සිනමා ඉතිහාසය නැවතත් කියවමු
පසුගිය සතියේ යෙදුණු සිනමාවේ උපන් දිනය සමඟ එහි පියවරුන් ගැන කතා කළා වැඩි දැයි
මට සිතිණ. කොහොමටත් දිනුමට පියවරුන් වැඩි ය.
පැරදුනොත් එය පියෙකු නැති දරුවෙකි. අපේ සිනමාව 65 වසරක් පුරා පැවැති නිසා දෝ එහි
සැබෑ නිර්මාතෘවරුන් සඟවා ඉතිහාසය ලියන්නේ යැයි සැකයක් පෞද්ගලික ව මට ඇත්තේ ය.
|
ශාන්ති කුමාර්
එමලින් දිඹුලාන
අසෝකමාලා |
එබැවින් මේ ලිපිය එහි සැබෑ පියවරුන් සොයා යන්නක් වේ. පසුගිය සතියේ මේ ලිපියේ මා
සඳහන් කළ පරිදි ප්‍රථම සිංහල කතානාද චිත්‍රපටය බිහිවීම ඕපපාතික සිදුවීමක් නොවේ. අපේ
සිනමාව බිහිවනුයේ ලොව බොහෝ රටවල කතානාද සිනමාව පැළ වී මහා වනාන්තර බවට පත් වූ පසු
ය.
කොටින්ම අපේ රටේ සිනමාව අසල්වැසි ඉන්දියාවේ බිහි වූ පසු එහි එරටට අයත් භාෂාවලින්
සිනමාවට අලුතෙන් එක්වනුයේ සංස්කෘත,කොන්කනි, යන භාෂාවලින් සැදුණ චිත්‍රපට පමණකි. එය
සැලකිය යුත්තක් නොවන්නේ එබසින් මුළු ඉතිහාසයට ම චිත්‍රපට සෑදුණ සංඛ්‍යාව එක් අතක
ඇඟිලිවලින් වුව මැනිය හැක්කක් වීම ය.
එබැවින් මේ කරුණ අප වඩාත් සැලකිල්ලෙන් විමසිය යුත්තේ සිනමාව සම්බන්ධ අපේ සෙසු
පුරෝගාමීන්ගේ අගය මේ සමඟ අවතක්සේරු නොකළ යුතු බැවිනි. එහෙත් අපේ සිනමාව සම්බන්ධව
වඩාත්ම ගෞරවය හිමි විය යුතු කිහිප දෙනෙකු මේ සමඟ සදහටම වළලා දමනු පෙනෙන්නකි. එයින්
එක් අයෙක් නම් එස්.එම්. නායගම් ය.
අනෙක් තැනැත්තා ශාන්ති කුමාර් සෙනෙවිරත්න ය. මේ
වනවිට මේ නම් දෙකම අප සිනමාව සම්බන්ධව අමතක කිරීම කිසි සේත් සමාව දිය යුත්තක් නොවේ.
එක් අතකින් එයට හේතු වනුයේ මෑත භාගයේ සිනමාව සම්බන්ධ අපේ ඇතැම් සටහන් ලියා ඇත්තේ
කිසිදු ගවේෂණයකින් තොරව වීම ය. මේ විද්‍යාර්ථින් කරන ලොකුම අපරාධය නම් ඉතිහාසයේ
නියම තැන නියම මිනිසුන්ට අත්පත් වීමට ඇති ඉඩකඩ සදහටම ඇහිරීම ය.
කඩවුණු පොරොන්දුව
බිහිවනුයේ තරගයකිනි. ඒ ස්වාධීන නිෂ්පාදක වරයෙකු වූ එස්.එම්. නායගම් සහ ඒ වනවිටත්
මෙරට සිනමාහල් පද්ධතියක් හිමි චිත්‍රපට ආනයන කරුවකු ද වූ ශ්‍රීමත් චිත්තම්පලම්
ඒ.ගාඩිනර් සමඟ ය. මේ තරගය ඇති වනුයේත් ලෝකයට සාපේක්ෂව පසුපසින් වුවත් එතරම් ඉක්මනට
හෝ අපේ කතානාද චිත්‍රපටය බිහි වනුයේ ශාන්ති කුමාර් සෙනෙවිරත්නට පින්සිද්ධ වන්නට ය.
නායගම් කඩවුණු පොරොන්දුව තනන්නේ අසෝකමාලා පරදන්නට ය. ඒ තරගයෙන් අසෝකමාලා පැරදුන ද
පසුගිය සතියේ සරසවිය සමඟ සාකච්ඡාවකට එක්වන අපේ සිනමාවේ ජීවමාන මහා සිනමාකරු ආචාර්ය
ලෙස්ටර් ජේම්ස් පීරිස් නිර්ලෝභීව කියා සිටිනුයේ අසෝකමාලා සමකාලීන සිනමා ගුණාංග
රැගත් චිත්‍රපටයක් බව ය.
කුරුණෑගල ළිහිණිගිරි වලව්වේ 1926 දී උපන් බර්ටි සෙනෙවිරත්න මව් පාර්ශවයෙන් සඳලංකාවේ
සුප්‍රකට සුබසිංහ පවුලේ සාමාජිකයෙකි. මහනුවර ත්‍රිත්ව විද්‍යාලයයේ ඉගෙනුම ලබන හෙතෙම
තම සිත්ගත් කලාවන් ඉගෙන ගන්නට ඉන්දියාවට යන්නේ සමකාලීන ගැමි තරුණයන් වඩා හොඳ
අනාගතයක් පතාගෙන කොළඹ එන ලෙසට ය.
එහිදී සර්කස් කණ්ඩායමට දායක වන හෙතෙම පසුව උදය
ශංකර් ආදින් සමඟ නැටුම් ඉගෙනීමට ද කල්කටාවේ සුප්‍රකට නිව් තියටර්ස් ආයතනයට දායකව
සිනමාව පිළිබඳ ප්‍රමාණවත් දැනුමක් ලබන්නට ද සමත් විය. මෙරට දී චිත්‍රපටයක් නිපදවීමේ
සිහිනයක් සමඟ ඔහු මෙරටට එන්නේ තම බර්ටි නම ශාන්ති කුමාර් ලෙස වෙනස් කරමිනි. මේ
අවදියේ චිත්‍රපට නිපදවීමේ සිහිනය සහිත එස්.එම්.නායගම් සිය උපන්ගම වූ ඉන්දියාවේ
මදුෙරෙ නගරයේ චිත්‍ර කලා මුවිටෝන් නමින් චිත්‍රාගාරයක් ද ගොඩ නඟා තිබිණ.
නායගම්
ඉන්දියානු සම්භවයක් සහිත වුව ද ඔහු ට ඉන්දියාවේ තිබූ විශාලම සම්බන්ධය නම් පෙරදිග
සිරිත පරිදි දරු උපතේ දී තම මව් සමීපයට යෑමේ සිරිතට නායගම් මෑනියන් ගරු කළ හෙයින්
බැව් සිංහල සිනමාවට පනස් වසර පිරුණ සමයේ මා හමුවූ නායගම් ගේ දියණියක වූ කමලාදේවි
මානික්කම් මහත්මිය පැවසුවා ය.
ශාන්ති කුමාර්ගේ බාල සොහොයුරු රිචඩ් හර්බට් හෙවත්
පසුකලෙක අතිශය ජනප්‍රිය තරුවක් වූ හර්බි සෙනෙවිරත්න මා සමඟ පැවසුවේ තම සොහොයුරාගේ
මග පෙන්වීම යටතේ ඔහු ද කල්කටාවේ දී නාට්‍ය පාසලෙන් රංගනය හදාරා බිමල් රෝයි වංග
බසින් නිර්මාණය කළ අන්ජනඝර් චිත්‍රපටයෙන් සිනමා රංගනයට පිවිසි බව ය. කෙසේ හෝ හර්බි
තම සොහොයුරා ගේ චිත්‍රපටයට දායක වීමට කල්කටාවේ සිට මදුරාසියට පැමිණියේය.
ශාන්ති කුමාර්, නායගම් හා එක්ව තනන්නට ගිය චිත්‍රපටය සඳහා පළමුව ශ්‍රී වික්‍රම
රාජසිංහ කතාන්තරය ද , පසුව “ද ට්‍රෙවරි ඔෆ් ද කැන්ඩියන් කෝට් ග්‍රන්ථය ද තෝරාගත්
බැව් මෙරට පුරෝගාමී සිනමා ලේඛකයකු වූ ඩී.වී.සෙනෙවිරත්න යන් 1958 වසරේ දී ලියා පළ කළ
චිත්‍රපට කලාව ග්‍රන්ථයෙහි සඳහන් වේ. කෙසේ වෙතත් සාලිය, අසෝකමාලා කතාන්තරය චිත්‍රපට
ගත කරන්නට සැරැසෙන ඔවුන් එය පාදක කරගෙන චිත්‍රපට කතාවක් ලියා එවීම මෙරට
පේ‍්‍රක්ෂකයන්ට බාර කරනුයේ පුවත්පත් දැන්වීම් දමමිනි.
විනිශ්චය මණ්ඩලයකින් තෝරා
ගැනෙන ඒ සඳහා රුපියල් පන්සියයක් දීමට ද නායගම් එම දැන්වීමේ කැමැත්ත පළ කළේ ය. එහෙත්
මේ තරගයෙන් ජය ලබනුයේ ශාන්ති කුමාර් ගේ කතාවම ය. මේ කතාවට අදාළ තෑග්ග බාර නොගන්නා
ශාන්ති කුමාර් චිත්‍රපටය අධ්‍යක්ෂණය කිරීමේ වගකීම පවරා ගනියි. එයට පෙරද ඔවුනගේ
හවුල් ගිවිසුම එපරිද්දෙනි.
එහෙත් එවර නායගම් ගේ කැමැත්ත එම කතාව වෙනත්
අධ්‍යක්ෂවරයකු ලවා චිත්‍රපට ගත කිරීමට ය. එම මතවාදය කෙළවර වනුයේ නායගම්, ශාන්ති
කුමාර් අත හැර වෙනත් පැත්තක බැලීමෙනි. ඔහු ඒ වනවිට රට පුරා වේදිකා ගතවුණු ජනපි‍්‍රය
නාටකයක් වන මිනර්වා නාට්‍යය සමාගමේ කඩවුණු පොරොන්දුව චිත්‍රපට ගත කරන්නට එහි අධිපති
බී.ඒ.ඩබ්ලිව් ජයමාන්න කැමැති කරවා ගත්තේ විශාල වැර වෑයමකින් අනතුරුව ය.
එහෙයින් තම
බලාපොරොත්තුව බිඳ වැටෙන්නට නොදුන් ශාන්ති කුමාර් එවකට ටවර් රඟහල චිත්‍රපට
ප්‍රදර්ශනය කිරීමට බදු ගෙන සිටි එස්.සී.පැරැක් හමුවූයේ ඩී.වී.සෙනෙවිරත්න සමඟ තිබූ
දැන හැඳීනුම්කම් ඔස්සේ ය. පැරැක්, ශාන්ති කුමාර් ගාඩිනර් වෙත ගෙන ගියේ ය.
එහි
ප්‍රතිඑලය අසෝකමාලා නිපදවන්නට ඔහු එකඟ වීමය. කඩවුණු පොරොන්දුව තනන්නට මදුෙරෙ නගරයට
ගිය ගමන පිළිබඳ රුක්මණී දේවිය පවසනුයේ කිසි දවසක සිනමා කෘතියක් නිපද වන ආකාරය
පිළිබඳ සිතා නොසිටි හෙයින් නාට්‍යයේ තිබූ තිර පසුතල ආදිය ද ගෙන ගිය බව ය.
එහෙත්
අසෝකමාලා එබඳු මෝඩකම් නොකළේය. ශාන්ති කුමාර් සිනමාව පිළිබඳ යම් ප්‍රමාණයක් දැන
සිටියේ ය. කෙසේ වෙතත් එහි වාසියට කරුණු දෙකක් සිටියේ ය. එකක් මොහමඩ් ගවුස් විසින්
සකසන ලද එහි ආ මිහිරි වූ ද ස්වතන්ත්‍ර වූ ද ගී තනු පෙළ ය. අනෙක එහි කැමරාකරණයයි.
අනෙක තිරනාටකයයි. මේ පිළිබඳ වැඩි ගෞරවයක් එහි කැමරාව මෙහෙය වූ එම්.මස්තාන් ට හිමි
විය යුතු බැව් ආචාර්ය ලෙස්ටර් ජේම්ස් පීරිස් පවසයි. කෙසේ වෙතත් පසු කලෙක
ධීවරයෝ,අල්ලපු ගෙදර,ආත්ම පූජා වැනි චිත්‍රපට රැසක් තනමින් මෙරට සිනමාවේ අලුත් සිනමා
පරපුරකට ගුරුවරයකු වූ මස්තාන් දකුණු ඉන්දිය සිනමාවේ එවකට සිටි විශිෂ්ට කැමරාකරුවෙකු
විය.
වේලක්කාරී චිත්‍රපටය හරහා සිනමා කැමරාව එළිමහනට ගෙන ගිය මුල්ම දකුණු ඉන්දීය
ශිල්පියා ද ඔහු ය. මස්තාන් ඉන්දියාවේ උපත ලද නමුත් ඉගෙනුම ලද්දේ නාවලපිටිය සාන්ත
මේරි විදුහලේ ය. ඔහුගේ පියා එසමයෙහි නාවලපිටියේ සිටි ප්‍රධාන ව්‍යාපාරිකයකු විය.
බාල වර්ගයේ නිෂ්පාදනයක් නමුදු කඩවුණු පොරොන්දුව මෙරට සිනමා විචාරකයන්ගේ දෝෂ දර්ශනයට
ලක්වූයේ අඩුවෙනි. එහෙත් සිනමා භාවිතය අතින් ඉහළ තැනක තිබූ අසෝකමාලා විචාරකයන් මෙන්ම
අවශේෂ ලේඛකයෝ ද පැල් බැඳගෙන එය පට්ටා ගැසූහ.
ඒ චිත්‍රපටය පිළිබඳ නොවේ. එහි ඉතිහාස
කතාව ගැනය.එහි මතවාද ගැනය. ඒ හැරෙන්නට අසෝකමාලාට නිසිතැන දෙන්නට තරම් මැදහත්
වාතාවරණයක් කිසිවකු ට හෝ තිබුණේ නැත. සිනමා කරුවකුට තමා දෘෂ්ටි ප්‍රමාණයෙන් අර්ථ
කතනයක් දිය හැකිය යන මතය දැන සිටියාට වඩා ඕනෑ කමින් අමතක කළ බැවි පැවසීම නිවැරැදිය. එය සමකළ හැක්කේ ඉතා මෑතක ජැක්සන් ඇන්තනිගේ අබා චිත්‍රපටය පිළිබඳ ඇති වූ කතිකාව
ගැන ය.
අද මෙන්ම එදා ද චිත්‍රපටය පැත්තක දැමූ බොහෝදෙනා ඉතිහාස කතාවක කිරිජ්ජ පල්ල
අත ගසා නිර්මාණකරුවා දඬු කෙඳ් ගැසූහ. මෙයට වසර දහයකට පමණ පෙර කොළඹ පදනම් ආයතනයේ දී
මා අසෝකමාලා නැරැඹුවේ මෙරට සිටි විශිෂ්ට සිනමා විචාරකයෙකු වූ චන්දන සිල්වා සමඟ ය.
චිත්‍රපටය නරඹා අප එයින් එළියට බටුයේ අසෝකමාලා ව පිළිබඳ ඉතිහාසයේ ලියැ වී ඇති
විචාරවලට වඩා එය කෙතරම් ඉදිරියෙන් සිටින්නේ ද යන්න පිළිබඳ කතා කරමිනි.
එමගින් එයට
දශක ගණනාවකට මත්තෙන් නිපද වුණ මේ චිත්‍රපටයට හෝ එහි නිර්මාණකරුවාට හෝ අත් වූ
සුගතියක් නැත. චිත්‍රපටය නිර්මාණය කළ ශාන්ති කුමාර් සෙනෙවිරත්නයන්ට හෝ අදටත් කිසිදු
මතවාදයකින් තොරව අගයනු ලබන සංගීතය නිර්මාණය කළ(එකල චිත්‍රපට සංගීතය ලෙස සලකන ලද්දේ
සිනමාත්මක සංගීතය නොව එහි එන මියුරු තනු අනුව ගැයුනු ගීතාවලියට ය) මොහමඩ් ගවුස් ට
හෝ එයින් පසු එපරිදි වැදගත් නිර්මාණයක් කරන්නට නොහැකි විය.
අනෙක් අතට නායගම් මෙරට මුල්ම කතානාද චිත්‍රපටය නිපදවීමෙන් නොනැවතී මෙරට මුල්ම
චිත්‍රාගාරය ද කඳානේ දී සුන්දර සවුන්ඩ් නමින් ඉදි කරන ලදී. එම චිත්‍රාගාරයේ මුල්ම
සිනමාකරුවා වූයේ ඒ.භාෂ්කර් රාජ් ය.
මෙය ට වසර දහයකට පමණ ඉහත තිස්ස අබේසේකරයන්ගේ ඇරැයුමෙන් ඔහු ලංකාවට පැමිණි විට
ස්වර්ණවාහිනිය වෙනුවෙන් වැඩ සටහනකට එම චිත්‍රාගාරය වෙත රාජ් රැගෙන යාමට මට හැකි
විය.
එමෙන්ම ඔහු සමඟ එවකට සරසවිය කතුවර ව සිටි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී තිලකරත්න
කුරුවිට බණ්ඩාර මහතා ත්, මමත් නායගම් ගේ දියණිය හමුවට ගියෙමු. එය අපූරු ඉතිහාස කතා
රැසක් අනාවරණය කළ හමුවක් විය. මේ ඉතිහාසය නිර්ව්‍යාජව සටහන් කිරීමේ අවශ්‍යතාව දැන්
පෙරටත් වඩා වැඩියැයි මට සිතෙන්නේ සිනමා ඉතිහාසය පිළිබඳ ලියැවෙන බොහෝ දැ ව්‍යාජ
කරුණු දැක්වීම්වලින් ගහන බැවිනි.
|