච්. ජයවර්ධන හා එම්. ඩී. බණ්ඩා මහත්වරුන්ගෙන් ආනන්ද කළ ඉල්ලීම සාර්ථක නොවූ නිසා රක්ෂාව හැර දමා ‘සුරතලී’ චිත්‍රපටයේ රඟපෑමට ආනන්ද ඉන්දියාවට ගොස් ඇත. නව රජය පත්වීමෙන් පසු ආනන්ද, හපුතලේ මන්ත්‍රී ඩබ්ලිව්. පී. ජී. ආරියදාස මහතාගේ මාර්ගයෙන් අධ්‍යාපන ඇමති දහනායක මහතාට කළ ඉල්ලීමට කලාවට දක්ෂතා ඇති අයට ඒ සඳහා අවස්ථාව දීමේ අදිටනින් ආනන්ද ඉගැන් වූ පාසලටම පත්වීමක් ලබා දී ඇත.

එදා අධ්‍යාපන ඇමති විසින් පාසැල් යැවූ ආනන්ද ජයරත්න පසුව ලංකාවේ ජනප්‍රිය නළුවකු මෙන්ම චිත්‍රපට අධ්‍යක්ෂවරයකු ද විය. ඔහු සිංහල සිනමාවෙන් සහ ජීවිත සිනමාවෙන් සමු ගත්තේ මීට වසර 34 කට එපිට 1984 ජූනි 26 වෙනිදාය.

‘සරසවිය’ පුවත්පත වෙනුවෙන් මා ඔහු මුල්වරට හමු වූයේ හැත්තෑව දශකයේ මුලය. ඒ වන විට ආනන්ද ජයරත්න දෙහිවල ක්‍රිස්තුරාජ විද්‍යාලයේ විදුහල්පතිවරයාව සිටියේය. මා එදා ඒ පාසලට යන විට පුංචි ළමයි රොත්තක් පාසලේ එළිමහනේ රැස්ව සිටියහ. ගුරු මණ්ඩලය පසෙකින් සිටි අතර විදුහල්පතිවරයා කුඩා ළමුන් අමතා කතා කරන්නට විය.

‘ගුස්ති අල්ලන්න පුළුවන් ළමයි අත උස්සන්න බලන්න’ විදුහල්පතිතුමා කිවේය.

ළමයි සිනාමුසු මුහුණින් යුතුව අත ඔසවන්නට විය. ඇතැම් ළමයින් ලැජ්ජාවෙන් භාගයට අත් එසවීය. විදුහල්පතිවරයා අත් එසවීම මැළි වූ ළමයෙක් ළඟට ගියේය.

‘ඇයි ඔයා අකමැති’ ඔහු කාරුණිකව ඇසීය.

‘නෑ සර් . . .’ ළමයා බියෙන් කීවේය.

‘අකමැති නම් එපා. මේ ඉන්න පෙරේරා සර් මේ ළමයින්ට ගුස්ති අල්ලන්න කියලා දෙනවා. ගුස්ති අල්ලන්න කියලා දෙන්නේ ළමයින්ට පාරේ ගහගන්න නෙවෙයි. ඒක ක්‍රීඩාවක්. ඉංග්‍රීසියෙන් කියන්නේ රෙස්ලින් කියලා. ගුස්්ති අල්ලන්න බෑ සිමෙන්ති පොළොවේ. ඒ නිසා අපි ගුදිරියක් හදාගන්න ඕනෑ අඩි 12 ක් විතර පළල තියෙන. ඒ නිසා සඳුදා එන කොට ගුදිරියක් හදන්න කොහු ගේන්න ඕන. තේරුණාද? දැන් පෝලිමේ ගිහිල්ලා බනිස් කාලා පන්තිවලට යන්න.’

මා එදා ඇසින් දටු ඒ සිද්ධියෙන් ආනන්ද ජයරත්න ගැන ලියූ විශේෂාංගය පටන් ගතිමි. එය 1972. 10. 13 සරසවිය පත්‍රයේ පළ විය.

‘චිත්‍රපට නළුවෙකුට වඩා මගේ රාජකාරියෙන් මට තෘප්තියක් ලැබෙනවා. චිත්‍රපට ලෝකෙට වඩා මට මේ සමනළයන් වගේ අහිංසක ළමුන් අතර සිටීම වැදගත්. ඒක තමයි මගේ ජීවිතේ ලොකුම සැපත’.

එදා මම පැය තුනක පමණ කාලයක් ඔහුගේ කාර්යාලයේ ගත කළෙමි. ඔහු අවංකව සෘජුව තම අදහස් පළ කළේය.

‘බොරු කියලා වැඩක් නෑ නේ. මම චිත්‍රපටවල වැඩිය රඟපාන්න කැමති නෑ. මොකද? මම කරදරකාරයෙක් හැටියට දැන් හුඟාක් දෙනා අඳුනනවා. කාරණාව ඇත්ත. මම කරදරකාරයෙක් වුණේ ඒ අයත් මට කරදරයක් වුණ නිසා. මම ඇත්ත කිව්වාම මිනිස්සුන්ගේ මුහුණු හැකිළෙනවා. මම හැමදාම මේ පුංචි ළමයින්ට කියන්නේ ඔය බණේමයි. අංග සම්පූර්ණ මිනිස්සු ලෝකේ නෑ. කාගෙ අතිනුත් වැරැදි වෙනවා. දැන දැන වැරැදි කරන එකයි ඉවසන්න බැරි’ ඔහු සිනාසෙමින් කිවේය. ‘

සුරතලී

චිත්‍රපට නළුවෙකුට වඩා ගුරුවරයෙක් කියනවට මම කැමතියි’ ආනන්ද මා සමඟ කතාව පටන් ගත්තේ මට තේ කෝප්පයක් පිළිගන්වමිනි.

1930 අප්‍රල් 07 වෙනිදා ආනන්ද ජයරත්න මාතර නූපේ දී උපත ලැබුවේය. ඒත් හැදී වැඩුණේ බණ්ඩාරවෙලය. ඔහුගේ පියා ධනවත් ව්‍යාපාරිකයෙකි. පවුලේ එකම පිරිමි දරුවා ඔහුය. ඔහුට එක සොහොයුරියක් විය. බණ්ඩාරවෙල සාන්ත ජෝශෆ් විද්‍යාලයේ මූලික අධ්‍යාපනය ලබා ඔහු බණ්ඩාරවෙල සීවලී විද්‍යාලයට ඇතුළත්ව කොළඹ ගොස් කොළඹ ආනන්ද මහා විද්‍යාලයට ඇතුළත් විය. පාසල් යන කාලයේ සිට ඔහු දක්ෂ පාපන්දු ක්‍රීඩකයෙක් ලෙස කැපී පෙනුණේය. 1950 ඔහු සමස්ත ලංකා පාපන්දු කණ්ඩායමට එක් විය. එදා ලංකාවේ සිටි ප්‍රබලතම පාපන්දු ශූරයන් වූ පීටර් රණසිංහ, හෂිම්ඩීන්, ඇන්ඩෲ ප්‍රනාන්දු සමඟ ක්‍රීඩා කළ ආනන්දගේ මුල්ම රැකියාව වූයේ ලේක්හවුස් හි ‘ඩේලිනිවුස්’ හා ‘ඔබ්සවර්’ පත්‍රවල වාර්තාකරුවකු ලෙස සේවය කිරීමය. එදා එල්මෝ ගුණරත්න හා නෙවිල් සිල්වා ඔහුගේ සමකාලීන වාර්තාකරුවන්ය. එල්මෝ, ඇස්. සුබසිංහ. ඩී. සී. රණතුංග, ජෝර්ජ් ලෙස්ලි රණසිංහ ඔහුගේ සමකාලීන ආනන්ද සිසුන්ය. පසුව ආනන්ද බණ්ඩාරවෙල සාන්ත ජෝසෆ් විද්‍යාලයේ ගුරුවරයකු ලෙස සේවයට බැඳුණේය.

ඒ කාලයේ මගෙන් ඉගෙන ගත් ගෝලයන් දෙදෙනෙක් හිටපු අධ්‍යාපන හා සංස්කෘතික ඇමති වි. ජ. මු. ලොකු බණ්ඩාරත්, නියෝජ්‍ය උසස් අධ්‍යාපන ඇමති සමරවීර වීරවන්නි.’ ආනන්ද තම ගෝලයන් ගැන ආඩම්බරයෙන් එදා කතා කළේය.

ආනන්ද පාසල් සමයේ ඉංග්‍රීසි නාට්‍ය කිහිපයකම රඟපා ඇත. විභාග කොමසාරිස්වරයකු වූ ඇල්. ඇල්. කේ. ගුණතුංග මහතා ෂේක්ස්පියර්ගේ කථාවක් ඇසුරෙන් නිෂ්පාදනය කළ ‘විපර්යාසය’ නාට්‍යය මින් ප්‍රධාන වෙයි. ගුණතුංග මහතා නිෂ්පාදනය කළ ජුලියස් සීසර්, මර්චන්ට් ඔෆ් වෙනිස් නම් ඉංග්‍රීසි නාට්‍යවල ආනන්ද රඟපෑවේ අධ්‍යාපන ක්ෂේත්‍ර්යේ ඉහළම තනතුරු පසුව හෙබ වූ ඩබ්ලිව්. ඩී. සී. මහතන්තිල හා පියදාස තේනබදු සමඟය.

ආනන්ද චිත්‍රපට නළුවකු වන්නේ අහම්බෙනි. එහෙත් ඔහු චිත්‍රපට රසිකයෙකි. සර් ලෝරන්ස් ඔලිවියර්, රිචඩ් බර්ටන්, බර්ටි ලැන්කැස්ටර්, ඇන්තනී කුවීන් නළුවන්ටත් ලැඩී රණසිංහ, මාක් සමරනායක යන දේශීය නළුවන්ටත් ඔහු ඇලුම් කළේය.

‘මම 1955 වසරේ පාපන්දු තරගයකට සහභාගි වීමට කොළඹ ඇවිත් කොටුවෙ සිට මරදාන බලා යන ට්‍රොලි බස් එකකට නැග්ගා. මම ඉඳන් හිටියේ ෆුට්බෝල් ගහන ජර්සියක් ඇඳගෙන. බූට්ස් දෙකත් කරේ එල්ලගෙන. එක්තරා මහත්තයෙක් මා ගැන විමසිල්ලෙන් බැලුවා. ඔහු ටික වේලාවකින් මා අසලට ඇවිත් ඉඳ ගත්තා.

‘මිස්ටර් කැමතිද රඟපාන්න? ඔබට නළුවෙකුගේ හැඩ රුව තියෙන්නේ?’

මට හිනා ගියා.

‘අවස්ථාවක් ලැබුණොත් කවුද අකැමති?’

යටගිය දවස

‘මම සිරිල් පී.අබේරත්න. මම අධ්‍යක්ෂණය කළ ‘සුරංගණී’ චිත්‍රපටය මහත්තයා දැකලා තියෙනවාද?’

‘සත්තකින්ම ඔව්. අර කුදෙකු ලෙස රඟපෑ ඩී. ආර්. නානායක්කාරගේ රඟපෑම මට තවම මතකයි’.

‘හොඳයි මම මේ දිනවල ‘සුරතලී’ කියලා චිත්‍රපටයක් සැලසුම් කරනවා. ඒකේ තියෙනවා සෙල්ලක්කාර, විනෝදකාමී චරිතයක්. ඔබ දුම් බොනකොට මම විමිසිල්ලෙන් බලා හිටියා. මට ඕන චරිතය ඔබ ළඟ තියෙනවා.’

මේ කතාබහ තුළින් අපූරු නළුවෙකු තිරයට එක් විය. ‘සුරතලී’ චිත්‍රපටයේ ආනන්ද ‘සිරි යමේ සාරා’ ගීතයට රැඟුවේය. ඒ ගීතය පසුබිමින් ගැයුවේ ද ‘සුරතලී චිත්‍රපටයෙන් චිත්‍රපට ගායක ලෝකයට හඳුන්වා දුන් එච්. ආර්. ජෝතිපාලයන්ය. සුරතලීට තෝරා ගත් පසු ආනන්දට,

රවීන්ද්‍ර රූපසේන, ලීනා ද සිල්වා. සිරිමතී රසාදරී සමඟ චිත්‍රපටයේ දර්ශන නාට්‍යානුසාරයනේ පුහුණුවීමට ද සිදු විය.

ආනන්ද විවාහ වුයේ ඉන්දියාවේ දී චිත්‍රපට සඳහා ගිය අවස්ථාවක එහිදී දැන හැඳින ගත් පාසල් ගුරුවරියක සමඟය. චන්ද්‍රා නම් ඇය දක්ෂ ශාරීරික අභ්‍යාස ගුරුවරියකි. ආනන්ද හා චන්ද්‍රාට පුතුන් දෙදෙනකු වූහ.

ආනන්ද ‘සුරතලී’ චිත්‍රපටයෙන් පසු සොහොයුරෝ (1958), සන්දේශය, සුන්දර බිරිඳ, වීර විජය (1960) අදට වැඩිය හෙට හොදයි, උඩරට මැණිකේ (1963), කළ කළ දේ පළ පළ දේ, පටාචාරා, සුජාගේ රහස (1964), සැපත සොයා, යටගිය දවස, හතර මහ නිධානය (1965), The Three Yellow Cat* (කහ බළල්ලු) (1967), දෙහදක දුක (1968), මීමැස්සෝ (1969) දැන් මතකද (1970), ඉහත ආත්මය (1972), ලස්සන කෙල්ල (1975) වානරයෝ, සරදියෙල්ගේ පුතා (1976), නෙළුම් සහ සමන්මලී (1993) අහස් මාළිගා (1994) චිත්‍රපටවල රඟපෑවේය. හාපුරා කියා ආනන්ද චිත්‍රපට අධ්‍යක්ෂණයට පිවිසෙන්නේ ‘ආදරයයි කරුණාවයි’ චිත්‍රපටයෙනි. මේ චිත්‍රපටයේ ඔහු රඟ නොපෑ අතර ගාමිණී ෆොන්සේකා, විජේරත්න වරකාගොඩ හා ක්ලැරිස් ද සිල්වා ප්‍රධාන චරිත රඟපෑහ. හිටපු අමාත්‍යවරයකු වූ ඩබ්ලිව්. පි. ජී. ආරියදාස මහතා ආනන්දගේ ඥාති සොහොයුරෙකි. ප්‍රවීණ පරිපාලන නිලධාරි හා ලේඛක ලීල් ගුණසේකර මහතා ආනන්දගේ සමීප මිතුරෙකි. ලීල් ගුණසේකරයන් ලියූ සම්මානනීය නවකතාව වූ ‘පෙත්සම’ සිනමාවට නැඟීමට ඔහු ආසාවෙන් සිටියේය. ‘සන්දේශය’ චිත්‍රපටය ආනන්ද රඟපෑ ප්‍රියතම චිත්‍රපටය විය. ප්‍රථම හෙළ නළු නිළි හවුලේ සම ලේකම්වරයා වූයේ ද ඔහුය.

මනබඳින මුහුණක් හා සිනාවක් ඇති ආනන්ද සැහැල්ලු දිවියක් ගෙවන සෙල්ලක්කාරයකුගේ ගති විදහා පෑවේය. ‘සුරතලී’ චිත්‍රපටයේ සිට රළු චරිත හා ප්‍රධාන චරිත රඟපා ජනප්‍රිය විය. සන්දේශය චිත්‍රපටයේ කැරැළි නායක බණ්ඩාර රාළ ලෙස රඟපෑ චරිතය අප කෙසේ නම් අමතක කරමුද?