කර්නෙවාලෙ කෝලම
‘කෝලම්’ යන වචනය වර්තමාන ලංකාවේ උපහාස අර්ථයෙන් ද භාවිත වේ. ‘පාලා ගිය
වැනි බහුරූ කෝලම්’ කියා වීදාගම හාමුදුරුවන් ලියූ තැන සිට ප්‍රතික්ෂේපිත අර්ථයෙන්
‘මළ කෝලම්’, ‘බහුරූ කෝලම්’ ආදී උපහාස අර්ථ එයට එක් වන්නට ඇත.
‘මළ කෝලම්’ යන අර්ථය අපේ පොලිස් කෝලමට, හේවා කෝලමට, නොංචි කෝලමට ගැළපුනද, රජ බිසෝ
කෝලම, ලෙන්චිනා කෝලම, නිළමේ කෝලම ආදී කෝලම් චරිත අතිශය පෞරුෂයෙන් යුතු උත්තම චරිත
ගණයට වැටේ.
මේ ලිපිය සරසවිය හරහා ඔබ අතට පත් වන මොහොත වන විට මේ ලියුම්කරුවා තම මව් බිමට පය
ගසා සිටිනවා විය හැකිය. එහෙත් මා මේ ලිපිය ලියන්නේ තවමත් සීතල යුරෝපයේ, ඇල්ප්ස් කඳු
ප්‍රාන්තයේ සන්මර්තීනෝ කන්ද පාමුල ලාඕර්කා ගම්මානයේ සිටයි. මේ දිනවල යුරෝපයේදී
දැකිය නො හැකි වුවත් කර්නෙවාලේ නැටුම පිළිබඳ තව තවත් සිහි කිරීම සඳහා මට සාධක
බොහෝමයක් මේ සීත පරිසරයෙන් සොයා ගත හැකිය.
ලංකාවේ වර්තමාන ශබ්ද කෝෂයේ උපහාස අර්ථයෙන් ‘කෝලම්’ යන්න ගතහොත් මට ‘කර්නෙවාලේ කෝලම’
කියා මේ නැටුම හැඳින්වීමට නොහැකි වනු ඇත. එහෙත් අපේ රටේ පහතරට උත්තම කෝලම් චරිත දෙස
බලන විට කර්නෙවාලේ නැටුමේ ඇති විචිත්‍ර පොහොසත්කමට සමානවීමේ ලක්ෂණ බොහොමයක් අපේ
කෝලම් නැටුමේ ඇත.
අම්බලංගොඩ කෝලම් කට්ටුවේ ඇති රජ බිසෝ කෝලම් දෙක පමණක් ගත්ත ද අප කෝලම් අතින් ඉතා
ඉහළ සමාර්ථයක් ලබා ඇති බව ඔප්පු වෙයි. මා මේ ළඟකදී මහාචාර්ය ආරියරත්න කළුආරච්චි
මැතිඳුන්ගේ නව නිවසට ගොඩ වැදුණෙමි. එහි සාලයේ ඉතා ගෞරවනීය ලෙස තැන්පත් කොට තිබූ රජ
බිසෝ කෝලම් කට්ටුව දුටු විට මට මතක් වූවේ ද ඉතාලියේ වැනිස් නුවර රාක්කවල විදේශිකයන්
වෙනුවෙන් ප්‍රදර්ශනය කොට තිබුණු කර්නෙවාලේ කෝලම් මුහුණුය.
යුරෝපයේ ඇති සංචාරකයන් ආකර්ෂණය කරන නගර අතර වැනිසි නගරය අති මහත් ප්‍රවීණත්වයක්
දරයි. පාස්කු ඉරිදාට (අප්‍රේල් මාසයේ) දින 40 කට පෙර සිට කර්නෙවාලේ කාලය උදා වෙයි.
එය මහ සිකුරාදාට පෙර සහ අළු බදාදාට පෙර එළඹෙන මහා අඟහරුවාදා (මර්තෙදි ග්‍රාස්සෝ -
Shrove Tuesday) දක්වා ක්‍රියාත්මක වන සැණකෙළියකි. මේ කාලය තුළ පමණක් වැනිස් නගරයට
එන සංචාරකයන් දිනකට 30,000 ක් පමණ යැයි අන්තර් ජාලය ගණන් බලා ඇත. අතීතයේ සිට ඉතාම
සම්ප්‍රදායානුකූලව පැවති වැනීසියානු කර්නෙවාලේ සැණකෙළියට නව මුහුණුවරක් ලැබුවේ 1970
වර්ෂයේ සිටයි.
මේ නව මුහුණුවර නිසා කර්නෙවාලේ වෙස් මෝස්තරවල තිබූ ආගමානුකූල ජන සම්ප්‍රදාය වෙනස්
වී ඇත. එදා ඉතා ස්වභාවික අමු ද්‍රව්‍ය යොදා සකසා ගත් කර්නෙවාලේ වෙස් මෝස්තර 1970 න්
පසු නවීකරණය වී ඇත. අද වන විට විවිධ නූතන වටිනාකමින් යුතු අමු ද්‍රව්‍ය යොදාගෙන
සකස් කර ගන්නා කර්නෙවාලේ වෙස් මෝස්තර ලෝකයේ ප්‍රකට සහ ප්‍රවීණ ඇඳුම් නිර්මාණ
ශිල්පීන් අතින් සිදු වෙයි.
වැනිස් කර්නෙවාලේ සැණකෙළිය අද ජාත්‍යන්තර Fantasy Fashion
Show එකක් බවට පත් වී
ඇත. මේ තේමාවේ තිබූ චතාරිකයට සූදානම් වන ආගමානුකූල වත් පිළිවෙත් වැනිස් කර්නෙවාලේ
සැණකෙළියේ නැත. 1970 දී වැනිසියේදී ප්‍රතිසංස්කරණය වූ නූතන කර්නෙවාලේ ‘දියුණුව (?)’
දැන් දැන් ඉතාලියේ ගම් නියම් ගම් කරා ද ව්‍යාප්ත වී තිබේ. මා කර්නෙවාලේ වකවානුවේ
ඉතාලියේ බොහෝ පළාත් හරහා මේ සැණකෙළියට සම්මාදම් වුව ද එහි නිවැරැදි සම්ප්‍රදායික
තේමාව කුමක්ද යන්න දැන සිටි පිරිස් විරළය.
කර්නෙවාලේ යනු කුමක්දැයි මට කියා දුන්නේ සිසිලි දූපතේ සම්ප්‍රදායික සිරකුසා නගරයේ
සිටි වයස්ගත පූජකතුමෙක්ය. ඒ වන තෙක් මා මේ ප්‍රශ්නය බොහෝ ඉතාලි ජාතිකයන්ගෙන් ඇසුවද
මට ලැබුනේ අසම්පූර්ණ පිළිතුරුයි. සිසිලි දූපතේ ගම් නියම් ගම් හරහා සංචාරය කරද්දී මට
ඉතාම සම්ප්‍රදායික වත් පිළිවෙත් සහිත ආගමානුකූල කර්නෙවාලේ උත්සවයක් දකින්නට ලැබුණේ
සුන්දර කඳු මුදුනක පිහිටා තිබූ සිරකුසා පල්ලියේදීය.
මා ලංකාවේ කෝලම් සම්ප්‍රදාය සමඟ කර්නෙවාලේ සංසන්දනය කරන්නේ ඇයි හේතු දෙකක් ඒ සඳහා
බලපායි. කෝලම් වෙස් මුහුණේ සහ කර්නෙවාලේ වෙස් මුහුණේ ඇති භාවමය සමානකම නිසා,
2. සංචාරක ව්‍යාපාරය නිසා කර්නෙවාලේ සැණකෙළියට සිදු වී ඇති ‘දියුණුව (?)’ ලංකාවේ
කෝලම් සම්ප්‍රදායටත් අත්වේදැයි ඇති සාංකාව නිසා.
අද ලංකාව සංචාරක කර්මාන්තය අතින් සීඝ්‍ර දියුණුවක් ලැබීමට ආසන්නය. අද ලෝකයේ සංචාරක
වර්ග කිරීම් අනුව (Tourist Categories) ලංකාව තවමත් අයත් වී ඇත්තේ
Coastal Tourism
(වෙරළාසන්න සංචරණය) යන ගණයටය. එහෙත් Nature Tourism (පාරිසරික සංචරණය) සහ
Heritage Tourism (උරුමය පිළිබඳ සංචරණය) යන ගණයන්ට ද ලංකාවේ සංචාරක ව්‍යාපාරය
දියුණු කළ හැකිව තිබේ. එහෙත් අපේ බලධාරීන් තවමත් Coastal
Tourism පිළිබඳව පමණක්
ප්‍රවර්ධනයක් ගොඩ නගමින් සිටිනු පෙනේ.
අම්බලන්ගොඩ කෝලම් කලාව Coastal Tourism යටතේ ‘දියුණු’ කළහොත් සිදු විය හැකි
විනම්බෑසිය පිළිබඳ 1982 පමණ කාලයේදී ධම්ම ජාගොඩ සූරීන් ‘පළිඟු මැණිකේ නම් ටෙලි
නාට්‍යයෙන් ද පැහැදිලි කර ඇත. මැණික් හාමි නම් සාම්ප්‍රදායික ගුරුන්නාන්සේගේ වෙස්
මුහුණු තොගය සූරසේන විසින් හික්කඩුවේ සුද්දන්ට විකුණන්නේ
Coastal Tourism යටතේය.
ජපානය, බුරුමය, තායිලන්තය වැනි රටවල් සංචාරක ව්‍යාපාරය දියුණු කොට ඇත්තේ
Heritage Tourism යටතේ නිසා ඔවුන්ගේ වත් පිළිවෙත්, උරුමයන් එලෙසින්ම ආරක්ෂා කර ගනිමින්ම
ඔවුන් සංචාරක වාසි අත් විඳිමින් සිටී. මා ජපානයේදී කබුකි නර්තනය අත් වින්ෙඳ්
වැනීසියේදී කර්නෙවාලේ දැක ගත් ලෙසින් නොවේ. ජපානයේ ‘කබුකි’ කියා වෙනම ප්‍රදේශයක්
නම් කොට ඇත. එහි කබුකි වේදිකාව පැරැණි රජ මාළිගාවක් තරම් උත්තුංගය. කබුකි
සම්ප්‍රදාය හෝ එහි වත් පිළිවෙත් හෝ අබැටක්වත් වෙනස් වී නැත. එහෙත් කබුකි නගරය පුරා
නන් ජාතික විදේශීය සහ දේශීය සංචාරකයන් පිරී ඉතිරී සිටී. වැනිස් නගරයට නොදෙවෙනි
ප්‍රමාණයකින් සංචාරක ගහනයක් එහිදී මම දැක ගත්තෙමි. එහෙත් කර්නෙවාලේ ප්‍රතිසංස්කරණය
සේ කබුකි නැටුම නවීකරණය වී නොතිබුණි.
ලංකාවේ කෝලම් ඉතාලියේ කර්නෙවාලේ තරම්ම සුන්දර වුවද ජපානයේ කබුකි තරම් ලෝක ප්‍රසිද්ධ
වී නැත්තේ ඇයි?
එහෙයින් එන්න,
ජාත්‍යන්තර ලෝකයට
කෝලම් උරුමය
රැගෙන යාමට මේ හොඳම උස් බිමයි
ජැක්සන් ඇන්තනී
|