වර්ෂ 2016 ක්වූ මාර්තු 16 වැනිදා බ්‍රහස්පතින්දා




ර්නස්ට් වඩුගේ පෙම්බැඳි රූමත් නිළිය කවුද?

අර්නස්ට් වඩුගේ පෙම්බැඳි රූමත් නිළිය කවුද?

ආදරය මිහිරක් නොවේ යැයි කියන්නේ ඇයි...?

සිනමා මාධ්‍යවේදියකු මෙන්ම ‘බිරිඳ’, ‘සුවඳ’, ‘කලා රස’ ආදි පුවත්පත් රැසක් ඇරැඹූ අර්නස්ට් වඩුගේ ලියූ ‘ආදරය මිහිරක් නොවේ’ නවකතාවේ දෙවැනි මුද්‍රණය පසුගියදා එළිදැක්විණි. මේ ලිපිය සැකසෙන්නේ ඒ නවකතාව පිළිබඳත් ඔහුගේ මාධ්‍ය ජීවිතය පිළිබඳත් අර්නස්ට් වඩුගේ සමඟ කළ කතාබහකිනි.

* ඔබ පුවත්පත් කලාවට ආදරය කරන්නේ පාසල් කාලයේ පටන්ම ද?

මුලින් ම ගාල්ල මහින්ද විද්‍යාලයේ ඉහළ පන්තිවල සිප්සතර හදාරද්දි මගේ මාධ්‍ය මාවතට කිසියම් එළියක් වැටුණු නමුත්, මාධ්‍ය ජීවිතයට අඩිතාලම වැටෙන්නේ පාසල් දිවියට සමුදී රැකියාවක් අපේක්ෂාවෙන් නිවෙසේ ගත කළ සමයේයි. ඒ කාලයේ නිවෙසට වී මා නොලියූ පුවත්පතක් නොමැතිතරම්.

* මුලින් ම පුවත්පතක ලිපියක් පළ වූ දිනය ඔබට මතක ද?

ආරියරත්න කහවිට සංස්කරණය කළ ‘කලා’ සඟරාවේ පළ වූ සිනමා ප්‍රශ්න පිටුවට ප්‍රශ්න ඉදිරිපත් කරන අයුරු මට තවම මතකයි. ගාල්ලේ සිට පැමිණ ඒ සඳහා ප්‍රශ්නයක් ලියාදී ආපසු යන මගේ මුල් ම ලිපියක් පළ වූයේ ‘සිළුමිණ’ පුවත්පතේයි. පිටු භාගයකින් යුතු ඒ ලිපිය පළ වූ දිනය හරියට ම මා වසර ගණනක් ආදරය කළ කෙල්ල විවාහ කරගත්තා හා සමානවයි මට දැනුණේ. ‘රට රටවල මනමාලයන් තෝරන හැටි’ යන මැයෙන් විශාල සිරස්තලයක් යටතේ පළ වූ ඒ ලිපියේ 36 තරම් පොයින්ට් සයිස් එකෙන් මගේ නම සඳහන් වූයේ ගිංතොට අර්නස්ට් කුමාර් වඩුගේ යන නමින්. ඒ නිසා අපේ ගමේ සියලු දෙනා අතර මට ඇතිවුණේ විශේෂ පිළිගැනීමක්.

* වෘත්තිය පුවත්පත් කලාවේදියකු බවට පත්වන්නේ කුමන ආකාරයෙන් ද?

පසු කාලෙක මා එවකට ඉතාමත් ජනප්‍රිය වූ ‘කලා’ පුවත්පතේ ස්ථිර සාමාජිකයකු බවට පත්වෙනවා. අනතුරුවයි ‘නවයුගය’ට ලිපි සැපයීමටත් මට වරම් ලැබෙන්නේ. මගේ මාධ්‍ය ජීවිතයේ වෙනස් මඟකට අවතීර්ණ වන්නේ මා ලේක්හවුස් ආයතනයේ වෘත්තිය මාධ්‍යවේදියකු බවට පත්වීමෙන්. මා සරසවිය පුවත්පතට පිවිසෙන්නේ සරසවිය ආරම්භ කළ මුල් යුගයේයි. එනම් 1965 වසරේදි පමණයි. එවකට දැවැන්ත කලා පුවත්පතක් වූ ‘සරසවිය’ පුවත්පතේ විශේෂාංග සම්පාදකයකු ලෙස වසර පහළොවක් තරම් කාලයක් සේවය කිරීමට භාග්‍ය ලැබූවකු බවත් මා මේ අවස්ථාවේදී සිහිපත් කළ යුතුයි. ඒ වගේ ම මගේ මාධ්‍ය ජීවිතයේ සරසවිය ‘සරසවිය’යි.

* ඔබට කලාකරුවන් හඳුනා ගැනීමට ලැබෙන්නේ මෙහි සිටි කාලය ඇතුළත ද?

මෙහි සිටින කාලයේදියි මා කලා ලොවේ සිටින නළු නිළියන් සමඟ ඇසුර ආරම්භ වන්නේ. අද කලා ක්ෂේත්‍රයේ සිටින දැවැන්ත තරු පිළිබඳ එකල මා ලිව්වා. නිළි රැජන මාලිනී ෆොන්සේකාගේ මුල්ම සිනමා ලිපිය ලිව්වේත් මමයි. ඒ හරහා ඇතිවන සුහදත්වය මතයි ඔවුන් සමඟ ළඟ ඇසුරක් ඇති වන්නේ.

* ඔබගේ ප්‍රථම නවකතාව වන ‘ආදරය මිහිරක් නොවේ’ නවකතාව ලියැවෙන්නේත් මේ කාලයේ ම ද?

ඔව්. කොළඹට පැමිණ අලුත් ජීවිතයක් ගත කරමින් සිටින භෞද්‍ර යෞවන කාලයේදියි මා ‘ආදරය මිහිරක් නොවේ’ නවකතාව ලියන්නේ. මා සිතන්නේ ‘සරසවිය’ට පැමිණ වසර දෙකක් ඇතුළතයි මා මේ නවකතාව ලියන්නේ.

* ‘ආදරය මිහිරක් නොවේ’ නවකතාවට වසර කීයක් ද?

මා සිතන්නේ මේ නවකතාවට දශක හතරකට එහා ගිය අතීතයක් තිබෙන බවයි. පොත ලියූ පසුව ඒ ගැන විවිධ පුවත්පත්වල පළ වුණා. රූමත් නිළියකට පෙම්කළ මාධ්‍යවේදියකු යැයි පවසමින් යම් ආන්දෝලනාත්මක තත්ත්වයක් ඇතිවුණා. ‘ඔබ්සවර්’, ‘ඩේලි නිවුස්’ වගේ පුවත්පත්වල පොත් ගැන ලිපියක් යන්නේ බොහොම අඩුවෙන්. ඒ වුණත් මගේ නවකතාව ගැන ඔවුන් කතා කළා.

* රූමත් නිළියකට පෙම්කළ මාධ්‍යවේදියකු යැයි පවසමින් ලියූ මේ කතාව ඔබගේ ජීවිතය හා ඈඳුණු සත්‍ය කතාව ද?

ඉස්සර ‘සරසවිය’ හා කලාවේ සිටින අය අතර තිබුණේ ළඟ සැබැඳීයාවක්. ඒ කාලයේ ඔවුන් සමඟ ඇතිවුණු සබැඳීයාව තවමත් අප අතර තිබෙනවා. ඔබ ඇසුවා වගේ ඒ කාලයේදිත් මේ කතාව පළ වූ පසුව අර්නස්ට් වඩුගේගේ සැබෑ කතාව ද මේ තිබෙන්නේ කියලා බොහෝදෙනා අතර යම් ප්‍රචාරයක්‍ ගිය බව මට මතකයි. මා පමණක් නොවෙයි ඕනෑ ම නිර්මාණකරුවකු කරන නිර්මාණයක් ඇතුළේ ඔවුන්ගේ අත්දැකීම් තිබෙනවා. මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් ගන්න ඔහුගේ කතාවල ඔක්කොම තිබෙන්නේ දකුණු පළාත ගැනයි. ඔහු අවට පරිසරයයි. මහඇඳුරු එදිරිවීර සරච්චන්ද්‍රයන් ගන්න ඔහුගේ ‘මළගිය ඇත්තෝ’ වගේ නිර්මාණවල තිබෙන්නේ ජපානය හා ඈඳුණු කතාවක්. ඔහු කාලයක් ජපානයේ සිටියා. ‘ගොළු හදවත’ නවකතාවේ සියයට හැත්තෑවක් තිබෙන්නේ කරුණාසේන ජයලත්ගේ ජීවිතේ. ‘ආදරය මිහිරක් නොවේ’ නවකතාවත් ඒ විදියට ලියැවුණු නවකතාවක් විය හැකියි.

* ඔබ නවකතාවලට කලා ක්ෂේත්‍රයේ සිටින සැබෑ අයගේත් නම් ඈදෑ ගන්නවා. එහෙම කළේ ඇයි?

සිනමා ක්ෂේත්‍රය නියෝජනය කරමින් නවකතාවක් ලිවීමේදී වෙනත් බාහිර නම් ගම් ඇතුළත් කරන්න ගියා නම් පාඨකයන්ට යම් දුරස්ථ බවක් ඇති විය හැකියි. ඒ නිළිය හමුවෙන්නේ ටෝනි රණසිංහ කියලා කිව්වොත් එතැන කුතුහලයක් ඇති වෙනවා. ඒත් නිරූපණයේදී ටෝනිගේ චරිතයට කිසිම හානියක් සිදුවන්නේ නැහැ. මේ කතාව ගෙතිලා තිබෙන්නේ මධුරා නම් නිළිය වටායි. සමහරු සිතන්න ඇති ඒ නිළිය මාලිනී ෆොන්සේකා කියලා. සමරු සිතන්න ඇති ඒ නිළිය නීටා කියලා. එහෙමම එක් අයකු යැයි කිසිවකුටත් ඉලක්ක කරගැනීමට හැකියාවක් ඇත්තේ නැහැ. නවකතාවක් කියන්නේ නිර්මාණයක්.

* නවකතාවලට සත්‍ය නම් භාවිත කිරීමේදී ඔබට යම් ගැටලුකාරී තත්ත්වයකට මුහුණ දීමට සිදු වුණා ද?

අනේ නැහැ. සමහරු මට දුරකථනයෙන් කතාකර විමසුවේ මගේ නම ඊට යෙදුවේ නැත්තේ ඇයි කියලයි. ඒ සුහදත්වය ඇසුරෙනුයි අපේ ජීවිත ගොඩනැඟුණේ.

* ‘ආදරය මිහිරක් නොවේ’ නවකතාවේ පළමු මුද්‍රණයේදී කවරය සඳහා භාවිත කරන්නේ වෙනස් ම පින්තූරයක්?

එහි මගේ නම ලොකුවට යෙදුවේ නැහැ. එහි පින්තූරය සඳහා මා යොදා ගන්නේ මාලිනී ෆොන්සේකාවයි. ඒ සඳහා මා ඇගේ පින්තූරයක් යොදා ගත්තේ ඇයට කරන ගෞරවයක් වශයෙන්.

* ඒත් අද ඔබ ඊට යොදාගෙන තිබෙන්නේ වෙනස් ම කවරයක්?

මුල්කවරය වසර පනහක් පමණ මුද්‍රණයෙන් නිකුත් වූ කවරයක්. එය නිර්මාණය කර තිබෙන්නේ ලෙටර් ප්‍රෙස් එකෙන් නිසා ඒ කොලිටි එක අද කවරයකට ගන්න බැහැ. ඒ වගේ ම මේ පොතක් සොයා ගැනීමටත් පහසු වුණේ නැහැ. පොත නැති නිසා නැවත මුද්‍රණය කරන්නැයි කියන ඉල්ලීම බොහෝ දෙනෙකුගෙන් ඉදිරිපත් වුණු ඉල්ලීමක්. ඒ ඉල්ලීමට අනුවයි මා නව තාක්ෂණය අනුව යළිත් ‘ආදරය මිහිරක් නොවේ’ නවකතාව පාඨකයා අතට පත්කරන්නේ. එය මුලින්ම ප්‍රකාශයට පත්කරන්නේ දයාවංශ ජයකොඩි මහතායි.

* ‘ආදරය මිහිරක් නොවේ’ නවකතාවේ නව මුද්‍රණයේදී යම් සංශෝධන සිදුවූවා ද?

මෙහි කවරය ඇරෙන්න අනෙක් කිසිම දෙයක වෙනස් වීමක් සිදු වුණේ නැහැ. එදාට වගේ ම මේ නවකතාව අදටත් වලංගු බවයි මේ නවකතාව කියැවූ බොහෝ දෙනා පවසන්නේ. එදා සිටිය නිළියන්ට තිබෙන ප්‍රශ්නමයි අද ක්ෂේත්‍රයට පිවිසෙන නිළියන්ට තිබෙන්නේත්. නිළියෝ, නළුවෝ, ජනමාධ්‍ය කියන්නේ එකක්.

* එදා වගේම අදත් නවකතාවට ලැබෙන ප්‍රතිචාරවලින් අඩුවක් ඇත්තේ නැද්ද?

පොත එළිදැක්වුණු පසුව බොහෝදෙනෙක් නවකතාව කියවලා තිබුණා. ඔවුන් සියලු දෙනා ම පොත කියවලා මට දුන් දුරකථන ඇමතුම්වලින් පැවසුණේ පොත බොහොම හොඳට රස වින්ඳ බවයි.

* ‘අමරණීය ජෝති’ කෘති නිර්මාණය කරන ඔබට එච්.ආර්.ජෝතිපාලයන් සමඟ තිබුණේ ළඟ සම්බන්ධයක් නේද?

ඒ කාලයේ ගාල්ලට ආව කලාකරුවකු සමඟ කතා කිරීම මා පුරුද්දක් කරගෙනයි සිටියේ. දවසක් ගාල්ලේ සංගීත සංදර්ශනයකට ජෝතිපාල, මිල්ටන් ඇතුළු ප්‍රවීණ ගායකයන් කිහිප දෙනෙකු ම පැමිණියා. ඒ ස්ථානයේදී කොහොම හරි මමත්, මගේ යහළුවා වුණු ධර්මසිරිත්, ජෝතිපාල සමඟ කතා කරන්නයි කතිකා කරගෙන සිටියේ. ඒත් එහි තිබුණු සංගීත ප්‍රසංගයේ දර්ශන කිහිපය ම නැරැඹුවත් ඒ අවස්ථාව ලබා ගන්න පහසු වුණේ නැහැ. අපේ අදහස ඉටු නොවුණ නිසා රාත්‍රියේ නිවෙසට යමින් සිටින විට එක්වරම මගේ යහළුවා මාවත් ඇඳගෙන දුවගෙන ගියේ ඒ අසල තිබුණු තාප්පයක් දෙසටයි. එතැන කරුණාරත්න අබේසේකරත් සමඟ ජෝතිපාලත් සිටියා. අපේ ඔටෝ ඔවුන්ට දීලා අත්සන් ගත්තා. එහිදි කරුණාරත්න අබේසේකරයන් මගේ ඔටෝ පොතේ

‘ගාලුපුරේදී කළුවර සඳ ඇති රෑක

තාප්පය උඩ ඉඳන් ලියූ දෙපදකි මේක’

යනුවෙන් ලියූ අයුරු මට අද වගේ මතකයි. පුවත්පත් කලාවට පිවිසි පසුව බන්දුල පද්ම කුමාර මහතාගේ සංස්කාරකත්වයෙන් යුතු ‘සත්සර’ පුවත්පතටයි ඔහුගේ ජීවිත කතාව ලියන්නට මට අවස්ථාව සැලසෙන්නේ. ඒ වනවිට අප දෙදෙනා අතර හොඳ හිතවත්කමක් ගොඩනැඟිලයි තිබුණේ.

* මේ දවස්වල ඔබ නියැළෙන්නේ කුමන කාර්යයක ද?

මේ දවස්වල මා ‘ජන රන්ජන රන්ජන්’ නමින් රන්ජන් රාමනායකගේ ජීවිත කතාව ලියමිනුයි කාලය ගත කරන්නේ. එය ඔහුගේ විවෘත ජීවිතය හෙළි කරන ලස්සන කතාවක් වේවි. ඉදිරි කාලයේදී ඒ පොතත් පාඨකයා අතට පත්වේවි. ඒ වගේ ම ‘නිළියකගේ විවාහය’ පොතේ දෙවැනි කොටසත් ලියමින් යනවා.