වර්ෂ 2016 ක්වූ ජනවාරී 07 වැනිදා බ්‍රහස්පතින්දා




සොක්‍රටීස් ආපසු වේදිකාවට ඇවිත්

සොක්‍රටීස් ආපසු වේදිකාවට ඇවිත්

නිමල් ඒකනායක

මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ ‘සොක්‍රටීස්’ වේදිකා නාට්‍යය නිමල් ඒකනායකගේ නව නිෂ්පාදනයක් ලෙසින් අද දින (21 වැනිදා) පස්වරු 7.00ට කොළඹ 07 ලයනල් වෙන්ඩ්ට් රඟහලේ දී වේදිකා ගතවෙයි. මේ ලිපිය සැකසෙන්නේ මීට වසර කිහිපයකට ඉහත ඒ අතීතයත්, වර්තමාන නාට්‍යය පිළිබඳත් කළ සාකච්ඡාවකිනි.

‘සොක්‍රටීස්’
මෙහෙම කියන කොට ඔබගේ මතකයට එන්නේ ග්‍රීසියේ හිටිය සොක්‍රටීස්. ඒ කියන්නේ ග්‍රීසියේ හිටිය මහා දාර්ශනිකයා. මේ කියන්නෙත් ඒ උත්තමයා ගැනම තමයි. ඒත් ටිකක් වෙනස් විදියකට. නාට්‍යානුසාරයෙන්.

‘සොක්‍රටීස්’
කාලයකට ඉස්සර. හරියටම කිව්වොත් ඒ මීට වසර විසි පහකට ඉස්සරයි වේදිකා ගතවුණේ. 1991 වසරේදි. මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රගේ නිෂ්පාදනයෙන්. ඔහුගෙමයි මේ නාට්‍යය පිටපතත්. ‘සොක්‍රටීස්’ කියන්නේ ඒ කාලයේ දර්ශන හැට පහක් පමණ වේදිකා ගතවුණු නාට්‍යයක්. නිකම්ම නිකම් නොවෙයි. ප්‍රේක්ෂකයන්ගේ සිත් සතන් ආනන්දයෙන් ප්‍රඥාවට අරගෙන යමින්. නගරවල, ගම්දනව්වල ප්‍රේක්ෂකයන්ගේ ආදරයට ‘සොක්‍රටීස්’ පාත්‍රවුණේ බලා ඉදිද්දිම වගේ.

මේ නාට්‍යය කණ්ඩායමේ ඇඳුම් නිර්මාණය කළේ තරුණයෙක්. ඔහු නිමල්. නිමල් ඒකනායක. ඇඳුම් නිර්මාණය වගේම ඔහු මෙහි රංග විධායක ලෙසත් කටයුතු කළේ බොහොම කැමැත්තෙන්. රාජ්‍ය නාට්‍ය උලෙළේදි පිට පිට සම්මාන රැසක් දිනා ගත්ත ‘සොක්‍රටිස්’ වෙනුවෙන් නිමල්ටත් සම්මානයක් හිමිවුණා. ඒ හොඳම ඇඳුම් නිර්මාණයට.

කාලය ගෙවිලා ගියා. අසුරු සැනෙන්. දවසක් නිමල්ගේ නෙත එකපාරටම පොතක් ළඟ නැවතුණා. හරියටම පුරුද්දට වගේ.
‘සොක්‍රටීස්’

ඔහුගේ මුවඟට නැඟුණේ හීන් හිනාවක්. ඔහු නාට්‍යය පොත කියෙව්වේ එක හුස්මට. ඒ කියවන අතරේ එක එක දේවල් ඔහුගේ හිතට ආවා.
“එදාට වැඩිය දැනුණු අර්ථයක් මේ පොතේ තියෙනවා.”
නිමල්ට හිතුණේ ඉබේටම.

“සොක්‍රටීස්ගේ දර්ශනයේ වටිනාකම දිනෙන් දිනම වැඩි වෙනවා. එදාට වඩා මේ පොත වටින්නේ අදට”
ඔහු මිමිනුවේ සෙමෙන්, සෙමෙන්. ඒ විතරක් නොවෙයි.

“මේක ආයෙත් වේදිකා නාට්‍යයක් විදියට නිෂ්පාදනය වුණොත්”
කියන අදහස නිමල්ගේ සිතට ආවේ සැනෙන්. මේ අතරදියි දවසක් පැරැණි මිතුරෙක් නිමල්ට මුණ ගැහෙන්නේ. ඒ මහාචාර්ය ආශු මාරසිංහ. ඔහු අසූව දශකයේ නාට්‍ය කණ්ඩායමේ රසිකයෙක්. ඒ වගේම විශ්වවිද්‍යාල කාලයේ නිමල්ගේ නාට්‍ය ඔහු නරඹලා තිබුණා. මනෝගෙත්, කේ.පී.ගෙත්, කපිලගෙත් නාට්‍යවල ඔහු හොඳ රසිකයෙක්. ඔහුටත් නාට්‍ය ගැන තිබුණේ පුදුම උනන්දුවක්. කාලයකට පස්සේ හමුවුණු මේ දෙන්නා ආගිය තොරතුරු විතරක් නොවෙයි. නාට්‍ය ගැනත් කතා කළා.

“මගේ හිතේ තියෙනවා නැවතත් සොක්‍රටීස් කරන්න.”
එකපාරටම නිමල්ගේ අදහස එළියට ආවා. මේ උනන්දුව තව තවත් වර්ධනය වෙන්න ඉඩකඩ මග පෑදෙන්නේ මේ අතර.

“එහෙනම් අපි මේ වැඩේ කරමු.”
මහාචාර්යතුමා නිමල්ගේ අදහසට එකඟත්වය පළ කළේ අනුමැතියකට ඇවිත්. සොක්‍රටීස්ගේ අර්ථපතියා බිහිවුණේ ඒ විදියට.

ඊළඟට නිමල් සොයාගෙන ගියේ මහාචාර්ය සුනන්ද මහේන්ද්‍රයන්ව. ඒ තමන්ගේ සිතේ මැවුණු අදහස ගැන කියන්න. මේ පිළිබඳ මුලින්ම අවසර ගත යුත්තේ ඔහුගෙන්. නිමල් ඒ ගැන දැනගෙන හිටියා. ඒ නිසාමයි ඔහු දවසක් මිරිහානට ගියේ. හා හා පුරා කියලා මුණ ගැහුණු ඒ සොඳුරු මිනිසා නිමල්ව පිළි ගත්තා. ඒ බොහොම ආදරයෙන්.

“මහාචාර්යතුමාගේ හිනාව වගේම කතාබහත් එදා වගේමයි.”

නිමල්ට සිතුණා. ඒ ඔහුත් සමඟ කතාබහේ යෙදුණු සොඳුරු හෝරා කිහිපයේ දී. මේ විදියටයි ‘සොක්‍රටීස්’ගේ දෙවැනි පියවර අවසන් වුණේ.

මීළඟට නිමල් පය තිබ්බේ තෙවැනි පියවරට. ඒ නළු - නිළියන් සොයන කටයුත්තට. එදා ‘සොක්‍රටීස්’ රඟපෑව බොහෝ දෙනෙක් ඔහුගේ මතකයට ආවා. එදා වගේම ඒ අය අදත් නාට්‍ය කලාවට හිතැත්තන්. ජයලත් මනෝරත්න, වසන්ත විට්ටච්චි, ලාල්කුලරත්න, රිචඩ් මානමුදලි, සංජීව දිසානායක, සුසිල් වික්‍රමසිංහ එදා කළ රඟපෑම නිමල්ගේ සිතේ ඇඳුණේ අද ඊයේ වගේ.

“කොහොමද ඒ අයව සහභාගි කරවා ගන්නේ.”
ඔහු නොයෙක් වර සිතුවා. ඒ සිතුවිල්ල ඔහුව පැරැණි මිතුරන් අතරට අරගෙන ගියා. ඒ අතර ඔහු නලින් ප්‍රදීප් උඩුවෙල වගේම චමිලා පීරිස් මේ නිර්මාණයට අලුතෙන්ම දායක කර ගත්තා. ඉතිරි චරිතවලට මොකක්ද කරන්නේ? ඒ ප්‍රශ්නයටත් ඔහුට තිබුණේ අපූරු උත්තරයක්.

“සෞන්දර්ය විශ්වවිද්‍යාලයේ ළමයි.....”
තිලිනි, කෝසල, විරාජ්, ශෂිකා, රශ්මි, අර්ජුන්, චමිල්, නවෝද්‍ය, ඉරෝෂිනී, පූර්ණිමා ඒ ආකාරයෙනුයි සොක්‍රටීස් නාට්‍යයට සහභාගි වන්නේ. තවත් අපූරු කෙනෙක් මේ නිර්මාණයට නිමල් දායක කර ගත්තා. ඒ පත්තර මල්ලි. නුවන් ලියනගේ.

“නාට්‍ය පුහුණු වීම් ආරම්භ කරන්න පුළුවන්.”
නිමල්ගේ සිතට දැනුණේ පුදුමාකාර සතුටක්. දින, සති, මාස ගෙවිලා ගියේ බොහොම ඉක්මනින්.

එදා නාට්‍ය පුහුණු වීම් තිබුණේ කෝට්ටේ කිතුණු පල්ලියේ ශාලාවක. හැමෝම පුහුණු වීම්වල යෙදුණේ බොහොම උනන්දුවෙන්. ශාලාවේ එක් පසෙක දෙබස් කියමින් සිටියේ සොක්‍රටීස්. ඔහු අසලම හිටිය ඇරිස්ටොෆානිස්. ඒත් සමඟ ශිෂ්‍යයෝ කිහිපදෙනෙකුගේ සංවාදය දිගටම පැවතුණා. මේ හැම දෙයක්ම කෙරෙන අයුරු බලාගෙන ඔවුන්ගේ ඉදිරිපස සිටියේ නිමල් ඒකනායක. ඒ රඟපෑම් අතරතුර ශිෂ්‍යයන්ට ලැබුණේ එක්වරම ඔහුගෙන් උපදෙස් කිහිපයක්.

මේ ශාලාවේම තවත් තැනක පුටුවකට වෙලා සිටියේ ලාල් කුලරත්න. තමන්ගේ චරිතයට නියම වෙලාව එනතුරු පත්තරයක් කියවන ඔහු අසලට මා ළං වුණේ සෙමින්.

“පොඩ්ඩක් කතා කරමු ද?”
පත්තරය මෑත් කළ ඔහු සිනාසුණා. එදා වගේම ගොවියගේ චරිතයට පණ පොවන ඔහු නියම ගොවියෙක්. මට එහෙම සිතුණේ ඒ කහට ගැසුණු දත් දෙපළ දුටුවට පස්සේ.

“සොක්‍රටීස් නිර්මාණය වුණේ මීට වසර තුන්දාහකට එපිට වුණත් අදටත් ඒක වලංගුයි. කාලීන වැදගත්කමක් තියෙන නාට්‍යයක්.”

ඔහු පැවසුවේ අතීතය දෙසට පියමනිමින්. ඒ අතීතයෙන් කියැවුණේ සොක්‍රටීස්ගේ අතීතය විතරක් නොවෙයි. නාට්‍යයේ එක්තරා අතීතයකුත්.

මේ සිද්ධිය වුණේ නාට්‍ය සංවිධානයට සම්බන්ධව. එදා දර්ශනය රූ ගතවුණේ කටුගොස්තොට. නාට්‍ය කණ්ඩායම කටුගස්තොට යන්න සූදානම් වුණේ උදෙන්ම. එදා අද වගේ නොවෙයි. ආලෝකකරණ බඩු අරගෙන යන්න වෙනම වාහනයක්. නළු - නිළියන්ට යන්න වෙනම වාහනයක්. ඒ නිසා අද වගේ විදුලි ආලෝකකරණ බඩුත්, නළු - නිළියොත් එකට ගියේ නැහැ.

“අද කොයිතරම් දියුණු වුණත් මේ කටයුතු එන්න එන්නම පිරිහෙනවා. එහෙම නැතිව මේ කටයුත්තත් අද වනවිට දියුණු වෙන්න ඕනෑ.”

ලාල් එහෙම කිව්වේ වාහනයේ කතාව ආදර්ශයට අරගෙන. ආයෙත් ඔහු අතීත කතාවට මුල පිරුවා. මුලින්ම තිබුණේ සවස 3.30 දර්ශනය. දර්ශනයට සියල්ල සූදානම්. ප්‍රේක්ෂාගාරය කට කපලා. නළුවෝ තමන්ගේ වෙස් ගත්තා. ‘සොක්‍රටීස්’ වේදිකා ගතවුණා. ලැබුණු ප්‍රතිචාරත් එක්ක හැමෝටම සතුටුයි. ඊළඟට තිබුණේ 6.30 දර්ශනය. ඒක පටන් ගන්න තව තියෙන්නේ ටික වෙලාවයි. නඩේගුරා සුනන්ද මනෝගේ කනට කරලා මොනවදෝ කියනවා ලාල් බලාගෙන.

“මොකක්ද ප්‍රශ්නේ”
ලාල් ඇහුවේ මනෝගෙන්.
“සංවිධායකයා අතුරුදන්. හවස ෂෝ එක තියන්න වෙන්නේ නැහැ වගෙයි.”

මනෝ කිව්වා. කිව්වත් වගේ ඒක ඒ විදියටම සිද්ද වුණා. මොනවා කරන්නද? ඒ අතර මනෝ එයාගේ යහළුවෙකුට කතා කළා. නාට්‍ය කණ්ඩායමට සැලකුවේ මනෝගේ යහළුවා.

“ඔය වගේ දේවල්වලට හැම නාට්‍ය කණ්ඩායමකටම එදා මුහුණ දෙන්න වුණා.”

ලාල් පැවසුවේ කතාව අවසන් කරන ගමන්. ලාල් කුලරත්නගෙන් පස්සේ කතාබහට එක්වුණේ රිචඩ් මානමුදලි. එදා ඔහු රඟපෑවේ ශිෂ්‍යයෙක්ගේ චරිතේ.
“කාලයක් යනකොට ශිෂ්‍යයෙක්ගේ චරිතේ විතරක් නොවෙයි සොක්‍රටීස් හැරෙන්න අනෙක් සියලුම චරිත මම එදා රඟපෑවා.”

ඒත් අද ඔහු රඟපාන්නේ සොක්‍රටීස්ගේ වලාකුළු නාට්‍යයේ සොක්‍රටීස්. ‘සොක්‍රටීස්’ නිර්මාණය වෙන්නේ නිර්මාණ තුනක් පාදක කරගෙන. ඒ සොක්‍රටීස්ගේ ජීවන චරිතය එකක්. අනෙක් එක ‘ලාස් ඩේස් ඔෆ්’ සොක්‍රටීස් කියන ප්ලෝටෝ නම් ශිෂ්‍යා රචනා කරන ලද පොතේ ඇති කරුණු. තුන්වැන්න ඇරිස්ටොෆානීස් නම් ප්‍රහසන නාට්‍යකරුවා විසින් සොක්‍රටීස්ව උපහාසයට ලක්කරමින් රචිත ‘වලාකුළු’ කෘතියේ ඇතුළත් තොරතුරු. මේ එකමුතුවෙන් නිමවුණු සොක්‍රටීස්ට එදත් අදත් පණ පොවන මනෝරත්න ‘සොක්‍රටීස්’ ගැන කිව්වේ මෙන්න මෙහෙම.

“මේක බොහොම සුන්දර අවස්ථාවක්. ඒ වසර විසි පහකටත් පස්සේ මට එදා චරිතයම රඟපාන්නට ලැබීමයි. නිදහස් රංගය මූලික කර ගනිමින් නිර්මාණය වුණු මේ නාට්‍යය ඇත්ත කතා කරන මිනිසුන්ට මොකද වෙන්නේ කියලා කියනවා. ඒ කාරණා සියල්ල පසුගිය දශක කිහිපය ඇතුළේ අපේ රටේ දේවල්වලට අපූරුවට ඈදා ගන්න පුළුවන්.”

මෙවර ඇරිස්ටොෆානීස් විදියට රඟන්නේ නලින් ප්‍රදීප්. හාස්‍ය මුසු රංගනයකටයි ඔහු මෙවර පිවිසෙන්නේ.
“සොක්‍රටීස්ගේ ජීවිත විනාශයට මුල් වෙන්නේ ඇරිස්ටොෆානීස්ගේ මේ වලාකුළු නාට්‍යයයි. මේ වගේ චරිතයක් නිර්මාණය කරන්න යම් හැකියාවක් තියෙන්න ඕනෑ. ඒ විශ්වාසය තියලා නිමල් මහත්තයා මාව මේ චරිතයට තෝරා ගත්තාට ස්තූතියි.”

සොක්‍රටීස්ගේ අංගරචනා කටයුතුවලට නිමල් තෝර ගත්තේ ප්‍රවීණ අංගරචනා ශිල්පියෙක්. ඒ වසන්ත විටිටච්. ඔහු අංගරචනය වගේම මෙහි රඟපාන්නේ බන්ධනාගාරය භාර නිලධාරියෙකුගේ චරිතයක්.
“මේ නිර්මාණය එදාට වඩා ගැළපෙන්නේ අදට”

පැත්තකට වෙලා දෙබස් කියන සංජීව දිසානායකට මෙහි ලැබුණේ මෙරිටස්ගේ චරිතේ. ‘ඉතිං මෙරිටස්’ මා ඔහුව ඇමතුවා.
“මම මීට කලින් කළේ ශිෂ්‍යයෙක්ගේ චරිතය. මේ චරිතය සොක්‍රටීස්ට විරුද්ධව කටයුතු කරන රජයේ නිලධාරියෙක්.”

මෙරිටස් යළිත් සොක්‍රටීස් සොයාගෙන ගියා. මේ සොඳුරු නිර්මාණයේ සංගීතය නිර්මාණය කරන්න නිමල් භාර දුන්නේ අපේ කාලයේ නිහඬ සංගීතඥයකුට. නවරත්න ගමගේට.
“සුනන්ද මහේන්ද්‍රයන්ගේ අවසර ඇතිව ගීත කිහිපයක් ඇතුළත් කළා. නාට්‍යයේ අර්ථය තීව්‍ර වන විදියට සංගීතය නිර්මාණය කරන්න මට හැකියාව ලැබුණා.”

ඔහුගේ සංගීතය නාට්‍යයට ආලෝකයක් අරගෙන ඒවි. රංග වින්‍යාසයෙන් ප්‍රසන්නජිත් අබේසූරියත්, වේදිකා සැරැසීමෙන් මහාචාර්ය ලයනල් බෙන්තරගේත්, වේදිකා පරිපාලනයෙන් ලක්ෂ්මන් හා ඇඳුම් නිර්මාණයෙන් ඉරේෂා ජානකීත් ‘සොක්‍රටීස්’ට දායක වෙන්නේ බොහොම කැමැත්තෙන්. සජීව ආකාරයෙන් විඳීන සංගීත රසයත්, රටේ පාලන තන්ත්‍රයේ වගකිව යුත්තන් කරන අතෝර පිළිබඳත් හෙළි කරන ‘සොක්‍රටීස්’ අතර ගෙවුණු කාලය අවසන් කරන්න කාලය ඇවිත්. ඔවුන්ගේ පුහුණු වීම්වලට තවත් කරදර නොකරම මා එදා ඔවුන්ගෙන් සමු ගත්තා. මේ ඔබගෙන් සමුගන්න මොහොතෙත් මා ඔබට කරන්නේ ආරාධනාවක්.

එන්න, අද ලයනල්වෙන්ඩ්ට් රඟහලට. ‘සොක්‍රටීස්’ නරඹන්න.