රජනන් වටා සහ පිරිවර

තිස් වසරකට පසු අර්නස්ට් වඩුගේ ‘සරසවියට’ සපයන විශේෂාංගයකි

ගිය සතියේ ඉතිරි කොටස

දෙ විවරු - දිව්‍යාංගනාවන් කඳුළු සලන්නේ නැතැයි මතයක් පවතී. එහෙත් රටක් වශී කළ ‘දෙවඟන’ සැබැවින්ම කොතෙක් නම් ජීවිතයේ කඳුළු සලන්නට ඇති ද?, රුක්මණී දේවිය මෙන්ම මාලිනී ෆොන්සේකා ද සංසදනයට සුවිශේෂී හේතුවක් ඇත්නම් එය ද එක් කරුණකි. දෙදෙනාම අති සංවේදී, එහෙත් අප්‍රතිහත දිරියෙන් යුතු නොසැලෙන රැජිනියන් බවට පත් දෙදෙනෙකි.

හැටපස් වෙනි විය සපුරන සිංහල සිනමාවට මෙවන් රැජිනියන් දෙදෙනෙක්ව බිහි කිරීම මොන තරම් අසිරියක් ද?

සහාය අධ්‍යක්ෂවරයකු වශයෙන් මට රුක්මණී දේවී අධ්‍යක්ෂණය කරන්නට වරම් ලැබුණ බව මම මෙහි සඳහන් කළෙමි. එමෙන්ම මාලිනී ෆොන්සේකා සමඟ ද එකම චිත්‍රපටයක වගකිව යුතු කාර්යභාරයක නිරත වීමට මට අවස්ථාව ලැබුණි. ඒ අප අතර සිටි විවිධ කුසලතා සපිරි කලා ශිල්පියකු වූ පතිරාජ එල්. එස්. දයානන්ද අධ්‍යක්ෂණය කළ ගාමිණී ගුණවර්ධන නිෂ්පාදනය කළ ‘තුත්තිරි මල්’ චිත්‍රපටයේ නිෂ්පාදන අධිකාරී ලෙසය.

‘තුත්තිරි මල්’ මාස දෙක තුනක කාලයක් එක දිගට රූපගත කළේ කිතුල්ගලය. කිතුල්ගල යනු අපේ සිනමාවේ ඓතිහාසික සුන්දර ගම්මානයකි. පසු කලෙක අපේ සිනමා සක්විති ලෙස විරාජමාන වූ ගාමිණී ෆොන්සේකා සහාය අධ්‍යක්ෂවරයකු වූ, ඩේවිඩ් ලීන්ගේ බ්‍රිජ් ඔන් ද රිවර් ක්වායි’ රූපගත වූයේ ද කිතුල්ගල හා අවට ප්‍රදේශයේය. එහිදී ‘රිවර් ක්වායි’ පාලම නිර්මාණය වූයේ කිතුල්ගලය. ලෝක පූජිත සිනමාවේදියකු වූ ඩේවිඩ් ලීන් ඇතුළු පිරිස එදා නවාතැන් ගත්තේ මේ ලස්සන කිතුල්ගල තානායමේය.

අපේ නිළි රැජින මාලිනී ෆොන්සේකා ඇතුළු අප ‘තුත්තිරි මල්’ පිරිස ද ලැගුම් ගත්තේ කිතුල්ගල තානායමේය.

‘තුත්තිරි මල්’ සමයේ මාලිනී ගේ ඇතැම් හැසිරීම් හා ගති ගුණ දැක මම විමතියට පත් වීමි. මෙහි සඳහන් කළ පරිදි මෙන්ම මා සැමදා පවසන පරිදි යමකුට ජන හදවත් තුළ කිරුළු පැළඳීමට නම් තමා තුළ අව්‍යාජ වූ මිනිස් ගුණ දම් පැවතිය යුතුය. මාලිනීටත් නිළි රැජින කිරුළ පැලඳීමට ඇය සතුව පවතින මිනිස්කම ද අතිශය ඉවහල් වන්නට ඇතැයි මට සිතේ.

තමා ‘නිළි රැජින’ නොව, තාමත් තමන් ‘පුංචි බබා’ ලෙස මාලිනී සිතනවාදැයි මට කිතුල්ගලදී සිතුණු වාර එමටය. මෙම රැජින කිතුල්ගල ගම පුරාම පොඩි කෙල්ලෙක් මෙන් හැසිරෙමින් පුංචි අතුපැල්වලට පවා ගොස් ඔවුන් සමඟ එකම පවුලේ අය සමඟ මෙන් ලෙන්ගතුව හැසිරෙණු මම දුටුවෙමි.

නංගියෝ . . . ඔන්න අදත් මට තමයි වෙරළු වැඩියෙන් ඕන, හරිද, දන්නවනේ මං වෙරළු, නමිනං, කජු, මාදං, බිලිං වගේ දේවල්වලට පෙරේත බව.

තම සම වයසේ නොව කුඩා පාසල් සිසු සිසුවියන් සමඟ පවා ඉතා සමීප පවුලේ කෙනෙක් මෙන් ඇය හැසිරෙනු මම දුටුවෙමි. ගං ඉවුරේ දුව පැන ඇවිදිද්දී කූඩැල්ලන් දෙපයේ එල්ලුන විට, පුංචි බබෙක් මෙන් ඇය කෑගසද්දී, ගමේ ඇතැම් ළඳුන් ඇගේ දෙපා සබන් ගා සෝදා දමන අන්දම මම දුටුවෙමි. නිරහංකාරත්වය නිසාම පුංචි බබෙක් මෙන් යම් යම් තැන්වල ඇය හැසිරුණ ද ගමේ කවුරුත් ඇයට ආදරය කළේ රැජිනකට පරිදියි.

කිතුල්ගලින් අප සමුගත්දා ගැමි කතුන් ඇයව වැලඳගෙන හඬා වැළපෙනු හැටි දුටුවෙමි.

‘රත්තරන් නෝනේ අදින් පස්සේ අපට හරි පාළුවක් හිටියි නෝනෙ.’

දෙනෙත් කඳුළින් තෙත් වූ මහලු සීයා කෙනෙකු පැවසූ වදන් මට තාමත් ඇසෙන්නා සේය.

මෙහිදී යළිත් එඩී ජයමාන්න මා සමඟ පැවසූ කතාවක් මට සිහිපත් වෙයි.

‘දන්නවද අර්නස්ට් වැඩක්. ඔයාට කියන්න දවසක් ඩේසියි මායි අපේ කාර් එකෙන් දෙමටගොඩ රේල්වේ ක්‍රොසිං එක පාස් කරද්දී මාර වැඩක් වුණා. ඔයා දන්නවනේ අර දෙමටගොඩ රේල් පාර පහු කරන තැන රේල් ගේට්ටුව . . .

‘අපි දෙන්නා මොකක්දෝ හදිසි ගමනක් ගියේ. ඩේසියි මායි පස්සෙ සීට් එකේ ගියේ. (ඔවුන් එකල පාවිච්චි කළේ සුපර් සැලුන් මෝටර් රථයකි) හරියටම රේල් ගේට්ටුව ළඟට එද්දී කෝච්චියක් එන්න ළං වෙලා ගේට් එක වැහුවා.

‘ඩේසි මොකක්දෝ එහෙකට ඩිංගක් කාර් එකේ පැත්තේ වීදුරුව ඇරියා. මේ වීදුරුව පහත් කරද්දී ඒ අවට හිටිය දෙතුන් දෙනෙක් ඒක දැක්කා.’

‘ඔයා කිව්වට විශ්වාස කරන්න, මාර අකරතැබ්බයක් වුණේ. කෝච්චිය ගියා. එත් අපි දෙන්නයි, කාර් එකයි කෝච්චියට අහු වුණාට වඩා ජංජාලයකට මැදි වුණා.’

‘අර වීදුරුව පහත් කරපු ඩිංගට ඩේසිව කව්දෝ හඳුනගෙන, විනාඩි දෙක තුනක්වත් ගියේ නෑ මෙන්න අපේ කාර් එක වටේ සෙනඟ පිරෙන්න ගත්තා. ටික ටික සෙනඟ වැඩි වුණා. හැමෝටම අපි දෙදෙනා බලන්න ඕනෑය කියලා උද්ඝෝෂණය කරන්න ගත්තා. ඒ ආදරයට.’

‘දන්නවද මොකද වුණේ කියල. අපට කාර් එක එහාට ගන්න වුණේ පොලීසියෙන් ගෙනල්ල.’

ඒ එඩී – රුක්මණී ලත් ඇබැද්දියක්, එඩී අයියා මට පැවසූ ආකාරයයි. එහෙත් මාලිනී ෆොන්සේකා මුහුණ පෑ එවන් අපූරු අත්දැකීමක් මම සියැසින් දුටුවෙමි. ඒ මීට දශක තුනකට පමණ පෙරාතුව මා ‘සරසවිය’ සේවය කළ කාලයේය.අද ජාත්‍යන්තර ක්‍රිකට් පිටියක් බවට කීර්තියට පත්ව ඇති, එදා ගාල්ල මහජන ක්‍රීඩාංගනයේදී ‘තරුණි’ මහා සැණකෙළියක් පැවැත්වුණි. එකල ‘සිළුමිණ’, ‘සරසවිය’ හා ‘තරුණී’ පුවත්පත් ත්‍රිත්වයේම ප්‍රධාන කර්තෘ ධූරය දැරුවේ උදාර මිනිස්කමින් සපිරි අති දක්ෂ කීර්තිධර මාධ්‍යවේදියකු වූ විමලසිරි පෙරේරා සිරිමතාණෝය.

මෙම ගාලු ප්‍රසංගයට සමහර නළු නිළියන් රැගෙන යාමට විමලසිරි පෙරේරා සිරිමතා මට පැවරුවේය. එදින මාලිනී ෆොන්සේකා ඇතුළු තවත් නළු නළියන් දෙතුන් දෙනකු පත්තරය වෙනුවෙන් රැගෙන ගියේ මාය.

මෙහිදී අප ගාලු යද්දී අලුත්ගම- බෙන්තර හරියේ දී කඩමණ්ඩියක් අසල රියදුරු තැනගේ මොකක්දෝ අවශ්‍යතාවයක් සඳහා විනාඩියකට පමණ අප ගමන් ගත් මෝටර් රථය නතර කෙරිණි එකල ‘ටින්ටඩ්’ කළ වාහන නොවීය. කළු පැහැතිව රථයේ දොර දෙපැත්තේ වීදුරු නොවූ බැවින් පිටත ඇතුළත හොඳින් විනිවිදව දර්ශනය වන්නේය.

රථය නතර කළ අසල පදික වේදිකාවේ අම්මලා කිහිප දෙනකු අඹ, ලොවි, පේර, වෙරළු ආදී පලතුරු අලෙවි කරනු මාලිනී දුටුවාය. කිසිදු පැකිලීමකින් තොරව මාලිනී ක්ෂණිකව දොර විවෘත කරගෙන පලතුරු අම්මලා අසලට මුව පුරා සිනාසෙමින් පා නැඟුවාය.

‘මාලිනී . . . මාලිනී . . . එපා බහින්න . . . එපා . . . හරියට සෙනඟ ඔතන. කියන එක අහන්නකො ඔයා, එපා බහින්න . . .’

ක්ෂණිකව මෙය දුටු අපි උස් හඬින් පැවසූවෙමු. නමුත් එය මාලිනීට ඇසුනා ද නෑසුනා ද කියා අපට හැඟීමක් නොවීය.

මාලිනී වට කරගෙන පලතුරු අම්මලා ඉහ වහා ගිය සොම්නසින් උදම් වී පලතුරු පිළිගැන් වූ නමුදු, අපට හැඟී ගියේ අලුත්ගමින්ම ගාලු ගමන අවසන් වූවාය කියාය. එය සවස් කාලයක් විය. තවද සැතපුම් 36 ක් පමණ වූ දුර ගෙවා අපට නියමිත වේලාවට හෝරා දෙක තුනකින් ගාලු යා යුතුව තිබුණි. මොන ගාල්ලක් ද . . . මොන තරුණී සැණකෙළියක් ද?

‘පලතුරු රසිකාවිය’ වට කර ගත් තුන්හාර සියයකටත් වඩා සිනමා රසික රසිකාවන්ගෙන් ගැලවුමක් නොවීය. ඒ මාලිනී අතිශයින් ජනප්‍රියව සිටි යුගයකි. මගේ මතකය නිවැරදි නම් ඒ ‘හතර දෙනාම සූරයෝ’, ‘ආවා සොයා ආදරේ’ වැනි මාලිනීී රඟපෑ සිතුවම් පට වාර්තා පිහිටුවමින් තිරගත වූ සමයයි. බාල, මහලු, යොවුන් ගැමි සිනමා රසික රසිකාවන් මෙම ‘ආදරේ හිතෙනව දැක්කම දෙවඟනට’ වශී වී බොහෝ වෙලාවක් උද්දාමයට පත්ව හැසිරුණෝය.

එදා – එඩී – රුක්මණී යුවළ ගැලවීමට පොලීසිය කැඳවීමට සිදු වුවද, මෙදා එසේ නොවීය.

‘අම්මේ . . . තාත්තේ . . . නංගියෝ . . . මල්ලියෝ . . . අක්කියෝ . . . අයියන්ඩියෝ . . . සීයෝ . . . අපි මේ ගාල්ලෙ උත්සයකට යන ගමන්. දුකයි ඔයාලා දාලා යන්න දෙයියනේ. ඒත් දැන් පරක්කුත් වෙලා.’

මාලිනී ලස්සන අහිංසක සිනාවකින් මුවකමල සරසාගෙන හෘදයාංගමව එසේ පැවසූ වදන් ‘පොලිස් ප්‍රහාර’ මෙන් නොව අතිශය ලෙන්ගතු වූවාය.

‘අනේ රත්තරන් නෝනේ මේ පැත්තේ යන එන ඕන වෙලාවක ඩිංගකට හරි බැහැලා යන්න.’

පත්තර කෑලිවල, ලියුම් කවරවල, බස් ටිකට්වල, බඩු මලුවල පවා ඇගේ අස්සන ගැනීමට පොර කෑ රසික රසිකාවෝ සන්සුන් වූහ.

‘මේ මිනිස්සු තමයි අපව කවද හරි රජ කරවන්නේ, පව්! හරි හොඳ හිත් තියෙන කට්ටිය.’

මාලිනී රථයේ යළිත් අසුන් ගනිද්දී හැඟුම්බරව පැවසුවාය.

සැබැවින්ම අද මහා කිරුළක් ඇගේ හිස මත පැලඳවීමට මෙවන් අහිංසක අයත් කොතෙක් නම් දායක වන්නට ඇත්ද?

රජවරු, රාජිනියන් බිහි වනුයේ, ටෙලි නාට්‍යයක දෙකක හෝ ‘ඇඩ්’ එකකට, විෂුවල් එකකට පෙනී සිටීමෙන් හෝ ‘බයිස්කෝප්’ එකක දෙකක මොකක් හෝ ‘ඇට්’ කිරීමෙන් නොවන බව අපට රුක්මණී දේවිලා, ගාමිණී ෆොන්සේකලා, විජය කුමාරතුංගලා, ජෝතිපාලලා ඇතුළු තවද කිහිප දෙනකු කියා දුන් අපූරු ස්වර්ණ පාඩම බව කිව යුතුය.

මාලිනී ගැන ද ඩේසි අක්කා ගැන මෙන්ම ලියනවා නම් මහා ග්‍රන්ථයක් රචනා කිරීමට තරම් ප්‍රමාණ වූ කරුණු කාරණා මම දනිමි. ‘

මා ආ මාවත’ වෙනුවෙන් මාලිනී සමඟ සුහදව ලෙන්ගතුව කතාබහ කොට මා ‘සරසි’ පත්‍රයට ලියන ලද කොටස් වශයෙන් පළ වූ ලිපි මාලාවක් ද විය. ‘සරසි’ හිමිකාරිත්වය හා ප්‍රධාන කර්තෘත්වය දැරූ මා මිත්‍ර, වත්මන් ලේක්හවුස් සභාපති බන්දුල පද්මකුමාර මහතා තුළ මෙන්ම, එවකට එහි විශේෂාංග කර්තෘ ධූරය දැරූ මා තුළ ද මාලිනීගේ ‘මා ආ මාවත’ යම් දිනෙක ග්‍රන්ථයක් ලෙස එළිදැක්වීමට එකල අදහසක් තිබුණි. එහෙත් කාලයාගේ මොන මොනවා ෙ දී විපර්යාස හේතුවෙන් එම අදහස තවමත් මල්ඵල ගැන්වූණේ නැත.

වර්ෂ 1968 පෙබරවාරි 25 වැනිදා ‘කලා’ පත්තරයට මම, චිත්‍රපට නිළියක වශයෙන් මාලිනී ෆොන්සේකා පිළිබඳ මංගල ලිපිය සැපයූවෙමි. ඒ වන විට ද කරළියේ දස්කම් දක්වා මාලිනී යන්තම් ජනප්‍රියව සිටියේ වී නමුදු එදා එකදු චිත්‍රපටයක්වත් තිරගතව තිබුණේ නැත.

‘පුංචි බබා’ ගෙන එන මාලනී එම කලා ලිපියේ ප්‍රධාන සිරස්තලය වූ බව ‘රසඳුන කර්තෘ ජනප්‍රිය, දක්ෂ මාධ්‍යවේදී මා මිත්‍ර සුනිල් මිහිඳුකුල මට පැවසුවේය. එම මංගල ලිපිය පළ වූ කලා පත්තරයක් දැනට මා සතුව නැතත් එහි පළ වූ තොරතුරු මට අදත් මතකයේ පවතී.

නිළියක් නොවන නිළියකට සිය කුලුඳුල් චිත්‍රපටය (පුංචි බබා) තිරගත වීමට ද පෙරාතුව තවද අලුතෙන් චිත්‍රපට කිහිපයකට ප්‍රධාන චරිත නිරූපණය සඳහා ආරාධනා ලැබී ඇති බවත් එහි සඳහන් විය. මංගල චිත්‍රපටය තිරගත වීමට ද පෙරාතුව වැඩිම චිත්‍රපට සංඛ්‍යාවකට ඇය ආරාධනා ලැබීම ද විශේෂයකි. ඒ ‘කලා ලිපිය පළ වූදාට පසුදා ‘පුංචි බබා’ මෙලොව එළිය දුටුවේය. හෙට තිරගත වන (1968 පෙබරවාරි 26) ‘පුංචි බබා’ නිළිය ගැන තව තවත් බොහෝ දේ මතු පැවසීමට හැකිවනු නොඅනුමාන යැයි එදා එම ලිපිය නිමාවට පත් කරමින් සඳහන් කළෙමි.

අරුමයකි . . . අසිරියකි . . . අපේ සිනමාවට හැටපස් වැනි විය පසු වෙද්දී ‘පුංචි බබා’ අපේ අසහාය නිළිය ලෙස සිංහාසනාරූඪ වී නිළි කිරුළ පලඳා අවසන්ය.

ලබන කලාපයේ තවත් රස ආවර්ජනයක්

 
 

මෙවර රූසර විසිතුරු

  •  
  •  

    ප්‍රධාන පිටුව

    කරළිය

    තරු වරුණ

    මතු දිනෙක

    රංග කලාව