වර්ෂ 2016 ක්වූ සැප්තැම්බර් 15 වැනිදා බ්‍රහස්පතින්දා




වසරක් තුළ මා සිදු කළ වැඩ ගැන සතුටුයි

වසරක් තුළ මා සිදු කළ වැඩ ගැන සතුටුයි

කීර්ති පැස්කුවල්

ජනප්‍රිය ගායන ශිල්පී කීර්ති පැස්කුවෙල් ශ්‍රී ලාංකේය ගායක, ගායිකා සංගමයේ සභාපති ධූරයට පත් වූ පසු එහි නව ප්‍රබෝධයක් ඇති වූ බව කාගේත් පිළිගැනීමය. ඒ වසරක නිල කාලය තුළ සංගමයේ අභිවෘද්ධිය වෙනුවෙන් ඔහු දියත් කළ ස්ථිරසාර වැඩ පිළිවෙල නිසාවෙනි. මෙම 28 වැනි දින ගායක, ගායිකා සංගමයේ මහා සභා රැස්වීමක් පැවැත්වීමට නියමිතය. එහිදී ඉදිරි වසර සඳහා නව නිලධාරි මණ්ඩලය තෝරා පත් කර ගැනේ.

මේ පිළිබඳ විශේෂ මාධ්‍ය හමුවක් සභාපතිරයාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විණි. එහිදී ප්‍රවීණ ගායක, ගායිකාවන් 50 දෙනකු හට 'ලෝයල්ටි' කාඩ්පත් ප්‍රදානය කිරිමද සිදු විය. 'යුග යුග හදරැඳි ගී' ප්‍රසංගයේ සංගත රූප තැටිය (D.V.D)  එළි දැක්වීමද එදින සිදු කෙරිණ.

තම නිල කාලය තුළ සංගමයේ ඉදිරි ගමන උදෙසා ගත් සාධනීය පියවර හා ඉටු කළ සේවාවන් පිළිබඳ සමාලෝචනයක යෙදෙමින් කීර්ති 'සරසවිය' සමඟින් මෙසේ පිළිසඳරකට එක් විය.

මාධ්‍ය හමුවදා සුවිශේෂී කාර්යයන් දෙකක් සිද්ධ වුණා. අපි මුලින්ම ඒ ගැන කතා කරමු?

ප්‍රවීණ ගායක, ගායිකාවන් පනස් දෙනකුට අපි සංකේතාත්මකව 'ලෝයල්ටි' කාඩ්පත් ප්‍රදානය කළා 'රන්සළු ප්‍රණාම' නමින්. එළඹෙන මහා සභා රැස්වීමේදී සංගමයේ සියලුම සාමාජික සාමාජිකාවන්ට ඒ කාඩ්පත අපි ප්‍රධානය කරනවා.

මොනවාද එයින් ලැබෙන ප්‍රතිලාභ?

මේ කාඩ්පතට හිමිකම් කියන සාමාජික, සාමාජිකාවන්ට දිවයිනේ ප්‍රධාන පෙළේ ව්‍යාපාරික ආයතන තිස් පහකින් විශේෂ වට්ටම් සහිතව භාණ්ඩ හා සේවාවන් ලබා ගන්න පුළුවන්. මේ කාඩ්පත සඳහා අපි සාමාජික සාමාජිකාවන්ගෙන් කිසිදු මුදලක් අය කරන්නේ නෑ.

'යුග යුග හද රැඳි ගී' ප්‍රසංගයේ සංගත රූප තැටිය (D.V.D)  එදින එළිදැක්වීමත් විශේෂයි?

ඔව්. පසුගිය ජනවාරි 31 වැනිදා කොළඹ B.M.I.C.H  හිදී පැවැති 'යුග යුග හද රැඳි ගී' ප්‍රසංගයේ සජීවි පටිගත කිරීමක් තමයි ඒ. ජ්‍යෙෂ්ඨ සහ නව පරපුරේ ගායක, ගායිකාවන් එකසිය පනස් හය දෙනෙක් ඒ ප්‍රසංගයේදී ගීත ගායනා කළා. ඉතාමත්ම සාර්ථකව පැවැත් වූ ගී ප්‍රසංගයක්. අතිගරු ජනාධිපතිතුමන්, ආචාර්ය පණ්ඩිත් අමරදේවයන් තමයි ඊට ප්‍රධාන ආරාධිතයන් ලෙස සහභාගි වුණේ. ඒ ප්‍රසංගයේ ශුද්ධ ලාභය හැටියට ලක්ෂ විසි හය හමාරක් අපිට උපයා ගන්න හැකි වුණා. අපේ රසික ජනතාවගේ ප්‍රශංසාවට ලක් වුණු ප්‍රසංගයක් එය.

මේ වෙනකොට ඔබේ නිල කාලය අවසන් වී තිබෙනවා. මම හිතන්නේ ඔබ සභාපති ධූරය භාර ගත්තේ ගායක, ගායිකා සංගමය අයාලේ යමින් තිබූ අවධියක?

ඒක ඇත්ත. සමහරු කියන විදිහට සංගමය නන්නත්තාර වෙලා තිබුණේ. හරියට රුවල බිඳී ගිය නෞකාවක් වගේ ඔහේ පාවෙමින් තිබුණා කිව්වත් හරි. මූලිකව මට තිබුණු අභියෝගය තමයි බිඳී විසිරිලා සිටිය සාමාජිකයන් එක් තැනකට එකතු කර ගැනීම. අවුරුදු විසි පහක් තිස්සේ සංගමය පැවැතීගෙන ආවා. මම එය බාර ගත්තේ විසි පස් වැනි අවුරුද්දේ. ඉතිහාසයේ වැඩිම සාමාජික, සාමාජිකාවන් පිරිසක් සංගමයට බඳවා ගන්න මට හැකියාව ලැබුණා. නව පරපුරේ අයත් සංගමට බඳවා ගත්තා.

මේ වෙනකොට සාමාජික, සාමාජිකාවන් කී දෙනෙක් සංගමයේ ඉන්නවාද?

දැනට දෙසිය පනහක පමණ පිරිසක්. ඉදිරියේදී ඒ සංඛ්‍යාව තවත් වැඩි වේවි. සංගමයේ සාමාජික සාමාජිකාවන් දෙසීයකට අධික පිරිසක් මම සභාපති ධූරය බාර ගන්න කොටත් හිටියා. නමුත් ඇතැමුන්ගේ සාමාජිකත්වය යාවත්කාලීන වී තිබුණේ නෑ. මට පුළුවන්කම ලැබුණා නැවත ඔවුන් එකමුතු කරගෙන අලුත් ගමනක් ආරම්භ කරන්න.

ඔවුන්, ඔබට ලබා දුන් සහයෝගය පිළිබඳ සෑහීමකට පත් වෙනවාද?

ඇත්තෙන්ම. යම් යම් මතභේද, මතවාද තිබුණත් ඒ සියල්ල පසෙකලා ඔවුන් එකාවන්ව මට සහයෝගය දැක්වූවා. විශේෂයෙන්ම සංගමයේ ලේකම් ජානක වික්‍රමසිංහ, භාණ්ඩාගාරික රොහාන් ද සිල්වා සොයුරන්ගෙනුත් මට ලැබුණේ විශාල දිරියක්, ශක්තියක්. ඒ සියලු දෙනාටම මේ වෙලාවේ මගේ ප්‍රණාමය පුද කරන්න කැමැතියි.

අපි නැවත ඔබේ මෙහෙවර දෙසට හැරෙමු?

බටහිර ගීත ගායනයේ දක්ෂ අපේ ජනප්‍රිය ශිල්පීන් දෙපළක් වන කොරීන් අල්්මේදා හා සොහාන් වීරසිංහ ගේ සංගීත කණ්ඩායම් යොදා ගනිමින් අපි රාත්‍රී ප්‍රිය සාදයක් සංවිධානය කළා. එයිනුත් අපට ලක්ෂ දෙකක ලාබයක් ලබා ගන්න පුළුවන් වුණා. අප්‍රේල් මාසේ 02 වැනිදා තමයි එය පැවැත්වුණේ.

අප්‍රේල් මාසේ 26 වැනිදාත් සංගමයේ සමාජික සාමාජිකාවන්ට අමතක නොවෙන දිනයක්?

සාමාජික, සාමාජිකාවන්ගේ පවුල්වල අයත් එකමුතු කර ගනිමින් අපි එදින බත්තරමුල්ල බුද්ධදාස ක්‍රීඩාංගනයේදී මුළු දවස පුරාම අවුරුදු උත්සවයක් පැවැත්වූවා. අපේ ජාතික ක්‍රීඩාවන්ට සහ සංස්කෘතික අංගයන්ට මුල් තැන දීලා තමයි ඒ අවුරුදු උත්සවය පැවැත්වූවේ. සංගීතයෙන් ඔවුන් සතුටු කරලා විවිධ තරග ඉසව් වලින් ජයග්‍රහණය කරන අයට අත හිත පිරෙන්න තෑගි බෝග දීලා ඉතාමක් සාර්ථකව අපි ඒ කටයුත්තත් අවසන් කළා. නෙස්ලේ සමාගම අපට ඒ සඳහා අනුග්‍රහය ලබාදුන්නා. සංගමයේ සාමාජික, සාමාජිකාවන්ගේ පවුල් අතර සුහදතාව වර්ධනය කර ගැනීමට මෙයින් අවස්ථාව උදාවීමත් ඉතා හොඳ දෙයක් විදිහට මම දකිනවා.

වයෝවෘද්ධ කලාකරුවන්ගේ සුබසාධනය වෙනුවෙන් ඔබ සුවිශේෂ වැඩපිළිවෙලක් දියත් කළා?

වයෝවෘද්ධ කලාකරුවන් වෙනුවෙන් මාස්පතා විශ්‍රාම වැටුප් දීමනාවක් ලබාදීමේ වැඩ පිළිවෙලක මූලික සැලසුම මම හැදුවා. ඒ සඳහා භාරකාර මණ්ඩලයක් පත් කරලා මම භාරකාර අරමුදලක් පිහිටෙව්වා. අපි ස්ථාවර ගිණුමක් ආරම්භ කරලා ලක්ෂ 12 ක මුදලක් තැන්පත් කළා. මේ මුදල ලක්ෂ 300 දක්වා තර කිරීම තමයි අපේ බලාපොරොත්තුව. 'යුග යුග හද රැඳි ගී' ප්‍රසංගයට මුදල් අමාත්‍ය රවි කරුණානායක මහතාත් සහභාගි වුණා. එතනදී ඔහු ප්‍රකාශ කළා පසුගිය අයවැයේදී අපට ලක්ෂ 250 ක මුදලක් මේ සඳහා වෙන්කර තිබෙනවා කියලා. පසුගිය සතියේ මට එතුමා මුණ ගැසුණා නැවත වාරයක්. ඒ මුදල් ටික ලෑස්තියි. ඇවිත් අරන් යන්න කියලත් එතුමා කිව්වා. ඒක සුබ ආරංචියක්. එතකොට අපට පුළුවන් ඒ මුදලත් යොදවලා අර Trust Fund එක හරහා කලාකරුවන්ට අවශ්‍ය විශ්‍රාම වැටුප් සහ රක්ෂණ කටයුතු ආවරණ ලබා දෙන්න.

මේ අරමුදල හරහා ලැබෙන පොලියෙන් තමයි ඔබ මේ දේවල් කරන්න සැලසුම් කර තිබෙන්නේ?

අර ස්ථාවර මුදල් අපි හොල්ලන්නේ නෑ. ඒක කාටවත් හිතූමනාපෙට Trust Fund එකෙන් ගන්නත් බැහැ. ඒ නිසා කිසි කෙනෙකුට ඒ මුදල් වැරදි විදිහට භාවිතා කරන්න බෑ. ඒ විදිහට තමයි අපි ව්‍යවස්ථාවේ නීති රීති සම්පාදනය කර තිබෙන්නේ.

සංගමය වෙනුවෙන් තේමා ගීතයකුත් නිර්මාණය කරන්න ඔබ කටයුතු කළා?

ඔව්. අපේ සංගමයට තේමා ගීතයක් තිබුණේ නෑ. සමන් චන්ද්‍රනාත් වීරසිංහයන්ගේ ගේය පද රචනයකට අනුව ආචාර්ය රෝහණ වීරසිංහයන් 'සකුණ විජිතයේ සත්සර හඬ නඟනා' නමින් ඒ තේමා ගීතය නිර්මාණය කළා. ඊට පස්සේ අපේ සියලුම ශිල්පීන් සහභාගි කරවාගෙන ටොරින්ටන් චත්‍රරශ්‍රයේදී අපි මේ ගීතය රූපගත කරවා එය D.V.D  මාධ්‍යයට පටිගත කළා. ඒ වීඩියෝ පටයත් අපි එළි දැක්වූවේ පසුගිය මාධ්‍යය හමුවේදී. එය සියලුම රුපවාහිනී නාළිකාවලට ලබා දෙන්න අපි කටයුතු යොදනවා.

Ringing Tone සඳහා ගීත ලබාදිමේ ක්‍රමවේදයක් සකස් කළ බව එදා මාධ්‍ය හමුවේදී ප්‍රකාශ වුණා?

ජනප්‍රිය ශිල්පින් දහ දෙනෙකුගේ ගීත දහයක් අරගෙන Ringing Tone හැටියට අපි සියලුම මොබයිල් ආයනවල ලියාපදිංචි කළා. කන්ටෙන් ප්‍රොවයිඩර් කෙනෙක් හැටියට තමයි අපි ඉදිරියේදී කටයුතු කරන්නේ. ඒ කියන්නේ ශිල්පීන්ගේ ගීත දුරකතන සමාගම්වලට ලබා දෙන අතරමැදියෙක් විදිහට. සාමාන්‍යනේ ශිල්පීන්ට 50% කන්ටෙන් ප්‍රොවයිඩ(ර්)ට 50% යි වශයෙන් තමයි ඒ මුදල බෙදා ගන්නේ. නමුත් අපි 70% ක්ම අදාල ශිල්පීන්ට ලබා දෙනවා. අපි 30% යි ලබා ගන්නේ. ඒ පැත්තෙනුත් අපට කලාකරුවන්ට සේවයක් කරන්න ලැබෙනවා.

ගායක, ගායිකා සංගමයේ අරමුදලට ඕනෑම අයකුට මුදල් බැර කිරීමේ හැකියාවක් තියෙනවාද?

ඇත්තෙන්ම ඔව්. ඒ සඳහා අපි Easy Cash  සහ M cash  නමින් ගිනුම් ක්‍රම දෙකක් ආරම්භ කර තිබෙනවා. දුරකථනය මඟින් කැමැති මුදලක් ඒ ගිණුම්වලට බැර කිරිමේ හැකියාව තියෙනවා. තමන්ගේ රුපියල් දහය, විස්ස පවා ඒ ගිණුමට බැර කරන්න පුළුවන්.

එළැඹෙන මහා සභා රැස්වීමේදී නව නිලධාරි මණ්ඩලය තෝරා පත් කර ගැනීමට නියමිතයි. යළිත් සභාපති ධූරය හෙබවීමේ බලාපොරොත්තුවක් ඔබට තියෙනවාද?

එය තීරණය කරන්න ඕනෑ සාමාජික, සාමාජිකාවෝ. මම යළි සභාපති ධූරයට පත්වුණොත් මගේ සැලසුම් සහ වැඩ පිළිවෙල දිගටම කරගෙන යනවා. මම කා එක්කවත් තරග කරන්නේ නෑ. සභාපති ධූරයට වෙන කෙනෙන් යෝජනා වුණොත් එයාට ඉඩ දීලා මම යනවා. මීට කලිනුත් මට සම සභාපති හැටියට සංගමය බාර ගන්න කියපු අවස්ථා තිබුණා. නමුත් මම ඒවා කාරුණිකව ප්‍රතික්ෂේප කළා. මම කිව්වේ 'පුළුවන් වෙච්ච කාලෙක මට තනියෙන් දෙන්න. මම වැඩ කරලා පෙන්නන්නම්' කියලා. මම හිතනවා ගායක, ගායිකා සංගමයේ අවුරුදු විසි පහක ඉතිහාසයේ මෙතෙක් කිසිවකු නොකළ වැඩ මම කරලා තියෙනවා කියලා.

ඒ පැරණි න්‍යාය පත්‍රයට අමතරව යළිත් ඔබ සභාපති ධූරයට පත්වුවහොත් ඉටු කිරීමට බලාපොරොත්තු වන නව වැඩ පිළිවෙලවල් තියෙනවාද?

දුප්පත් කලාකරුන්ට නිවාස ලබාදීමේ ව්‍යාපෘතියක් අරම්භ කරන්න මම හිතාගෙන ඉන්නවා. ඒවා ලොකු වැඩ. ඒ වගේම අපට ප්‍රජා ශාලාවක් අවශ්‍ය වී තිබෙනවා. ඒවා ඉදිරියේදී ප්‍රායෝගික යථාර්ථයක් බවට පත් කරන්න මට පුළුවන්. ගිය අවුරුද්දේ සැප්තැම්බර් 26 වැනිදා සභාපති ධූරයේ වැඩ බාර ගනිමින් මම කිව්වේ අවුරුද්දකට පස්සේ මට ඇඟිල්ල දික් කරලා අහන්න “ඔයා මොනවද කළේ” කියලා. කාටවත් එහෙම අහන්න මම ඉඩ තියන්නේ නෑ, වැඩ කරලා පෙන්නනම් කියලා එදා මම කිව්වා. ඒ වසර තුළ මා සිදු කළ වැඩ කොටස ප්‍රමාණවත් කියලා අද මට හිතෙනවා.