වර්ෂ 2016 ක්වූ අජ්‍රේල් 27 වැනිදා බ්‍රහස්පතින්දා




වස්සානයේ සඳ

ආප්ප බානවා වගේ ප්ලේන් බාන්න බැහැනේ

සන්දේශ්ගේ ආබාධය ගැන මිහිරි තුළ තිබුණේ අප්‍රමාණ වූ අනුකම්පාවකි, සංවේගයකි. හොඳීන් සිටි කාලයේ ඔහු මොනතරම් ජවයකින් හා විනෝදයෙන් හැසිරුණාද? පසු කලකදී විවාහය පිළිබඳ කතාබහ තුළ දී තම සොහොයුරු සම්බන්ධව නැගුණු ප්‍රශ්නය මත දෙදෙනාටම ආයාසකර තීන්දුවක් ගැනීමට සිදුවීමත් සමඟම සියල්ල නොපිට පෙරලිණ. සන්දේශ් රට හැරදා ගියේය. ඉන්පසු ඔහුගේ පියාගේ මරණයත්, හදිසි අනතුරකට මුහුණ දී දරුණු ආබාධිත තත්වයකටත් පත්විය. මිහිරිට අළුත් පෙම්වතෙකු මුණ ගැසිණ. අවසානයේ දී සන්දේශ් සියළු විදේශ සම්බන්ධතා අතහැර දමා යළිත් මෙරටට පැමිණියේය.

මෙතෙක් කතාව

සන්දේශ් හා මිහිරි යනු විවාහ ගිවිස ගැනීමට බලාපොරොත්තුවෙන් සිටින පෙම්වතුන් යුවලකි. මිහිරිට 'ඩවුන් සින්ඩ්‍රොම්' නැමැති බුද්ධි හීන ආබාධයෙන් පෙලෙන සොහොයුරෙකු සිටී. මේ හේතුව මත සන්දේශ්ගේ දෙමව්පියෝ ඔවුන්ගේ විවාහයට කැමැත්තක් නොදක්වති.

සන්දේශ් පසුව උසස් අධ්‍යාපනය සඳහා ඕස්ට්‍රේලියාවට යයි. එහිදී ඔහු නතාශා නැමැති රූමත් ලාංකික යුවතියක් හඳුනාගෙන ඇය හා ආදරෙන් බැඳේ. දිනක් මිතුරු සාදයකදී ගැටුමකට මැදිවන සන්දේශ් සඳළුතලයකින් පහළට වැටෙයි. එහිදී කොඳු ඇට පෙළට දරුණු ලෙස හානි සිදු වී ඔහුගේ ජීවිතය රෝද පුටුවකට සීමා වේ. මෙම හේතුව නිසා නතාශාගේ දෙමාපියෝ ඔවුන්ගේ විවාහයට විරුද්ධ වෙති. පසුව සන්දේශ් නතාශාගෙන් වෙන් වී යළිත් ලංකාවට පැමිණේ.

දිනක් සන්දේශ්ගේ උපන් දින සාදයකදී ඔහුට අහම්බෙන් මිහිරි මුණ ගැසේ. එහිදි මිහිරි තම පෙම්වතා වන ගයන්තව සන්දේශ්ට හඳුන්වා දෙයි. තවත් දිනක මිහිරි සන්දේශ් බැලීමට ඔහුගේ නිවසට යයි. එදින දහවල් ආහාරය පිළියෙල කරන ඈ ගයන්තත් නිවසට කැඳවයි.

(අද එතැන් සිට)

"හොර වැඩ ඔක්කොම අහුවුණා"

මිහිරිට එසේ කියැවිණ.

"මොනවද මිහිරි කරන්නෙ?"

"මං ඔයාට රස කෑමක් හැදුවා"

"රස කෑමක්?"

"ඔව්"

ඇය ඊළඟට සිසිර දෙස බැලුවාය.

"සිසිර ඔයා ගිහින් ඉක්මනට මේසෙ ලෑස්ති කරන්නකො"

"හරි" එසේ කියමින් සිසිර එතැනින් ඉවත් විය.

"ගයන්තත් දැන් එනව කිව්වා අපිත් එක්ක කෑම කන්න. එතකන් ඔයා මොනවාහරි බොනවද සන්දේශ්?"

"ඕන්නෑ. දැන් කනවනෙ"

සිසිර පිඟන් හැඳී තබමින් මේසය සකස් කරන්නට වූයේය. මිහිරි සාලයේ ටීපෝව අසළට ගොස් ඒ මත තිබු ඉටි කවරයක් තුළ වූ ඩීවීඩී පට කිහිපයක් එළියට ගත්තාය.

"ඔන්න මං ඔයාට හොඳ ෆිල්ම්ස් ටිකක් ගෙනාව, බලන්න. "

" තෑන්ක්ස්"

" මේ පාර ඔස්කා එවෝඩ්ස් හම්බ වෙච්ච ෆිල්ම්ස් වගයකුත්ඇති ඔතන"

" මරු"

මෙවෙලේ 'හලෝ හලෝ' කියමින් ගයන්ත නිවසට පැමිණියේය. ඔහු සැරසී සිටියේ ගුවන් හමුදා නිල ඇඳුමිනි. පාන් ගෙඩියක් සහිත පාර්සලයක් ද ඔහු අත විය. ඔහු පාර්සලය මිහිරි අතට දෙමින් ඇය අසල තිබු සෙටියට වැටුණේය.

" එයා බේස් එකේ ඉඳන් එන ගමන්ද? "

"ඔව්, මිනිස්ටර් කෙනෙක් එක්ක අම්පාරෙ ගියා. ආපු ගමන්ම තමයි මිහිරිගෙන් කෝල් එක ආවෙ. ආයෙත් යන්න ඕන. කෝ ආන්ටි නැද්ද ගෙදර? "

"නෑ"

" ආ ඒකයි මෙයා මෙහේ වැඩ බාර අරගෙන තියෙන්නෙ. මොනවද අද හැදුවයි කිව්ව ස්පෙෂල් කෑම? "

"කාලා බලන්නකො" මිහිරි එසේ කියමින් අසුනින් නැගිට්ටාය.

" බලමු අද කුකුරි ටෙස්ට් එකෙන් මෙයා පාස් වෙයිද කියලා"

ගයන්ත අසුනින් නැගිට්ටේය. ඉන්පසු සැවොම මේසය වටා අසුන් ගත්හ. සැමටම මුලින් ආහාර බෙදුවේ මිහිරි ය.

මැකරෝනි ගයන්ත එතරම්ම ප්‍රිය කළ ආහාරයක් නොවේ. එහෙත් චීස්, ඇඹරූ කුකුළු මස් හා සෝස් වර්ග යොදා මිහිරි පිළියෙළ කළ මැකරෝනි ආහාරය ප්‍රනීත රසයකින් යුක්ත විය.

" හොඳයි, පාස්" ගයන්ත කීවේය.

මිහිරි සතුටින් යුතුව කතා කරන්නට වූයේ තම පිඟානටත් ආහාර බෙදා ගනිමිනි.

"ඒකනෙ, ඔන්න මං ඔයාට බත් ටිකකුත් හැදුවා. මෙයාට නං බත් නැතුවම බෑ සන්දේශ්. හරිම බතෙක් තමයි, බැන්දට පස්සෙත් මට මෙයාට බත්ම උය උය ඉන්න වෙයි."

"ඇයි, කිරිමාළු සමඟ රෝස් පාන්"

විනෝද හා සුහද කතාබහ ඔස්සේ කාලය ගෙවී ගියේ සතුටිනි. ගයන්තගේ හා මිහිරිගේ ඇසුර නිසා මෙදින මෙතෙක් තිබු පාළුව හා සාංකා ගතිය සන්දේශ්ගේ සිත තුළින් බැහැර වී ගොස් තිබුණේය‍.

* * *

සන්දේශ්ගේ ආබාධය ගැන මිහිරි තුළ තිබුණේ අප්‍රමාණ වූ අනුකම්පාවකි, සංවේගයකි. හොඳීන් සිටි කාලයේ ඔහු මොනතරම් ජවයකින් හා විනෝදයෙන් හැසිරුණාද? පසු කලකදී විවාහය පිළිබඳ කතාබහ තුළ දී තම සොහොයුරු සම්බන්ධව නැගුණු ප්‍රශ්නය මත දෙදෙනාටම ආයාසකර තීන්දුවක් ගැනීමට සිදුවීමත් සමඟම සියල්ල නොපිට පෙරළිණ. සන්දේශ් රට හැරදා ගියේය. ඉන්පසු ඔහුගේ පියාගේ මරණයත්, හදිසි අනතුරකට මුහුණ දී දරුණු ආබාධිත තත්වයකටත් පත්විය. මිහිරිට අලුත් පෙම්වතෙකු මුණ ගැසිණ. අවසානයේ දී සන්දේශ් සියලු විදේශ සම්බන්ධතා අතහැර දමා යළිත් මෙරටට පැමිණියේය.

නැවත බොහෝදේවල් එකට සම්බන්ධ වී ඇතත් මානුෂික සම්බන්ධතා පෙර පරිදි ආකාර‍යෙන් නොවේ. එහෙත් සුහදත්වයේ වෙනසක් සිදු වී නොමැත. සැහැල්ලු බව පරයා ජිවිතය තුළ ඇති බැරැරූම් හා වේදනාකාරී බව සන්දේශ්ට වඩාත් හොඳීන් අවබෝධ වෙමින් තිබිණ.

"අනේ තැන්ක්යු ශලිනි, ඔය විස්තර ටික දුන්නට. මං කොහොම හරි දෙන්නව කැමති කරවගෙන එතෙන්ට ගිහිල්ල වෙද මහත්තයා හම්බවෙලා බලන්නං"

හදිසියේ ඇසුණු දුරකථන ඇමතුමින් මිහිරිගේ සිතට දැනුණේ නැවුම් ප්‍රබෝධයකි. ස්න්දේශ්ගේ පිටකොන්දේ ආබාධය සුවකර ගැනීම සඳහා කොතෙකුත් බටහිර ප්‍රතිකාර ක්‍රමවේදයන් අනුගමනය කළත් පරම්පරික ක්‍රම ඔස්සේ කිසියම් උත්සාහයක් ගෙන බලන්නැයි කිහිපදෙනෙකු මිහිරිට පවසා තිබිණ. බටහිර ප්‍රතිකාර තුළින් සුවකළ නොහැකි වූ බොහෝ ආබාධයන් එවැනි පාරම්පරිත වෙදකම් මඟින් සුවකර ඇති බොහෝ අවස්ථා ගැනත් මිහිරි අසා තිබුණාය. එහෙයින් ඇය එවැනි පාරම්පරික ‍වෙද මහත්වරුන් ගැන විමසිල්ලෙන් සිටි අතර අවසානයේ දී ශලිනි නැමැති හොඳම මිතුරියකගෙන් හොඳ හෝඩුවාවක් ලැබිණ.

"දිඹුලාගල කියන්නෙ සෑහෙන දුරක්නෙ. පොළොන්නරුවෙනුත් හැරිල ගොඩාක් දුර යන්න ඕන. වැඩ ටික ඔක්කොම කරගෙන එක දවසකින් එන්න පුළුවන් වෙයිද මංදා"

මිතුරිය කී වෙද මහතා හමුවට සන්දේශ් රැගෙන යාමට ගයන්තට පවසා සිටි මොහොතේ ඔහු එසේ කීවේය.

" බැරි වෙන එකක් නෑ. අපි උදෙන්ම පිටත් වෙමු "

මිහිරි කතා කරන්නට වූයේ දැඩි උද්යෝගයකින් මෙන්ම අධිෂ්්ඨානයකිනි.

" අනේ මං දන්නෑ, මහන්සි වෙලා ඔච්චර දුරක් ගිහින් ඔය කරන්න හදන වෙදකං හරි යයිද කියලා. මෙසේ ට්‍රීට්මන්ස් හොඳට කෙරෙනවනෙ "

" අනේ අපි ඒකත් කරල බලමු ගයන්ත. ඒ වෙද මහත්තයගෙන් බෙහෙත් ගත්ත ගොඩක් අය සනීප වෙලා තියෙනවලු"

ගොඩ වෙදකම් ගැන ගයන්ත තුළ වැඩි විශ්වාසයක් තිබුණේ නැත. එහෙත් මිහිරිගේ යෝජනාව එකවිට ප්‍රතික්ෂේප කොට ඇගේ සිත රිද්දන්නටත් ගයන්ත කැමති නැත. සන්දේශ් ගැනත් ඔහුගේ සිත තුළ ඇත්තේ අනුකම්පාවකි. සෑහෙන කලකින් දුර බැහැරක නොගිය නිසාත්, ගමන විනෝදයකට හරවා ගැනීමට හැකියැයි සිතූ නිසාත් අවසානයේ ඔහු මිහිරිගේ යෝජනාවට එකඟත්වය පළ කළේය.

ගමන සඳහා ගයන්ත යොදා ගත්තේ ඔහු සතුව ඇති ඩබල් කැබ් රියයි. මිහිරිව පළමුවත් දෙවනුව සන්දේශ්වත් රියට නංවා ගෙන ගයන්ත කොළඹින් පිටත් වූයේ උදෑසන හයට පමණය. ඒ නිසා මාර්ග තදබදය ආරම්භ වීමට කලින් කොළඹ නගරයෙන් පිට වීමට ඔවුන්ට හැකියාව ලැබිණ. මිහිරි උදේ ආහාරය ලෙසින් මස් බැඳුම් සහිත පාන් පෙති හා කට්ලට් කිහිපයක් රැගෙන විත් තිබිණ. ගයන්ත ග්‍රාමීය මාවතක් පසෙක තිබු පොල්අතු තේ කඩයක් අසළ රිය නතර කළේය. උදේ ආහාරය ගත් පසු ඔවුහු කඩයෙන් ඇණවුම් කොට හකුරු සමඟ කහට ද පානය කළහ.

දැඩි සීතලකුත් රස්නයකුත් නැති සමබර දේශගුණය ඔවුන්ගේ ගමනට වැඩි පීඩාවක් එක් නොකළේය. විනෝදජනක කතාබහ සමඟ රිය තරමක වේගයකින් ඉදිරියට ඇදෙමින් තිබුණේය. රිය ඉදිරිපස අසුනේ ගයන්ත හා මිහිරි සිටි අතර සන්දේශ් සිටියේ පිටුපස අසුනේය.

"වැඩක් නෑ නේද සන්දේශ්, ගයන්ත මහලොකු පයිලට් වුණාට. අපිට මේ ගමන යන්න ප්ලේන් එකක්වත් ගේන්න බැරි වුණානෙ"

"දිඹුලාගල පැත්තෙ ප්ලේන් බාන්න තැනක් නෑ‍නෙ. ඒකයි මං ගෙනාවෙ නැත්තෙ. ආප්ප බානවා වගේ ප්ලෙන් බාන්න බෑනෙ"

සිනහව නිසා බොමින් සිටි වතුර ද මිහිරිගේ මුවින් පිටතට වීසි විය.

පැය කිහිපයක්ම රිය ධාවනයේ යෙදී තිබුණේය. එක් මොහොතකදී මිහිරි හිස හරවා බලන විට සන්දේශ් පිටුපස අසුනට ගෙල මඳක් ඇල කොට නිදා ගනිමින් සිටිනු දුටුවාය.

"පව් අනේ, දැන් ඔහොම හිටියට ඒ දවස්වල ඔයාටත් වැඩිය විහිළු කතා කිය කිය විනෝදයෙන් හිටියෙ. ලෙඩත් එක්ක පුදුම විදියට මානසිකව වැටිල ඉන්නෙ"

"හරි හරි, අපි කොහොමහරි මිනිහව කෙළින් කර ගන්න බලමු. ඒයි සන්දේශ්!"

"ගයන්ත, ඔයා මොකක්ද කරන්න හදන්නෙ? සන්දේශ් ඔහොම පොඩ්ඩක් නිදා ගත්තාවෙ. එයාට මහන්සි ඇති"

ගයන්තගේ උස් හඬත් සමඟ සන්දේශ්ගේ දෙනෙත් විවර වන්නට විය. ගයන්ත ඔහුව දකින්නේ රියේ පිටුපස කණ්ණාඩිය තුළිනි.