ඒ පොත් බලපු අයට බැරිද සුද්ද සිංහල
සිදත් සඟර, කාව්‍යශේඛරය, ගුත්තිල
බයිලා ගැන ‘බයිලාවක්’ නොවෙන
කතාබහක්
ඔහු ගයන්නේය. මහළු වුව ද ඔහුගේ හඬ තවමත් තරුණය. ගැඹුරුය. මිහිරි මෙන්ම ප්‍රතාපවත්ය.
දැනට අපේ රටේ සිටිනා පැරැණිතම බයිලා ගායකයා මා ඉදිරියේය.
‘මධුර මනෝහර දෙසවන් පිනා යන ලෙසින්
නගර බද දිවි ගැන මා කියමි රස බසින්
අඩුක්කු කළ ලෙස පිටි මිටි රියක සිය ගණන්
මුඩුක්කුවල ජීවත් වෙති නගරෙ දුගී දනන්’
එපමණක් නොව මා ඉදිරියේ සිටින අනෙක් පුද්ගලයා ද බයිලා ගායන ක්ෂේත්‍රයේ ප්‍රවීණයෙකි.
මිට පෙර ඔවුන්ගේ ගායනා මා දැක තිබුණද,, පළමු වතාවට ඔවුන් සජීවීව දැකීමේ සතුට මේ
මොහොතේ මසිතෙහි වෙයි. ගායනාවේ මෙන්ම සුහද කතාවෙහි ද ඔවුන් ගේ හඬ ගලන්නේ තාලයකටය.
නොනිමි ආශාවෙන් බයිලා කිහිපයක් ඇසුව ද,, තවමත් ආශාව නිම නැත. නමුදු ඔවුන් සමඟ බොහෝ
දේ කතා බහ කළ යුතුව ඇත.
පෘතුගීසින්ගේ පැමිණීම සමඟ ලංකාවට ආ බයිලා කලාව අද ද නොනැසී පවතින්නේ එහි ගැබ් වූ
වින්දනාත්මක, අර්ථ පූර්ණ බව නිසාම යයි මට හැෙඟ්.
පෑලියගොඩ කරුණාදාස.
අපේ රටේ දැනට සිටින පැරැණිතම බයිලා ගායන ශිල්පියාත්, නාරාහේන්පිට ඒ. ආර්. ධර්මසේන
නම් වන බයිලා ගායනා කලාවේ ප්‍රවීණතම ශිල්පියාත් සමඟ අපි මෙතැන් සිට බයිලා ගැන කතා
කරමු.
* පළමුවෙන්ම කරුණාදාස ගායන ශිල්පියාගේ අතීත මතක අතරටයි ඔබ රැගෙන යන්නේ.
‘මමයි, බයිලයි කියන්නේ හරියට ගහයි පොත්තයි වගෙයි. මං කොල්ල කාලෙ බයිලා පිටියක්
තියෙන්නේ කොහෙද මං එතන ඉන්නවාමයි. ඒ කාලේ රෙඩිෆියුෂන් (රේඩියෝ ක්‍රමයකි) එකේ උදේ
දහයේ ඉඳන් බයිලා යනවා. කොහේ හිටියත් ඒ වෙලාවට ගෙදර එනවා. ඒ කාලේ රෙඩිෆියුෂන් එකට
මාසෙට රුපියල් හතක් ගෙවන්න ඕනෙ. කොහොම හරි ඉතිං ඒක ගෙවලා බයිලා ඇහුවා. ඇහුවා විතරක්
නෙවෙයි ඒවා ලියාගෙන ඉගෙන ගත්තේ පොත් පාඩම් කරනව වගෙයි.
‘උවම ලකරෙකී ලරස පැදිය බරණෙකී
හිසට රුව රැකී නැත්නම් එයට කැළලකී’
මේ වගේ බයිලා තමයි අපිට ඒ කාලේ ඇහුණේ.
‘සිදත් සඟර කාව්‍යශේකරය ගුත්තිල
එපොත් බලපු අයට බැරි ද සුද්ද සිංහල’
මේ වගේ පොත පත පරිශීලනය කරමින් තමයි එදා බයිලා සූරයන් බිහි වෙලා තිබුණේ.
ඉන් පස්සෙත් ඒ බයිලා හොඳට අධ්‍යයන කරලා බයිලා ගායකයෙක් වෙන්න හිතාගෙන බයිලා ප්‍රසංග
බලන්න ගියා. ඒ කාලේ මාසෙකට වතාවක්වත් බයිලා ප්‍රසංග පැවැත් වුණා. අපි ඉතිං ගිහිල්ලා
ඉන්නවා වේදිකාව පහළට වෙලා. ඉන් පස්සේ ප්‍රවීණයන් ඇසුරු කරන්න ලැබුණේ වේදිකාව
පිටුපසට යන්න අවසර ලැබුණට පසුවයි. ප්‍රවීණ අයට තේ එකක්, විටක් අරන් දීලා අපි බයිලා
අහ ගන්නවා.
ඔහොම කලක් ගත වෙලා බයිලා කියන්න පටන් ගත්තා. ඉස්සර ප්‍රවීණම ශිල්පියකුට ලැබෙන්නේ
රුපියල් පහයි. මං මුලින්ම ගත්තේ රුපියල් දෙකයි. මෙහෙම තමයි අපේ බයිලා කලාව ඇරැඹුණේ.
එතැන් ඉඳලා අමාරුවෙන් මේ ගමන ආවා. ඒ කාලේ බයිලා ගායකයෙක් කියන්නේ අදට වඩා හොඳ
පිළිගැනීමක් රසික ප්‍රතිචාරයක් තිබුණු රජෙක් වගේ මිනිහෙක්.
මට මතකයි අපේ බයිලා වේදිකාවල ඒ කාලේ ගුණදාස කපුගේ, මාලිනී බුලත්සිංහල වගේ අයත්
තමන්ගේ ගීත ගැයුවා.
මං එන කාලෙත් ලන්දේසි අය තමයි වාදන ඉදිරිපත් කළේ. පහුකලෙදි වාදනයටත් අපේ පරපුරක්
හැදුණා. අර්නස්ට් සොයිසා, උපාලි කන්නන්ගර, උපාලි සන්නස්ගල වගේ අය.
අපි මේ බයිලා කලාවේ වාදන භාණ්ඩ සහ තාල ගැන කතා කරමුද? මගේ ඇරැයුම ධර්මසේන
සූරීන්ටයි.
වයලීනය, බෙංජො, ට්‍රෑන්ගල්, ගෙජ්ජි රබාන තමයි මූලිකව යොදා ගන්නේ. පසුකාලීනව මේ තාල
රටා මවන්න මෙන්ම රසභාව උද්දීපනය කරන්නට තව තව භාණ්ඩ එකතු වුණා. යම් යම් තාල දහ
අටකින් තමයි බයිලාවල තාල මැවෙන්නේ. නමුත් තවත් තාල එක් වී තාල තිස් හයක් මේ වන විට
තිබෙනවා.
කපිරිඤ්ඤා, මනිලා, ජාවා, ජමාරේ, කුපර්, මීකූකූමායි, කෝරන් ගීතා, රෝසා, රොසලින්
රම්යිතරම් වගේ මූලික තාලත් බණ්ඩා කෝකිල, ආදර බඹර කෝකිල, පුන්සඳ පායා, ඩබල්
මීකූකූමායි වගේ තවත් තාල මීට එක් වී තිබෙනවා.
* ඉස්සර බයිලා සංවිධායකවරු ගැන මතකද? මම කරුණාදාසයන් නැවත අතීතයට කැඳවා යමි.
ඔව්, ඔව්, හොඳටම මතකයි. ඒ කාලේ බයිලා එකක් සංවිධානය කරන්නේ ගමේ යමක් කමක් කරන්න
පුළුවන් උදවිය. අලුත්කඩේ පාල අයියා. කෙහෙල්වත්තේ නන්දසිරි, මරදානේ චොප්පෙ අයියා,
නාරාහේන්පිට චන්දරේ, බොක්සිං සිරා, කෙහෙල්වත්තේ පෝල් අයියා මේ අය තමයි ප්‍රධාන
සංවිධායකවරු වුණේ. තවත් බොහෝ අය හිටියා. මේ අය මූලික වෙලා තමයි බයිලා එක කරන්නේ.
ඉතිං මේ අය අපිත් එක්ක හරිම කිට්ටු මිත්‍රත්වයක් තිබුණා. අපිට හොඳට සැලකුවා. චොප්පෙ
අයියා මට මල් මාලයක් දාලා පිළි අරගෙනත් තියෙනවා.
බයිලාවල පරපුර තියෙනවා නේද ධර්මසේන අයියේ . . .
ඔව් . . . මරදානේ රූබන් මහත්තයගෙන් පැවැත එන පරපුර තමයි රූබන් පරපුර කියන්නේ. එම්.
එස්. ප්‍රනාන්දු මහත්තයාගේ ගෝලයෝ අයිති වෙන්නේ එම්. එස්. පරපුරට. මිල්ටන් සිල්වාගේ
පරපුර මිල්ටන් පරපුර. සො. දො. සිරිවර්ධනයන්ගේ පරපුර සිරිවර්ධන පරපුරට අයිති වෙනවා.
මේ පරපුර අතර කිසිම බේදයක් නැහැ. වේදිකාවේදී හැමෝම හරිම සමගියෙන් තමයි කටයුතු
කරන්නේ.
* සමකාලීනයන් සහ ප්‍රවීණයන් ගැන මතකයට යමු කරුණාදාස මහත්තයෝ?
මරදානේ ඩබ්. ඒ. රූබන් පෙරේරා, වැලිකඩ සංගීතේ, දෙමගොඩ චාල්ස්, පුංචි බොරැල්ලේ සො. දො
සිරිවර්ධන, තොටළඟ ඩබ්. ඒ. කුසුමපාල, මෝදර ජස්ටින් ප්‍රනාන්දු, ගල්කිස්සේ ඇම්. ඇස්.
ප්‍රනාන්දු, දෙහිවල සිරිසේන, රත්මලානේ ටී. ඩී. ගුණතිලක, පුංචි බොරැල්ලේ ඇන්ටන්
අබේරත්න, ගල්කිස්සේ මිල්ටන් සිල්වා, බම්බලපිටියේ උපාලි ලියනගේ, කිරිබත්ගොඩ පවුලිස්
පෙරේරා, වැලිකඩ සුනිල් අතපත්තු, මොරටුවේ සෙල්ටන් සිල්වා, නාරාහේන්පිට ධර්මදාස, හැඳල
පැට්‍රික්, මරදානේ දයානන්ද, ගොතටුවේ කුමාරදාස, කොම්පඤ්ඤවීදියේ සරණපාල, වනාතමුල්ලේ
රාජා, නාගොඩ ලියෝ පෙරේරා, අගුලානේ ඒසිරි, දෙහිවල සුමතිපාල පෙරේරා, ලක්ෂපතියේ
පර්සි, කවුඩානේ මධුරාවල, තොටළඟ සුදත්, බෙල්ලන්විල සරත්, මෙරටුවේ සුනිල්, රත්මලානේ
දේවසිරි. මේ හැමෝම මගේ මිත්‍රයෝ.
තවත් නම් ගම් අමතක අය ගොඩක් ඉන්නවා. අවුරුදු හතලිහක බයිලා ඉතිහාසය ගත්තම මම හැමෝටම
හොඳ යහලුවෙක්. එදත් එහෙමයි, අදත් එහෙමයි.
* කරුණාදාස මහත්තය කිව්ව හැම නම ඉස්සරහම ගම කියැවෙනවා. බයිලා ගායකයෝ හැමෝගෙම
එහෙමයි. මීට විශේෂ හේතුවක් තියෙනවද?
ඔව්, අපේ රටේ බොහෝ ප්‍රවීණ ලේඛකයන්ගේ නම ඉදිරියේ තමාගේ ගම තියෙනවා. තොටගමුවේ ශ්‍රී
රාහුල හිමි, මීමන ප්‍රේමතිලක මිට හොඳ උදාහරණ. ඉන් තමන්ගේ ගමේ නමට ආලෝකයක් එක් වෙනවා
වගේම අපටත් අභිමානයක්. ඒ නිසාම හැම බයිලා ගායකයෙක්ම තමන්ගේ නමට ඉස්සරහින් ගමේ නම
භාවිත කරනවා. ඒක එදා ඉඳන් තිබුණු නොනැසෙන සම්ප්‍රදායක්.
* ඔහොම මේ ප්‍රශ්නයටත් උත්තර දෙමු. බයිලා හදන්න හොඳ සාහිත්‍ය ඥාණයක් තියෙන්න ඕනේ
නේද?
ඔව්, ඇත්තටම ඔව්. බයිලා කියන්නේ එළිසම එළිවැට ගලපල කරන හොඳ ශාස්ත්‍රීය නිර්මාණයක්.
තාල සමඟ ගැළපෙන අයුරින් අර්ථ රසය මෙන්ම ශබ්ද රසය ද මුසු විය යුතුයි. බයිලා හදන්නට
පරිසරය, සමාජය, ජන ජීවිතය, සිතුම් පැතුම් ආකල්ප ගැන හොඳ දැනීමක් වගේම පැරැණි පොත පත
කියවා ගත් දැනුමත් අනිවාර්යයයි.
ඒ දැනුම ඇසුරේ තමයි එදත් අදත් බයිලා හැදුණේ. බයිලා ගායන ශිල්පීන් නිරතුරුව පොත පත
ඇසුරු කරන, සමාජය දෙස විනිවිදව වෙනස්ම දෘෂ්ටිකෝණයකින් බලන අයයි.
* බයිලා කියන්නේ හොඳ කලාවක්. ඒත් කරුණාදාස මහත්තයෝ මේ සඳහා ඇගැයුමක් තිබෙනවා කියලා
ඔබට හිතෙනවද?
රාගධාරී ශාස්ත්‍රීය සංගීතයට ලැබෙන පදවි මේ ගායන කලාවට නැහැ. බයිලා ගායකයෙක් කවදාවත්
විශාරද වෙන්නේ නැහැ. මේ කලාව ප්‍රගුණ කරන්න විදුහලක් නැති නිසා තමයි මෙහෙම වෙලා
තියෙන්නේ. අනෙක විදුහලකින් බයිලා ඉගෙන ගන්නත් බැහැ. ඉස්සර බයිලාවලට හොඳ ඇගැයුමක්
තිබුණා. නමුත් අද බයිලා කියන්නේ මොනවාද කියලා බොහෝ දෙනා දන්නේ නැහැ. මහාචාර්ය
සුනිල් ආරියරත්නයන්ට මේ මොහොතේ ස්තුතිවන්ත විය යුතුයි. එතුමාගේ පොත හරහා තමයි බොහෝ
දෙනා බයිලා ගැන දැනගත්තේ.
ඒ කාලේ බයිලාවලට තිබුණු තැන අද තියෙනවද කියල මටත් සැකයි.
* බයිලාවලට තැනක් නොලැබෙන්නට හේතු වූ කාරණා ලෙස මොනවද දකින්නේ කරුණාදාස මහත්තයෝ?
ඇත්තටම බයිලා ගැන බොහෝ දෙනා දන්නේ නැහැ. ඒ නිසා මේ ගැන ශාස්ත්‍රීය අවබෝධයක් ඇති
උදවිය ඉන්නේ ටික දෙනයි. නමුත් මේ ගැන හොයන අය එහි වටිනාකම දන්නවා.
හැත්තෑ දෙහැවිරිදි අපේ රටේ දැනට සිටිනා පැරැණිතම බයිලා ගායන ශිල්පියා ප්‍රතාපවත්
හඬින් ගයයි.
‘දස දිගත සුගන්දේ විහිදේවී අමා රුජින්දේ
මගෙ සුගත මුනින්දේ ඔබ පා කවුද නොවැන්ඳේ’
චතුර ගීතනාත් බණ්ඩාර
|