කිසිම ජගතෙකුට එහෙම කියන්න බෑ
සංස්කරණ ශිල්පී රවීන්ද්‍ර ගුරුගේ
සිනමාවේ පසු නිෂ්පාදන කටයුතුවල සාර්ථකත්වය සෑම විටම සිනමා පටයක අනාගතය තීරණය
කිරීමකි.
පසු නිෂ්පාදන කටයුතුවල ඉතාම වැදගත් අංගයක් ලෙස සංස්කරණය හැඳින්විය හැකිය.
සාමාන්‍ය
සිනමා ප්‍රේක්ෂකයා සංවේදී වූ පරිදි ‘එඩිටර්ගේ කතුර’ නම් වූ භූමිකාව තම හස්තය තුළින්
පූර්ණ ග්‍රහණයට ලක් කළ පුද්ගලයන් අතර රවීන්ද්‍ර ගුරුගේ පෙරමුණේය. සරසවිය සම්මාන
රැසක් දිනූ ඔහුගේ ශිල්පීය භූමිකා මෙසේ විමසමු.
සිග්නිස් සම්මාන උළෙල තුළ 2001 සිට
2002 දක්වාත් 2004 සිට 2008 දක්වාත් රන් හා රිදී සම්මාන ඔහු සතුය. ජනාධිපති සම්මාන
උළෙල තුළ 2001 සිට 2006 දක්වාත්, සරසි සම්මාන උළෙල තුළ 2003/4 වර්ෂවලත් රූපවාහිනිය
සඳහා වූ සුමති හා උණ්ඩා සම්මානත් ඔහුගේ දික්විජිත ලැයිස්තුව තුළ තිබූ බව ඔහු
අපහසුවෙන් පිරික්සුවේය.
ඉතිං මාගේ පළමු පැනය . . . ඔබට පරම්පරා ආභාෂය ලැබීම ඔබේ සාර්ථකත්වයට මුල යැයි මා
ප්‍රකාශ කළොත්?
අනිවාර්යෙන්ම. මොකද මගේ ආරම්භය 80 දශකය. ඒ දශකය වෙන විට සිනමාව යම් අර්බුදයකට
ලක්වෙලා. ඒවායේ සිටි ප්‍රවීණ ශිල්පීන් ක්‍රමයෙන් රූපවාහිනී මාධ්‍යයට ආපු කාලයක්. ඒ
අතර සිටි ලෙස්ටර්, සුමිත්‍රා, ටයිටස් තොටවත්ත, තිස්ස අබේසේකර වගේ ශිල්පීන් සමඟ මට ඒ
දිනවල සම්බන්ධ වෙන්න අවස්ථාව ලැබුණා. ඒ පරම්පරාවේ ආභාෂය මට හොඳින්ම ලැබුණු නිසයි
හඳගම ඇතුළු පසු පරම්පරාව සමඟ මට ලෙහෙසියෙන්ම මුසු වෙන්න අවස්ථාව ලැබුණේ. ඒ අනුව
ගත්තොත් මම හැදුණේ ඉතාම සාරවත් භූමියක.
ඒ ආභාෂය හොඳින්ම ලැබූ ඔබගේ ආරම්භය කොයි වගේ එකක්ද?
මගේ ආරම්භය සිද්ධ වුණේ රූපවාහිනී මාධ්‍යයෙන්. 80 දශකයේ අග දක්වාම මම සේවය කළේ
සැලසිනේ ආයතනයේ. මම ඊටත් පෙර ඡායාරූපකරණය පිළිබඳ ඩිප්ලෝමාවක් හදාරලා ඡායාරූප
ශිල්පියෙක් වෙන්න හිතාගෙනයි සිටියේ. නමුත් චිත්‍රපට අධ්‍යක්ෂක විජය ධර්ම ශ්‍රී
දවසක් මට කිව්ව දෙයක් තමයි ඔබේ රිද්මය හරි යන්නේ ඡායාරූපයට නොවෙයි සංස්කරණයට බව. ඒ
අනුවයි මම කැමරාව අතහැර සංස්කරණයට යොමු වුණේ.
හොඳයි සාමාන්‍ය ප්‍රේක්ෂකයාට සංස්කරණය යනු රූප කැපීමක්, ඇමිණීමක් වගේ දෙයක්. ඔබ
ප්‍රවීණ ශිල්පියෙක් හැටියට සංස්කරණය දකින්නේ කොහොමද?
සත්‍යජිත් රායිට අනුව සංස්කරණය යනු ප්‍රති අධ්‍යක්ෂණයක්. එනම්
‘Re Direction’
එකක්. ඒ අනුව එයට පුරෝගාමී වන තැන තමයි සංස්කරණ මැදිරිය. සංස්කරණ ශිල්පියා ඉන් පසුව
චිත්‍රපටයේ පුරෝගාමියෙක්. සාමාන්‍යයෙන් රූපගත කරගන්නා දර්ශනවල ජීව ගුණයක් නැහැ. ඒ
දර්ශනවලට ජීව ගුණය දීලා ක්‍රමානුකූලව සකස් කරන්නේ සංස්කරණ ශිල්පියා. සාමාන්‍යයෙන්
අපි දකින චිත්‍රපටය පැය 2 ක් හෝ 2 1/2 ක් පමණ වෙනවා. නමුත් රූගත කරලා ගේන දර්ශනවල
කාලය පමණක් පැය 10/12 ක් පමණ වෙනවා. මට ලැබුණු සමහර චිත්‍රපටවල කාලය පැය 100/ 150
ක් පමණ වෙන අවස්ථාවල් තිබුණා. එවැනි දර්ශන ගොඩක් තමයි අපි චිත්‍රපටයකට ලඝු කරන්නේ.
මොකද කිසිම ජගතකුට කියන්න බෑ මම මේ රූපයේ මෙතැනින් පටන් ගෙන මෙතනින් ඉවර කරලා ඊළඟ
රූපයට යනවා කියලා. අපිට නියම Cutting Point එක හසු වෙන්නේ සංස්කරණ මැදිරියේ. ඒක
මටත් පොදුයි, ලෝකයටත් පොදුයි.
රූපවාහිනී මාධ්‍යයේ සිටි ඔබ සිනමාවට එන්නේ හරිම විප්ලවකාරී විදිහකටයි?
ඇත්ත වශයෙන්ම මම සිනමා සංස්කරණයට අඩිය තිබ්බේ 2002 වර්ෂයේ. එහෙම එනකොට මම ආවේ ලෝකයේ
තියෙන අලුත්ම තාක්කෂණයත් අරගෙන. ඒ තමා ‘රේඛීය නොවන සංස්කරණය’
(Non Linear Editing) කියන තාක්ෂණය එතුවක් කල් තිබුණු දළ සේයා පට ප්‍රක්ෂේපණය කොට කැපීමේ
තාක්ෂණය වෙනුවට ඩිජිටල් ක්‍රමය ඔස්සේ පරිගණක ආශ්‍රයෙන් මේ අනුව සංස්කරණය සිද්ද
වුණා. මොකද පරණ ක්‍රමය තුළ සංස්කරණය 100% ක්ම සෘජු හා නිරවද්‍ය නෑ. ඒ අනුව ලෝකයේ
දියුණුම මෘදුකාංග අපි භාවිත කරනවා.
සංස්කරණය ඩිජිටල්කරණය වීම තුළ ඔබ මෘදුකාංගවලට හිර වුණා කිව්වොත් නිවැරැදිද?
මෘදුකාංග අපිට මෙවලමක් මිසක ආභරණයක් නෙවෙයි. මොකද අනිවාර්යයෙන්ම අපි ශිල්පීය දැනුමට
නිර්මාණශීලිත්වය දෙන්න ඕනෑ. එහෙම නැතුව චිත්‍රපටයක් බිහි වෙන්නේ නෑනේ. හැබැයි අපිට
මෘදුකාංගය නැතුව ඉදිරියට යන්නත් බෑ. ඒ නිසා අපි යන්නේ ඒ දෙක අතර මැද ගමනක්. අපි අපේ
ගමන යන්න විතරයි මෘදුකාංගය පාවිච්චි කරන්නෙ.
මේ තාක්ෂණය ගෙනා වකවානුවේ ඒ සදහා හැදිච්ච වටපිටාව කොහොම එකක්ද?
මුල් කාලයේ මේ තාක්ෂණය පරිහරණය කරන කොට අපිට තිබුණ අත්දැකීම් අඩුයි. අපිට පිටපත්
මුද්‍රණයේ සිට හැම දේකටම ඉන්දියාවට යන්න සිද්ධ වුණා. එතකොට වියදමත් වැඩියි. ඊට
පස්සෙත් මට උවමනා වුණා ශබ්ද පරිපාලනය පිළිබඳ පිරිසක් පුහුණු කරන්න. ඒකටත් අපිට
ඉන්දියාවෙන් ශිල්පියෙක් ගෙන්න ගන්න වුණා. ඒ සියලු ප්‍රශ්න විසඳ ගන්න කොට ප්‍රවීණ
ශිල්පියෝ කැමති වුණේ නැහැ මේ ක්‍රමයට අනුවර්තනය වෙන්න. ඒ ප්‍රශ්නය මට අලුත් වුණේ
නැහැ. මොකද හොලිවුඩ් සිට බ්‍රිතාන්‍යයට ඔය තාක්ෂණය යන කොටත් බ්‍රිතාන්‍යයෙන්
බොලිවුඩයට එන කොටත් ඔය ප්‍රශ්නය තිබුණා. 1998 දී බොලිවුඩයට ආපු ‘රේඛීය නොවන’
තාක්ෂණය 2002 වෙද්දී ලංකාවට ගේන්න ලැබීමම ජයග්‍රහණයක්. ඒකට මගේ ආත්ම ශක්තිය හේතු
වුණා.
ඔබ මේ සියලු කාර්යයන් කරන්නේ TVT (The Video Team) ආයතනය හරහා. ටී. වී. ටී. ආයතනයට
ඔබේ බැඳීම කොයි වගේද?
මම පරාක්‍රම නිරිඇල්ල සමඟ වරක් ජපානයට ගියා කබුකි බලන්න. එහිදී හමුවෙච්ච අපේ
මිත්‍රයෙක් වෙච්ච ආචාර්ය සුනිල් ජයන්ත නවරත්න තමයි මුලින්ම මේ අදහස ගෙනාවේ. අපි
තිදෙනාට අමතරව ආනන්ද අබේනායකත් එකතු වුණා මුල් කාලයේ. එදා මෙදා තුර මම අලුත්ම
තාක්ෂණය ටී. වී. ටී. ආයතනයට ගෙනාවා. ඉහත සඳහන් කළ තාක්ෂණය තුළින් අපි කරපු පළමුවැනි
චිත්‍රපට 2 ක වුණේ සුළං කිරිල්ලී හා අග්නිදාහය. එදා කළ ටෙලි නාට්‍ය මෙන්ම අදටත් කරන
සියලුම චිත්‍රපට සංස්කරණය කරන්නේ ටී. වී. ටී. ආයතනයේ. ඒත් එක්කම අපි දක්ෂ සංස්කරණ
හා නිර්මාණ ශිල්පීන් ආයතනය හරහා බිහි කළා. මොකද ශිල්පීන්ට ඉගෙන ගන්න තැනක් ලංකාවේ
අදටත් නෑ. ඒත් එක්කම කැමරා සැපයීම, ආලෝකකරණ උපකරණ කැපයීම, සංස්කරණ හා ශබ්ද පරිපාලන,
හඬ කැවීම් පහසුකම් මෙන්ම විශාල ශබ්ද පුස්තකාලයක් ද අප සතු වෙනවා.
හොඳයි, අද වන විට ඔබ කරා එන චිත්‍රපට සඳහා ඔබ පෙනී ඉන්නේ සංස්කරණ උපදේශකවරයෙක්
විදිහට. එයට හේතුව නිිර්මාණකරණය තුළ ඔබ හෙම්බත් වීමද?
නැහැ. හෙම්බත්වීමක් නෙවෙයි. ටී. වී. ටී. ආයතනයේ අනෙකුත් කාර්යයන් සමඟ මම ගොඩක්
කර්යයබහුල වෙනවා. අනික් කාරණය අපි ළඟ ඉන්න තරුණ ශිල්පීන්ට හැදෙන්න කාලය අවශ්‍යයයි.
ඒ නිසයි මට එන චිත්‍රපටවල ඒ අය වැඩ කරන්නේ. නමුත් අධ්‍යක්ෂවරයෙක් තීරණය කළොත් මාවම
අවශ්‍යයි කියා, ඒක මං අනිවාර්යයෙන් කරනවා.
ලංකාවේ සංස්කරණ ශිල්පයේ අනාගතය කොයි වගේ වේවිද?
ඒක තීරණය වෙන්නේ ශිල්පීන් කොච්චර දුරට භාවිතයේ ඉන්නවද කියන එක මතයි. ඒ භාවිතයේ ඉන්න
කොට ලෝකයේ වෙන වෙනස්වීම්වලට කොච්චර දුරට අනුගත වෙනවාද කියන එක ගැනත් අවධානයෙන් ඉන්න
ඕනෑ. ඒ අනුව සිනමා කර්මාන්තයේ ප්‍රගතියත් තීරණය කරාවි.
නමුත් ශිල්පීන්ට භාවිතයේ යෙදෙන්න ලංකාවේ චිත්‍රපට තැනෙන්නේ නැත්නම් එතන ගැටලුවක්
නේද?
අනිවාර්යයෙන්ම ඔව්. ඔය ගැටලුව කලින් එකටම අදාළ එකක්. ඉහත දේවල් කරන්න හොඳ චිත්‍රපට
ඕනෑ. නමුත් ලංකාවේ වස්තු බීජ අපේ පිටපත් රචකයෝ පාවිච්චි කරන්නේ නැහැ. දැන් බලන්න
ඉරාකය, කොච්චර දැඩි මතධාරී රටක් වුණත් නිරමාණකරුවෝ ඉතාම සාර්ථක ලෙස නිර්මාණ කරලා
ජාත්‍යන්තරයට යනවා. ඒ අතින් බලන කොට ලංකාවට ලොකු අවස්ථාවක් තියෙනවා.
ඔබට අනුව ඔබ අත්දකින අභියෝග හා තෘප්තිය කවරාකාරද?
මම ශිල්පීය පක්ෂය හා නිර්මාණශීලිත්වය එකට කැටි කරගෙන නිර්මාණ කළත් පොදු අභියෝග
තිබෙනවා. ඒ තමා ඩී. ටී. එස්. ශබ්ද පරිපාලනය සඳහා අපට පහසුකම් නැති වීම. අපිට ඒ සඳහා
ඉන්දියාවට යන්න සිද්ධ වෙනවා. අනිත් කාරණය H D චිත්‍රපට සඳහා පරීක්ෂණ තිරගත
කිරීමක් කරන්න අවශ්‍ය පහසුකම් නොමැති වීම අභියෝගයක්. තෘප්තිය අතින් ගත්තොත් මම අද
ලබන තෘප්තිය නෙවෙයි තව වසර ගණනකින් ලබන්නේ. එය විවිධයි. ඒ නිසා නිර්මාණයකට බෑ මාව
තෘප්තිමත් කරන්න. මොකද මම අලුත් වෙනවා. ඒ නිසා කරන නිර්මාණ ගැන නෙවෙයි කරන්න ඉන්න
නිර්මාණ ගැනයි මා තෘප්තිමත්.
ඔබ යාවත්කාලින වන පසු නිෂ්පාදන ශිල්පියෙක් හැටියට ඔබේ අනාගත සැලසුම් කොයි වගේ
වේවිද?
දැනට මම චිත්‍රපට 55 ක් පමණ සංස්කරණය කළා. තවත් චිත්‍රපට 6 කට සංස්කරණ
අධීක්ෂකවරයෙක් වුණා. ඒ එක්කම ඉදිරියට එන්න තිබෙන විශාල නිර්මාණ තොගයක් ගැන කතා බහ
වෙනවා. ඒ එක්කම ත්‍රිමාණ සිනමාව ගැනත් අවධානයෙන් පසු වෙනවා. (3ච්) එත් එක්කම තරුණ
කණ්ඩායමක් එක්ක තාක්ෂණයෙන් පිරිපුන් කරගෙන ඉදිරියට යන්න තමා බලාපොරොත්තුව.
සාකච්ඡාව හා ඡායාරූප
ෂෙනාල් ජයසේකර
|