|
ඔවුන් නොදන්නා අප දන්නා චරිත හමුව
"හසන් ට මෙතෙක් කල් තමාගේ ජීවන උපාය සකස් කර ගත් කඩ සාප්පුව දමා යන්නට සිදුවූන චින්ත ප්‍රවේගයට වඩා දැඩි දුකක් තිබුනේ හසන්ගේ පුංචි කොලු පැටියා වූ "අර්ෆත්"ටය . ඒ කොලු පැටියා හුරතල් කෙරූ රෙක්සි නම් බල්ලාව දමා යෑමය. එහෙත් බල්ලන්ව හුරතල් කරමින් සිටින කාලයක් නොව දැන් එළඹි,ඇත්තේ. එදින උදයේ දෙමළ ඊලාම් ත්‍රස්ත කණ්ඩායම් තම පාලන සීමාවෙන් මුස්ලිම් අය ,කරන වෙළදාම් වලින් හා ඔවුනගේ නිවෙස් වලින් ඉවත්වන්නට කියන්නේ, ඔවුන් සිංහල හමුදාවට ඔත්තු සපයන බව කියමිනි. හසන් තම සාප්පුව වසා දමා අවශ්‍ය රෙදි ටික පොට්ටනියක් බැද තම කුඩා ළමයා සමග පාපැදියෙන් නිවසට පැමිණියේ තම මුළු පවුලම රැගෙන මන්නාරමට යාමටය. ඔවුන් තමන්ට හැකි පමණ බඩු පොඩි ගසාගෙන බයිසිකලයද ත්‍රිරෝදයේ උඩ බැදගෙන පිටත් වන්නට සැරසුණි. කුඩා අර්ෆත් හැකි හැම උත්සාහයක්ම දැරුවේ "රෙක්සි"ව රැගෙන යාමටය. එහෙත් පියාගේ සැඩ පරුෂ ගොරිනාඩුව හමුවේ හැඩූ කදුලින් රෙක්සිව මෙහි දමා යාමට සිදුවිය." ප්‍රසන්න විතානගේ ගේ පස්වන සිනමා නිර්මාණය වූ "ඉර මැදියම" චිත්‍රපටය තුල "රෙක්සි " නම් බල්ලා ප්‍රධාන ලෙස ඉස්මතු වේ. අනේපෙක්ෂිත සිදුවීම් හමුවේ සත්ව කරුණාවට තැනක් දීමට වැඩිහිටි පරම්පරාවට නොහැකිවූවද, කුඩා අය තුලින් ,එම හැගීම කිසිසේත් නැති කිරීමට නොහැකි බව ප්‍රත්‍යක්ෂ කරන රූප මාලාවක් තුළින් ප්‍රසන්න බලාපොරොත්තු වන්නට ඇත්තේ එවකට යාපනය තුළ ගිලිහී ගිය ලෙන්ගතු කමය. "ඉර මැදියම" චරිත තුනක්, තල තුනක් ඔස්සේ ඔවුනට ඔවුනගේ රාමුව තුළ ඔවුන් මුහුණ දෙන සිදුවීම් වෙන් වෙන් වශයෙන් ඉදිරිපත් වුවද,ඒ සියල්ලම ඈදෙන්නේ යුද්ධයටය. සනත් ජයසූරිය,රොෂාන් මහානාම,අරවින්ද ද සිල්වා වැන්නන් අදෘශ්‍යමානව,සිනමාපටය තුලද වීරයන් කරවීම, තුළින් ප්‍රසන්න හරි අපූරුවූ අත්දැකීමක් ප්‍රේක්ෂකයාට ලබාදෙයි. ඒ, යුද්ධය මොනතරම් ඇවිලුනද මිනිසුන් හා බද්ධ වුණු ක්‍රිකට් ක්‍රීඩාව මිනිසුන්ට අත් හැලීමට නොහැකි බව පෙන්වමිනි. බ්‍රිතාන්‍යයේ "තරංගනී" ගුවන් විදුලි වැඩ සටහන් සම්පදායක සමන් ගුණවර්ධන ව සොයා චමරි පැමිණෙන්නේ, තම සැමියා වූ ගුවන් නියමු නිරෝෂන් ව සොයා යාමේ අධිෂ්ඨානයෙනි. කොටි අඩවියේ අතුරුදහන් වූ ගුවන් යානයේ නියමුවා වූයේ මේ නිරෝෂන්ය . ඔහු කොටි සංවිධානයේ සිර කර තිබෙන බවක,හෝඩුවාවක් ලැබීමෙන් අනතුරුවය, චමරි ඔහුව සොයා යෑමට උත්සහා කරනුයේ.මෙරට රූපවාහිනී වැඩ සටහනකට සමන් ගුණවර්ධන සහභාගී වී මාධ්‍යවේදියෙක් ලෙස තමන් හා කොටි සංවිධානය අතර තිබෙන වෘත්තීය සබඳතාවය ගැන ඇතිවුණු කථාව දුටු පසුය චමරි විසින් සමන් ගෙන් මෙම උපකාරය ඉල්ලීමට අදහස් කලේ. තර්ක විතර්ක වලින් පසුවය ඔවුන් දෙදෙනා නිරෝෂන් නොහොත් චමරිගේ සැමියාව සොයා යාමට පිටත්වූයේ". ප්‍රසන්නට නිතරම අවශ්‍ය වූයේ, යුද්ධය නොපෙන්වා යුද්ධය පෙන්වීමටය. එය ඔහුගේ මින්පෙර කෘතිය වූ "පුරසද කළුවර" තුළද තිබුණි. "ඉර මැදියම" තුළින්ද, ඔහු බොහෝ පරිස්සම් වී තිබුනේ යුද්ධය නොපෙන්වීමටය. නමුත් ප්‍රේක්ෂකයාට යුද්ධය දැනුනි. දුමින්ද ඇතුළු තවත් යහළුවන් දෙදෙනකු ගණිකා මඩමකට යන්නට ප්‍රසන්න ඉඩ සැලසුවද, එතැනද අප දුටුවේ යුද්ධයය. ඒ, තරුණ යුධ භටයන් නිවාඩු දින,තම තාරුණ්‍ය හා බද්ධ වන ක්‍රම වේදයයි. මත් පැන්,සල්ලාල කම් වලට තාවකාලිකව හෝ ඔවුන් හුරුවන්නේ යුද්ධය තුළ ඔවුනගේ ජීවිතය අනතුරේ නිසාය. එය සාධාරණය. නමුත් එතැනදී ඔහු තවත් යුද්ධයට සම්බන්ධ නැති කථාවක් ඈදා ගති.ඒ, කමණී ගේ වෛශා ජීවිතයයි. එතන පෙනුනේ දරිද්‍රතාවයි. නමුත් ප්‍රසන්න එතන තරමක් පහත් පෙලේ "ත්‍රිල් " එකක් දුන්නේ, වෛශා පහස සොයා ආ දුමින්දට කමණීව මුණගස්වමිනි. අවසානයේ කමණී යනු දුමින්දගේ නැගණියයි. එය එක්වරම හින්දි "සී "ග්‍රේඩ් චිත්‍රපටයකට පරිවර්තනය විය. එලෙසම සමන් සමග චමරි තම සැමියා වූ නිරෝෂන් සොයා යන අතර, ඔවුන් ඔවුනගේ හැගීම් අතර අතරමං වී, "රොමැන්ටික්" වූ විට, මට සිතුණේ, "හද විමන් දොරින් එන පැතුම් පවන්,විහිද යයි හමා" කියමින් පීටර් ඩී අල්මේදත් , නිම්මි හරස්ගමත්, ගාමිණී ෆොන්සේකා හා මාලනී ෆොන්සේකා "කස්තුරි සුවද" චිත්‍රපටයේ නැටුවාක් මෙන් නටයි කියාය. නමුත් සැමියා අතුරුදහන් වුනු රූමත් තරුණ බිරිඳක් හා බ්‍රිතාන්‍යයේ ජීවත් වුනු සිංහල විවාහක කඩවසම් තරුණයෙක් රාත්‍රියක තනි වුනු විට,"බිත්තර"තම්බන්න දැයි ඇතැම් විට ප්‍රසන්න හිතන්න ඇති. එයද සාධාරණය. "හසන් තුල ඇති චින්තවේගය වූ කලි නැවත නොදන්නා පරිසරයකට ගොස් ජීවිතය පටන් ගැනීමය. මෙතෙක් කල් පවත්වා ගිය කඩ සාප්පු වසා දමා, ඔවුනට කොටි සංවිධානයෙ නියෝගය පරිදි අවම රුපියල් හාරදාසක් පමණක් රැගෙන නැවත ජීවිතය පටන් ගත යුතුය. බිරිඳ ,තම මහලු මව, කුඩා දියණිය,සහ කුඩා පුතු වූ අර්ෆත් සමගම එම ජීවිතය ඇරඹීම පහසු කටයුත්තක් නොව. දුමින්දට තිබුනේ, තම නැගෙණිය රැකියාවකට යන බව පවසමින් ගණිකා මඩමක සේවය කිරීම තම අතටම අහුවු පසු, ඇතිවුණු චිත්ත ප්‍රවේගයය. චමරිට තිබුනේ කොටි සංවිධානයේ හිරකර සිටිනවායයි අනුමානය කෙරු තම සැමියාව කෙසේ හෝ සොයා ගැනීමය. මෙම චරිත තුන යුද්ධය හා සම්බන්ධ වී තිබුණේ ඒ ආකාරයෙනි.හසන් තුල ඇති චිත්තවේගයට නොදෙවැනි ශෝකයක් ඇතිවී තිබුනේ හසන්ගේ පුත් කුඩා අර්ෆත් ටය. ඒ, රෙක්සි බල්ලා දමා යෑමට සිදුවීම නිසාය. දුමින්ද ගේ සිත් තැවුලට වඩා නොදෙවෙනි දුකක් දැනුණේ කමණිටය. ඒ තමාව ගණිකා මඩමේ දුටු සිදුවීමට වඩා තම සොහොයුරා වෛශාවන් පසු පස යෑම දුටු නිසාය. ඔවුන් දෙදෙනා නිවසේ හමුවූ කල, තම මව,දෙදෙනා ගැනම තබා ඇති විශ්වාශය හා බලාපොරොත්තු ඔවුන් දුටු විට දෙදෙනාගේ ශෝකය දෙගුණ තෙගුණ විය." මේ සියල්ලම ඛේදවාචකයන්ය. චමරිට තම සැමියා අතුරුදහන් වීම, හසන්ට තම කඩ සාප්පුව,ගේ දොර,නැතිවීම, අර්ෆත්ට තම බල්ලා වූ රෙක්සිව නැතිවීම. කමණිට තමාගේ සොහොයුරා ඉදිරියේදීම තමාගේ ආත්මය නැතිවීම. එලෙසම දුමින්දටද තම සොහොයුරිය ඉදිරිපිට ඔහුගේ ආත්මය නැතිවීම, ප්‍රසන්න මේ හැම දෙයක්ම ඇමිණුවේ යුද්ධයටය. යුද්ධයද විශාලවූ ඛේදවාචකයකි. ප්‍රසන්න ඔහුගේ සුපුරුදු ශෛළය මෙතනටත් එකතු කෙරිය. ඒ සියුම් තැන් වලින් පුළුල් අරුතක් දීමය. කුඩා අර්ෆත් හා රෙක්සි නම් බල්ලාගේ බැදීම එක නිදසුනකි. යුද්ධය නිසා හැම අයගෙම ජීවන රටාව අවුල් වී ගොසිනි. බල්ලා හා අර්ෆත් ගෙ ජීවිතද එලෙස අවුල්වී ගොස් තිබුණි. හසන් ගේ සිතේ කිසිදු තෙතමනයක් තිබුනේම නැත. ඔහු රළු මිනිසෙකි. ඔහු ඔහුගේ බලපරාක්‍රමය පෙන්වූයේ කුඩා අර්ෆත් ට හා බල්ලාටය. යුද්ධයෙන්ද පීඩා වින්දේ දුබලයාය. බලවතා ඔහුගේ රැස් පෙන්වූයේ දුබලයාටමය. හරියට හසන් අර්ෆත්ට හා බල්ලාට පෙන්නුවාක් මෙන්ය. චමරි තම සැමියා සෙවීමට උත්සහා ගන්නවා මදි යැයි සිතේ. ගැඹුරෙන්ම ඒ ගැන සිතන විට, චමරිගේ යට හිත තුළ තිබුණේ සැමියා සෙවීම හරහා, රුපවාහිනි තිරයේ දුටු කඩවසම් මාධ්‍ය වේදියා වූ සමන් ගුණවර්ධනට අකාර්ෂණය වීමය. ඇයගේ සිත තුල වරෙක ඇය තම සැමියා වෙනුවෙන් වික්ෂෝප වෙනවා සේම තව වරෙක සමන් ගුණවර්ධන ඉදිරියේ තොදොල්වීම,ඉගි බිගි පෑම තුළින්, ප්‍රසන්න ගැහැණුන්ගේ අභ්‍යන්තර චින්තනය මොනවට විදහා පායි. යුද්ධය යන පසුබිම තුල මිනිසුන්ට නැතිවූ දේ බොහෝමය. ඒ නැතිවීම තුළින් ඔවුනට යලි ඒවා නොලැබුණි. හසන් ට තම සාප්පුව නැති වී නැවත රෙදි පොට්ටනි ගසා ගෙන බයිසිකලයේ බැදගෙන ගෙයින් ගෙයට ගොස් විකුණන්නට සිදු විය. චමරිට තම අතුරුදහන් වූ සැමියා හමුවුනේද නැත. කමණිට නැතිවී ගිය පිරිසිදුකම යළි ලැබුණේ නැත. එහෙත් අර්ෆත් ට අලුත් නවාතැනේදී තව බල්ලෙක් හමු විය. එතැනදී අර්ෆත් ගේ ජීවිතයට නව බලපොරොත්තුවක් ඇති විය. රෙදි පොට්ටනිය බැදගෙන යළිත් මුල සිටම තම ව්‍යාපාරය පටන් ගැන්ම යනු හසන් ගේ ජීවිතයට නව බලාපොරොත්තුවකි. සැමියාව සොයා යෑමට තවත් හෝඩුවාවක් ලැබුණු හෙයින් තනිවම හෝ ඒ පසු පස හඹා යෑම චමරිගේ නව බලාපොරොත්තුවයි. ගණිකා නිවාසයේදී තම සොහොයුරිය ගණිකා සේවයේ යෙදී සිට අසුවී ඇතිවූ අරගලයට පසු යලි නිවසේදී ඇයට මුදුවක් තෑගී කර එම සිදුවීම අමතක කර නැවත වැඩට යාම ද දුමින්දට නව බලාපොරොත්තු ඇති කරන්නට විය. ප්‍රසන්න ඛේදවාචක තුළින් ප්‍රේක්ෂකයාව ගලව ගන්නට සියුම් උත්සාහයක් ගන්නේ මෙවන් බලාපොරොත්තුන් තුළිනි. . චිත්‍රපටයේ සුවිශේෂිතම අවස්ථාව එන්නේ මින් පසුවය. ඒ අප හදවතින් ගනු දෙනු කල චරිත තුන එකම තලයකට පිවිසීමය. ප්‍රසන්න මොන තරම් විශිෂ්ටයෙක්ද කියා සිතෙන්නේ මෙවිටය. මේ චරිත තුන ඔවුනොවුන් නොදනියි, එහෙත් ප්‍රේක්ෂකයන්ට නම් ඔවුන් ඉතාමත් සමීපය. මෙතෙක් ප්‍රේක්ෂකයන් හදවතින් ගනු දෙනු කලේ මේ චරිත තුන සමගය. අවසානයේ ඔවුන් තිදෙනා එකම මාර්ගයේ ගමන් කර,එක තැනකදී එකිනෙකා පහු කරද, ප්‍රේක්ෂකයා හැරෙන්නට ඔවුන් ඔවුන්ව නොදනී. ප්‍රසන්න මුළු චිත්‍රපටයම එක මිටට ගන්නේ මෙතනදීය. එය නම් විශ්මිතය. ප්‍රසන්න ගේ අධ්‍යක්ෂණයේ අද්විතීය බව හැගුණේ චිත්‍රපටය අවසන් වූ විටය. එතෙක් අප හසන්, අර්ෆත්,රෙක්සි,චමරි,සමන්,දුමින්ද,කමණී සමග දැඩි ආත්ම කථිකාවකය නිරත වී සිටියෙමු. අප ඉන් මිදුණේද, මෙය චිත්‍රපටයක් යැයි හැගුනේද චිත්‍රපටය අවසන් වූ පසුවය. ප්‍රසන්න තම චරිත හැසිරවීම් තුළ මොන තරම් දක්ෂ වුණිදැයි සිතුනේ කුඩා අර්ෆත් ලෙස රැගු මොහොමඩ් රහෆියුල්ලා හැසිරු ආකාරය ගැන සිතන විටය. එම හැසිරීම තුල ඒ කුඩා නළුවා රගපෑ ආකාරයත් අතිශයින්ම විශ්මිත විය. පීටර්ල, නිම්මිලා, සිටියද අර්ෆත් ගේ රගපෑම දැඩිවම සිතට දැනුනි. ඔහුත් රෙක්සි බල්ලාත් අතර තිබු බැදීම, හරියට අපත් බල්ලාත් අතර ඇතිවෙනවා වගේය .ඔහු බල්ලා සමග සිටින විට ඔහුට දැනෙන ප්‍රීතිය, එමෙන්ම බල්ලා නැති විටදී ඔහුට දැනෙන දැඩි ශෝකය, මොහොමඩ් රහෆියුල්ලා රගපෑවේ ප්‍රවීනයෙකුටත් වඩා දක්ෂ ලෙසය. එලෙසම ප්‍රසන්න, හසන් ගේ චරිතය රගපෑ ඒ.ඒ.මන්සූර් ව හසුරුවා තිබු ආකාරයද විශිෂ්ටය. , රහෆියුල්ලා සහ මන්සූර් පීටර් හා නිම්මිවද අභිබවා යන බවක් ඇතැම් අවස්ථාවල දැනේනට විය. ලක්ෂ්මන් ජෝශප් ඩි ශාරම් ගේ සංගීතයත්, එම්.ඩී.මහින්දපාලගේ කැමරාව ගැනත් සුවිශේෂිත ලෙස සඳහන් කළ යුතුමය. පීටර් ද අල්මේදා වැනි නළුවන් ප්‍රසන්න වැනි අධ්‍යක්ෂකයන්ට අසුවූ විට,එතැන් ඇතිවූ ශිල්ප හරඹය ඉතාමත් විසල්ය. එය මෙතෙක් යයි කියා දීමට නොහැක . මොවුන් නම් ඉපදුණේ ලංකාවේම පිනටය. මෙතරම් අද්විතීය සම්බන්ධතාවයක්.? "ඉර මැදියම" ප්‍රසන්නගේ උපරිමයදෝ කියා සිතේ. ජාතික හා අන්තර් ජාතික සම්මාන ගණනාවකින් පිදුම් ලද "ඉර මැදියම" එතෙක් මෙතෙක් ප්‍රසන්න අතින් බිහිවූ විශිෂ්ටතම චිත්‍රපටය යැයි කිව හොත් එය වැරදි නොවේ. එය එවර සරසවිය සම්මාන උලෙළේ හොඳම චිත්‍රපටය ඇතුළු සම්මාන රාශියක් දිනාගත්තේය.
(ලබන සතියේ තව කොටසක්) |