වර්ෂ 2018 ක්වූ  මාර්තු 15 වැනිදා බ්‍රහස්පතින්දා




කපාලා දෙමිය ගමමහගෙ බරට ගාතයක්
2018 උසස් පෙළ සඳහා සැරසෙමු

කපාලා දෙමිය ගමමහගෙ බරට ගාතයක්

කොහොඹ යක් කංකාරිය

මෙම ශාන්තිකර්මය උඩරට නර්තන සම්ප්‍රදාය හා බැඳී පවතියි. මෙය කොහොඹ දෙවියන් උදෙසා පවත්වන්නකි. උඩුනුවර, යටිනුවර, හේවාහැට, හාරිස්පත්තුව, තුම්පනේ යනාදී ප්‍රදේශවලද සත් කෝරලයන්ට සීමාසන්න ප්‍රදේශවල ද මෙම ශාන්තිකර්මය පවත්වනු ලබයි. සරු අස්වැන්නක් ලබා ගැනීම උදෙසා දෙවියන් වෙත වූ බාරහාර ඔප්පු කිරීම, ඉදිරි කන්නයේදී ස්වභාවික ආපදාවන්ගෙන් සහ වසංගතයන්ගෙන් මිදී සශ්‍රිකත්වය ප්‍රාර්ථනා කිරීම, සෞභාග්‍ය ළඟා කර ගැනීම මේ ශාන්ති කර්මය පැවැත්වීමේ මුඛ්‍ය පරමාර්ථයන් වේ.

උපන් කථාව

විජය රජතුමා කුවේණියට දුන් පොරොන්දු කඩ කිරීම නිසා කුවේණිය සාප කළ බව ඉතිහාසයේ කියවේ. කුවේණිය කළ සාපය බලපෑවේ විජය රජුගෙන් පසු රජ වූ පඬුවස්දෙව් රජතුමාටයි. පඬුවස්දෙව් රජතුමාට 'දිවිදොස්' වැලඳුණු බව ඉතිහාසයේ කියවේ. ඇතැමෙක් ප්‍රකාශ කරන්නේ 'දිව්රුමක්' (පොරොන්දුවක්) කඩ කිරීම නිසා ඇති වන අනිෂ්ඨ ප්‍රතිවිපාක දිවිදොස් බවයි. එසේම දිවියන් හීනෙන් දැකීම නිසා දිවිදොස් ඇතිවනබව තවත් සමහරක් ප්‍රකාශ කරති.

පඬුවස් දෙව් රජුගේ දෝෂය නිසා ශක්‍රයාගේ පඬුපුල් අසුන රත් විය. මෙම දිවිදෝෂය සුව කිරීමට නම් මව් කුසෙන් නූපන් කෙනෙකු අවශ්‍ය බව ශක්‍රයා තීරණය කළේය. ඒ අනුව ඒ සඳහා තෝරා ගත්තේ මලකින් උපන් මලය රජතුමාවයි. රාහු අසුරේන්ද්‍රයා ඌරෙකුගේ වෙසක් මවාගෙන ගොස් මලය රජුගේ උයන පාළු කළේය. මලය රජු කෝප වී ඌරා පසුපස හඹා ආවේය. හන්තාන කන්ද අසලදී ඌරා ගලක් බවට පත් විය. එතැන පෙනී සිටි ශක්‍රයා පඬුවස් දෙව් රජු සුව කර දෙන ලෙස මලය රජුගෙන් ඉල්ලා සිටියේය. මලය රජතුමා කොහොඹා යක් කංකාරිය කරවා රජු සුවපත් කළ බව ඉතිහාසයේ කියවේ.

කොහොඹ යක් කංකාරියේ නාට්‍යමය අවස්ථා

කොහොඹ යක් කංකාරියේ දක්නට ලැබෙන නාට්‍යමය අවස්ථා මෙසේය.

1. යක්කම් පහ

2. ගුරුගේ මාලාව

3. ගබඩා කොල්ලය

යක්කම් පහ

කොහොඹ යක් කංකාරියේ දක්නට ලැබෙන යක්කම් පහ විවිධ පොත්වල විවිධ නම්වලින් හඳුන්වා දී ඇත. නමුත් නිවැරැදි යක්කම් පහ මෙසේය.

1. ඌරා යක්කම

2. නයා යක්කම

3. වැදි යක්කම

4. දර්පන යක්කම

5. සීතා යක්කම

මෙම යක්කම් පහෙන් වඩාත් ප්‍රබල ලෙස නාට්‍යමය ලක්ෂණ දක්නට ලැබෙන්නේ ඌරා, නයා, වැදි යන යක්කම් ත්‍රිත්වයේය.

ඌරා යක්කම

වෙස් ඇඳුමෙන් සැරසුණු යක් දෙස්සෙක් සහ ඔහුගේ සහයකයා අතර සංවාදයක් මෙහිදී මූලික වේ. ඒ අනුව ප්‍රධාන යක්දෙස්සා තමා මලය රජුගේ උයන පාළු කළ ඌරා සොයා ලක්දිව නොයෙක් ප්‍රදේශවල සැරිසැරූ බව තම සහයකයාට පවසයි. මෙම සංවාදය කරුණු දෙකක් නිසා හාස්‍යජනක වේ.

(1) ස්තානවල නම් වැරදියට උච්චාරණය කිරීම.

(2) ඌරා යැයි සිතා වෙනත් සතුන්ට රැවටිම (ගෙම්බා, අලියා, මුවා, රිලවා).

අවසානයේ ඌරා හමුවේ. මෙහිදී කෙසෙල් බඩවලින් සාදන ලද ඌරෙකුගේ අනුරුවක් සබයට ගෙන එයි. ඌරාට විදිය යුත්තේ දඩමීමෙකුට මුවා වීය. මෙහිදී බොහෝ විට දඩමීමා ලෙස යාතුකර්මයට මුරුතැන් පිසින කොට්ටෝරු මහත්තයා යොදා ගනු ලබයි. දුනු සහ ඊතල ගොක් කොල සහ ඉරටුවලින් සකස් කර ගනියි. ඌරාට විද මැරීම බෙර වාදනයට අනුව අනුරූපණය කරයි.

අවසානයේ ඌරාගේ මස් විවිධ කුල අනුව බෙදා දෙයි. මෙහිදී සමාජයේ සෑම කුලයක් දෙසම අපහාසයෙන් බැලීමට උත්සාහ දරා ඇත. උදා: 1. ගම මුහන්දිරම්ට ඌරාගෙන් කොටසක් දෙන විට කියන කවිය මෙසේය.

අසාලා කිවේ වගතුග සියල්ලක්

යොදාලා ගන්නේ බොරු බස් ඇසිල්ලක්

රවාලා කිවේ අප හට දෝසයක්

කපාලා දෙමිය ගමමහගෙ බරට ගාතයක්

උදා: 2. කුඹල්කාරයාට කොටසක් දීමේදී පහත කවිය කියනු ලබයි.

වැඩපල කළේ තැනුවේ අඹුවත් එක්ක

හැඩ බල බලා තැලුවේ දාගෙන ඔක්ක

මඩ ගුලි ගෙනත් පෙරලා ඉඳගෙන වක්ක

බඩහැල මලේ අරගෙන පලයන් බොක්ක

නයා යක්කම

යක් දෙස්සන් දෙදෙනෙක් රඟමඬලේ එලා ඇති පැදුර අසල සක්මන් කරයි. මෙහි එක් යක් දෙස්සෙක් කොර ගසන බව අනුකරණය කරයි. එවිට අනෙක් යක් දෙස්සා මොහුට 'මහ ලෙඩේ' සෑදි ඇති බවත් එය සුවවීමට නම් 'සෝලිය ගුරුට' දානයක් දිය යුතු බවත් පවසයි. ඒ සඳහා ප්‍රථමයෙන් සම්මාදමේ යාම අනුකරණය කරයි. එහිදි සුදු රෙද්දක් දෙකොනින් අල්ලා ප්‍රේක්ෂකයන් අතරට යයි. මෙහිදී පහත දැක්වෙන පරිදි කවි ගායනා කරයි.

සම්මාදමේ අපි යනවා බොලන්නේ
සම්මාදමට මොකවත් ලැබෙනුය අනේ
පවා නැතුව සම්මාදම් දෙනුය අනේ
සෝලිය ගුරුට දානෙට මොකවත් ලැබෙනු අනේ

ඉන් පසුව දානය පිළියෙල කිරීම සිදු කරයි. මෙහිදී වී කෙටීම, වී පෙළීම, හාල් ගැරීම, හාල් සේදීම, ලිප් ගල් බැඳීම, හාල් ලිප මත තැබීම, ලිපට පිඹීම බෙර වාදන, කවි ගායන සහිතව රිද්මයානුකූලව අනුරූපණය කරයි.

මෙලෙස පළියෙල කරගත් දන් කඳ රැගෙන යන අතරමඟ ඔවුන් දෙදෙනා ගිමන් හරී. එවිට දන්කඳ ට නාගයෙක් රිංගා ගනියි. මෙහිදී ලීයෙන් සාදන ලද නාගයකුගේ රූපයක් භාවිතයට ගනියි. නයා දෂ්ඨ කිරීම යන්ත්‍ර මන්ත්‍ර ගුරුකම් කොට සුව කිරීම දෙබස් හා කවි මූලික කොට ගෙන නිරූපණය කරයි. අවසානයේ නාගයාගේ රූපය රැගෙන ආතුරයාට සෙත් පැතීමෙන් නයා යක්කම අවසන් වේ.

වැදි යක්කම

කොහොඹ යක් කංකානියේ වැද්දන් සම්බන්දව පවත්වන චාරිත්‍ර අතර වැදි යක්කමට හිමි වන්නේ සුවිිශේෂී ස්ථානයකි. ඊට හේතුව වැදි යක්කම තුළ නාට්‍යමය ලක්ෂණ දක්නට ලැබීමයි.

වැදි යක්කමේදී වැද්දා ලෙස කොට්ටෝරු මහත්තයා වෙස් ගනියි. වැද්දා වැදගත් පරපුරකින් පැවතෙන බැවින් ගෞරවයෙන් කථා කිරිම අවශ්‍ය වේ. මුලදී ගෙරි වැද්දා, නිරි වැද්දා ආදී ලෙස වැද්දාට ගෞරවයෙන් කතා නොකළ විට ඔහු නොපැමිණෙයි. පසුව ගෞරවයෙන් කතා කළ විට වැද්දා කීකරුව පැමිණෙයි. දානය දීමට පළමුව වැද්දන් නහවා පිරිසුදු කළ යුතුය. මෙහිදී දෙහි කැඩීම, දෙහි කැපීම, දෙහි තැම්බීම අනුරූපණය කරයි. ඉන් පසුව වැද්දා නහවා අභරණ අන්දවා දහනයක් දීමද අනුකරූපණය කරයි. මෙහිදී බෙර වාදකයා සහ වැද්දා අතර වන සංවාදය හේතු දෙකක් නිසා හාස්‍යජනක වේ.

1. වැරදියට වචන උච්චාරණය

2. දෙපිට කැපෙන වචන භාවිතය මමගින් පේ‍්‍රක්ෂකයාට ලැබෙන්නේ මානසික විශ්‍රාන්තියකි.

02. ගුරුගේ මාලාව මෙය යක්දෙස්සෙකු සහ බෙර වාදකයෙකු අතර ඇති වන සංවාදයකි. යක්දෙස්සා 'නල්ල සාමි' හෙවත් 'ගුරු' නැමැති චරිතය නිරූපණය කරයි. මොහු සිංහල භාෂාව හරි හැටි කථා කළ නොහැකි විදේශිකයෙකි. ඒ අනුව 'නල්ල සාමි' සිංහල නොදනී. බෙර වාදකයා 'නල්ල සාමි' ගේ භාෂාව නොදනී. මේ නිසා දෙදෙනා අතර ඇතිවන සංවාදයෙන් හාස්‍ය උපදියි.

03. ගබඩා කොල්ලය

ගබඩාව යනුවෙන් අදහස් කරන්නේ කොහොඹ කංකාරියට ගමේ ජනතාවගෙන් එකතු කරන ලද හාල්, පොල්, තැඹිලි, කෙසෙල් තැම්පත් කර ඇති ස්ථානයයි. ප්‍රධාන යක්දෙස්සා ගබඩාවට වැදී ගබඩා භාරකරු සමඟ සංවාදයක යෙදේ. මෙම සංවාදය ගබඩාවේ ඇති භාණ්ඩ පිළිබඳ විමසමින් කරන හාස්‍යජනක සංවාදයකි. අවසානයේ ගබඩාවේ ඇති භාණ්ඩ සියල්ල බෙදා දී ගබඩාවට සංකේතාත්මකව ගිනි තබයි. මෙමඟින් වස් දොස් දුරු කිරිමක් බලාපොරොත්තු වේ.